Tuesday, November 22, 2022

 අලි මංකඩක් අවහිරවන පරිදි පොලිස් ස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, මොරගොඩ ග්‍රාම සේවා වසමේ, මොරගොඩ පාසැල අසලින් වැටී ඇති අලි ඇතුන් ඉතා සුලභව භාවිතා කරනු ලබන අලි මංකඩ අවහිර වන පරිදි මොරගොඩ පොලිස් ස්ථානය ඉදිකිරීමට කටයුතු ආරම්හ කර ඇති බව අප වෙත වාර්තාවී ඇත.

මෙතෙක් කලක් කුලී පදනම මත පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය එම පොලිස් ස්ථානය සඳහා ස්ථීර රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙසේ අලි මංකඩ අවහිර වන පරිදි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රිටිගල අඩවියේ, මොරගොඩ බීට්ටු කාර්යාලය පිහිටි අක්කර දහයක පමණ ඉඩමෙන් අක්කරයක පමණ කොටසක් යොදා ගැනීමට කටයුතු කරමින් පවතී.

හබරණ - මින්නේරිය - රිටිගල යන ප්‍රදේශවල සැරි සරණ 300ක් පමණ වන අලි රංචුවක් වසරේ අගෝස්තු පමණ සිට අනුයාත වසරේ පෙබරාවාරි පමණ දක්වා දින පතාම පාහේ මෙම අලි මංකඩ භාවිතා කරමින් මොරගොඩ වැව, මානංකට්ටිය වැව හා එරු වැව යන ජලාශ වල ජලපෝෂක වනාන්තර වෙත කලින් කලට සංක්‍රමණය වෙමින් ජීවත්වන බව දැනගන්නට ලැබී තිබේ. එසේම තනි අලින් වසර පුරාම තමන්ගේ වාසභූමි වල විවිධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම සඳහා මෙම අලි මංකඩ භාවිතා කරනු ලබයි. මීට මදක් දුරින් පිහිටි උණගොල්ලෑව අලි මංකඩද මේ වන විට කුඹුරු වගා කිරීම නිසා අවහිරවී ඇති පසුබිමක මෙම මොරගොඩ අලි මංකඩ අවහිර වුව හොත් ඉදිරියේදී මොරගොඩ, උණගොල්ලෑව, බැඳිවැව, නාවක්කුලම, අමුණුකොලේ යන ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී.

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් සංරක්ෂණය කිරීම හා අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා 2014 වසරේ ඉදිරිපත්කෙරුණු සැලැස්මකට අනුව අලි මංකඩ 16ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. නමුත් මොරගොඩ අලි මංකඩ අවහිර කරමින් පොලිස් ස්ථානයක් ඉදිකිරීමට කටයුතු කිරීමෙන් ඇතිවන ගැටළුව වන්නේ පැරණි අලි මංකඩ ප්‍රතිස්ථාපනය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය දැනට අලි ඇතුන් විසින් සුලභව භාවිතා කරන අලි මංකඩ ආරක්ෂා කරගැනීම සඳහා ලබා නොදෙන්නේද යන්නයි.

‘වන අලි සංරක්ෂණ ප්‍රදේශ, වන අලි කළමනාකරණ ප්‍රදේශ, සහ වන අලි පිවිසුම් (අලි මංකඩ) සැලකිල්ලට ගනිමින් වන අලි වාසභූමි හඳුනාගැනීම සහ සිතියම්ගත කිරීම මගින් අලි ඇතුන්ගේ නිදහස් සංචරණය සහතික කිරීම’ වර්ෂ 2020 ක් වූ දෙසැම්බර් මස රජයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින්ද අවධාරණය කර ඇති කරුණකි. මිනිසුන් සමග ගැටුම් ඇති කර නොගනිමින් ආහාර සපයා ගැනීම සහ සහකරුවන් සොයා ගැනීම වැනි චර්යාත්මක අවශ්‍යතා සඳහා තම වාසභූමියේ එක් කොටසක සිට තවත් කොටසකට අලි ඇතුන්ට ගමන් කිරීමට මෙවැනි අලි මංකඩවල් ඉවහල් වීම ඊට හේතුවයි.

එබැවින් මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා සුදුසු විකල්ප ඉඩමක් ලබාදී, මොරගොඩ අලි මංකඩ ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප උදක්ම ඉල්ලා සිටිමු.

Saturday, November 5, 2022

අඩසියවසකදී මිහිතලයේ ජීවත්වූ වනජීවී ගහනයෙන් සියයට 69ක් වැනසී ගිහින් ...

 


සොබාදහම විසින් තම නොහික්මුණු පුත්‍රයා වන මිනිස් ජීවියා මේ මිහිතලයේ ජනිත කළ දා සිට මේ දක්වා ඔහු විසින් නසා වනසා දැමූ අනෙකුත් ජීවී විශේෂ ප්‍රමාණය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. පසුගිය වසර මිලියන ගණනක් තුල මේ මිහිතලයේ ජීවත්වූ විවිධ සත්ත්ව කාණ්ඩ ස්වභාවික හේතු නිසා වඳවී ගිය අවස්ථා නැතුවා නොවේ. එවැනි තත්වයන් නොවැලැක්විය හැකි නමුත් නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයෙන් සමුගෙන ගිය සහ මේ මොහොතේද සමුගෙන යමින් සිටින වනජීවීන්ට එම ඉරණම අත්කරදීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුත්තේ මිනිසාය. එම තත්ත්වය කොතරම් දරුණුද යත් පසුගිය අඩසියවස තුළ මෙම මිහිතලයේ ජීවත්වූ ජීවී විශේෂ ගහනයෙන් සියයට හැට නමයක් (69%) මිහිතලයෙන් තුරන්වී ඇති බව ලෝක වනජීවී අරමුදල (WWF - World Wide Fund For Nature) මගින් පසුගියදා තම නවතම වාර්තාවක් මගින් අනාවරණය කෙරිණි.

ගෝලීය ජෛව විවිධත්වයේ ප්‍රවණතා සහ මිහිතලයේ යහපැවැත්ම පිළිබඳ ලෝක වනජීවී අරමුදල මගින් සිදුකරණ පුළුල් අධ්‍යයනයක් වන ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 (The Living Planet Report 2022) වාර්තාවේ නවතම සංස්කරණය නොබෝදා එළි දැක්විණි. මෙම ප්‍රමුඛතම ගෝලීය ප්‍රකාශනයට අනුව 1970 සිට මේ දක්වා ජීවී විශේෂ වල ජනගහනයෙන් 69% ක පහත වැටීමක් හෙළි කරතිබේ. විවිධ සංරක්ෂණ ප්‍රයත්නයන් මගින් මෙම මිහිතලයේ ජීවත්වන ජීවී විශේෂ ආරක්ෂා කරගැනීමට යම්කිසි පිටිවහලක් ලැබුණද සිදුවෙම්න් පවතින මෙම මහා විනාශය ආපසු හැරවීමට නම් හදිසි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය බව එමගින් අවධාරණය කර තිබේ.

පෘථිවියේ ජීවයේ විවිධත්වය වන ජෛව විවිධත්වය මිනිස් යහපැවැත්ම සඳහාද අත්‍යවශ්‍ය සේවාවන් අපට සපයන අතර මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඖෂධ හා ඇඳුම් ඉන් කිහිපයකි. නමුත් අද වන විට අපට එම ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින්නේ ඉතා භයානක වේගයකිනි. ශාක හා සත්ත්ව විශේෂ මිලියනයක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ලෝකයේ කොරල්පරවලින් අඩක් අපට අහිමි වී හමාරය. ලෝක වනජීවී අරමුදල අවධාරණය කරන්නේ ගතවන සෑම විනාඩියකටම පාපන්දු පිට්ටනි 27 ක් තරම් වන වනාන්තර ප්‍රමාණයක් අපට අහිමි වෙමින් ඇති බවය. වනාන්තර අපගේ දේශගුණය ස්ථාවර කරන අතර ඒවා නොමැති වුවහොත් ගෝලීය උෂ්ණත්වය වර්තමානයේ පවතින ප්‍රමාණයට වඩා සෙල්සියස් අංශක 0.5 කින් උණුසුම් වනු ඇත. නමුත් සෑම වසරකම පෘතුගාල භූමියේ ප්‍රමාණයට සමාන වනාන්තර ප්‍රමාණයක් අපට අහිමි වේ. වනාන්තර විනාශය මගින් පෘථිවි වායුගෝලයේ  හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යන අතර නියඟයන් වැඩි වීමට සහ උණුසුම් වියළි දේශගුණයන් ඇතිවීමට මෙම තත්ත්වය හේතු වේ. එය මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය අවදානමට ලක් කරයි.

වර්තමාන සහ අනාගත පරම්පරාවේ යහපැවැත්මට තර්ජනයක් වන මානව ප්‍රේරිත දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීමේ ද්විත්ව, අන්තර් සම්බන්ධිත හදිසි අවස්ථාවන්ට අද දවසේ අපි මුහුණ දෙමින් සිටිමු. අපගේ අනාගතය ජෛව විවිධත්වය සහ ස්ථාවර දේශගුණයක් මත තීරණාත්මක ලෙස රඳා පවතින බැවින්, ස්වභාවධර්මයේ පරිහානිය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වන්නේ කෙසේදැයි අප අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේවා එකිනෙකින් වෙන් නොවන අතර එකම කාසියේ දෙපැත්ත බඳුය. එබැවින් මෙම සම්බන්ධතා වල ස්වභාවය, එමගින් මිනිසුන්ට සහ ජෛව විවිධත්වයට ඇති කරන බලපෑම්, ධනාත්මක, සාධාරණ සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම, යන කරණු මෙවර ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 වාර්තාවේ ප්‍රධාන තේමාවන් වේ.

ගොඩබිම, මිරිදියේ සහ සාගරයේ බොහෝ ශාක හා සත්ව විශේෂවල ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම හෝ ඛණ්ඩනය කිරීම මෙන්ම ඉඩම් පරිහරණ රටාවේ වෙනස් කිරීම් තවමත් ස්වභාවධර්මයට ඇති විශාලතම තර්ජනයයි. කෙසේ වෙතත්, මිහිතලයේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 ක සීමාවේ පවත්වාගෙන යාමට අපට නොහැකි වුවහොත්, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාස ජෛව විවිධත්වය අහිමි වීමේ ප්‍රධාන හේතුව බවට පත්වීමට ඉඩ ඇත. උෂ්ණත්වය ඉහළ යාම දැනටමත් ඇතැම් ජීවී විශේෂ සමූලඝාතනය වීමට මෙන්ම සමස්ත විශේෂවල වඳවීයාමට ප්‍රධාන හේතුවයි. මිහිතලය උණුසුම් වන සෑම ඒකකයකින්ම මෙම විනාශය ඉහළ යාම සහ ඒවායින් මිනිසුන්ට ඇති කරන බලපෑම වැඩි වීම අපේක්ෂා කිරීමට අපට සිදුවේ.

දැනට ප්‍රකාශයට පත්කර ඇති වඩාත්ම විස්තීර්ණ සොයාගැනීම් සහිත මෙම ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 සංස්කරණය මගින් අනාවරණය කරන ආකාරයට ලොව පුරා නිරීක්ෂණය කරන ලද වන ජීවීන් ගහනයන්ගෙන් 69% පමණ 1970 - 2018 කාලසීමාව තුළ පහත වැටී තිබේ. ලතින් ඇමරිකාවේ තත්ත්වය වඩාත් භයානක වන අතර එම ප්‍රමාණය වනජීවී ගහණයේ 94% ක පරිහානියකි. තවද අප්‍රිකාවේ 66% කින්, ආසියා පැසිපික් කලාපයේ 55% කින්, උතුරු ඇමරිකාවේ 20% කින් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 18% කින් වනජීවී ගහනයන් පහළ ගොස් තිබේ. විවිධ සත්ත්ව කාණ්ඩ සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මිරිදිය විශේෂ වලට වන අතර අදාළ කාලසීමාව තුල මිහිතලයේ ජීවත්වූ මිරිදිය විශේෂ ගහනය 83% කින් පහළ වැටී තිබේ.

මෙම අධ්‍යයනය මගින් අප අවධාරණය කරගතයුතු සත්‍ය වන්නේ අප ස්වභාවික ලෝකය මත ඇතිකරන පීඩනය පෙරලා තීව්‍ර වන ස්වභාවික අර්බුදයන් රැසක් අප වෙතම එල්ල කරන බවයි. එමඟින් දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුහුරුවීම ඇතුළු තීරණාත්මක සේවාවන් සැපයීමේ හැකියාව අඩපණ කරයි. අපගේ සොබාදහම විනාශ කිරීම වසංගතවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරන අතරම වඩාත් අවදානම් සමාජ කණ්ඩායම් මත වැඩි බලපෑම ඇති වේ. එබැවින් අප සිදුකළ යුත්තේ මෙම අවධානමෙන් මිදීමට අද අදම වඩාත් සක්‍රියව ක්‍රියා කිරීමයි. අපට ක්‍රියාත්මක වීමට තවමත් කාලය ඇති නමුත් කඩිනම් ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය බව අවසන් වශයෙන් අවධාරණය කළ යුතුය.

සම්පූර්ණ වාර්තාව කියවීමට: https://wwflpr.awsassets.panda.org/downloads/lpr_2022_full_report.pdf

 

 

Sunday, October 30, 2022

කොටි - මිනිස් ගැටුමක් මවා සිදුකරන

කඳුකරයේ මහා බිළාල සංහාරය ...

ශ්‍රී ලංකාවේ කොටියන් පිළබඳව අපට මෑත කාලීනව අසන්න දකින්න ලැබෙන්නේ හිතකර පුවත් නොවේ. මෙසේ කොටින් පිළිබඳව වැඩිපුරම පුවත් මෑත කාලීනව අසන්න ලැබෙන්නේ මෙරට මධ්‍යම කඳුකරයෙනි. නමුත් ඉකුත් සතියේ එම භීතිකාව බස්නාහිර පළාතේ මායිමටද පැමිණියේ ගම්පහ, අත්තනගල්ලට නුදුරු ඇතාඋඩකන්ද ප්‍රදේශයෙන් වාර්තාවූ සැකකටයුතු සිදුවීමක් සමගය. ඒ බොහොමයක අවසානයේ සිදුව තිබුණේ කොටියා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම වුවද බොහෝ දෙනෙකු මේ සංසිද්ධීන් හැඳින්වුයේ කොටි - මිනිස් ගැටුම් ලෙසය. නමුත් මේ පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී මෙය සැබැවින්ම කොටි - මිනිස් ගැටුමක්ද නොඑසේනම් එම වදනට මුවාවී මෙරට මධ්‍යම කඳුකරයේ සිදුකරන මහා කොටි සංහාරයක්ද යන්න මොනවට පැහැදිළි වේ. 

ශ්‍රී ලංකාවේ බළල් පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු දැක දැකගත හැකිය. ඔවුන් නම් කොළ දිවියා Rusty-spotted Cat (Prionailurus rubiginous), හඳුන් දිවියා Fishing Cat (Prionailurus viverrinus), කැලෑ බලලා Jungle Cat (Felis chaus), සහ කොටියා Leopard (Panthera pardus kotiya). මෙයින් විශාලම සත්වයා වන්නේ කොටියාය. මෙම සත්ත්වයා දිවියා ලෙසද සමහරුන් ව්‍යවහාරය කරන නමුත් පෙර අපේ පැරැන්නන් අතීතයේ සිටම මෙම පුල්ලි සහිත සත්ත්වයා හඳුන්වා ඇත්තේ කොටියා ලෙස ය. ජනවහරේ එන කැලේ මාරු වුණා ට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ, ‘කොටි වලිගේ අල්ලා ගත්තා වාගේ’ වැනි කියමන් ඊට හොඳ උදාහරණය. කෙසේ නමුත් මේ වන විට අපේ රටේ අලි - මිනිස් ගැටුම සේම, වනජීවී - මිනිස් ගැටුමක් ලෙස කොටියන් සමග ගොඩනැගෙමින් පවතින අන්තර් සම්බන්දය හුවා දැක්වීමට ඇතැමුන් කටයුතු කළද එහි සැබෑ තතු අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වනජීවී සංරක්ෂණවේදී සහ පර්යේෂක රාජික ගමගේ මහතා ගෙන් අප විමසා බැලීමු.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ආහාර දාමයේ ඉහළින්ම සිටින විලෝපිකයා කොටියා වන අතර විලෝපික ගහනය හා ආහාර සුලබතාව අතර ඍජු සම්බන්ධතාවක් පවතී. සාමාන්‍යයෙන් කොටියෙකු පැටවුන් 2-4 අතර ප්‍රමාණයක් බිහි කරන අතර පරිසරයේ ඇති ආහාර සුලබතාව මත දිවි රැක ගන්නා සංඛ්‍යාව තීරණය වේ. කොටි දෙනෙකුගේ ගැබ් කාලය  දින 90 ත් 100 ත් පමණ වේ. පැටවුන් මව සමග මාස 18ක කාලයක් ගත කරයි. ශ්‍රී ලංකාවේ කොටි ගහනය පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට දැනට අප සතුව ප්‍රමාණවත් දත්ත නොමැත. ඕනෑම භෞතික පරිසර පද්ධතියක ජීවත්වීමට හැකි කොටි ගහනය පිළිබඳව නිගමනයකට ඒමට නම් ඒ සඳහා දීර්ඝ කාලීන පර්යේෂණයක් සිදු කිරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ කොටි ගහනය පසුගිය දශකයක පමණ සිට දැඩි ලෙස තර්ජනයට ලක්වීම හා මිනිසාට නිරාවරණය වීම සිදුවිය. මෙයට ප්‍රධාන වශයෙන්ම කොටි ගහනයේ වර්ධනයට වඩා මිනිසාගේ ආර්ථික දියුණුව හා චර්යාත්මක වෙනස්වීම් සෘජුවම බලපෑම් සිදු කළ බව පෙනී යයි. තවද එම සංසිද්ධියේ වැඩි පීඩනය කොටින් මත පැටවීම දැකගත හැකිය. මෙය කොටි - මිනිස් ගැටුමක් ලෙස හුවා දැක්වීම බොහෝවිට සිදු කරනුයේ කොටින් පිළිබඳ මෙන්ම කඳුකර ජන සමාජය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් පිරිසක් විසිනි. නමුත් මිනිසා අතින් කොටි මියයාම කොටි - මිනිස් ගැටුමක් යැයි සමාජ ගත වූවොත් එමගින් සිදුවන්නේ කඳුකරයේ කොටි සංරක්ෂණයට මහත්  හානියක් සිදුවීම පමණි.

වැවිලි කර්මාන්තය සඳහා උඩු යටිකුරු කළ මෙරට මධ්‍යම කඳුකර පරිසර පද්ධතියේ සිදුවන වෙනස්කම් මෙම ප්‍රශ්නයට මූලිකම හේතුවය. කඳුකර භූ දර්ශනයේ ස්වාභාවික වනාන්තර නොවන ඉතිරි ප්‍රදේශයන්හි දක්නට ඇති බොහෝ ශාක හා මනුෂ්‍ය ප්‍රජාව ද කඳුකරයට ආගන්තුකය. එහෙයින් උඩුයටිකුරු වූ පරිසර පද්ධතිය ස්වාභාවිකව තුලිත වීමට දරන උත්සාහයේදී යම් යම් ශාකයන්ගේ හා සත්ත්ව විශේෂයන්ගේ ගහණය ඉහළ පහළ යෑම සාමාන්‍ය සිද්ධියකි.

පරිසර පද්ධතියේ ශාක භක්ෂක සත්ත්ව ගහණය වන ඌරන්, ඉත්තෑවන්, ඕළු මුවන් වැනි සතුන්ගේ පාලනය සිදු කරනුයේ කොටින් විසිනි. කඳුකර තේ භූ දර්ශය තුළ ඌරන්, ඉත්තෑවන්, ඕළු මුවන්, හාවන්, ගෝනුන් වැනි වන සතුන් බොහෝ ප්‍රමාණයක් ජීවත් වුවද මදු වලට අසුවූ එවැනි සතුන් පිළිබඳ වාර්තා නොවේ. එයට ප්‍රධානම හේතුව එම සතුන් මැරීම බොහෝ කලක සිට සිදු කිරීමය.  කඳුකරයේ තිබූ ප්‍රධාන දඩයම් ක්‍රමය වූයේ බල්ලන් යොදාගෙන සතුන් වටකර හෙළි වලින් ඇණ ඔවුන් මරා ගැනීමය. දැනටත් මෙම දඩයම් ක්‍රමය කඳුකරය  පුරා දැකගත හැකි බව කීවොත් ඔබ විමතියට පත්වීමට පිළිවන. පසු කාලීනව කඳුකරයේ ත්‍රීරෝද රථ භාවිතයත් සමඟ එයින් ඉවත ලන කේබල් යොදා මදු ගැසීම දැන් බහුලව දැකගත හැකි දඩයම් ක්‍රමයකි. මුල් කාලයේදී මෙම  මදු වලට අහඹු ලෙස කොටින් අසු වූ අවස්ථා දැකගත හැකි විය. නමුත් අද වන විට මේ තත්ත්වය කොටියාම ඉලක්ක කරගෙන මදු ගැසීම දක්වා වර්ධනය වී ඇත. මෙම මදු වලට වන සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු වන අතර මදු වලට අසු වී මිය යන කොටින් ද බොහෝ ප්‍රමාණයක් වාර්තා වීමක් සිදු නොවේ. පරිසරවේදී රාජික ගමගේ මහතා අවධාරණය කරන්නේ බාහිර සමාජයට වාර්තා වන්නේ කඳුකරයේ මරණයට පත්වන කොටින්ගෙන් සියයට විස්සක් (20%) පමණක් බවයි. ඒ අනුව කොටි - මිනිස් ගැටුමක් මවා සිදුකරන කඳුකරයේ මහා බිළාල සංහාරයෙන් සියයට අසූවක්ම (80%) ඒ ගුප්ත පරිසරය විසින්ම සඟවාගෙන ඇත. පිටතට නිරාවරණය වන්නේ මදු වලට හසුවී සිටින නොමැරුණු හෝ කලහාකාරී කොටින් මරාගැනීමට නොහැකි වූ අවස්ථාවලදී හා ජාවාරමට සම්බන්ද නැති වෙනත් පුද්ගලයෙක් සිද්ධිය දුටු විට පමණි. බොහෝ අවස්ථාවල දඩයම් කරුවන් හා බල්ලන් ගෙන් බේරීම සඳහා මදු කඩාගෙන ගස්වල  නැගි කොටීන් අපට වාර්තා වේ.  මේ අනුව බලන විට අපගේ අවධානය යොමු වන්නේ කඳුකරේ දඩයම් වලින් අල්ප මාත්‍රයකට පමණි.

සැබැවින්ම මෙම වනජීවී අපරාධයේ නිර්මාතෘ වන්නේ මිනිසා ය. මිනිසා විසින් කඳුකර ප්‍රදේශයේ පරිසර පද්ධතියට සිදු කරන හානියේ ප්‍රතිඵලය මේ කොටින් නමැති දර්ශකය හරහා නිරූපණය වේ. නමුත් කඳුකර ප්‍රදේශයේ සිදු වන වෙනත් දඩයම් අපට වාර්තා වන්නේ නැත. මද්දකට කොටියෙක් අසුවී මියයන්නට ඇති සම්භාවිතාව සැලකීමේදී මියයන අනෙක් වන සතුන් ප්‍රමාණය පිළිබඳව හොඳ වැටහීමක් පරිසරය පිළිබඳ දන්නා ඕනෑම අයෙකුට නිමානය කරගැනීමට පුළුවන. කඳුකරයේ සිදුවන මෙම වනජීවී අපරාධ ජාලයේ එක් අතුරු ඵලයක් ලෙස මදු වලට හසු වී මිය යන කොටින්, කොටි - මිනිස් ගැටුමක් ලෙස හුවා දැක්වීම ප්‍රශ්නය වෙනතකට යොමු කිරීමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ කොටින් මිනිසාට පහරදී මරා දැමීම් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. එයට ප්‍රධානම හේතුව වන්නේ කොටින් තුළ මිනිසා පිළිබඳ ඇති බිය විය හැකිය. නමුත් කොටියෙකුගේ ශක්තිය හා වේගය සැලකීමේදී මිනිසා කොටියෙකු ට ඉතාම පහසු ගොදුරකි. නමුත් කොටිය තුල මිනිසා පිළිබඳ පරිණාමිකව ඇතිවී ඇති බිය හේතුවෙන් මිනිසුන් දුටු විට මඟ හැර යෑම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. මිනී කන කොටියෙකු බොහෝ විට බිහිවන්නේ මුලින් සිදුකරන අත්වැරැද්දක් හේතුවෙනි. මෙසේ වැරදීමකින් හෝ අහඹු ලෙස මිනිසෙකුට පහර දෙන කොටියා මිනිසා යනු ඉතා පහසු ගොදුරක් බව හඳුනා ගනී. එම නිසා කොටින්ගෙන් ආරක්ෂා වීමට අප කළ යුතු පළමු දෙය නම් හැම විටම එම සත්වයා මගහැර සිටීමයි. එමගින් කොටියා මිනිසාට ළංවීමට තිබෙන අවස්ථා වැළකෙන අතර සතා තුළ ඇති බිය ද දිගටම පවත්වා ගැනීමට හැකියාව ලැබේ. නමුත් දිගින් දිගටම අපි එම සත්වයා මුණ ගැසීම, නැරඹීමට යෑම වැනි හේතු නිසා කොටියාට මිනිසා පිළිබඳ ඇති බය නැතිවී පහරදීම් දක්වා දුරදිග යාමට හැකියාව ඇත. විශේෂයෙන් කඳුකරයේ වනෝද්‍යානය ආශ්‍රිතව කොටියන් තුළ මිනිසාට ඇති බිය අඩුවිය හැකි ආකාරයක් පැහැදිලිව දැකගත හැක. මේ පිළිබඳව අප දැඩි දැඩි අවධානයක් යොමු කළ යුතුය.

කඳුකර ප්‍රදේශ  ජනාවාසකරණයට  ඇත්තේ වසර දෙසියකට අඩු ඉතිහාසයකි. මෙහි සිටින බොහෝ ජනයා තුළ කඳුකර පරිසරය පද්ධතිය පිළිබඳ ඇති දැනුම ඉතාම අල්පය. මෙය කඳුකරයේ බොහෝ පාරිසරික ප්‍රශ්න වලට මූලිකම හේතුවකි. නිසි පරිදි ඉලක්කගත කණ්ඩායම් හඳුනාගෙන සිදු කරන ප්‍රජා දැනුවත් කිරීම් කඳුකර පරිසර පද්ධතිය රැක ගැනීමට අත්‍යවශ්‍ය වේ. එසේම මෙම දැනුවත් කිරීම් වල අඛණ්ඩතාව පවත්වා ගත යුතුය. විශේෂයෙන් කඳුකරයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම තුළින් පරිසර ප්‍රශ්න සඳහා හොඳ විසඳුමක් ලබාගත හැකිය. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කිරීම හා වැටලීම් ප්‍රමාණය වැඩි කිරීමද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විශේෂයෙන් දෙමළ භාෂාව හුරු නිලධාරීන් කණ්ඩායමක අවශ්‍යතාව දැඩිව පවතී. මෙවැනි ක්‍රම මගින් කොටි - මිනිස් ගැටුමකට නොයා මෙරට කඳුකරයේ සැඟවීගත් මෙම අපූරු බිළාලයා ආරක්ෂා කරගැනීමටත්, ජන ජීවිත සුරක්ෂිත කිරීමටත් ඉතා පහසුවෙන් හැකියාව ලැබේ.

Saturday, September 3, 2022

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික උද්‍යාන වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් එක් ස්ථානයකදී නැරඹීම සඳහා ඉඩකඩ සැලසෙන මින්නේරිය ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ ජාතික උද්‍යාන පාදක කරගත් සංචාරක කර්මාන්තයේ තෝතැන්නකි. 'ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් දහය’ නියෝජනය කිරීමට මුළුමහත් දකුණු ආසියාවෙන්ම හැකියාව ලබාගත් එකම වනජීවී ආශ්චර්යයද නිමැවෙන්නේ මින්නේරිය පාදක කරගනිමිනි. නමුත් අවාසනාවට කරුණ නම් ඊනියා සංවර්ධනයේ දංගෙඩියට මේ වන විට මෙම මහා වනජීවී පුදුමය හසුවී තිබීමයි.

සෑම වසරකම, වියළි කාලයේදී මින්නේරිය ජාතික උද්‍යානයේදී 'ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්' මැවෙන බව සඳහන් කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සඟරාවයි. මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන මෙම වනජීවී ආශ්චර්යය වාර්ෂික වන අලි ඒකරාශීවීමයි (Elephant gathering). එහි උච්චතම අවස්ථාව වන අගෝස්තු - සැප්තැම්බර් වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වේ. මෙසේ මින්නේරිය ජාතික උද්‍යානය වෙත වියළි සමය එළැඹීමත් සමගම අලි ඇතුන් ඒකරාශීවීමට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාර වෙයි. එය ප්‍රදේශයේ වන අලි ඇතුන් සංරක්ෂණයට විශාල සහයක් ලබාදෙන අතරම සෑම වසරකම මිලියන ගණනක් දේශීය හා විදේශීය සංචාරකයින් උද්‍යානය වෙත ආකර්ෂණය වීමටද හේතු වෙයි. 

සංචාරක සංවර්ධන විශේෂඥයෙකු සහ පර්යේෂකයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතා පවසන්නේ මෙරටට පැමිණෙන සියලු විදේශ සංචාරකයින්ගෙන් සියයට තිස්පහක් පමණ පසුගිය ඉතිහාසය පුරා ජාතික උද්‍යාන නැරඹීම සිදුකර ඇති බවයි. නමුත් අප්‍රේල් 21 ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක්වීමට පෙර අවසන් වශයෙන් 2018 වසර වන විට එම ප්‍රතිශතය සියයට හතළිස්‌හත දක්වා ඉහළට ගමන්කර තිබේ. මෙම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ශකයන් බවට පත්වන්නේ අලි ඇතුන් සහ කොටියන් වැනි සතුන්. මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන්ට සංචාරක කර්මාන්තය හරහා ලැබී ඇති මුල්‍යමය වටිනාකම පිළිබඳව සිදුකරන ලද තක්සේරුවකදී අනාවරණයවී ඇත්තේ එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා දෙන බවයි. ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෆාරි ජීප්රථ කර්මාන්තය සහ සංචාරක හෝටල් මගින් උපයන ලද ආදායම ඇතුලත්. නමුත් මේ වන විට ඉතා අවාසනාවන්ත ආකාරයට මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම අතීත මතකයක් බවට පත්වෙමින් ඇත්තේ කිසිඳු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවෙමින් වීම විමතියට කරුණකි.

හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ වනජීවී පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කරන්නේ තමන්ගේ නිරීක්ෂණ අනුව මෙම වසරේ මින්නේරිය වැව් පිටියේ දිනකට දැකගත හැකිව ඇත්තේ අලි ඇතුන් පනහක පමණ ඉතා සුළු සංඛ්‍යාවක් බවයි. නමුත් පෙර ඉසිලූ ප්‍රසිද්ධිය හේතුවෙන් මෙම උද්‍යානය වෙත තවමත් විදේශීය සංචාරකයින් බොහෝසෙයින් ඇදී එන බවත්, අපේක්ෂාකළ ආකාරයෙන් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් දැකීමට නොලැබීම හේතුවෙන් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වන බවත් ඔහු අවධාරණය කරයි. තවද මෙම වැව් පිටියෙන් අපේක්ෂිත ආහාර ඉලක්කය සපුරාගැනීමට අපොහොසත් වීමෙන් අලි ඇතුන් කෘෂවී ඇති ආකාරය තමා නිරීක්ෂණය කළ බවද ඉකුත් ජූනි 30 දින එක් අලි පැටවෙකු වැව් පිටියේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටි බවද ඔහු සඳහන් කරයි. එම අලි පැටවාගේ පස්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මන්දපෝෂණය හා කුසගින්න බව තහවුරුවූ බවද මේ වන විටත් කුසගින්න නිසා මරණාසන්නවූ ගැහැණු සතෙකු වැව් පිටියේ සිටින බවද ආචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන් පිළිබඳව දීර්ඝකාලීන අධ්‍යනයක නිරතව සිටින ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය 2018 වසරේ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මින්නේරිය ජලාශයට ජලය මුදාහැරීමත් සමග ක්‍රමිකව ඇතිවූවක් බවයි. මින්නේරිය ජාතික උද්‍යානය වෙත ඒකරාශීවන අලි ඇතුන් ප්‍රමාණය ඉහළම අගයක් වෙත ළඟාවන සැප්තැම්බර් මාසයේ දෛනිකව වාර්තාවූ වන අලි සංඛ්‍යාවේ සාමාන්‍ය පිළිබඳව ආචාර්ය පිලපිටියගේ නිරීක්ෂණ අනුව 2017 වසරේ දිනකට අලින් 402 නිරීක්ෂණය වී ඇත. 2018 වසරේදී එම සංඛ්‍යාව 354 දක්වා අඩුවී ඇත. ක්‍රමිකව අඩුවී ඇති එම සංඛ්‍යාව ඉකුත් වසර වන විට 20 දක්වා ඉතාම බරපතල ලෙස අඩුවී තිබේ. ජලාශයේ ජලය පිරී තිබීම නිසා තෘණ පිටි නිර්මාණය නොවීමෙන් අලි ඇතුන්ට ආහාර හිඟවීම ඊට හේතුව බව ඔහුගේ නිගමනයයි (2021 වසරට වඩා මදක් වැඩි අලි ඇතුන් ප්‍රමාණයක් මෙම වසරේ වාර්තාවී ඇත්තේ එම වසරට සාපේක්ෂව වැඩි තෘණ භූමි ප්‍රමාණයක් නිර්මාණයවී තිබීම හේතුවෙනි).

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ සිටින දෙස් විදෙස් පතල අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම කලාපයේ පුළුල් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් වියළි සමයේදී මින්නේරිය, කවුඩුල්ල සහ අංගම්මැඩිල්ල (පරාක්‍රම සමුද්‍රය) ජාතික උද්‍යාන වෙත සංක්‍රමණය වන බව චන්ද්‍රිකා කරපටි පළඳවන ලද අලි ඇතුන් කිහිපදෙනෙකුගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන බවයි. තමන්ගේ නිරීක්ෂණ අනුව මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසරන පිරිමි සහ ගැහැණු අලින්ගේ මෙන්ම පැටවුන්ගේද ශරීර තත්ත්වය 2019 වසරේ සිට පිරිහෙමින් පවතින බව පෙන්වා දෙන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා 2021 වසර වන විට ශරීර තත්ත්වය ඉතාමත් දරුණු ලෙස පිරිහී ඇති බවත් පෙන්වා දෙයි. ඒ අනුව මේ වන විට අලි ඇතුන් පත්ව ඇති තත්ත්වය ඉතාම භයානක බව ඔහු අවධාරණය කරයි. ඔහු පවසන්නේ මිනිසුන්ගේ භවබෝග හෝ ආහාරයට ගනිමින් තනි අලින් ලෙස ජීවිත පවත්වාගෙන යන වැඩිමහල් පිරිමි අලින්ගේ ශරීර තත්ත්වයද පසුගිය වසර කිහිපය මුළුල්ලේම පිරිහෙමින් පවතින අතර මේ වසර වන විට පැවතිය යුතු අවම මට්ටමට ළඟාවී ඇති බවයි. එසේම ගැහැණු සතුන් සහ පැටවුන්ගේ ඉරණම වඩාත් ඛේදණීය බව පෙන්වාදෙන ආචාර්යවරයා අවධාරණය කරන්නේ එම සතුන්ගේ ශරීර තත්ත්වය මේ වසර වන විට පැවතිය යුතු අවම මට්ටමට වඩා විශාල ලෙස පහළ වැටී ඇති බවත් දැනටමත් කුඩා පැටවුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබීමට ඉඩ ඇති බවත්. එබැවින් මෙම තත්ත්වය  යම් තරමකට හෝ සමනය කර ගැනීමට නම් ඉතා කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

ලෝක බැංකු ආධාර යටතේ ESCAMP ව්‍යාපෘතිය හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරපටි පළඳවන ලද අලි ඇතුන්ගේ සංක්‍රමණ දත්ත අනුසාරයෙන් මේ අලි ඇතුන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ඇති නමුත් එම දත්ත අදාළ දෙපාර්තමේන්තුව මගින් විශ්ලේෂණයට භාජනය නොකිරීම ගැටළුවක් බවත් හෙතෙම පවසයි. තවද බාහිර සංරක්ෂණ හෝ පර්යේෂණ ආයතන වෙත එම දත්ත වෙත ප්‍රවේශවීමට අවසර ලබා නොදෙන බවද ආචාර්යවරයා වැඩි දුරටත් පවසයි. ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේ එම දත්ත පර්යේෂකයන් සමඟ බෙදා ගන්නා බවට අදාළ දෙපාර්තමේන්තුව ලෝක බැංකුව සමඟ ගිවිසුම් ගතවී ඇති පසුබිමකයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ 2021 වසරේ ඇතිවූ ඉන්ධන ගැටළුව නිසා මොරගහකන්ද ජලාශයෙන් වැඩි ජල ප්‍රමාණයක් විදුලිය උත්පාදනය සඳහා නිකුත් වු බවත්, පොහොර අර්බුදය නිසා යල කන්නයේ වගාව සාමාන්‍ය අගයට වඩා අඩු වු බවත්. එබැවින් ජල අතිරික්තයක් ඇතිවූ බවත් එම ජලය මුහුදට නොයවා මින්නේරිය ජලාශයේ රඳවා තැබූ බවත් ඔහු පවසයි.

නමුත් ප්‍රශ්නය වන්නේ අසාමාන්‍ය ලෙස මොරගහකන්දෙන් නිකුත් වු ජලය වැඩි ප්‍රමාණයත් වගාවන් අඩුවිම නිසා ඉතිරිවූ අතිරික්තයත් රඳවා ගැනීමේ ප්‍රයෝජනය කුමක්ද යන්නයි. මෙම අතිරික්තය ඇති වන්නේ වියළි සමයේයි. නමුත් එය රඳවා ගැනීමෙන් සිදු වන්නේ වසර අවසානයේ නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ලැබෙන ජලයද අතිරික්ත වීම සහ ඒවා වාන් දමමින් කිසිඳු ප්‍රයෝජනයක් නොමැතිව මුහුදට ගලා යාමයි. වියළි සමයේ අතිරික්ත ජලය ඉවත්කර මින්නේරිය ජාතික උද්‍යානයේ තෘණ භූමි නිරාවරණය වීමට ඉඩ සැලසුවා නම් අලි ඇතුන්ට ආහාර අහේනියක් ඇති නොවන අතර, ජලය සම්බන්දයෙන්ද ගැටළුවක් ඇති නොවේ. නමුත් මේ වනවිට ජලයට අනවශ්‍ය ලෙස ලොබ බැඳ සිදුකර ඇති කටයුත්ත හේතුවෙන් ඇතිවී ඇත්තේ ‘නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති’ තත්ත්වයක් බව ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ.

ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසන්නේ මෙම ජලය රැස්කිරීමෙන් අලින්ට වන බලපෑම් සම්බන්දයෙන් මෙවැනි සිදුවීමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් තම දෙපාර්තමේන්තුව සමග කිසිඳු විටක සන්නිවේදනයවී නොමැති බවයි. නමුත් සංචාරක අධිකාරිය, වනජීවී ලෝලීන් සහ ජනමාධ්‍ය මේ පිළිබඳව තමන්ගෙන් විවිධ අවස්ථාවල සිදුකර ඇති විමසීම් මත මේ පිළිබඳව සොයා බැලීම් සිදුකර ඇති බවත් තමන්ගේ දෙපාර්තමේන්තු විෂය පථයට අදාලව මින්නේරිය ජලාශයේ කටයුතු ඉතා හොඳින් සිදුවන බවත් ඔහු පවසයි. නමුත් අලි ඇතුන්ට යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇත්නම් ඊට අදාළ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් පසුවන බවත් අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය දුර්වලවීම මෙම තත්ත්වය ඇතිවීමට තුඩුදී ඇති බව තමන්ට හැඟීයන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

ඉඩම් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සැළසීම සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයීම මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වෙයි. නමුත් වාර්ෂිකව රටට හිමිවූ රුපියල් බිලියන ගණනක් වටිනා විදේශ විණිමය අහිමිකරමින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අස්වැද්දීමේ වැදගත්කම කුමක්ද යන්න බලධාරීන් දැන්වත් විමසා බැලය යුතුයි. තවද මෙම පාරම්පරික වියළි සෘතු ගොදුරුබිම අහිමි වීමෙන් ආහාර හිඟයට මුහුණදෙන අලි ඇතුන් නිතැතින්ම ප්‍රදේශයේ ජනතාවගේ නිවාස, ගෙවතු සහ කුඹුරු බිම් ආක්‍රමණය කිරීම නොවැලැක්විය හැකියි. එයින් සිදුවන්නේ දැනට අලි-මිනිස් ගැටුමෙන් පීඩා විඳින අහිංසක දුප්පත් ගොවි ජනතාව කබලෙන් ලිපට වැටීම සහ තවත් අලුත් පිරිසක් අක්‍රමවත් සංවර්ධනයේ අනාථයන් බවට පත්වීම පමණයි. ඒ බව මොනවට පැහැදිළි වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත වලට අනුව, 2020 වන විට ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් සිදුවීම් 2017 ට සාපේක්ෂව හය ගුණයකින් වැඩි වී ඇති බැවින්. අලි ඇතුන්ගේ ගැහැණු සතුන් සහ පැටවුන් මිනිසුන්ගේ භවබෝග ආක්‍රමණය කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ටත් සිදුවන්නේ කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් මරණයට පත්වීමටයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ආසියානු අලි උප විශේෂයේ අනාගත ඉරණම තීරණය කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර අපේ රටට උරුම මෙකී 'ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යය’ නැවතත් මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වගකිවයුතු සියලු දෙනාගේ යුතුකම සහ වගකීමයි.

ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් සංවිධානය කෙරුණු සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස්වී ඇත.

Monday, August 1, 2022

ලක් වනපෙතින් සමුගෙන යන සොඳුරු බිළාලයා

ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමුවන බිළාල පවුලේ (Felidae) විශාලතම සාමාජිකයා වන්නේ කොටියයා. Panthera pardus kotiya (Deraniyagala, 1956) ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙරට වාර්තාවන මෙම අපූරු බළල් සාමාජිකයා උප විශේෂයක් ලෙස අපේ රටට ආවේණිකය. මෙරට වනාන්තර වල සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛ විලෝපිකයෙකු ලෙස ඉටුකරන කාර්යභාරයේ සිට ප්‍රධාන සංචාරක ආකර්ශකයක් ලෙස අපේ රටට සංචාරක කර්මාන්තය හරහා විශාල විදේශ විණිමයක් උපයාදීම දක්වා කොටියා මගින් සැලසෙන පාරිසරික සහ ආර්ථික සේවාවන් ඉමහත්ය. නමුත් අවාසනාවට විවිධ හේතු නිසා මේ වන විට කොටියන්ද ලක් පොළොවෙන් සමුගෙන යමින් සිටීම කණගාටුවට කරුණකි.

ජාන විශ්ලේෂණය අනුව සියලුම මහාද්වීපික අප්‍රිකානු දිවියන් ඇතුළු මෙම බිළාල සාමාජිකයින් උප විශේෂ නවයක් වශයෙන් හඳුනාගෙන ඇත.

Panthera pardus pardus - අප්‍රිකාව

Panthera pardus nimr - අරාබිය

Panthera pardus saxicolor - නිරිතදිග ආසියාව

Panthera pardus melas - ජාවා

Panthera pardus kotiya - ශ්‍රී ලංකාව

Panthera pardus fusca - ඉන්දියානු උප මහාද්වීපය

Panthera pardus delacouri - අග්නිදිග ආසියාව සහ දකුණු චීනය

Panthera pardus japonensis - උතුරු චීනය

Panthera pardus orientalis - රුසියානු ඈත පෙරදිග, කොරියානු අර්ධද්වීපය සහ ඊසානදිග චීනය

මෙම විශේෂය හැඳින්වීම සඳහා යොදාගනු ලබන ඉංග්‍රීසි නාමය වන ‘Leopard’ යන වදනේ සෘජු සිංහල පරිවර්තනය වන්නේ ‘දිවියා’ යන්නයි. නමුත් මෙරට ඉපැරණි ජන වහරේ මෙම සත්වයා හැඳින්වීම සඳහා පුරාතනයේ සිට භාවිතා කර ඇති වචනය වන්නේ ‘කොටියා’ යන්නයි. ‘කොටි වලගේ අල්ලා ගත්තා වාගේ’, ‘කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මරු වන්නේ නැහැ’ වැනි ඉපැරණි කියමන් ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙරටට ආවේණික උප විශේෂය හැඳින්වීම සඳහා ‘kotiya’ යන උප විශේෂ නාමය යෙදීමටද හේතුව එයයි. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. කොටියන්ට ඇති මූලික තර්ජන මානව කේන්ද්‍රීය වේ. වාසස්ථාන ඛණ්ඩනය, ගොදුරු සතුන් අඩුවීම සහ පශු සම්පත් සංවර්ධනය හා කෘෂිකර්මාන්තය සමග ඇති වූ ගැටුම් නිසා ලොව පුරාම කොටි ගහණයට තර්ජන එල්ලවී ඇත. වනාන්තර වාසස්ථාන සහ සැවානා පද්ධති කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය සහ නගර ව්‍යාප්තිය සඳහා පරිවර්තනය කිරීම කොටින්ගේ වාසභූමි සැලකිය යුතු ලෙස අඩු වීමට හේතුවී ඇත. තවද සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා තුරුලතා ආරක්ෂක ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත.

උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වයක් තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.

සෑම වසරකම මැයි මස තුන් වන දින ජාත්‍යන්තර දිවියන්ගේ දිනය (International Leopard Day) සමරනු ලැබේ. මෙම විශේෂයේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස මෙසේ දිවියන් සැමරීම සඳහා දිනයක් වෙන්කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය මෙන්ම ලොව පුරා මෙම සත්ත්ව ගහනය මුහුණ දෙන තර්ජන පිළිබඳ ගෝලීය දැනුවත්භාවය වැඩි කිරීමට එමගින් උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේද කොටියන්ට ඇති විශාල ජීවිත අනතුර හේතුවෙන් 2021 වසරේ සිට අන්තර්ජාතික දිනයට අමතරව, ජාතික වශයෙන් කොටියන් පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා දිනයක් වෙන්කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මෙරට ඉපැරණිම සහ ප්‍රමුඛම ක්‍රියාකාරී පරිසර සංවිධානයක් වන ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය කටයුතු කරයි. එම දිනය විශේෂයෙන් තෝරාගැනීමට හේතුවී ඇත්තේ ආචාර්ය ශ්‍රියානි මිත්තපාල මැතිණිය විසින් තම විද්‍යාත්මක නිබන්ධනයක් මගින් Panthera pardus kotiya මෙරටට ආවේණික උප විශේෂයක් ලෙස තහවුරු කළ දිනය අගෝස්තු 1 වැනිදා වීමය.

ඒ අනුව සෑම වසරකම අගෝස්තු පළමුවැනිදා අප ජාතික වශයෙන් කොටියන් පිළිබඳ දිනය සමරන්නෙමු. ඊට අමතරව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය LOLC අනුග්‍රහය ඇතිව වසර 5ක වැඩසටහනක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු බහු-ප්‍රාදේශීය නිරීක්ෂණ පද්ධතිය මීට මාස කිහිපයකට පෙර දියත් කළේ ශ්‍රී ලංකාවේ කොටියා සංරක්ෂණය සඳහාය. එහි මූලික අදියරයේදී පානම, මෝනිංසයිඩ්, කිලිනොච්චි, බෙලිහුල්ඔය, නල්ලතන්නිය සහ සීගිරිය යන ප්‍රදේශ වල පර්යේෂණ මධ්‍යස්ථාන හයක් පිහිටුවනු ලබන අතර. කැමරා උගුල් සහ සමීක්ෂණ භාවිතා කරමින් තෝරාගත් භූගෝලීය ප්‍රදේශවල කොටින්ගේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සිදු කෙරේ. තවද වතුකරයේ දෙමළ භාෂාවෙන් සන්නිවේදන කරන ජනතාවගේ දැනුම්වත්බව ඉහළ නැංවීම හරහා කොටින්ට ඇති තර්ජනය කළමනාකරණය කිරීමේ වැඩසටහන්ද දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙමින් පවතී.

රට වනාන්තර වල සිටින ප්‍රමුඛතම විලෝපික සත්ත්වයා වන්නේ කොටියායි. දිවයිනේ වනාන්තර වල ජීවත්වෙන ශාඛභක්ෂක සත්ත්ව ගහණය පාලනය කිරීම සඳහා සොබාදහමෙන් අපේ රටට ලබාදී ඇති පාලකයා වන්නේ කොටියායි. නමුත් ඉහත හේතු නිසා එම සත්ත්වයා අපේ රටේ පරිසර පද්ධති වලින් ඉවත්ව ගියහොත් එමගින් පරිසර පද්ධති වල සමතුලිතතාවයට බලපෑම් එල්ලවී එම පරිසර පද්ධතීන් බිඳවැටීම සිදුවේ. එසේම මෙරට ප්‍රමුඛ සංචාරක ආකර්ෂකයක් ලෙසද කොටියන් හැඳින්වීමේ වරදක් නැත. දිවයිනේ ජාතික උද්‍යාන වෙත ඇදී එන දෙස් විදෙස් සංචාරකයින් කොටියෙකු දැකබලා ගැනීමට දක්වන්නේ විශාල උනන්දුවකි. එය අපේ රටේ සංචාරක කර්මාන්තයටද විශාල සවියකි. එබැවින් පටු අවස්ථාවාදී සහ පදනම් විරහිත මතවාදයන් මත පිහිටා සිදුකරන කොටි ඝාතන වැලැක්වීම සඳහා මෙන්ම ඔවුන්ගේ සංරක්ෂණය සඳහා අප විශේෂ උනන්දුවක් දැක්විය යුතුය. ඒ සංරක්ෂණ හා ආරක්ෂණ අවශ්‍යතාවය එළැඹෙන අගෝස්තු පළමුවැනිදාට යෙදෙන කොටියන් පිළිබඳව අවධානය යොමුකිරීමේ ජාතික දිනයේදීද අප අවධාරණය කරගැනීම වැදගත්ය.  

Thursday, March 31, 2022

අලි අගල් ප්‍රෝඩාවට තිත, 

ඉදිරි පියවර කුමක් විය යුතුද?

අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන තම මඩි තරකර ගන්නා ශ්‍රී ලංකාවේ තුප්පහි පාලකයන් නිසා අලින්ට මිනිසුන්වත්, මිනිසුන්ට අලින්වත් පෙන්නන්නට බැරි ගානය. මේ නිරන්තර අරගලය හේතුවෙන් වසරක් පාසා ලොව වැඩිම වන අලි ජීවිත ගණන සහ දෙවැනි වැඩිම මිනිස් ජීවිත ගණන අහිමි වන රට බවට මෙරට පත්වී ඇත. නමුත් ඒ හේතුව නිසාවත් අලි-මිනිස් ගැටුම ධනෝපායන මාර්ගයක් කරගැනීම බලධාරීන් සහ නිලධාරීන් අත්හැර නැති බවට ආසන්නතම සාක්ෂිය වූයේ අලි අගල් ප්‍රෝඩාව ය. නමුත් ඊට හෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පරිසර සංරක්ෂනවේදීන් පිරිසකගේ මැදිහත්වීමෙන් අලි අගල් ප්‍රෝඩාවට තිත තැබීමට මේ වනවිට හැකියාව ලැබී තිබීම සතුටට කරුණකි. නමුත් අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා සුදුසු ඉදිරි පියවරක් තෝරාගැනීම සම්බන්ධයෙන් තවමත් බලධාරීන් සිටින්නේ අඳුරේ අතපත ගාමින් වීම දෛවයේ සරදමකි.  

අලි-මිනිස් ගැටුම නම් සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුව විසඳීම අලි අගල් වැනි භෞතික බාධක ඉදිකිරීමෙන් එහා ගිය සංකීර්ණ, සමෝධානිත සහ බහුපාර්ශවීය කටයුත්තක් විය යුතු බව අප පෙන්වා දුන්නේ මෙම වසර මුලදීය. එවකට අලි ඇතුන් ජාතික උද්‍යාන වලට ගාල් කෙරෙන පරිදි අලි අගල් හෑරීමට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ලහි ලහියේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණේ අලි-මිනිස් ගැටුම විසඳීමේ සැබෑ ඕනෑකම නිසා නොව පස් ජාවාරම් කරගැනීමට බව අප එහිදී අවධාරණය කළෙමු.

මෙම ප්‍රෝඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ සහ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක FR/66/2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කෙරිණි. අප මේ පිළිබඳව සිදුකළ විමසීමකදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතා සඳහන් කළේ ඉකුත් සඳුදා (28) දින එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අගල් කැපීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අදාළ සියලුම අංශ දැනුවත් කරන බව නීතිපති වරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශවූ බවය.

මෙරට අලි-මිනිස් ගැටුම සාධනීය මට්ටමකින් අඩුකරගැනීමට ඇති කාලය කා දමමින්, වන අලි සංරක්ෂණයට බරපතල බලපෑම් ඇති කරමින් සහ මෙරට ඉතා වැදගත් ජාතික උද්‍යාන ගණනාවක් පස් ජාවාරම්කරුවන්ට නතු කරමින් සිදු කෙරුණු මෙම අලි අගල් ප්‍රෝඩාවට පමාවී හෝ තිත තැබීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් අසාර්ථක බව දැන දැනම වනජීවී සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය මෙවැනි විනාශයක ඇද දැමූ බලධාරීන් සහ නිලධාරීන් කිසිඳු කිසිඳු දණ්ඩනයකට යටත් නොවීම කණගාටුවට කරුණකි. තවද අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා යෝජිත සාධනීය සැළසුම් හැමස්පෙට්ටියේ සඟවාගෙන ඔවුන් නැවත නැවතත් මහජන මුදල් කාබාසිනියා කිරීමට කැස කවයි නම් එය කුමන අභාග්‍යයක්ද?

දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා බලධාරීන් ඊළඟට ගණු ලබන පියවර කුමක්ද යන්න විමසා බලන විට එම අභාග්‍යයේ පෙර නිමිති ඉතා සරලව පිළිබිඹු වේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් දැනට හඳුනාගෙන ඇති හා ඉදිරියේදී හඳුනාගනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව පමණක් ඉදිරි පියවර ගන්නා බවය. ස්තිරසාර විසඳුමක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ගයන් අනුගමනය කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන බවය. එහි “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” යන වාක්‍යාංශය ලියුම්කරු නැවතත් සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම් පැහැදිලිකර දීමටය.

ඉකුත් වසරේදී පමණක් මෙරට මරණයට පත්වූ අලි ඇතුන් සංඛ්‍යාව 375කි. වන අලි පහරදීම හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 142කි. මෙම සංඛ්‍යා සරල ගණිතයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ එක් දිනකට මෙරට එක් අලියෙකුට වඩා අපට අහිමිවන බව නොවේද? සෑම සතියකම අඩුම තරමේ අසරණ මිනිස් ජීවිත දෙකක් වත් වන අලි ප්‍රහාර හේතුවෙන් රටට අහිමිවන බව නොවේද? නමුත් මෙසේ අලි ඇතුන් සහ අසරණ මිනිසුන් සිය ගණනක් මරණයට පත්වූ වසර මුළුල්ලේම බලධාරීන් “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” සඟවාගෙන සිටි බව ඔබ දන්නවාද?

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝග මත 2020 ජූලි 22 දින පත්කෙරුණු  ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු උක්ත ක්‍රියාකාරී සැලැස්ම එම වසරේම දෙසැම්බර් 17 දින ඔහු වෙත ඉදිරිපත් කරන ලදී. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් සමන්විතවූ මෙම කමිටුව මගින් සකස් කෙරුණු  සැලැස්ම ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත.

ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු ප්‍රධාන කමිටුව මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” වසරකට අධික කාලයක් හැමස්පෙට්ටියේ සිරකරගෙන සිටින රේඛීය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් සෝමරත්න විදානපතිරණත් “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” ගැන කතා කිරීමේ ව්‍යංගාර්ථය කුමක්ද? මෙය ඔහු නොදැනුවත්ව සිදුකළ ප්‍රකාශයක්ද? පිළිතුර “නැත” යන්නය. එමගිනුත් යළි යළිත් ප්‍රකට වන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම්මය.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ඔඩු දිවීමට අක්‍රමවත් භූමි පරිභෝජන රටාව සහ අවිචාරවත් සංවර්ධන කටයුතු හේතුවූ බව සැබෑය. ඒ සඳහා ආණ්ඩු සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සෘජුව වගකිවයුතු ය. තවද මෙම නිරන්තර ගැටුම තමන්ගේ මඩි තරකරගනීමේ උපායක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ටද චෝදනා එල්ලවේ. දශක ගණනාවක් තිස්සේ අසාර්ථක ක්‍රමෝපායන් යළි යළිත් යොදාගෙන අලි-මිනිස් ගැටුම් අවමකිරීම වෙනුවට උත්සන්න කිරීමට දායකවූ පිරිස අතර ඔවුන්ද පෙරමුණේ වෙති. රටේ විධායක ජනාධිපතිගේ නියෝගයෙන් සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් පවා ක්‍රියාත්මක නොවන තැනට වැඩ සලස්වා ඔවුන් අගල් වැනි ප්‍රෝඩාකාරී ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම ඊට කදිම නිදසුනකි. එවැනි නිලධාරීවාදයක් ක්‍රියාත්මකවන රටක අලි ඇතුන්ද මනු සතුන්ද මොවුන්ට මුදල් උපයන මාර්ග විනා වටිනා ජීවිත නොවේ.

අපේ රටේ දුප්පත් අහිංසක ගැමි ජනතාව මෙන්ම අලි ඇතුන්ද කබලෙන් ලිපට ඇද දමන අලි-මිනිස් ගැටුම පිටු දැකීමට නම් කළයුත්තේ  “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ග” සොයමින් තවත් කල් මැරීම නොවේ. ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර "ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්ම" වහා වහා ක්‍රියාත්මක කිරීමය. අලි අගල් ප්‍රෝඩාවට තිත තැබීමට මෙහෙයැවුනු අරගලයම ඒ සඳහා දිශානත කරන මෙන් අප සියලු පරිසර සංවිධාන හා සංරක්ෂණවේදීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු!