Saturday, June 6, 2026

 "සුජීවා" ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

 


කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව අසන්නට ලැබුණේ ඉකුත් සිකුරාදා (24) ය. මාස කීපයක් රෝගාතුරව සිටි “සුජීවා” මෙසේ අකාලයේ මරණයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය, වනජීවීන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පමණක් නොව මුළුමහත් සමාජයේම හෘද සාක්ෂියද ප්‍රශ්න කරමිනි. එබැවින් ශ්‍රී ලංකාවේ සිදුවූ අහස පොළොව නුහුළන වනජීවී ජාවාරමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක නඩු භාණ්ඩයක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී මියගිය ඇයගේ අකල් මරණය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හෝ පරිපූර්ණ විමර්ශනයක් සිදුකර යම්කිසි වරදක් සිදුවී ඇත්නම් වැරදිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව අප අවධාරණය කරමු.

මෙම ඇතින්න මුලින්ම වනජීවී භාරයට පත්වන්නේ 2016 පෙබරවාරි මාසයේදී ය. ඒ අප ඉහත කී පරිදි ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ වෙළඳාම් කිරීම සම්බන්ධ නඩුවකට අදාළවය. එතැන් සිට වසර ගණනාවක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැඳවුම් මධ්‍යස්ථානයක වනජීවී අධීක්ෂණය යටතේ ඇය තබා ගන්නා ලදී. මෙම කාලය තුළ වැඩි වියට පැමිණ පැටවෙකු බිහි කළ ඇය සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවක් ඇති වුණේ 2021 වසරේදීය. එවක රජය විසින් 2021 අංක 01 දරන වන සත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග මැයෙන් කුප්‍රකට ගැසට් නිවේදනයක් නිකුත්කර (ගැසට් නිවේදන අංක 2241/41) මෙසේ වනජීවී භාරයේ සිටි නීති විරෝධී ලෙස වනයෙන් අල්ලගත් බවට චෝදනා එල්ලවූ අලින් නැවතත් චූදිතයන් වෙතම නිදහස් කිරීමට කටයුතු කළෝය. එසේ අලි පැටවුන් 14 දෙනෙකු නිදහස් කෙරුණු අතර සුජීවාට ද තම කිරි සප්පයා සමග එම ඉරණමම අත්වීමට නියමිත විය.

ආණ්ඩුවේ මෙම ක්‍රියාව එකල දැවැන්ත මහජන විරෝධයක් ඇති කළ අතර, එය අලි ජාවාරමට සහාය දැක්වීමේ අමානුෂික ක්‍රියාවක් ලෙස පුළුල්ව විවේචනයට ලක්විය. පරිසර ක්‍රියාකාරීන් විවිධ අරගල වල නිරතවූ අතර අධිකරණයේද පිහිට පැතීය. මීට අදාළ නඩුව (අංක B 23073/01/15) 2021 සැප්තැම්බර් 24 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා නිදහස් නොකරන ලෙස දැනුම්දුන් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයන්” මගින් මහේස්ත්‍රාත් අධිකරණය බැඳ නොතබන බවට කරුණු දක්වමින් “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා මුදාහැරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින ලදී”. එම ඉල්ලීම ම ඇතින්නට හිමිකම් පෑ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින්ද  සිදු කිරීම මගින් මෙම ජාවාරමේ ඇති සැබෑ බරපතලකම මොනවට නිරූපණය විය. එහෙත් එම ඉල්ලීම අභියෝගයට ලක්කරමින් කරුණු දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සුජීවා සහ පැටවා සැකකරුවන්ට භාර දීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබා ගන්නා ලදී. ඒ අනුව මෙම තරුණ මව සහ සිඟිති දියණිය වනජීවී භාරයේ දිගටම රඳවා තබා ගන්නා ලදී.

අපට දැන් නැගෙන බරපතල ප්‍රශ්නය නම් මෙම නිරෝගී ඇතින්නා රෝගාතුරව සැක සහිත ලෙස මිය ගියේ කෙසේද යන්නයි. ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ සමහර පාර්ශවයන් චෝදනා කරන්නේ ඇතින්න මාස ගණනාවක් තිස්සේ අසනීපව සිටි බවත්, වනජීවීය ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවත්ය. කෙසේ නමුත් වනජීවීය ඇයට ප්‍රතිකාර කිරීමට කිසියම් පියවරක් ගත්තත් නැතත්, මෙම මරණය සැක සහිත බව අප අවධාරණය කරමු. උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන එන අලි පැටවුන් සැළකියයුතු පිරිසක් අකාලයේ මරණයට පත්වන පසුබිමක සුජීවා එම අභියෝග සියල්ල ජය ගනිමින් වැඩි වියට පැමිණ, සාර්ථක ලෙස ගැබ් ගෙන, නිරෝගී දරුවෙකුද ප්‍රසූත කිරීමට තරම් නිරෝගී වූවාය. වනජීවීයට එවැනි නිරෝගී වැඩිහිටි සතෙකුවත් නිරෝගීව නඩත්තුකර ගැනීමට නොහැකි නම්, සහ වසර කිහිපයකට පසු එවැනි සතුන් කිසියම් හේතුවක් නිසා මිය යනවා නම්, ඒ සඳහා සාධාරණ හේතුවක් තිබිය යුතුය; එසේ නොමැති නම්, මෙය දෙපාර්තමේන්තුව තුළ ඇති පැහැදිලි දුර්වලතාවයක් පෙන්නුම් කරයි. අනෙක් අතට, මෙම මරණය නඩු භාණ්ඩ  තම සන්තකයේ තබා ගැනීමට සැකකරුවන් සිදුකරන ඉල්ලීම සාධාරණීකරණය කිරීමටද උපකාරී විය හැකිය. එබැවින්, සැකකරුවන්ට සම්බන්ධ පාර්ශවයක් හිතාමතාම ඇයට හානි කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් පැවරීමට උත්සාහ කිරීමේ අවදානමක් ද පවතී. අප මේ කතා කරන්නේ මෙම රැඳවුම් මධ්‍යස්ථානය පවත්වාගෙන් යාමට ප්‍රමාණවත් ඇත්ගොව්වන් පිරිසක් නොමැතිකමින් ඔවුන් බඳවා ගන්නා ලෙස වනජීවී පශුවෛද්‍ය අංශයෙන් දිගින් දිගටම සිදුකෙරුණු ඉල්ලීම් වනජීවී මුල්පුටු පයිසෙකටවත් ගණන් නොගැනීම වැනි කරුණුද මේ සමග බැඳී තිබීමට ඉඩ ඇති පසුබිමකය.

අනෙක් කාරණය නම් මේ මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු වතාව නොවීමය. මෙවැනිම අලි ජාවාරමක් සම්බන්ධව මහනුවර, ගණ්නෝරුවේදී වනජීවී භාරයට ගත් “සීවලී” නම් අලි පැටවාද කළකට පසු සැක සහිත ලෙස මිය ගියේය. වර්තමානයේ, එවැනිම තත්වයක සිටිනසන්දුල නමින් හඳුන්වන තවත් අලියෙකු බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින බවද වාර්තාවේ. එබැවින්, විනිවිද පෙනෙන සහ පරිපූර්ණ විමර්ශනයක් පැවැත්වීමට සහ යම් නීති විරෝධී ක්‍රියාවක් අනාවරණය වුවහොත් වගකිවයුතු අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. තවද, අලි ජාවාරම සම්බන්ධ මෙම නඩු කටයුතු සඳහා දැන්වත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු අතර, මෙම අමානුෂික ක්‍රියාව පිටුපස සිටින වගකිවයුතු පාර්ශවයන්ට තවදුරටත් ප්‍රමාධයකින් තොරව දැඩිව දඬුවම් කළ යුතුය. අපි මෙය ඉස්මතු කරන්නේ අපගේ අරගලයේ අරමුණ ශ්‍රී ලංකාව තුළ අලි ජාවාරම නැවැත්වීම පමණක් නොව, හැකි සෑම විටකම ජාවාරම් කරන ලද අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමද වන බැවිනි.

නීති විරෝධී වනජීවී වෙළඳාම ගෝලීය ජෛව විවිධත්වයට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස සැලකේ. ආසියාතික අලින්ට විවිධ සංස්කෘතීන් තුළ ආගමික හා අධ්‍යාත්මික සන්දර්භයන්හි හිමිව ඇති ආකර්ෂණය හේතුවෙන් විවිධ සංස්කෘතිකාංග වලට යොදා ගැනීම, මෙහෙකාර සතුන් ලෙස යොදාගැනීම සහ මෑතකාලීනව සංචාරක කර්මාන්තයට වැඩි වශයෙන් යොදාගැනීම හේතුවෙන්  ගෘහාශ්‍රිතකරණය කෙරුණු අලින්ට විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. නමුත් ගෘහාශ්‍රිත අලි අභිජනන වැඩසටහන් වලට අලි හිමියන්ගේ උනන්දුවක් නොමැති පසුබිමක මෙම ගෘහාශ්‍රිත අලි ගහනය පවත්වා ගැනීම සඳහා ආසියාතික අලින් වනාන්තරවලින් බොහෝ විට නීති විරෝධී ලෙස අල්ලා ගනු ලැබේ.

2008 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් අප ප්‍රථම වරට විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළෙමු. ඒ සඳහා නීති විරෝධී අලි වෙළඳාමේ සැකකරුවන්ට විරුද්ධව පවරනු ලැබූ නඩු වල නඩු වාර්තා වලින් දත්ත ලබාගැනුණු අතර, ඊට අමතරව තවත් විවිධ ලේඛනගත කරුණු සහ විවිධ පාර්ශවකරුවන් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා මගින් ද තොරතුරු රැස් කරන ලදී. අලින් නීති විරෝධී ලෙස වෙළඳාම් කළ බවට සැක කෙරෙන අවස්ථා 55 ක් එහිදී අපි ලේඛනගත කළෙමු. අල්ලා ගැනීමේ මෙහෙයුම් වලදී අලින්ගේ මරණ අනුපාතය ඉතා ඉහළ විය හැකි නිසා සහ මෙම ඉහළ සංවිධානාත්මක නීති විරෝධී වෙළඳාම පිළිබඳ දත්ත රැස් කිරීමේ අභියෝග නිසා මෙම සංඛ්‍යාවක බොහෝවිට අඩුතක්සේරු කිරීමක් විය හැකිය. අනෙකුත් සියලුම කාල පරිච්ඡේදවලට වඩා 2014-2015 දී සැලකිය යුතු ලෙස වැඩි අලින් ජාවාරම් ප්‍රමාණයක් අනාවරණය වී ඇත. සංරක්ෂිත ප්‍රදේශ සහ රජයේ වනාන්තරවලින් වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමේ සාක්ෂි අපට හමු විය. වඩාත් වැදගත් වන්නේ, වනජීවී නිලධාරීන් අතර දූෂණය, නීති විරෝධී වනජීවී වෙළඳාමට දේශපාලනඥයන් සහ අනෙකුත් ඉහළ පෙළේ පුද්ගලයින් සමග ඇති සම්බන්ධය සහ වනජීවී නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය කරගැනීමය. වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ දේශීය වෙළඳාම නැවැත්වීමට නම් මේවා ජයගත යුතු ප්‍රධාන අභියෝග වේ.

අපගේ අධ්‍යයනය මත පදනම්ව, අප විසින් 2020 වසරේ දී විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ද ප්‍රකාශයට පත් කළ අතර, මෙරට මෙන්ම ආසියාතික අලින් ජාවාරම සිදුවන අනෙකුත් රටවලද එම ජාවාරම අවම කිරීමට සහ මෙම සත්ත්ව විශේෂයේ සංරක්ෂණ කළමනාකරණය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් නිර්දේශ මාලාවක් ද ඉදිරිපත් කෙරුණි. මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට හා ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමේ අවශ්‍යතාවය අප එහිදී අවධාරණය කළෙමු. සැකකරුවන්ගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුය. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද අපගේ අදහසයි. උඩවලව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද අප යෝජනා කරමු.

තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා ඊට අදාළ අනපනත් සංශෝධන කඩිනමින් බලාත්මක කරන ලෙසද අප නිර්දේශ කරමු. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරමු. එබැවින් මෙම මොහොතේ හෝ එම නිර්දේශ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවන්නේ නම් සුජීවාට නැතත් ඇයගේ සගයන්ට හෝ එමගින් යුක්තිය ඉටුවනු ඇති.

Tuesday, March 3, 2026

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා පලක් වේද?


පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක් වචන අවභාවිතා කරමින් සකස් කර ඇති බව මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ‘මිහිකත’ පරිසර ප්‍රතිපත්තිය පෙරට දමා බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කම විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික සම්පත් අභියෝග රැසකට ඇද දමා ඇති වටපිටාවක අප අද දවසේ ‘ලෝක වනජීවී දිනය’ සමරන්නෙමු.

පරිසර පනතට පයින් ගැසීම

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තබා ආරම්භ කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කරමින් ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ආණ්ඩුව සංරක්ෂණ නීති තඹ සතයකට මායිම් නොකරන බවට ආසන්නතම උදාහරණයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කිසිඳු පාරිසරික අනුමැතියකින් තොර ව අක්කර 138 ක තෙත් බිම් පද්ධතියක් ගොඩ කරමින් නීති විරෝධී ව ඉදිකිරීම් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මගින් මීට දින කිහිපයකට පෙර තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව සැබෑය. නමුත් එමගින් ආණ්ඩුවේ සංරක්ෂණකාමීත්වය කිසිඳු ආකාරයකින් නිරූපණය නොවන අතර ආණ්ඩුව මේ වනවිට සිදුකරමින් සිටිනේ ජාතික පාරිසරික පනතට කොකා පෙන්වීම බව අප අවධාරණය කරමු.

මෙම දැවැන්ත ක්‍රීඩා නගරය ඉදි කිරීමට සැලැසුම් කර ඇත්තේ නේවාසික හා සංක්‍රමණික තෙත් බිම් ආශ්‍රිත පක්ෂි විශේෂවල විශාල ගහනයන් ගොදුරු බිම් ලෙස භාවිත කරන කඩොලාන, ලවණ වගුරු බිම් හා කිවුල්දිය වගුරුබිම් වලින් සමන්විත තෙත් බිම් පද්ධතියක බව සැඟවිය නොහැකිය. යෝජිත ඉදිකිරීම් මගින් එම තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් ම වැනසී යනවා පමණක් නොව ඒ මත යැපෙන යාපනය කලපුවේ සුළු පන්න ධීවර කර්මාන්තය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇති බවට දැනටමත් පරිසරවේදීන් අනතුරු අඟවා ඇත. එපමණක් නොව මෙම ක්‍රීඩා පිටි නඩත්තු කිරීම සඳහා අධික ජල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. වර්තමානයේ ද යාපනයේ ජනතාව ජල අර්බුදයන්ට මුහුණ දී ඇති පසුබිමක ක්‍රිකට් හා ගොල්ෆ් ක්‍රීඩා පිටි සඳහා වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් යාපනයේ ජනතාව ගේ ජල අර්බුද උග්‍රවී එම ජනතාව කබලෙන් ලිපට විසිවීම නොවැළක්විය හැකිය.

මෙවැනි තත්වයක් තුල මෙම ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දමා පාරිසරික බලපෑම් ඇගයීම් සිදුකරන බව පැවසීම වැනි ප්‍රෝඩාවන් මගින් මධ්‍යම පරිසර අධිකාරියම සිදුකරමින් සිටින්නේ නීතියේ ඇසට වැලි ගැසීම බව අප අවධාරණය කරමු. ජාතික පාරිසරික පනතේ නීතිමය ප්‍රතිපාදන මත සිදුකරන පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ මූලධර්ම වලට පවා පටහැනි ආකාරයෙන් ඊනියා පරිසර බලපෑම් ඇගයීම් සිදුකරමින් ආණ්ඩුව මේ රවටමින් සිටින්නේ කාවද යන පැනය අප විමසා සිටිමු.

මේ ආකාරයෙන් මෙරට සවිඥානික ජනයා ගොනාට අන්දමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා ගේ බලපෑම මත බව පෙනෙන්නට ඇති අතර එය රටේ ඉදිරි සංවර්ධන කටයුතුවල දී ද සිදු විය හැකි බරපතල වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ සඳහා විධායකයේ සහය ලැබීම පිළිබඳ ව අප උදක්ම කණගාටු වන්නේ නීතියේ ආධිපත්‍යය සුරකින රටක් නිර්මාණය කරන බවට ජනතාවට සහතික වූ අනුර කුමාර දිසානායක ජනපතිවරයා ගේ නියෝග මත මෙය සිදු වන නිසාය. එමගින් රටේ ස්වභාවික සම්පත්වල අනාගත ඉරණම පිළිබඳව අපට සංඥාවක් ලැබෙන නිසාය.

වනජීවීන් සහ සංරක්ෂණ වෘත්තිකයින් වහ කදුරු වීම

ආණ්ඩුව මෙරට වනජීවීන් සහ සංරක්ෂණ වෘත්තිකයින් කෙරෙහි ද්වේශය මුදා හැරීම ආරම්භ කළේ බලයට පැමිණි මුල් අවධියේ සිටමය. 2024 දෙසැම්බර් 5 වන දින අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගොවීන්ට තම ඉඩම් වලදී බෝග වලට හානි කරන වන සතුන්ට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට නිදහස ඇති බවය. එවැනි වාචාල කතා රජයේ සංරක්ෂණ න්‍යාය පත්‍රය පිළිබඳව මුල සිටම සැකයක් මතුකළා පමණක් නොව, නීති විරෝධී ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කරමින් වනජීවීන් කෙරෙහි ද්වේශය උද්දීපනය කළේය.

2025 අගෝස්තු 4 වන දින, ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රසිද්ධියේ තර්ජනය කළේ මිරිදිය ධීවර කටයුතුවලට බාධා කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘නරක ළමුන්’ ට දඬුවම් කළ යුතු බවයි. එවැනි දඬුවමක් ‘ගස් බැඳ පහරදීමක’ ස්වරූපයක් ගත හැකි බවට යෝජනා කරන තරමට එය දුරදිග ගියේය. එවැනි ප්‍රකාශ නීත්‍යානුකූලව නියම කර ඇති ආයතනයක අධිකාරිය අඩපණ කරන අතර සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය භයානක ලෙස දිරිමත් කරයි.

හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතාට අත්වූ ඉරණම ද අපට මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. 2025 සැප්තැම්බර් නමවැනිදා ඔහු අනීතිකව ස්ථානමාරු කිරීමේ ලිපිය නිකුත් වන්නේ ඔහු විසින් නඩු පැවරූ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ අනවසර පදිංචිකරුවන් අතර ආණ්ඩුවේ හෙන්චයියෙකුද සිටීම නිසා බව මේ වන විට රහසක් නොවේ.

අලි-මිනිස් ගින්නට පිදුරු

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණේ 2020 වසරේදීය. එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික සාධනීය, සමෝදානිත හා සාකල්‍ය විද්‍යාත්මක ප්‍රවේශයකි.

නමුත් වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග ඊට පයින් ගසමින්, අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමේ අසාර්ථක, අවිද්‍යාත්මක හා යල්පැන ගිය අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ප්‍රවේශය තෝරා ගැනුනි. ඉන් පසු ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම සඳහා ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මීට අදාළ වැඩිදුර උපදෙස් ඇතුලත් අංක PS/DASA/Circular/5/2025 දරන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් 2025 ජූලි හත්වැනි දින නිකුත් විය.

එමගින් දන්වා තිබුණේ අදාළ දිස්ත්‍රික් කමිටු පිහිටුවා ගැටුම් අවම කිරීමට අවශ්‍ය දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් (Action Plan) සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් (Implimentation Plan) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවන ලෙසය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රවේශය බැලූ බැල්මට සාධනීය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් ඩ්‍රෝන යානා මගින් වනාන්තර වල බඩඉරිඟු හා වී ඉසීම, වන හා වනජීවී රක්ෂිත තුල අඹ-කෙසෙල්-කොස්-මඤ්ඤොක්කා-උක් වැවීම, හා අලි ඇතුන් අපනයනය වැනි ක්‍රියාමාර්ග ඇතුලත් ඉතා ‘සබුද්ධික’ දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව දැනගන්න ලැබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පදනම බිඳ දැමීම

ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවකට වඩා වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. එම භූමි තුළ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ දිවයිනම සහ ඒ අවට සමුද්‍ර කලාපයද ඇතුලත් වපසරිය තුළ වනජීවීන් හා ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හිමිව ඇත්තේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සහ ඒ යටතේ සකස් කෙරුණු රෙගුලාසි යටතේය. නමුත් එම පනත බලාත්මක කළ හැකි නිලධාරීන් දැනට සේවයේ නියුතුව සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණි. බොහෝ කලකින් යාවත්කාලීන කර නැති එනයින්ම කොහෙත්ම ප්‍රමාණවත් නැති අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට හතළිහකට වඩා පුරප්පාඩුවී ඇති බව රහසක් නොවේ. වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු එම පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගැනුනු බව සැබෑය. නමුත් ඒ මෙම අවධානම් වෘත්තියට උර දීමට තිබූ ආකර්ෂණය සිතා මතා හෝ එසේ නොමැතිව හීන කර බව අප අවධාරණය කරමු.

පුරප්පාඩු පුරවා මෙරට වනජීවී ආරක්ෂණය ශක්තිමත් කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට කම්කරුවන්ගෙන් පිරවීමය. වනජීවී අපරාධකරුවන්ගේ සාක්කුවට නොවැටී සහ කොන්ත්‍රාත්කරුවෙකු නොවී මෙතෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංකව රාජකාරි ඉටුකළ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව ආකර්ශණීය තැනක් වීමට තිබූ එක් හේතුවක් වන්නේ වාර්ෂික දිරි දීමනාවයි (අවංක නිලධාරීන් තම දිවි දෙවැනි කොට වනජීවීන් රකින්නට කැපවුණේ දිරි දීමනාව ලබාගැනීම සඳහා බව මෙයින් කිසි විටෙකෙත් අදහස් නොවේ). නමුත් මෙසේ එකවර දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්යමණ්ඩලය කිහිප ගුණයකින් ඉහළ යාමෙන් එක් නිලධාරියෙකුට වසරකට වරක් ලැබෙන එම දීමනාව සොච්චමක් බවට පත්වේ. එමගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පනත බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන් අලුතෙන් බඳවාගැනීමේදී මෙන්ම වර්තමාන නිලධාරීන් ප්‍රමාණය දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමේදී බරපතල ගැටළු ඇති විය හැකි බව අප අවධාරණය කළේ මීට කලකට පෙරය. පසුගිය දිනවල අයදුම්පත් කැඳවූ තනතුරු වලට ලැබුණු අඩු ප්‍රතිචාරය මගින් අපගේ අනාවැකිය මේ වන විට සැබෑවී ඇති බව අප සිතමු.

එසේම ප්‍රායෝගික නොවන ශ්‍රේණි ක්‍රමයක් යොදා ගනිමින් නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ එක් තනතුරක පල් කරවමින් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායකයාගේ සිට ඉහළට ඇති සේවක ධුරාවලියේ ඉහළට නැගීමට ඔවුන්ට ඇති අවස්ථා හීන කිරීමටද වනජීවී සංරක්ෂණයේ ඉහළ පුටු කලක සිට ඉතා සූක්ෂම ලෙස කටයුතු කර තිබේ. එබැවින් මෙම විශාල කම්කරුවන් පිරිසක් එකවර බඳවාගැනීම, නිසි වැටුප් තල වල නොපිහිටුවීම, දීමනා ගැටළු වැනි ප්‍රශ්න රැසක් හමුවේ තවමත් වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවන නිලධාරීන් අතලොස්සද තවදුරටත් අධෛර්යමත් කිරීමට එකී ලොක්කන් ඇටවූ උගුලක්ද යන්නද විමසිය යුතුය.

ලුණුගම්වෙහෙරේ සැමරුම් දින සංදර්ශන

ඉහත සඳහන් කලේ මෑත කාලීනව කරළියට පැමිණි පරිසර ගැටලුවලින් කීපයක් පමණි. නමුත් ඒ කිසිවකින් ආණ්ඩුවේ ඊනියා සංරක්ෂණ සංදර්ශනවලට අබ මල් රේණුවක තරම් හෝ බලපෑමක් සිදුවී නැති බව අප දනිමු. එනයින්ම මෙවර ලෝක වනජීවී දිනය සැමරීමේ ජාතික උත්සවයද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේදී මහා ඉහළින් සැමරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නමුත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේදීම වනජීවී අපරාධ මඩින්නට ගොස්, තම දිවි නොතකා දඩයක්කරුවන් සමග සටන් වැදි එච්. කේ. සම්පත්, පී. චමින්ද ලක්මාල් සහ එච්. ජී. කේ.  රසාංග ගුණසේන යන නිලධාරීන් තිදෙනා එහිදී සිහිපත්වනු ඇත්දැයි කීමට අප නොදනිමු. සිව් මසකට වැඩි කාලයක් (වනජීවී රාජකාරි වෙනුවෙන් වැඩිම කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ නිලධාරීන් පිරිස මොවුන් බව සැළකේ) රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විටද ඇප මත උසාවි පොලීසි ගානේ රස්තියාදු වීමට සිදුවී ඇති එම නිලධාරීන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් අද දවසේ හෝ අදිටන් කරගන්නවා නම් මැනවි.

අපගේ සංරක්ෂණ උරුමය ගොඩනැගී ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදී තම ජීවිත පරිත්‍යාග කළ වනජීවී නිලධාරීන් ඇතුළු අසංඛ්‍යාත පුද්ගලයින්ගේ කැපවීම සහ පරිත්‍යාග හරහා වන අතර, නොසැලකිලිමත් වාචාල කතා හෝ අදූරදර්ශී ප්‍රතිපත්ති මගින් එය ඛාදනය නොවිය යුතු බව අප අවධාරණය කරමු. අවශ්‍ය වන්නේ සංරක්ෂණ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන, එය ක්‍රියාත්මක කරන වෘත්තිකයින් ආරක්ෂා කරන සහ අපගේ පාරිසරික ආයතන දුර්වල නොකරන - ශක්තිමත් කරන නායකත්වයකි. ආණ්ඩුව වනජීවී සංරක්ෂණය සහ සංරක්ෂණ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ඇති කැපවීම නැවත තහවුරු කළ යුතුය. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර, වනජීවී නිලධාරීන්ගේ අධිකාරිය නැවත තහවුරු කරමින් හා සංරක්ෂණයට අහිතකර ක්‍රියාමාර්ග අධෛර්යමත් කරමින් පැහැදිලි පණිවිඩයක් ජනතාවට ලබාදිය යුතුය. ඒ සමඟම, ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය විද්‍යාව මත පදනම් විය යුතු අතර, පාරිසරික සංවේදී ප්‍රදේශ තවදුරටත් ආක්‍රමණය කිරීම වෙනුවට තිරසාරත්වය තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අප ඉදිරියේ ඇති තේරීම පැහැදිලිය: අපගේ ඉදිරිපෙළ ආරක්ෂකයින් සහ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීම, නැතහොත් අවනීතිය, පාරිසරික බිඳවැටීම සහ  වනජීවීන් අහිමි වූ අනාගතයකට මග පෑදීම ය.

Monday, February 23, 2026

වනසතුන් වෙනුවෙන් අභයභූමි තනාදී පඩි පතත් අහිමි කරගත් වනජීවී අඩවි ආරක්ෂකයා 

දිවයිනේ වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් විය. කුමන බාධක පැමිණියත් එය සිදු කරන බව ආණ්ඩුවේ ඇමතිවරු එකල පාරම්බෑවෝය. නමුත් ඒ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නට වැඩි කලක් ගතවුණේ නැත. ඒ හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුට ආණ්ඩුවේ දේශපාලඥයින්ගෙන් එල්ලවූ කෙනෙහිළිකම්  පිළිබඳව වාර්තා පළවීමත් සමගය. ඔහු විසින් සන්තකය පවරා ගැනීමට පැවරූ නඩු සියල්ලම මේ වන විට වන සතුනට ජයග්‍රහණය හිමිවන පරිද්දෙන් අවසන් වී ඇත. නමුත්  එම විප්ලවීය කාර්යභාරයක් ඉටුකළ වරදට අත්තනෝමතික, අසාධාරණ හා අනීතික ස්ථාන මාරුවකට ලක් කෙරුණු වනජීවී සංරක්ෂණ නිලධාරියාට මේ වන විට චෝදනා පත්‍රයක සිර කර වාර්ෂික වැටුප් වර්ධකය පවා අහිමිකර තිබීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතු කරමින් මෙසේ අසාධාරණයට ලක්වූ නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතා පිළිබඳව අප මුලින්ම කරුණු අනාවරණය කළේ ඉකුත් වසරේ ජූනි මස අගදී ය. නමුත් ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් 2025 සැප්තැම්බර් නමවැනි දාතමින් ඔහු අනීතිකව ස්ථානමාරු කිරීමේ ලිපිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් විය. ඒ පරිසර අමාත්‍යාංශය මගින් සිදුකරන ලද අංක ENV/INV/02/03/DWC/25/03 හා 2025. 08. 25 දිනැති මූලික විමර්ශන වාර්තාව පදනම් කරගනිමිනි. අපගේ මාතෘ භූමියේ වනජීවී සංරක්ෂණයේ අඳුරු දිනයක් සනිටුහන් කරමින් ඔහුව අනීතික හා දේශපාලනික ස්ථානමාරුවකට යටත්කර කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙත අනුයුක්ත කර තිබුණි.

මෙම ස්ථානමාරුවට එකම හේතුව මෙම අඩවි ආරක්ෂකවරයා විසින් සන්තකය පවරා ගැනීම සඳහා නඩු පැවරූ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ අනවසර ඉඩම් අතර ආණ්ඩුවේ හෙන්චයියෙකුගේ ඉඩමක්ද තිබීම බව මේ වන විට රහසක් නොවේ. එනයින් ආණ්ඩුවේ ප්‍රභලයැයි කියාගන්නා දේශපාළුවන් කිහිප දෙනෙක්ම චතුරට එරෙහිව ප්‍රසිද්ධියේ අවි එසැවීය. විවිධ අභූත චෝදනා එල්ල කරමින්, ඔහු කෙරෙහි ජනතාව කුපිත කරමින් ඔවුන් හැසිරුණු ආකාර සදාචාරවත් සමාජයකට නම් ඉතා අපුලය. එමගින් මෙම වනජීවී නිලධාරියාගේ ගමන මදකින් හෝ අඩාල කිරීමට නොහැකි වූ තැන ඔහුට එරෙහිව “ආණ්ඩු විරෝධී ක්‍රියා” සිදුකරන බව පවසමින් පෙත්සම් ගැසීමට ජාතික ජන බලවේගයේම පිරිස් කිසිම විලි බියකින් තොරව කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණයවී අවසන් ය. ඔහුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි කටයුතු කර ඇත්තේ ගොවි සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් බව කියන පුද්ගලයින් අට දෙනෙකු විසින් ඒවා ඇති දිනයක් පවා නොමැති පෙත්සමක් පාදක කරගනිමිනි. ඊට අමතරව මෙම අවංක සහ අභීත වනජීවී නිලධාරියාට “ආණ්ඩු විරෝධී” ලේබලය අලවමින් පෙත්සම් ගසන්නේ ජාතික ජන බලවේගය බලය හොබවන පොල්පිතිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ පහළොස් දෙනාය.

කුමන මඩ ප්‍රචාර, කෙනෙහිලිකම් සිදුකළද ස්ථාන මාරු කලද එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතු කරමින් නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතා විසින් හක්වටුණාව වැව් රක්ෂිතය අනවසරයෙන් අත්පත් කරගෙන සිටි පුද්ගලයින්ට එරෙහිව මහව සහ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩු තිහක් මේ වන විට විභාග කර අවසන් කර ඇත. එමගින් අභයභූමියට ඈඳාගෙන ඇති භූමි ප්‍රමාණය අක්කර හැටකට වැඩිය. ඔහුගේ මෙම උත්සාහයෙන් සහනයක් සැලසුනේ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ දිවි ගෙවන අලි ඇතුන් ඇතුළු සුවහසක් වනජීවීන්ට පමණක් නොවේ. අලි-මිනිස් ගැටුමෙන් බැට කන අවට ප්‍රදේශ ගණනාවක ජනතාවට ද එමගින් අස්වැසිල්ලක් ලැබෙනු ඇත. නමුත් එවැනි සංරක්ෂණ ප්‍රවේශයන්ගේ විද්‍යාත්මක පදනම “පන්දාහක් බැරිනම් දහදාහක්” කියමින් අතීසාරයට අමුඩ ගසන්නට තතනන ආණ්ඩුවේ ඔලමොළ දේශපාලඥයින්ට වැටහෙනවාද යන්න ගැටළු සහගතය.

වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නගේ මෙම “ආණ්ඩු විරෝධී” රාජකාරී රටාව අද ඊයේ ඇතිවූවක් නොවේ. ඔහු වනජීවී සංරක්ෂණ සේවයට බැදුණේ 2012 ජුනි 7 වන දිනය. එතැන් සිට තමන් සේවය කළ කවුඩුල්ලමඩුකිලිනොච්චියඋල්හිටිය සහ ගම්පහ යන සියලුම සේවා ස්ථාන වලදී ඔහු දිවි දෙවැනිකොට රාජකාරි ඉටු කිරීමට කැපවූ බව නොරහසකි. මුල් පත්වීම ලැබ කවුඩුල්ල ජාතික උද්‍යානයේ සේවයට ගිය දින සිටම ඔහුගෙන් වනජීවී අපරාධකරුවන්ට කිසිඳු සමාවක් හිමි නොවීය. එහිදී ඔහු විවිධ වනජීවී අපරාධකරුවන් සිය ගණනක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය. සෑමවිටම නෛතික රාමුව තුළ පිහිටා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ ඔහු මාස තුනක පමණ කාලයක් තාවකාලිකව වැඩබලන උද්‍යාන භාරකරු වශයෙන්ද කටයුතුකළ අතර එම කෙටි කාලසීමාව තුළ ජාතික උද්‍යානයේ විනය පවත්වාගෙන ගිය ආකාරය අදටත් හබරණ ප්‍රදේශයේ ජීප්රථ රියැදුරන්ගේ මතකයේ රැඳී ඇතිවාට සැක නැත.

ඔහු කිළිනොච්චි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කල සමයේ සම්පූරණ සේවා කාලය දින 450 ක් තුළ වනජීවී අපරාධ සම්බන්ධයෙන් පැවරූ නඩු ගණන 324 කි. වව්නිකුලම් අභය භූමියචුණ්ඩිකුලම් ජාතික උද්‍යානයනාගර්කෝවිල් ස්වභාව රක්ෂිතය හා වැලි ඔය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඔහු ඇතුළු කාර්යමණ්ඩලය සිදුකරන ලද අති සාර්ථක වැටළීම් පිළිබඳව අදටත් එම ප්‍රදේශයේ ජනතාව කතා කරන්නේ ප්‍රශංසාමුඛයෙනි. නමුත් එතැනින් හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබා පැමිණෙන චතුරගේ රාජකාරී දිවියට අශුභ කලදසාවක් උදා වන්නේ ‘පුනරුද යුගය’ එළඹීමත් සමග වීම දෛවයේ සරදමක් වැනිය.

මෙරට සුවහසක් ජනතාව බලාපොරොත්තු දක්වාගත් ජනාධිපති අනුර කුමාර දිසානායකම පැවසූ ‘මේ ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමේ ජාතික පුනරුද යුගයේ’ දී චතුර වැනි අවංක සහ අභීත වනජීවී සංරක්ෂණ නිලධාරීන් කාර්යාල අඩස්සියට පත්වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව තුළද ඉහත කී ‘ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ල’ ක්‍රියාත්මක වීම නිසා බව දැන් පැහැදිළිය.

විවිධ දේශපාලන වේදිකා වලදී ඔහු පැවරූ නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ම ඉදිරිපත්කළ අසත්‍ය ප්‍රචාර, ඔහුට එරෙහිව ජනගත කළ වැරදි තොරතුරු පසෙකලා මෙම ලිපිය ලියන මොහොත වන විට ඔහු සන්තකය ආපසු පවරාගැනීමේ දැන්වීම් යැවූ සෑම නඩුකරයකම තීන්දු මහේස්ත්‍රාත් අධිකරණ මගින් ලබාදී ඇත්තේ වනසතුන්ගේ යහපත පිණිස විනා බොරුවම වැපිරූ දේශපාලන තක්කඩියන්ගේ හිතසුව පිණිස නොවේ. එලෙසම ඔහුගේ වසර දෙකක පමණ හේරත්ගම සේවා කාලය තුළ පමණක් ඔහු විවිධ වනජීවී අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා රජයට අයකරදී ඇති දඩ මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ අනූපහ ඉක්මවයි.

නමුත් අද වන විට ඔහු මූලික විමර්ශනයකට යටත්ව ස්ථාන මාරු සිදුකර වාර්ෂික වැටුප් වර්ධක පවා අහිමි කර මෙතෙක් කිසිඳු විධිමත් විමර්ශනයක් සිදු නොකර කුරුණෑගල සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ අඩස්සියට පත්කර තිබීම ජාතියේ අවාසනාවකි. එසේ සිදුකර ඇත්තේ ඔහුට එරෙහිව සිදුකළ මූලික විමර්ශනයේදී පවා ඔහු “ගෙන ඇති ක්‍රියාමාර්ග පවතින නීතියට පටහැනි නොවන බව” අනාවරණයවී ඇති පසුබිමකය. ඔහු ඇතැම් පුද්ගලයන්ට “වෙනස්කොට සලකා ඇති බව” පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති විමර්ශන වාර්තාවේ සඳහන් වුවත්, එසේ සඳහන් කර ඇත්තේ හක්වටුණාව ජලාශයේ උපරිම ජල සීමාව පවා අතික්‍රමණය කරමින් අනවසරයෙන් ඉඩම් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් නොවේද යන්න ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ. ඒ අනුව එක් පසෙකින් නීතිඥ චතුර ගුණරත්න වැනි අභීත සහ කාර්යශූර නිලධාරීන් වනජීවී අපරාධකරුවන් හමුවේ දන ගස්වා අනෙක් පසින් ආණ්ඩුව පෙන්වන ඊනියා පරිසර සංදර්ශන පමණක් නොව නීතියේ සහ විධානයේ ආධිපත්‍ය පිළිබඳ දෙසන වහසි බස් ද කවුරුන් රවටනු පිණිසදැයි විමසිය යුතුය.