වනජීවී සංරක්ෂණය සහ ආණ්ඩුවේ මුව හම
ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කතා කිරීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිහියට නැගෙන්නේ නිතැතිනි. ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර තීරයද ඇතුළුව දේශසීමාව තුළ වනජීවී සම්පත් දිගු කාලීනව ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය පැවරී ඇත්තේ එම දෙපාර්තමේන්තුවට වන බැවිණි. මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දහසයක් (16%) පමණ වන වර්ග කිලෝමීටර් 9100 ක් ඉක්මවන වනජීවී රක්ෂිත ජාලයක් ස්ථාපනයකර කළමනාකරණය කිරීමේ වගකීමද පැවරී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ කර මතය. නමුත් වසර ගණනාවක අදූරදර්ශී පරිපාලනයේ හපන්කම් විසින් මේ මොහොත වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්කරදී ඇති ඉරණම සහ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් එම තත්ත්වය තවදුරටත් ඛේදාන්තයක් දක්වා ඉදිරියට ගෙන යමින් සිටින ආකාරය පිළිබඳව මෙවර පරිසර දිනය හිනිපෙත්තේ සිට ලියා තැබීම සුදුසු බව සිතමි.
මෙතෙක් කලක් පරිසරවේදීන්ට රටේ හිමිව තිබුණු විපක්ෂ භූමිකාව යම්තාක් දුරකට හෝ වෙනස්වනු ඇතැයි සිතමින් මෙරට අවංක පරිසරවේදීන් රැසක් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සෘජුව හෝ වක්‍රව කටයුතු කළ බව නොරහසකි. එසේම මහා මැතිවරණයෙන් ලැබූ විශාල ජන වරම ඔස්සේ වර්තමාන ආණ්ඩුව මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් මුල සිටම සාධනීයව මැදිහත්වනු ඇතැයි අප අපේක්ෂා දල්වාගෙන සිටියෙමු. ඒ වෙනුවෙන් අනෙකුත් බොහෝ පරිසරවේදීන් මෙන්ම ලියුම්කරුද පරිසර අමාත්‍යාංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු රැස්වීම් ගණනාවකට ස්වේච්ඡාවෙන්ම සහභාගීවී සංරක්ෂණයේ ගතයුතු මග පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළේය. නමුත් එදා මෙදා තුර එවැනි සාකච්ඡාවලදී ගැඹුරින් සංවාද කෙරුණු කරනා වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඇත්තේ උභතෝකෝටිකයකි. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ම උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්වීම සුදුසු යයි සිතමි.
මෙරට වනජීවීන් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන වශයෙන් බලය පැවරී ඇත්තේ 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගිනි. එම පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිලධාරීන් වන අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකාරවරුන් සහ නියාමකවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වන 1591න් මේ වන විට සියයට හතළිහකට වඩා ඇත්තේ පුරප්පාඩුවය. එම තනතුරු බඳවාගෙන මෙරට වනජීවී ආරක්ෂණය ශක්තිමත් කිරීම වෙනුවට ආණ්ඩුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට කම්කරුවන්ගෙන් පිරවීමට මේ වන විට කටයුතු කරමින් සිටී. අපට දැනගන්න ඇති ආකාරයට එම ගණන හාරදහසකට අඩු නැත.
වනජීවී අපරාධකරුවන්ගේ සාක්කුවට නොවැටී සහ කොන්ත්‍රාත්කරුවෙකු නොවී මෙතෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංකව රාජකාරි ඉටුකළ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව ආකර්ශණීය තැනක් වීමට තිබූ එක් හේතුවක් වන්නේ වාර්ෂික දිරි දීමනාවයි (අවංක නිලධාරීන් තම දිවි දෙවැනි කොට වනජීවීන් රකින්නට කැපවුණේ දිරි දීමනාව ලබාගැනීම සඳහා බව මෙයින් කිසි විටෙකෙත් අදහස් නොවේ). නමුත් මෙසේ එකවර දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්යමණ්ඩලය කිහිප ගුණයකින් ඉහළ යාමෙන් එක් නිලධාරියෙකුට වසරකට වරක් ලැබෙන එම දීමනාව සොච්චමක් බවට පත්වේ. එමගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පනත බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන් අලුතෙන් බඳවාගැනීමේදී මෙන්ම වර්තමාන නිලධාරීන් ප්‍රමාණය දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමේදී බරපතල ගැටළු ඇති විය හැක.
එසේම ප්‍රායෝගික නොවන ශ්‍රේණි ක්‍රමයක් යොදා ගනිමින් නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ එක් තනතුරක පල් කරවමින් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායකයාගේ සිට ඉහළට ඇති සේවක ධුරාවලියේ ඉහළට නැගීමට ඔවුන්ට ඇති අවස්ථා හීන කිරීමටද වනජීවී සංරක්ෂණයේ ඉහළ පුටු ඉතා සූක්ෂම ලෙස කටයුතු කර තිබේ. එබැවින් මෙම විශාල කම්කරුවන් පිරිසක් එකවර බඳවාගැනීම, නිසි වැටුප් තල වල නොපිහිටුවීම, දීමනා ගැටළු වැනි ප්‍රශ්න රැසක් හමුවේ තවමත් වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවන නිලධාරීන් අතලොස්සද තවදුරටත් අධෛර්යමත් කිරීමට එකී ලොක්කන් ඇටවූ උගුලක්ද යන්නද විමසිය යුතුය.
එසේම මේ ආකාරයෙන් විශාල විදුලි වැට කම්කරුවන් පිරිසක් බඳවාගැනීම මගින් සක් සුදක් සේ පැහැදිළිවන අනෙක් කාරණය නම් වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ප්‍රතිපත්තියද අලි ඇතුන් වනජීවී ආරක්‍ෂිත තුළට ගාල් කර, විදුලි වැට ගසා උක්ත කම්කරුවන් මගින් වැට රැකීම බවය. කන්නට දෙයක් නැති වනජීවී රක්ෂිත වලට අලි ඇතුන් ගාල් කර ඔවුන් කුසගින්නේ මරා දැමීමේ අවිද්‍යාත්මක අලි ඇතුන් සංරක්ෂණ හා අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේදය වසර හැටකට වැඩි කලක් තිස්සේ අසාර්ථකව තිබුණද එය අත් හැර දැමීමට වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් නැත. දශක ගනනාවක් තිස්සේ වනජීවීයේ ලොකු පුටු හොබවන ඇත්තන් සහ ආණ්ඩුවේ පරිසර උපදේශකයින් ලබා දෙන ලණු කමින් එම වරදම නැවත සිදු කිරීම තමන් ලද මහා ජන වරමට නිගා කරන බව ආණ්ඩුව වටහා ගෙන නැත.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පරිසර අමාත්‍යවරයා සමග පැවැත්වූ පළමු සාකච්ඡාවේදීම ලියුම්කරු එක් දෙයක් ඉල්ලා සිටියේය. ඒ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ නාමයෙන් අතීතයේ සිදුකළ වැරදි මගින් පාඩම් උගෙන අත්හැර දමා තිබූ අලි පලවාහැරීම සහ හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට අලි ඇතුන් ගෙන ගොස් දැමීම නැවත ආරම්භ නොකරන ලෙසය. නමුත් එසේ තිබියදී ආණ්ඩුව අනුරාධපුර ප්‍රදේශයේ අලි පලවාහැරීමක් සිදුකර එම ප්‍රදේශයේ අලි ඇතුන්ගේ මෙන්ම මනු සතුන්ගේද ජීවිත කබලෙන් ලිපට ඇද දැමීය. එතැනින් නොනැවතී පුත්තලම ප්‍රදේශයේදී ද ආණ්ඩුව එම වරදම නැවත සිදු කළේය. එසේ අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට ගල් කර වැට ගැසීමෙන් අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට නොහැකි වුණේ කම්කරු හිඟය නිසා බව ආණ්ඩුවේ උපදේශකයන් කියා ඇතිදැයි අපි නොදනිමු. නොඑසේ නම් අප ඉහත සඳහන් කළ වසර ගණනාවක අදූරදර්ශී වනජීවී පරිපාලනය තම නිරුවත වසාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවද ගොනාට අන්දවා තිබිය යුතුය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ලංකාවේ අලි-මිනිස් ගැටුම මෙම වසර තුළ සියයට විස්සකින් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පසුගියදා සඳහන් කර තිබිණි. ඊට අදාලව වන අලි කළමනාකරණ ප්‍රදේශ කිහිපයක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පවසමින්ද එම දෙපාර්තමේන්තුව සිදුකර ඇත්තේ ආණ්ඩුව ගොනාට ඇන්දවීමම බව ලියුම්කරුගේ අවබෝධයයි. මින් වසර ගණනාවකට පෙර 2021 වසරේ අප්‍රේල් මස 9 වැනිදා 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශයට අදාල එම ප්‍රදේශය කළමනාකරණය කර ගැනීම, සංරක්ෂණය කර ගැනීම ආදිය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නීති රීති මේ දක්වා නීතිගතකර නොමැත. සිදුකර ඇත්තේ එම ප්‍රදේශයේ මායිම් සලකුණු ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම පමණි. එබැවින් මේ දක්වාම මෙරට තුළ ‘වන අලි කළමනාකරණ ප්‍රදේශ’ පත්ව ඇත්තේ සුදු අලියෙකු බවටය. අලි-මිනිස් ගැටුම සියයට විස්සකින් අවම කරන බව පවසමින් දෙපාර්තමේන්තුව ආණ්ඩුව කඩේ යවන්නේ ඒ ගැන නොදැනද?
මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ අලි ඇතුන් සහ මිනිසුන් ජීවත් වන්නේ එකටය. එම තත්ත්වය තේරුම් ගනිමින් ගැටුම් අවම කරගැනීම සඳහා ඉකුත් 2020 වසරේ දී සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ ක්‍රියාවට නැගීම සඳහා මේ දක්වා කිසිම උත්සාහයක් වර්තමාන ආණ්ඩුවවත් ගෙන ඇති බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට වර්තමාන පුනරුද ආණ්ඩුවද අතපත ගාන්නේ අඳුරේය. වැටෙන්නට හදන්නේ රෑ වැටුණු වලේ නොව, නැවත වරක් මහා දහවලේ ඇදගෙන වැටුණු වලේය.
මෙරට වනජීවී පරිපාලනයේ නිර්මාණය කර ඇති ගැටළු
දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ පටු ඕනෑ එපාකම් ඉටුකරගැනීම සහ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා
බොහෝ උපක්‍රමශීලීව නිර්මාණය කළ ඒවාය. සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ තානාන්තර වල
සිට දෙවැනි පෙළ අධ්‍යක්ෂ ජනරාල් පට්ටම් දක්වා තම පැවැත්ම තහවුරු කරගැනීමට දැඩි
උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කර ඇති වනජීවී ලොකු පුටු ඒ හැර ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රශ්න
ගැටලු විසඳීමට එකී උනන්දුවෙන් කටයුතු කලා නම් වර්තමානයේ වනජීවී සංරක්ෂණයේ උද්ගවී
ඇති ගැටලු රැසකට පිළිතුරු ලැබී තිබෙන්නට ඉඩ තිබුණි.
එබැවින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුව හමටම තඩිබෑමෙන් පමණක් පලක් නොවන බව අප දනිමු. නමුත් එම උප්පරවැට්ටි වලට හසුවී දැන දැනම අමාරුවේ නොවැටීමේ වගකීම ආණ්ඩුව සතුය. නමුත් වනජීවීන් කෙරෙහි ද්වේශය මුදා හරින ආකාරයේ ප්‍රකාශ නිකත් කිරීම මගින් අලියාගේ, රිලවාගේ සිට අතුරුගිරියේ තිත් මුවන් දක්වා සියලු වනජීවීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට තරම් වගකීම් විරහිතව ක්‍රියාකළ, නැවත නැවතත් අසාර්ථක අලි පලවහැරීම් මගින් හත් පොළේ ගා ගත් ආණ්ඩුව ඒ සඳහා කොතරම් දුරට සමත් වෙත්දැයි අප නොදනිමු. එබැවින් ආණ්ඩුව තමන් වෙත ලැබී ඇති ජනවරමේ බැරෑරුම්කම සහ එහි පරිසරයට ඇළුම්කරන මිනිසුන්ගේ පංගුව තේරුම්ගෙන කටයුතු කරන්නට තමන් බලයට පත්වී සමරන මුල්ම පරිසර දිනයේදී හෝ අදිටන් කරගන්නේ නම් මැනවි.
No comments:
Post a Comment