Saturday, May 19, 2018

අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි !

(Endangered Species Day: 18 May)


අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදට යෙදී තිබේ. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද නොයෙකුත් අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීමේ දොරකඩට පැමිණ ඇති අහිංසක අසරණ වනජීවී විශේෂ ප්‍රමාණය දස දහස් ගණනකි. වාසභූමි අහිමිවීම හෝ ඛණ්ඩනය වීම, වනජීවී ජාවාරම, දේශගුණ විපර්යාසය වැනි මානව බලපෑමෙන් ඇතිවූ නොයෙකුත් සෘජු හා වක්‍ර හේතු නිසා මෙසේ වනජීවීන් වඳවීමේ තර්ජනයට මුහුණපා සිටිති.
මේ පොළෝ තලය මත මිනිස් ප්‍රාණියා බිහිවීමට පෙර සිට ජීවත්වූ සුවහසක් වනජීවී විශේෂ මිහිපිටින් අතුගා දමමින් මිනිසා නම් සොබාදහමේ නොහික්මුණු පුත්‍රයා පෘථිවි තලය මත බලවත්වූ දා සිට තවමත් එකී කාලකන්ණිකම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඇත්දළ, අලි හම් ඈ කොටස් ලබාගැනීම සඳහා ලේ විල් මැද ඝාතනය කරන අලි ඇතුන්ගේ සිට කුඩා කෘමි සතුන් දක්වා සෑම තරාතිරමකම වනජීවීන් මේ මොහොතේද මිනිසාගේ කෑදරකමේ ගොදුරක් බවට පත්වෙමින් සිටී.
මෙම තත්වය වැලැක්වීම සඳහා සොබාදහමේ සැබෑ දූ පුතුන් අතලොස්සක් නොයෙක් වීරිය කෙරුවද තවමත් බොහෝ තැන් වල සැහැසිකම් සිදුවෙමින් පවතී. ජෛවවිවිධත්වය අතින් ලොව ඉහළින්ම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපටද අපගෙන් සුමුගෙන යාමට සැරසෙන අසරණ වන සත්ව විශේෂ රැකගැනීම සඳහා වගකීමක් හා යුතුකමක් ඇත. විල්පත්තුව, දුම්බර වැනි සුවිශේෂී වනජීවී වාසභූමි තක්කඩි දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය යොදා උලාකමින් සිටින මොහොතක මෙවර “අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය !” අපේ රටටද ඉතා තීරණාත්මක බව අප සිතමු.
පරිසරය රකින බවට ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් ආණ්ඩුව වැටත් නියරත් ගොයම් කන්නා සේ රටේ ස්වභාවික සම්පත් උලා කද්දී ඒ අමාරුව කියන්නට කෙනෙක් නැති සෙයක් හැගේ. නමුත් මේ පොළොවේ ජීවත්වන සියළුම ජීවී විශේෂ වලට තම ජීවිත පවත්වාගෙන යාම සඳහා සමාන අයිතිවාසිකමක් ඇති බව අප අවධාරණය කරමු. එසේම ඒ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනීසිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවන බව බලධාරීන්ට අවධාරණය කරමු !!!

මීට ශ්‍රී ලංකා ජෛවවිවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය

Thursday, December 21, 2017


අලි - මිනිස් ගැටුම් ‘පාලනය’ වෙනුවට ‘ප්‍රවර්ධනය’ 
කාගේ උවමනාවක්ද ?

චන්ඩි පසුගියදා හොරොව්පතාන එළිමහන සිර කඳවුර වෙත රැගෙන යාම සඳහා ලොරියකට පටවන ආකාරය

මෙරට අලි ඇතුන් සම්බන්ධයෙන් කලක සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ සතුටුදායක පුවත් නොවේ. ගල්ගමුවේ දළ පූට්ටුවා සහ තවත් දළ ඇතුන් හා වන අලින් ගණනාවක් ඝාතනයවූ පුවත් පසුගිය ඉතා කෙටි කාලසීමාව පුරවාටද වාර්තාවුනේ එහි ප්‍රතිපලයක් වශයෙනි. ඒ මතුද නොව වන අලි වාසභූමි අවට දිවි ගෙවූ අසරණ ගැමියන්ගේ ජීවිත හා දෙපොළ වන අලින් අතින් විනාශවීම පිළිබඳව නැගෙන චෝදනාද අඩුවක් නැත. මෙවැනි තත්වයක් තුල ආණ්ඩුව විසින් අලි - මිනිස් ගැටුම පාලනය සඳහා ක්‍රියාවට නගනු ලබන කෙටි - මාධ්‍ය හා දීර්ඝකාලීන විසඳුම් යෝජනා පිළිබඳව සියල්ලෝම විමසති. නමුත් ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාවට නැගෙන බොහෝ අමනෝඥ තීරණ අලි - මිනිස් ගැටුම් ‘පාලනය’ වෙනුවට ‘ප්‍රවර්ධනය’ කිරීමට ඉවහල්වන බව කණගාටුවන් නමුත් ප්‍රකාශකිරීමට සිදුවේ. එහි ආසන්නතම සිදුවීම වශයෙන් රටක් හැඬවමින් ඝාතනයට ලක්වූ අන්ධ ඇත් රජු උපන් බිමේම උපන් ගල්ගමුවේ තනි දළයා හෙවත් ‘චන්ඩි’ තුන්වෙනි වරටත් උගේ පාරම්පරික වාසභූමියෙන් අල්ලා හිරකරුවෙකු බවට පත්කිරීම  හැඳින්විය හැකිය.

පසුගිය කාලය පුරාවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකලේ මිනිස් ජීවිත හා දේපොළවලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් තමන් වෙසෙන වාස භූමිවලින් නිර්වින්දනය කර අල්ලා බැඳ දමා ලොරියක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් එම සතුන්ගේ පාරම්පරික වාසභූමියෙන් ඉවත් කර වඩාත් දුරබැහැර ආගන්තුක පරිසරයක පිහිටි වනජීවී රක්ෂිතයකට පිටමං කිරීම ය. එය හඳුන්වන්නේ පරිස්ථාපනය (Translocation) ලෙස ය. මේ ආකාරයෙන් පරිස්ථාපනයට ලක් කරන ලද අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පැලැඳවීම මඟින් අධ්‍යයනය කිරීමට දෙස් විදෙස් ප්‍රකට වනජීවී විද්වතෙකු වන සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබූහ. එම දත්ත මගින් මේ පරිස්ථාපන ක්‍රියාවලියේ අසාර්ථක බව මොනවට පැහැදිලිවූ බැවින්දෝ මේ වනවිට මෙසේ වන අලින් පරිස්ථාපනය කිරීම වෙනුවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන්නේ එම අලි - මිනිස් ගැටුමට දායකවන බවට චෝදනා ලබන අලින් අල්ලා හොරොව්පතාන ප්‍රදේශයේ ඉදිකර ඇති ‘අලි රැඳවුම් මධ්‍යස්ථානය’ නමින් හඳුන්වන එළිමහන් සිර කඳවුරට ගාල් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමය. නමුත් කණගාටුවට කරුණ නම් අලි ඇතුන් පරිස්ථාපනය මෙන්ම අලි රැඳවුම් මධ්‍යස්ථානයද අලි මිනිස් ගැටුම පාලනය වෙනුවට ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකිරීමයි.

වර්ග කිලෝමීටර් දහයක පමණ කුඩා භූමි ප්‍රමාණයක් වන අලින්ට පැන යාමට නොහැකි බව කියන භෞතික බාධක වලින් ආවරණය කර සකස්කර ඇති මෙය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එළිමහන් හස්ති සිර කඳවුරක් බව කීම වරදක් නොවේ. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් පනහක පමණ ප්‍රදේශයක සංචාරය කරමින් ජීවත්වන වනගත පිරිමි අලින් මද කිපෙන සමයේදී වර්ග කිලෝමීටර් හයසියයක (600 km2) පමණ පුළුල් ප්‍රදේශයක ගමන් කරයි. එවැනි හැසිරීමක් සහිත අලින් මෙවැනි පටු බිම් කඩකට කොටුකර තැබීම සැබවින්ම සිරගතකර තැබීමක් බව නොකිව මනාය. සිර කරනු ලබන වන අලින්ට ආහාර පිටතින් ලබා දීමට මුලදී තීරණය කෙරුණද මේ වනවිට අලි සිරකරුවන්ට එවැනි ආහාර සපයීමක්ද නොමැති අතර උන්ට සිදුවී ඇත්තේ සිර කඳවුරු භූමියේ ඇති දෙයකින් සෑහීමකට පත්වීමටය. දරාගත නොහැකි කුසගින්න හා මානසික ආතතියෙන් බැට කන මෙම අසරණ අලි ඇතුන්ට ඇති එකම විකල්පය වන්නේ කඳවුර බිඳගෙන පලායාම වුවත් ඒ සඳහා දරන සෑම උත්සාහයක්ම වෙඩි උණ්ඩ මගින් ව්‍යර්ථකරණ බව දැනගන්නට ලැබී තිබේ. එසේම අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගාල් කරන අලි ඇතුන්ගේ හැසිරීම් රටාවන් අධ්‍යනය කිරීමට, සෞඛ්‍ය හා ශුභසාධන තත්වය සොයා බැලීමට ආදී කිසිඳු සාධනීය ප්‍රවේශයකට මෙහිදී අවධානය යොමුකර නොමැති අතර ඒ සඳහා අඩු තරමින් සැලසුමක් හෝ නොමැති බව අප අවධානය කල යුතුය. ඕනෑම දෙයකට දරාගත හැකි උපරිම ධාරිතාවයක් ඇතත් බලධාරීන් මෙම අලි සිරගෙදරට එවැනි උපරිම ධාරිතාවයක්වත් නිර්ණයකර ඇති බවක් පෙනෙන්නට නැත. ඒ මන්ද යත් සිර කඳවුරේ ගාල් කර ඇති අලින් සංඛයාව පිළිබඳව වනජීවීය සතුව පිළිගතහැකි සංඛ්‍යාලේඛන හෝ වාර්තා නොමැති බැවිණි. එවැනි අවාසනාවන්ත තත්වයක් තුල අලි ගාලේ සිටින සතුන් මිය යද්දී (මේ වනවිට මෙම සිර කඳවුරේ ගාල් කෙරුණු අලි පස්දෙනෙකු පමණ විවිධ හේතු නිසා අකාලයේ මරණය පත්වී ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැනගැනීමට ලැබී ඇත) බලධාරීන් සිදුකරන්නේ අලි - මිනිස් ගැටුමට දායකවන අවට චෝදනා ලබන අලින් තව තවත් අල්ලා සිරගත කිරීමය. එසේම මහජන මුදල් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති සඳහා කාබාසිනියා කරන බලධාරීන් ඒවායේ අසාර්ථකබව පිළිබදව තොරතුරු ජනතාවට වසන් කිරීමද ජුගුප්සාජනකය.

අලි ඇතුන් පරිස්ථාපනය මෙන්ම අලි රැඳවුම් මධ්‍යස්ථානයද අලි මිනිස් ගැටුම පාලනය වෙනුවට ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන බව අප අවධාරණය කරන්නේ එමගින් සිදුවන්නේ මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එළ්ලවන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම නිසා ඉදිරියේදී අලි - මිනිස් ගැටුම තව තවත් ඔඩුදුවන බැවිණි. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්කෝ ගාලෙන් පැන යාම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත්වීම බව නොකිවමනාය. ගාලෙන් පැනගෙන තම මුල් වාසභූමිය වෙත අලියාට පැමිණිය හැකිවුවහොත් එම සත්වයා පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කිරීමට පසුබට නොවේ. එමගින් සිදුවන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වීම නොවේද? එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන්කරන අතර තුර පසුකරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමග ජීවත්වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මෙම අලින් ගමන්කරන අවස්ථාවල එම ජනතාවගේ ජීවිත බරපතල අවධානමකට ඇද වැටේ. එසේම මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මියයාම හෝ සදාකාලික සිරකරුවන් බවට පත්වීම මගින් එම සතුන්ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇනහිටී. එය සිරිලක හස්ති පරපුරේ ප්‍රවේණික ශක්තිය හීනවීමට හේතුවේ.

අපගේ කතා නායකයා වන චන්ඩි ද මෙම අලි පාලන ක්‍රමවේදයේ අසාර්ථකබව කියා පෑමට කදිම සාක්ෂියකි. මේ වනවිට අවස්ථා තුනකදී මෙම සත්වයා පරිස්ථාපනයන්ට ලක්කරනු ලැබ ඇති අතර එම සියළු උත්සාහයන් අසාර්ථක විය. ප්‍රථමයෙන් 2009 පෙබරවාරි 16 දින තම පාරම්පරික වාසභූමියෙන් අල්ලා සෝමාවතී ජාතික උද්‍යානය වෙත පරිස්ථාපනය කරන ලද මෙම හස්තියා ඉන් දින 28ක් ගතවනවිට කිලෝමීටර් 243ක් දුර ගෙවා තම නිජබිම වෙත පැමිණියේය. ඒ ගල්ගමුවට වඩා ඉතා හොඳ පරිසර තත්වයක් සහිත වන අලින් සඳහා ඉතා හිතකර පරිසරයක්  සෝමාවතී ජාතික උද්‍යානයේ තිබියදීය. ඉන්පසු නැවත වරක්  2015 වසරේදී මෙම හස්තියා අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙනගොස් දැමීමට බලධාරීන් කටයුතු කළෝය. එවර තනි දළයා නැවත ගල්ගමුව සොයා පැමිණියේ අලින්ට පවා බිඳ දැමිය නොහැකි යැයි උදම් ඇනූ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ පවුරු පදනම් තඹ සතයකටවත් මායිම් නොකරය. එසේ තිබියදී අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන බව කියමින් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මුග්ධ බලධාරීන් පසුගිය 17 වැනිදා නැවතත් තනි දළයා ගල්ගමුවෙන් අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිරගත කිරීමට කටයුතු කලේ කුමන වනජීවී කළමනාකරණ න්‍යායකට අනුව දැයි අප නොදනිමු. වඩාත් බරපතල කාරණය නම් මෙම ලිපිය ලියන මොහොත වනවිට චන්ඩි නැවත 20 දින රාත්‍රියේ සිර කඳවුරෙන් පැන යාමයි.

චන්ඩි සෝමාවතී ජාතික උද්‍යානයේ සිට ගල්ගමුව දක්වා පැමිණි මාර්ගය දැක්වෙන සිතියම


මෙසේ ඇල්ලීම සඳහා වන අලි ඇතුන් වනාන්තර තුළ දී නිර්වින්දනය කිරීම එම සත්ත්වයාගේ ජීවිතය අවදානමකට ලක් කිරීමකි. මිනිසුන් වන අප ශල්‍යාගාරයක් තුළදී යම් ශල්‍යකර්මයක් සිදු කිරීමට පෙර දහසකුත් එකක් පරීක්ෂණවලට භාජන කරනු ලබන බව අපි දනිමු. එහි අරමුණ අප නිර්වින්දනය කිරීම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසු වන්නේද, නිර්වින්දනයෙන් පසු යළිත් ප්‍රකෘති සිහියට පත් කළ හැකි වේද, අවශ්‍ය වන නිර්වින්දන ඔෟෂධ මාත්‍රාව කොපමණ ද යනාදිය දැනගැනීමය. එවැනි පරීක්ෂාවක් සිදු නොකර වනාන්තරය තුළදී අලි ඇතුන් නිර්වින්දනය කිරීමම එම සත්ත්වයාගේ ජීවිතය තර්ජනයට ලක් කිරීමකි. තවද එම හස්තියා නිර්වින්දනය වී වැරැදි ස්ථානයක වැරැදි ඉරියව්වකින් ඇද වැටීමද මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයකි. හස්තියකු නිර්වින්දනය වී දිව ගොස් බිම පතිත වීමේදී උගේ හොඬය සිරුරට යට වීමට හෝ ඉදිරි පාද පෙණහලු මත තෙරපී ඇද වැටීමෙන් මරණය ගෙන දෙයි. එසේම විශාල ගස් දෙකක් අතරට හිර වී ඇද වැටීම හෝ ජලාශයක ඇද වැටීමද ඒ ආකාරයය. යම් ජීවියකු නිර්වින්දනය කිරීම සඳහා ඖෂධ මාත්‍රාව නිර්ණය කරනු ලබන්නේ එම ජීවියාගේ බර අනුවය. වනාන්තරයේදී වන අලියකුගේ බර කිරීම හිතළුවක් පමණක් බැවින් පශු වෛද්‍යවරුන් සිදු කරන්නේ එම සත්ත්වයාගේ බර අනුමාන කිරීමය. එම අනුමානය අනුව තීරණය කරන නිර්වින්දන ඔෟෂධ මාත්‍රාව අඩු වුවහොත් හස්තියා නිර්වින්දනය නොවන අතර මාත්‍රාව නියමිත ප්‍රමාණයට වඩා වැඩි වීම එම සත්ත්වයා සදාතනික නින්දකට පත් කරන බව කිවමනාය. මෙසේ වන අලි නිර්වින්දනය කිරීමට අවශ්‍ය මාත්‍රාව තීරණය කිරීමේ නිරවද්‍යතාව වනජීවී පශු වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත රඳා පවතී. ඉනික්බිති මෙසේ අල්ලා ගන්නා වන අලි ප්‍රවාහනය කිරීම සඳහා බැඳ දමා සිටින විට විශේෂයෙන් රාත්‍රි කාලයේදී වෙනත් වන අලින්ගෙන් අඩන්තේට්ටම්වලට ලක්වූ අවස්ථා කලින් කලට වාර්තා වී ඇත. තවද මෙසේ අල්ලාගත් අලි ඇතුන් ප්‍රවාහනය කරන අතරතුර අනතුරට ලක්ව මරණයට පත් වීමට ඉඩ කඩ තිබේ. එසේම මේ ආකාරයෙන් පෙරළා වාර ගණනාවකදී පරිස්ථාපනයට බඳුන් කළ ද තම නිජබිම සොයා පැමිණි අලි ඇතුන් ද හඳුනාගත හැකිවීම අලි ඇතුන් තම පාරම්පරික වාසභූමි කෙරෙහි දක්වන ආදරය මොනවට පෙන්වා දෙන අතරම අපගේ වන සත්ත්ව කළමනාකරණයේ අමානුෂික බව හා එය යථාර්ථයෙන් කොතරම් බැහැර ද යන්න ද අවධාරණය කරනු ඇති බව අපගේ විශ්වාසයයි. එසේ තිබියදී මෙසේ අසාර්ථක කටයුතු සඳහා මහජන මුදල් මකර කටට යවන්නේ කාගේ උවමනාවටද යන්න විමසිය යුතුය.

වරක් අනුරාධපුර වදාකඩ රජයේ රක්ෂිත ප්‍රදේශයේදී පරිස්ථාපනය කිරීම සඳහා බැඳ දැමූ වන අලියකු කුමන හෝ අවාසනාවක් නිසා මරණයට පත් විය. එම සද්දන්තයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මරණයට හේතුව මේ සත්ත්වයා නිර්වින්දනය කිරීමට ප්‍රථම යම් කිසි පුද්ගලයකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයක් නිසා දුර්වල සෞඛ්‍ය තත්වයෙන් සිටීම බවයි. මීට වසර කිහිපයකට සිය පාරම්පරික වාසභූමියෙන් පිටමං කර පරිස්ථාපනය කරමින් සිටියදී මරණයට පත්වූ සියඹලන්ගමුවේ හස්තියාගේ වියෝව පිළිබඳව ද අප තවමත් ශෝක වන්නෙමු. එම හස්තියාගේ නිසළ හිස්කබලද බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ද්වාරය අබියස තබාගෙන  වනජීවී බලධාරීන් පුරුදු මුග්ධ පිළිවෙතම අනුගමනය කිරීම ජාතියේ අවාසනාවකි. ශ්‍රී ලංකාවේ අපට සොබාදහමෙන් හිමිව තිබූ අමිල දායාදයන් ඒ ආකාරයෙන් වැනසී යෑම සැබැවින්ම කණගාටුවට කරුණකි. එසේම මින් ඉදිරියට හෝ එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉතිහාසයෙන් පාඩම් උගැනීමද ඉතා වැදගත්ය.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පරාමිතීන්ට ප්‍රබල බලපෑමක් එල්ල කරන අලි - මිනිස් ගැටුමට අප වඩාත් යුහුසුලුව ප්‍රතික්‍රියා කළ යුත්තේ අප අලි ඇතුනුත් මනුසතුනුත් යන දෙපිරිසම මේ උවදුරෙන් මුදාගත යුතු බැවිනි. සිරිලක අලි ඇත් පරපුරේ හා අසරණ ගොවි ජනතාවගේ අනාගතය ශෝකාන්තයක් බවට පත් කරන පැලැස්තර විසඳුම් විනා සිරිලක වන අලි - මිනිස් ගැටුම පාලනයට ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙනු පිණිස අදාළ වගකිවයුත්තන් ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසිය යුතුව ඇත. එසේම එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස තවත් අලි - මිනිස් ජීවිත කීයක් නම් දැයට අහිමි වන තුරු බලධාරීන් අඳුරේ අතපත ගාන්නේදැයි ද විමසිය යුතුව ඇත.

සිරිලක වන අලි ගහනයේ විසූ විශාලතම දළ ඇතා ලෙස සලකනු ලැබූ සියඹලන්ගමුවේ ඇත් රජු මරණයට පත්වීමත් සමඟ ද අලි ඇතුන් පරිස්ථාපනය කිරීම නම් වන අසාර්ථක වන අලි කළමනාකරණ ක්‍රමවේදයට තිත තැබීම උදෙසා ප්‍රබල ජනමතයක් ඇති කිරීමට එම අවාසනාවන්ත සිදුවීම හේතු විය. නමුත් එම ප්‍රවේශය මඟින් යහපත් කතිකාවතක් ඇති කර එහි වැදගත් කරුණු උකහා ගැනීමට අදාළ බලධාරීන්ට දිගු කලක් ගතවිය. අලි ඇතුන්ගේ වාසභූමි උදුරාගෙන හිසරදයට කොට්ටය මාරු කරන්නා සේ අලි ඇතුන් එහා මෙහා ගෙන ගොස් කරකවා අතහැරීම තවදුරටත් යථාර්ථවාදී විසඳුමක් නොවන බව පැහැදිලිය. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් කණාමුට්ටි ගැසීමේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් මෙරට අලි ඇතුන් මෙන්ම මනු සතුන්ද කබලෙන් ළිපට වැටීමය. එත් ඒ බව නිසි පරිදි වටහා නොගන්නා බලධාරීන් තවත් රුපියල් කොටි ගණනක් වියදම්කර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේද මෙවැනි සිර කඳවුරක් ඉදිකිරීමට පිඹුරුපත් සකසමින් සිටිති.

දඩබ්බර අලි ඇතුන් කළමනාකරණය යන "ගිනි නිවීම" වෙනුවට ඔවුන් බිහි කරන ක්‍රමයට තිත තබා "ගිනි වළකා ගැනීමේ" මඟට අවතීර්ණ වීම සිදු විය යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සපලදායක විසඳුමක් හමස් පෙට්ටියෙන් පිටතට ගත යුතු කාලය අපි දැනුදු ගෙවා දමමින් සිටින්නෙමු. අලි ඇතුන් යනු ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක් බව වටහාගෙන අලි ඇතුන් සංරක්‍ෂණය හා සංවර්ධනය මනා ලෙස ගැළපීමට ප්‍රතිපත්ති සම්පාදකයන් ද උත්සාහ දැරිය යුතුය. එසේම මේ ගැටුමට වගකිවයුතු සියලු පාර්ශ්ව තම වගකීම නිසි පරිදි වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය.

තම ප්‍රදේශයේ ගම්වැසියකු මරණයට පත් වූ විට කුපිත වන ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙති. එයින් බොර දියේ මාළු බාන තක්කඩි දේශපාලකයෝ ඉතා අවස්ථාවාදී ලෙස වනජීවීයට, වන අලින් පරිස්ථාපනය කිරීමට හෝ එළවා දැමීමට හෝ බල කරති. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඈ මෙකී නොකී අවස්ථා වලදී ඇතැම් දේශපාලකයන් වන අලි - මිනිස් ගැටුම සම්බන්ධයෙන් රණ හඬ නගමින් වනජීවී නිලධාරීන් තාඩන පීඩන වලට ලක්කර ලකුණු දමා ගන්නා බව අප දනිමු. එය එසේ බව අප අවධාරණය කරන්නේ අලි  - මිනිස් ගැටුම පාලනය සඳහා සඵලදායක විසඳුම් වශයෙන් විද්‍යාත්මක පදනමක් සහිතව ඉදිරිපත්කරන ලද හම්බන්තොට වන අලි කළමනාකරණය ප්‍රදේශය වැනි වටිනා ව්‍යාපෘති උලා කමින් තම මඩිය තරකර ගනිද්දී මෙසේ කිඹුල් කඳුළු හලන දේශපාලකයන්ට ජනතාවගේ දුක සිහිපත් නොවන බැවිණි. ගල්ගමුවේ පවා දැනට ඉතිරිව ඇති හස්ති නිජබිම් අත්ලොස්සද ඇතැම් අමන දේශපාලකයන් හා කොම්පැණිකරුවන් විසින් වන අලින්ගෙන් උදුරා ගනිමින් සිටිද්දී එහි අලි ඇතුන්ට මිනිස් දේපොළ හා වගා බිම් ආක්‍රමණය කරනවා හැර වෙනත් කිරීමට යමක් නැත.
එවැනි පසුබිමක් තුල වනජීවිය කළ යුත්තේ දේශපාලන අධිකාරියේ එහෙයියන් වීම නොව තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක් වෙත ප්‍රවේශ වීමය. එසේ නොකර සියලු වගකිව යුත්තෝ තම වගකීම පැහැර හරිමින් මුණිවත රැකීම සිරිලක අලි - මිනිස් සමූහයාට හිමි කර දෙන්නේ ශෝකාන්තයක් පමණි. එහි පාඩුව කෙදිනකවත් පිරිමසාලිය නොහැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමු.
 ඡායාරූප: ජයතිලක බණ්ඩාර

සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Wednesday, December 6, 2017


http://www.rivira.lk/epaper/daily/thu/2017/12/07/files/assets/basic-html/index.html#20

ගල්ගමුව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ජීවත්වූ අන්ධ දළ පූට්ටු හස්තියා ඝාතනය කර ඇත් දළ පැහැරගැනීමේ අහස පොළොව නුහුලන වනජීවී අපරාධය පිළිබඳව තතු ජනමාධ්‍ය මගින් හෙළිදරව්වීමත් සමග වනජීවී ලෝලීන් තුල පමණක් නොව පොදු මහජනතාව තුල පවා ඒ ගැන යම්කිසි කම්පනයක් ඇතිව තිබේ. නමුත් මින්පෙර සිදුවූ ලෙසම එම කම්පනය කෙටි කලකින් මැකී යාමට ඇති ඉඩකඩ වැඩි බව කණගාටුවෙන් නමුත් පැවසිය යුතුය. ඒ කෙසේ වෙතත් ඇතිව ඇති උනන්දුව තුල ඇත් දළ ඇතුළු සත්ව කොටස් හා වනජීවී ජාවාරමට තිත තැබිය හැකි ආකාරය පිළිබඳව තවදුරටත් සොයා බැලීම මැනවයි සිතමි. ලෝකයේ වනජීවී සම්පත්වලින් පොහොසත් රටවල් අතර මුල් පෙළෙහි පසුවන, එමෙන්ම වනජීවී අපරාධ අතින්ද අඩුවක් නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපටද වනජීවී හා සත්ව කොටස් ජාවාරම මැඩලීමට කැපී පෙනෙන කාර්ය භාරයක් සිදුකිරීමට හැකියාව පවතී. නමුත් මෙරට පාලක කාරකාදීන් තමන් වෙත පැවරී ඇති එම වගකීම මේ දක්වාම හරිහැටි වටහාගෙන ඒ අනුව ක්‍රියාකරන්නේද යන්න ගැටලු සහගතය. ගල්ගමුවේ දළ පූට්ටුවා වැනි අසරණ වනසතුන් මරණ මංචකයේ සැතපෙමින් අපගෙන් විමසන්නේ එම ගැටළුවය.

ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධ පිටු දැකීම සඳහා නෛතික ප්‍රතිපාදන සපයන ප්‍රධානතම පනත වන්නේ 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනතය. එම පනත උල්ලංඝනය කරමින් මෙරට වනජීවීන්ට එරෙහිව සිදු කරන සියලු වැරැදි එකී පනත අනුව වනජීවී අපරාධ ගණයට වැටේ. එසේම අප රට අන්තරායට ලක්වූ වනජීවී විශේෂ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ප්‍රඥප්තියටද අත්සන් තබා ඇති බැවින් එමඟින්ද අප විශේෂයෙන් වනජීවීන් හා එම කොටස් වෙළඳාම සම්බන්ධ වනජීවී අපරාධ මැඬලීමට වගකීමෙන් බැඳේ. නමුත් නීති අණපනත් කොතෙකුත් පැවතියද ඒවා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන්ගේ ඇති ගැටලු සහගත තත්ත්වයන් මෙන්ම රටේ සිටින ඇතැම් ධනවතුන් හා බලවතුන්ගේ ඔළුගෙඩි වල පිරී ඇති අමනෝඥ දුර් මත තවදුරටත් නොනැසී පැවතීම නිසා වන සතුන්ට දිගින් දිගටම සිදුවී ඇත්තේ අකාලයේ තම ජීවිත අහිමිකර ගැනීමටය. එහි ආසන්නතම සිදුවීම ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණයෙන් වුවද එය අතැනින් ද කෙළවර වෙනු ඇතැයි සිතීම උගහටය. නමුත් එම අසරණයාගේ මළගම හෝ මිනිසුන්ගේ ඇස් ඇරවීමට හේතුවේනම් වටී.

වනජීවීන්ට එරෙහිව අපරාධ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා අධ්‍යයනය කිරීම පහසුය. එනම් වනජීවීන් ඝාතනය කිරීම, වනජීවීන්ට ශාරීරික පීඩා ඇති කිරීම, වනජීවීන් ස්වාභාවික පරිසරවලින් අල්ලා විකිණීම, වනජීවී කොටස් වෙළඳාම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම හා අන්තර්ජාතික වනජීවී වෙළඳාමේ අතරමැදියකු ලෙස ක්‍රියා කිරීම ආදී වශයෙනි.

ශ්‍රී ලංකාවේ දිනපතා විශාල වශයෙන් විවිධ හේතූන් නිසා වනජීවීන් ඝාතනය කිරීම් සිදු වේ. මස් හා සත්ත්ව කොටස් ලබා ගැනීම පිණිස සිදු කෙරෙන ඝාතනයන්ට අමතරව වගා ආරක්ෂා කර ගැනීම සඳහාද මෙසේ වනජීවීන් ඝාතනය කිරීම සිදු වේ. තම වාසස්ථාන ආක්‍රමණය කරමින් එල්ල කරන පීඩනය හේතුවෙන් ඊට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිරෝධය දක්වන අලි ඇතුන් මිනිසුන්ගේ වෙඩි පහරට ලක්ව විදුලි සැර වැදීමට සලස්වනු ලැබ වස ආහාරයට දෙනු ලැබ ආදී විවිධ ක්‍රම මඟින් ඝාතනය කිරීම සිදුවේ. අලි ඇතුන් මෙන්ම සෙසු බොහෝ වනජීවීන්ගේ ඉරණමද මීට සමාන වන අතර එය වෙනමම සංවාදයට බඳුන්කිරීම වඩාත් යෝග්‍යය.

වනජීවීන් හා උන්ගේ කොටස් විකිණීමද ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද සිදුවන බරපතළ වනජීවී අපරාධයකි. අවි ආයුධ හා විෂ මත්ද්‍රව්‍ය වෙළඳාමට පසු ලොව විශාලතම ධනෝපායන මාර්ගය බවට පත්ව ඇත්තේ වනජීවී හා වනජීවී කොටස් වෙළඳාම යි. ගල්ගමුවේ ඇත්රජු ද එකී වනජීවී කොටස් වෙළඳාමේ එක් ගොදුරක් බව නොකිවමනාය. ඊට අමතරව අප රටේ මෑත කාලීනව විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අලි පැටවුන් ජාවාරමද මෙවැනි වනජීවී ජාවාරමකි. ඒ ඔස්සේ ජනනය වන රුපියල් කෝටි ගණන් කළු සල්ලි මඟින් වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළම නිලධාරීන් පවා මිලදී ගැනීමට අපරාධකරුවන්ට හැකියාව ලැබී තිබූ ආකාරය පසුගිය සමයේ කරළියට පැමිණියේය.

තවද මෙරටට ආවේණික උරගයන්, උභයජීවීන් හා මිරිදිය මසුන් ආදී සතුන්ද නීති විරෝධී ලෙස ස්වාභාවික පරිසරයෙන් අල්ලා අපනයනය කිරීම සිදු වේ. ලොව බොහෝ සුරතල් සතුන් වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ සත්ත්ව විශේෂ විකිණීම සිදුවන බවට සාක්ෂි ඇත. ඇත්දළ, රයිනෝ අං, ව්‍යාඝ්‍ර සතුන්ගේ ශරීර කොටස් හා සත්ත්ව සම් ආදී සත්ත්ව කොටස්වලටද ලොව පුරා විශාල ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාවේද ඇත්දළ, ගජමුතු, කොටි සම්, කොටි දත් ආදී සත්ත්ව කොටස්වලට වෙළෙඳපොළක් පවතින්නේ මනසින් උසස් යැයි කියාගන්නා අප ජීවත්වන මිනිස් සමාජය තුලද තවදුරටත් ගල් යුගයේ ජීවත්වූවන් ජීවත්වන බැවිණි.

රට තුල සිදුවන වනජීවී ජාවාරම් මැඩලීමට යත්න දැරීමට අමතරව අන්තර්ජාතික වනජීවී කොටස් ජාවාරම සිදුවන මාර්ගයේ මධ්‍යගතව පිහිටීම නිසා ශ්‍රී ලංකාවට එම ජාවාරම් මැඬලීමේදී පැවරී ඇති වගකීමද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශයකි. මීට වසර කිහිපයකට පෙර අප්‍රිකානු රටක සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි රාජ්‍ය වෙත ප්‍රති අපනයනය කිරීමට සූදානම් කර තිබූ අප්‍රිකානු ඇත්දළ 356 ක් අත්අඩංගුවට ගැනීමට මෙරට රේගුවට හැකිවීම මීට කදිම නිදසුනකි. එවැනි වනජීවී අපරාධ මැඬලීම සඳහා කාර්යක්ෂමව හා සක්‍රීයව මැදිහත්වීම වෙනුවට එවකට හිටපු පාලකයන් විසින් සිදු කළේ එම ඇත්දළ ශ්‍රී දළදා මාලිගයට හා වෙනත් බෞද්ධ විහාරස්ථානවලට බෙදා දීමට සැලසුම් කිරීමය. අපේ රටේ පාලකයන්ගේ හැසිරීම එසේ වුවද ඇත්දළ වෙළඳාමෙන් තම රටේ ආර්ථික ශක්තිය පවා ඉහළ නංවා ගතහැකිව තිබියදී කෙන්යාවේ හිටපු ජනාධිපති ඩැනියෙල් අරාජ මොයි මහතා විසින් 1989 වසරේදී මෙම ලේ තැවරුණු ඇත්දළ ජාවාරම පිටුදැකීම සඳහා තම රටේ වනජීවී බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු ඩොලර් මිලියන ගණනක් වටිනා ඇත්දළ ප්‍රසිද්ධියේ ගිනිතබා විනාශ කළ ආකාරය මුළුමහත් ලෝකයටම පාඩමක් විය. ශ්‍රී ලංකාවේ අපද පසුකාලීනව එම මග යමින් රේගු අත්අඩංගුවට පත් ඇත්දළ විනාශකිරීමට කටයුතු කලද අපේ රට තුල ඇතුන් ඝාතනයකර ලබා ගත් ඇත්දළ අත්අඩංගුවට පත්වූ පසු සිදුවන ක්‍රියාදාමය එවැනි පරමාදර්ශී එකක් නොවන බව අප අවධාරණය කල යුතුය.

“පන්සලකට ඇත් දළයක් පිරිනැමීමට නොහැකිනම් තමන්ගේ වනජීවී ඇමැතිකමින් කුමන පලයක් දැයි” විමසීමට තරම් අමනෝඥ වනජීවී ඇමතිවරුන් සිටි මේ රටේ වනාන්තර වල මෙසේ හෝ දළ ඇතුන් ආරක්ෂාවී දිවි ගෙවීම එක් අතකට සතුටට කරුණකි. ඒ මන්ද යත් ඇතුන් මරා දළ පැහැරගන්නා  වනජීවී අපරාධකරුවන් මැඩලීමට අප කොතෙකුත් කටයුතුකර තිබුණද ඒ ඇත්දළ පසුපස ඇති මිත්‍යා මත දුරලීමට අප කටයුතුකර නොමැති බැවනි. අපි රේගු අත්අඩංගුවට ගැනුණු අප්‍රිකානු ඇත්දළ කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන විනාශකර දැමුවේ ඒවාට ආර්ථිකමය වටිනාකමක් එකතු කිරීමට අකමැතිවීම හේතුවෙනි. එමගින් තව දුරටත් ඇත්දළ වලට ඇති ඉල්ලුම නොනැසී පවතින බැවිණි. නමුත් අපේ රටේ ඇතුන් මරා ලබාගත් ඇත්දළ වනජීවී අත්අඩංගුවට පත්වූ විට අප ඒ ඇත්දළ පිළිබඳව පෙර මෙන් නොසිතීම කණගාටුවට කරුණකි. අප අප්‍රිකානු ඇත්දළ විනාශකළ අයුරින්ම අපේ ඇත්දළ ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේපකර විනාශකළ යුතු නොවේද? නමුත් ඒ වෙනුවට බොහෝ විට සිදුවූයේ එම ඇත්දළ නැවතත් මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා අනුව විහාරාරාම වලට පිරිනමනු ලැබ පුරුදු මිත්‍යාවම ජනගත වීමය. අප ඉහත සඳහන් කල පුරාජේරුවද හිටපු වනජීවී ඇමතිවරයෙකු සිදුකලේ තම ගම් ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇත්දළ යුගලක් පිරිනැමීම සඳහා පැවති උත්සවයකදීය.

අපේ රටේ හස්තීන් ඇත්දළ ලබාගැනීම පිණිස ඝාතනය වන්නේ පොදු මහජනතාවගේ අවශ්‍යතාවය පිණිස නොවන බව දෙවරක් පැවසිය යුතු නැත. අපේ රටේ අපේ රටේ හස්තීන් ඇත්දළ ලබාගැනීම පිණිස ඝාතනය වන්නේ ඇත්දළ තම සන්තකයේ තබාගැනීමේ මේනියාවෙන් පෙළෙන ඇතැම් මුග්ධ ධනවතුන් හා බලවතුන්ගේ අවශ්‍යතාවය පිණිසය. ඔවුන් ඇතුන් මරවා ඇත්දළ ළඟ තබාගන්නවා මදිවට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද අඩපන කරවයි.

එබැවින් මෙවැනි වනජීවී අපරාධ මැඬලීම සඳහා 2009 අංක 22 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනතේ ප්‍රතිපාදන නොබියව ක්‍රියාත්මක කරවීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ද සවිමත් කල යුතුය. එසේම ඇත්දළ හෝ වෙනත් වනජීවී කොටස් සම්බන්ධයෙන් ඇතැම් අනුවණයන් තුල මුල් බැසගෙන ඇති මිත්‍යාව දුරලීමද වැදගත්ය. අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බඳු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැවසෙන බෞද්ධ වෙහෙර විහාර තුළින්ද ලේ තැවරුණු මිනීමරු ඇත්දළ ප්‍රතිෂේපවිය යුතුය. ඒ සඳහා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය හෝ හේතුවේවායි අප ඉත සිතින් පතමු.

ඡායාරූප ජයතිලක බණ්ඩාර සහ සම්පත් ඒකනායක


සුපුන් ළහිරු ප්‍රකාශ්

Sunday, July 24, 2016


විමර්ශන කමිටු වාර්තාව සඟවාගෙන යහපාලන ආණ්ඩුව වනජීවී අපරාධකරුවන් රකියි !

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි  රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල ස්ථාපනය කරමිනි. ගහකොළ හා සතා සිවුපාවා වෙනුවෙන් සෙත සෑදු එවැනි ගෞරවාන්විත අතීතයක් අප රටට හිමිව තිබුණද වර්තමානයේ අප රට කරවන පාලකයන් වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් දක්වන්නේ ඉතා නිද්‍රාශීලී පිළිවෙතකි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ ඉතා අමානුෂිකම සංවිධානාත්මක වනජීවී අපරාධය ලෙස සැලකිය හැකි අම්මාවරුන් මරා වනාන්තර වල ජීවත්වූ අලි පැටවුන් නීතිවිරෝධී ආකාරයෙන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදී වර්තමාන යහපාලන ආණ්ඩුවද මුනිවත රකිමින් සිටීම ඊට කදිම නිදසුනකි. අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සහ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන දුෂණ සහ අක්‍රමිකතා ගැන සහ සියිටීස් (CITES) බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දුෂණ හෝ අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ඒක පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා වෙත භාරදී මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ඇතත් මේ දක්වා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් යහපාලන ආණ්ඩුවේ වනජීවී අපරාධකරුවන් සම්බන්ධ නිහඬ පිළිවෙත මොනවට පැහැදිළි වෙයි.

මෙම විමර්ශනය සඳහා පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක ඒකපුද්ගල විමර්ශන කමිටුව තම නිරීක්ෂණ ඇතුලත් වාර්තාව මෙම වසරේ මැයි මස 25 දින තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත භාරදී ඇත. නමුත් එම වාර්තාව සම්බන්ධයෙන් කිසිඳු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට දේශපාලන අධිකාරිය මේ දක්වා කටයුතු කර නැත. පරිසරය රකින බව පවසමින් බලයට පැමිණි වර්තමාන යහ පාලනය යටතේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන් අතර සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම හා සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම දක්වා තිබුණු නමුත් මෙම කල්මැරීමෙන් ප්‍රකට වන්නේ එම පොරොන්දු හුදෙක් පොරොන්දුපත්‍ර වලට පමණක් සීමාවී ඇතිද යන්න නොවේදැයි විමසිය යුතුය.
විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දී ඇති සාක්ෂිකරුවන්ට අනුව දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවනින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවන වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව මෙම වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.
මෙම කමිටුව ඉදිරියේ දෙන ලද සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සමහර දුෂිත පුද්ගලයන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස අලි ඇතුන් ලියාපදිංචි කරගෙන ඇති බවය. ඔවුන් විසින් ඒ ආකාරයෙන් වංචනික ලෙස අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා අලි පැටියාගේ උපත පිළිබඳව සහ මව් ඇතින්නගේ මරණය පිළිබඳව ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හා ලිපිගොනුවේ ව්‍යාජ සටහන් යෙදීම සිදුකර ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සේවය කල දුෂිත නිලධාරීන් විසින් අලින්ට අදාල ලිපි ගොනුවල දමා ඇති සටහන් බ්ලේඩ් තලවලින් සූරා හෝ ටිපෙක්ස් භාවිතා කොට මකා ඒ මත වෙනත් ව්‍යාජ කරුණු යතුරු ලියනය කිරීම සහ අලවා තිබූ අලින්ගේ ඡායාරූප ගලවා ඒ වෙනුවට වෙනත් අලින්ගේ ඡායාරූප ඇලවීම සිදුකර ඇත. දෙපාර්තමේන්තුවේ සමහර දුෂිත නිලධාරීන් වනජීවී ජාවාරම්කරුවන්ට ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදීමට පහසුවන පරිදි අලි නොමැතිව ලිපිගොනු පමණක් පවත්වාගෙන් යාම හා ලියාපදිංචි අලි මියගොස් ඇති ලිපිගොනු අවලංගු නොකොට දිගටම පවත්වාගෙන යාම සිදුකර ඇත.
මෙම කමිටුව ඉදිරියේ දෙන ලද වාචික සහ ලිඛිත සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුවේ පැවති දුෂණ සහ අක්‍රමිකතා වලට පහත නම් සඳහන් නිලධාරීන් වගකිවයුතු බව පෙනී ගොස් ඇති අතර, ඒ නිලධාරීන් එම කටයුතු වලට චෝදනා වලට ලක්විය හැකි බව දක්වා ඇත.
1.      උදේනි වික්‍රමසිංහ - හිටපු වැඩ බැලූ අධ්‍යක්ෂ ජනරාල්
2.      එච්.ඩී. රත්නායක - හිටපු අධ්‍යක්ෂ ජනරාල්
3.      උපාලි පද්මසිරි - සහකාර අධ්‍යක්ෂ
4.      ප්‍රියංකා සංජීවනී - කළමනාකරණ සහකාර
5.      චාන්දනී විල්සන් - නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
6.      අරුණි උද්ධිකා - සංවර්ධන සහ මුල්‍ය සහකාර
මෙම තොරතුරු හෙළිදරව් කරගෙන ඇත්තේ රජයේ රේඛීය විෂය භාර අමාත්‍යවරයා විසින් පත්කරන ලද විමර්ශන කමිටුවක් මගින් විනිවිධ පෙනෙන ආකාරයෙන් යුතුව සිදුකරන ලද විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මගිනි. එබැවින් මෙහි අන්තර්ගත කරුණු පිළිබඳව කිසිවෙකුටත් චෝදනා එල්ල කල නොහැක. දැන් බලධාරීන් විසින් සිදුකල යුතුව ඇත්තේ චූදිත නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සුපිලිපන්නභාවය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමය. ඒ අනුව ඉහත සඳහන් කල පුද්ගලයන්ට එරෙහිව 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා  පනත, 1982 අංක 12 දරන පොදු දේපල වලට එරෙහිව කරන වැරදි පිළිබඳ ආඥා  පනත, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි වලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කල යුතු නමුත් මේ දක්වාම බලධාරීන් කමිටු වාර්තාව හමස් පෙට්ටියේ දමාගෙන් කිසිවක් සිදු නොවූ ආකාරයෙන් කල් මරමින් සිටීම ජුගුප්සාජනකය.
යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් දුෂිතයන් ආරක්ෂා කිරීම යහපාලන ප්‍රතිපත්ති සමග කිසිඳු ආකාරයකින් නොගැලපෙන අතර තවදුරටත් වනජීවී අපරාධ සිදුකිරීමට අපරාධකරුවන්ට හා ඊට අනුබල දීමට දෙපාර්තමේන්තු නිලධාරීනට පෙළඹවීමක් ඇතිකරවන නරක පූර්වාදර්ශයක් විය හැකි බවද අප අවධාරණය කරමු. ඉකුත් රජය සමයේද විජිත් විජිතමුණි සොයිස මහතා රේඛීය විෂය භාර අමාත්‍යවරයාව සිටියදී වන අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන කමිටු දෙකක් පත්කරන ලදී. එනම් එවකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) තනතුර හෙබවූ සමන් ප්‍රනාන්දු කමිටුව හා මහාචාර්ය සරත් කොටගම, චරිත විජේසේකර හා නීතිඥ ලලිත් කුමාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුව වශයෙනි. එම කමිටු වාර්තා ද වනජීවී විෂය භාර අමාත්‍යංශය සතුව ඇත. මෙම කමිටු වාර්තා තුනේම පොදු ලක්ෂණය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල ඉහත නම් සඳහන් පුද්ගලයන්ට විවිධ ප්‍රමාණ වලින් චෝදනා එල්ලකර තිබීමය. කෙසේ නමුත් විජිත් විජිතමුණි සොයිස මහතා රේඛීය විෂය භාර අමාත්‍යවරයාව සිටි සමයේ එම වාර්තා සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනුණු අතර වර්තමාන යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයද ඊට කිසිඳු ආකාරයකින් වෙනසක් නැත.
අපගේ මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන යන ඇතැම් වැඩසටහන් සාධනීය නමුත් එපරිද්දෙන්ම මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමටද පාලකයින් කැපවීම අත්‍යාවශ්‍ය බව අප මේ මොහොතේ නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඒ මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළ වලද අද දවසේ භාරකරුවා වන බැවිනි. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාධ වැඩිය.

එවැනි පසුබිමක වැටත් නියරත් ගොයම් කන්නා සේ වනජීවීන් රැකීම වෙනුවෙන් මහජන මුදලින් යැපෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ම වනජීවී අපරාධ වලට සහය දක්වයි නම් ඒ ගැන කියන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. එසේම තක්කඩි නිලධාරීන් අතලොස්සක් විසින් මේ උලාකමින් සිටින්නේ වසර 65කට වැඩි මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුල හැත්තෑවකට අධික අවංක හා නිර්භීත වනජීවී නිලධාරීන් පිරිසක් තම ජීවිත පූජාකර රැකගත් වනජීවී සම්පත් බවද අප අමතක නොකළ යුතුය. එබැවින් එවැනි තක්කඩි දුෂිතයන්ගෙන් වනජීවී සංරක්ෂණය බේරාගෙන අලි ඇතුන් මෙන්ම සෙසු වනජීවීන්, ගහකොළ සහ ස්වභාවික සම්පත් ආරක්ෂාකර ගැනීමට උරදීම පරිසරය රකින බව පවසා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ යුතුකම හා වගකීම බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Friday, June 10, 2016

සුපුන් ළහිරු අපට කියන අලි ඇතුන් සමඟ ජීවිතය




මානවයන් මේ දිවයිනට සංක්‍රමණය වන්නට වසර මිලියන ගණනකට පෙර බොහෝ අෑත යුගවල පවා අලි ඇතුන්, සිංහයන්, කොටින් පමණක් නොව රයිනෝසිරස්ලාද ඇතුළු තවත් බොහෝ සත්ත්ව කොට්ඨාස මෙබිම වාස භූමිය කොට විසූහ. ඉන් ඇතැම් සතුන් ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් මේ භූමියෙන් තුරන්ව ගිය අතර බහුතරයක් සත්ත්ව වර්ග මෙන්ම තුරුලතාද අපට අහිමි වූයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙනි.
සොබා දහමේ සියලු භෞතික සම්පත් තමාගේ භුක්තියට යටත් කරගත් මිනිස්සු මිහිතලය වනසමින් තමන්ගේ අවසානය ළඟා කර ගනිමින් සිටිති. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යැයි ප්‍රාර්ථනය කොට දවස ආරම්භ කරන ලංකාවේ මිනිස්සු දවසේ ගෙවන සෑම තත්පරයක් පාසාම සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් සිටිති.

අපේ පියවි ඇසට විෂය නොවන කුඩාම සත්ත්ව වර්ගයන්ගේ සිට මිහිතලයේ දැවැන්තයන් දක්වාම අප විසින් ලොවට අහිමි කළ සත්ත්ව කොට්ඨාස බොහෝය. අහසේ පියාසලන කුරුල්ලන්ද, සමනලුද ඒ අතර වෙති. කෙසේ වුවද අද ලංකාවේ වඩාත්ම මිනිසාගේ තර්ජනයට ගොදුරුව සිටින සතුන් අතර ප්‍රමුඛයන් වන්නේ මෙරට අලි ඇත් පරපුරය. අලි ඇතුන් දඩයම් කරන්නන් හා උන් සමඟ සටන් වදින්නන් මෙන්ම ලංකාවේ අලි ඇත් පරපුර මුහුණදී සිටින ඛේදජනක ඉරණම ගැන කම්පාවන සහ ඔවුන්ට ජීවිත දානය ලබා දීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව විමසිල්ලේ පසුවන බොහෝ සත් පුරුෂයෝද ලංකාවේ මෙන්ම විදේශයන්හිද සිටිති.

සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ අලි ඇතුන් සමඟ ජීවිතය එවැනි සාධු ජනයන්ගේ හදවත් ඉතා සංවේදී ලෙස ස්පර්ශ කරන, මෙරට අලි ඇතුන් වර්තමානයේ පත්ව සිටින ඉරණම පිළිබඳව හුදු කම්පා වීමෙන් ඔබ්බට ගොස් අතිශය විද්‍යාත්මකව කරුණු ගෙන හැර පෙන්වා දෙමින් ජනතාවගේ පමණක් නොව වගකිවයුතු පාලකයන්ගේද ඇස් අවදි කරවන කෘතියකි.

අෑත වකවානුවක ලංකාවේ අලි ඇතුන් ගැන සංවේදී මිනිසකු ලෙස අප හැඳින සිටියේ ඉංගී්‍රසි ජාතිකයකු වූ ආර්. එල්. ස්පිට්ල් ‍ෙදාස්තර මහත්තයා. මෑත වකවානුවේ අලින් ගැන අලින්ට විපතක් වන සංසිද්ධියක් ආරංචි වූ විට ඒ පිළිබඳව සුපුන් ලියන ගවේෂණාත්මක විග්‍රහය එළියට එනතුරු ඉව අල්ලා බලා සිටින තැනට සුපුන් ළහිරු අපව පත්කර තිබුණේය.

සුපුන් ගැන මා දකින්නේ ඔහු ප්‍රශ්නයේ වල්ගයෙන් නොව සමස්තයෙන් අල්ලන ලේඛකයකු වශයෙනි. ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ යැයි කිසිවකුට කියන්නට ඉඩක් නොතබාම සුපුන් සමස්ත ප්‍රශ්නය එහි විවිධ පැතිකඩ ඔස්සේ විදාරණය කරන්නේ අලි ඇතුන් සමඟ ජීවිතය කෘතිය එවැනි පැතිමාන 33ක් ඔස්සේ අලි - ඇතුන් අප රට තුළ මුහුණදී සිටින ඛේදජනක ඉරණමත් බලධාරීන් කළ යුතු, කළ හැකි එහෙත් නොකරන දේ සම්බන්ධවද කරුණු ඉදිරිපත් කරමිනි.

අලි - මිනිස් ගැටුම, සංවර්ධනය තුළ අලි ඇතුන්ගේ ඉරණම, අලි පැටවුන් පැහැර ගැනීම, ජීවිතයෙන් වන්දි ගෙවන දළ ඇතුන්, අලි නිජබිම් සංහාරය, අනාරක්‍ෂිත ළිං සහ වන අලි, දුම්රියට බිලි වන අලි, විදුලි වැට විසඳුමක්ද ආදී සුවිශේෂී මාතෘකා ගණනාවක් ඔස්සේ ලංකාවේ වන අලින් පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැඟීමට සුපුන් සමත් වෙයි. ලංකාවේ අලි ඇතුන්ගේ ප්‍රශ්නය පිළිබඳ ඔබට මතයක් තිබෙනවා විය හැකිය. එහෙත් ඒ මතය ප්‍රකාශ කරන්නට කට අරින්නට පෙර සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ අලි ඇතුන් සමග ජීවිතය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඊට හේතුව මිහිතලයේ දැවන්තයන්ගේ ඉරණම පිළිබඳව ඔබ මෙතෙක් දැරූ මතය තවදුරටත් අරුත් බර වන්නට හේතුවන බොහෝ කරුණු සුපුන්ගේ ග්‍රන්ථයෙහි දිගේලි කොට ඇති බැවිනි.

උදේනි සමන් කුමාර
http://mawbima.lk/1-93483-news-detail.html

Thursday, May 26, 2016

ගංවතුර ඇති වීමට හේතු සහ ගංවතුර බැසගිය පසු ...



ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා සමග විවර ගුවන් විදුලිය කළ කතා බහ.

Friday, May 13, 2016

Conservation

ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පාසැල් දරුවන් දැනුම්වත් කෙරේ...  




ලෝක තෙත්බිම් දිනය සමරමින් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, පුත්තලම - තඹතලා පාරිසරික එකමුතුව සමග එක්ව සංවිධානය කෙරුණු පාසැල් දරුවන් දැනුම්වත් කිරීමේ  වැඩසටහන් දෙකක් පසුගිය දෙවැනිදා බත්තුළුඔය කනිෂ්ඨ විදුහලයේදී හා පිංකට්ටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. අන්තර්ජාතික වැදගත්කමකින් යුතු රැම්සා තෙත්බිම් ලේඛනයට ශ්‍රී ලංකාවේ දෙවැනි රැම්සා තෙත්බිම ලෙස 2001 අගෝස්තු මස තුන්වන දින ලේඛනගත කෙරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනවිලුන්දාව තෙත්බිම පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණ විය. ආනවිලුන්දාව තෙත්බිමේ ජෛවවිවිධත්වය, පාරිසරික හා සමාජාර්ථික වැදගත්කම පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මීට සමගාමීව “ආනවිලුන්දාව - අපේ උරුමය සුරකින්නට අපි අත්වැල් බැඳ ගනිමු ! ” යන තේමාවෙන් වල්ඩ් විෂන් ආයතනයේ අනුග්‍රහය ඇතිව මුද්‍රණය කෙරුණු පෝස්ටරයක්ද එළිදැක්වුනි.