Sunday, February 17, 2019


ශ්‍රී ලංකාවේ ප්‍රථම වන අලි සිතියමෙන් උගතයුතු පාඩම් මොනවාද ?

සුපුන් ළහිරු ප්‍රකාශ්



ශ්‍රී ලංකාවේ අපට අලි ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවයකි. අපගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හර පද්ධතීන් සමග අලි ඇතුන් ඉතා තදින් බද්ධව සිටී. ලෝකයේ ආසියානු අලි ජීවත්වන රටවල් 13 අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ දිවිගෙවන ආසියානු අලින් Elephas maximus maximus යන නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වී තිබීමය. එසේම ආසියානු අලින් දිවිගෙවන රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුතුව එම සතුන් දිවිගෙවන්නේද ශ්‍රී ලංකාවේය. නමුත් මෙම වටිනා වනජීවී සම්පත ආරක්ෂාකරගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් කරගැනීමටත් ඔවුන්ගෙන් එල්ලවන අහිතකර බලපෑම් අවමකරගනිමින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීමටටත් රටක් ලෙස අප අපොහොසත්ව ඇතිබව පසුගිය දශය හයකයකට වැඩි අතීතය දෙස හැරී බැලීමෙන් පෙනේ. එසේ තිබියදී තවදුරටත් අපට අපේ අලි සම්පත සම්බන්ධයෙන් අත්තනෝමතිකව හා අධූරදර්ශීව කටයුතු කිරීමට නොහැකි බව විද්‍යාත්මකව සනාථකෙරෙන පර්යේෂණ පත්‍රිකාවක් පසුගියදා එළිදක්වුනි.

දිවයින පුරා අලි ඇතුන්ගේ ව්‍යාප්තිය පිළිබඳව වසර හතරක් තිස්සේ සිදුකැරුණු දීර්ඝ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම දත්ත පදනම් කරගත් සිතියමක් ඔස්සේ මෙරට අලි ඇතුන් සම්බන්ධ ආන්ධෝලානාත්මක කරුණු රැසක් ඉදිරිපත් කිරීමට මෙරට සිටින දෙස් විදෙස් පතල වනජීවී විද්‍යාඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් කටයුතුකර ඇත. එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා ජර්නලයක් වන Oryx ජර්නලයේ අලුත්ම කලාපයේ First country-wide survey of the Endangered Asian elephant: towards better conservation and management in Sri Lanka යන හිසින් පළවී තිබේ.
ශ්‍රී ලංකාවේ මුළු භූමියම වර්ග කිලෝමීටර් 25 බැගින් ආසන්න වශයෙන් කොටු 2750 කට බෙදා වෙන් කර (කොටුවක විශාලත්වය තීරණය කර ඇත්තේ ශ්‍රී ලාංකාවේ වන අලි භාවිතා කරණු ලබන කුඩාම වාසභූමියේ (Home range) වපසරිය අනුවයි) මෙම පර්යේෂණය සඳහා දත්ත එක්රැස්කර ඇති අතර අදාළ කොටුවක් තුල ජීවත්වන පුද්ගලයින් තිදෙනෙකු බැගින් සමීක්ෂණයට භාජනයකර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් අදාල ප්‍රදේශයේ අලි ඇතුන්ගේ හැසිරීම පිළිබද දත්ත 2011 සිට 2015 දක්වා වසර හතරක කාලසීමාවක් තුල ලබාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබේ. මිනිස්සුන් ජීවත් නොවෙන ප්‍රදේශ සම්බන්ධ දත්ත ඊට යාබද කොටු වල දත්ත මගින් ගණනය කර තිබේ. තවද 2004 - 2018 කාලසීමාව තුල අලි ඇතුන්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි යොදා ලබාගත් දත්ත ද මේ සඳහා භාවිතාකර ඇත. පර්යේෂකයින් පවසන්නේ ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් කිසිවක මීට පෙර මෙවැනි අධ්‍යනයක් සිදුකර නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සඳහා බාධාවක් වී ඇති එම සතුන්ගේ ව්‍යාප්තිය, ගහන ඝනත්ව හා සංචරන රටා වැනි තොරතුරු ඌනතාවය මගහැරීම සඳහා  ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිස සිදුකර ඇති උක්ත පර්යේෂණය මනා පිටිවහලක් ලබාදෙන අතර එමගින් අප රටක් වශයෙන් උගතයුතු පාඩම් බොහෝ ඇති බව අවධාරණය කලයුතුයි.
අධ්‍යනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක (60%) වන අලි ඇතුන් ජීවත්වන අතර එම ප්‍රමාණය මීට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. එසේම එම ප්‍රතිශතය ආසියානු අලින් දිවිගෙවන අනෙක් රට වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගැනීමද මෙරට අලි ඇතුන් සම්බන්ධ තීරණාත්මක කරුණකි. තවද මෙම වන අලි ගහනයෙන් සියයට හැත්තෑවක්ම (70%) රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීමද බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණක්. ශ්‍රී ලංකාවේ වනජීවී බලධාරීන් පසුගිය වසර හැටක පමණ කාලසීමාව තුල මෙරට අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා වන අලින් වනජීවී රක්ශිත ප්‍රදේශ වලට ගාල්කිරීමට නොදැරූ උත්සාහයක් නැති තරම්ය. නමුත් එසේ තිබියදී තවදුරටත් මෙරට වන අලි ඇතුන්ගෙන් 70% රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීම එම අමනෝඥ උත්සාහයේ අසාර්ථකබව මොනවට පැහැදිළි කරයි. එසේ අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට නම් ඔවුන් වර්තමානයේ ජීවත්වන වාසභූමි වලින් සියයට තිහකට (30%) එම සතුන් සීම කලයුතු අතර එය කිසිඳු ආකාරයක ප්‍රායෝගික විසඳුමක් නොවන බව මෙම පර්යේෂණය මගින් හෝ බලධාරීන් තේරුම් ගන්නේ නම් මැනවි. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පසුගිය වසර 55ක කාලසීමාව තුල වන අලින්ට උන්ගේ වාසභූමි වලින් සියයට දහසයක් (16%) අහිමිවී ඇති බවයි. ඒ වෙනුවට ඔවුන් මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් සියයට එකයි දෂම හයක ප්‍රමාණයක් (1.6%) තුල නව වාසභූමි ඇතිකරගෙන තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශ බොහොමයක් අතිශයෙන් කැබලිකරණයවූ හා මානව බලපෑමට නත්වූ ප්‍රදේශ බව පර්යේෂකයින් පෙන්වා දේ. ඒ තුල සමස්ථ ආසියානු අලි ගහනයෙන් සියයට දහයක් (10%) ජීවත්වනබව මෙරට දේශපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, හා රාජ්‍ය නිලධාරීන් තරයේ සිහිතබගතයුතුබව අප අවධාරණය කරමු. ඔවුන්ට තවදුරටත් මෙරට අලි ඇතුන් හා එම සතුන් දිවිගෙවන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන අසරණ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන්ගේ හිතුමතේ පිස්සු කෙළින්නට නොහැකි බව මෙම පර්යේෂණ ප්‍රතිපල මගින් පැහැදිළිවේ.    
ඒ අනුව ශ්‍රී  ලංකාවේ අලි මිනිස් ගැටුම පාලනය හා වන අලි සංරක්ෂණ සඳහා දැනට ඇති වඩාත් හිතකර විසඳුම වෙන්නේ අලි - මිනිස් සහජීවන ආකෘතියක්, නොඑසේනම් වන අලි සහ මිනිසුන් සහයෝගයෙන් තම භූමිය පරිහරණය කිරීමේ ක්‍රමවේදයකට යාම බව ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ අදහසයි. ඒ සඳහා මෙතෙක් රක්ශිත ප්‍රදේශ වටා ඉදිකෙරුණු විදුලි වැට ගම්මාන ආරක්ෂාකිරීම සඳහා ගම්මාන වටා ඉදිකිරීමත් වගාබිම් ආරක්ෂාකිරීම සඳහා තාවකාලික විදුලිවැට ඉදිකිරීමත් වඩා ප්‍රායෝගික බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට හා දැනට වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින අපේ අලි සම්පත සංරක්ෂණය කිරීමට මෙම පර්යේෂණ ප්‍රතිපල හා විද්වත් අදහස් ඉවහල්කරගැනීම සියළු පාලක කාරකාදීන්ගේ යුතුකම හා වගකීම බව අවසන් වශයෙන් ලියාතබනු කැමැත්තෙමු.

Monday, January 21, 2019

සැලකිලිමත් වන්න !


ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට හා ජන ජීවිතයට එල්ලවී ඇති බලපෑම කරලියට පැමිණියේ මීට වසර කිහිපයකට පෙර සිටය.
ඒ සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු පහත දිගු මගින් කියවීමට හැකියාව පවතී,
http://cea.nsf.ac.lk/…/ha…/1/2098/S-2013-July-31-Rivira.pdf…
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බලධාරීන් මුනිවත රැකීම හේතුවෙන් තමන්ගේ හා තම දරු මුනුබුරන්හේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පාරට බැස අරගල කරන්නට එම ජනතාවට සිදුවිය http://www.mawbima.lk/print20170621MB20171230.php?id=10468.
එහි ප්‍රතිපලයක් වශයෙන් එම සමාගම ප්‍රදේශයෙන් ඉවත්කරගැනීමට සමාගම් බලධාරීන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාර්ශව රැසක් ඉදිරියේ පොරොන්දු වන්නේ මෙම වසරේ පෙබරවාරි මස 21 වැනිදාය https://www.lankaviews.com/bogahagoda-factory-admits-pollu…/.
නමුත් මේ දක්වා එම පොරොන්දුව ඉෂ්ඨ කිරීමට සමාගම් බලධාරීන් කටයුතුකර නොමැති අතර ඒ වෙනුවට මෙම අරගලය පසුපස සිටින සමාජ ක්‍රියාකාරීන් හා පරිසරවේදීන් දඩයම් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ https://www.lankaviews.com/bogahagoda-villagers-under-rep…/….
එබැවින් මේ අවාසනාවන්ත තත්වය පාලනය කිරීම සඳහා පරිසරයට හිතැති අප සැම අත්වැල් බැඳගතයුතු කාලය එළැඹ තිබේ. ඒ සඳහා මේ උත්සව සමය හා ඔබගේ දරුවාගේ අළුත් පාසැල් වාරය සඳහා ඔබ මිලදී ගන්නා පාවහන් යුගල, ගමකට සොඳුරු පරිසරයක් අහිමිකරන, දරුවන්ට පාසැලක් අහිමිකරන සමාගමක නිෂ්පාදනයක් නොවීමට වගබලා ගන්නා ලෙස අප ඔබට කාරුණිකව ආරාධනාකර සිටිමු.
උක්ත සමාගම දේශීය සමාගමක් වන බැවින් එය ආරක්ෂාකර ගැනීමට කැපවිය යුතුබවටත්, ඊට එරෙහිව අරගල කරන අප විදේශීය බළල් අත් හෝ ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන බවටත් කෙනෙකුට තර්ක කල හැකිය. නමුත් රටේ පරිසරය හා ජන ජීවිතය ආරක්ෂාකිරීමට දේශීය සමාගමකට වැඩි වගකීමක් පැවරී ඇති බව අපගේ වැටහීමයි. ඔවුන් එම වගකීම පැහැරහරින්නේ නම් ඒ වෙනුවෙන් අරගල කිරීමට අප කිසි විටෙකත් පසුබට නොවෙමු.
මේ Facebook ව්‍යාපාරය මගින්ද බලාපොරොත්තු වන්නේ බෝගහගොඩ කර්මාන්තශාලාව මගින් සිදුවන පරිසර විනාශය නවත්වාගැනීමට සමාගමට යම්කිසි බලපෑමක් කිරීම හා එමගින් එම ගමේ ජනතාවට යහපත් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය තහවුරුකර දීමට යම්කිසි සහයක් ලබා දීමයි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය මේ සඳහා තම දායකත්වය ලබා දෙන්නේ පරිසරය රැකගැනීමට ඇති සැබෑ උවමනාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් සිදුකර ඇති වසර ගණනාවක මැදිහත්වීම් වල තවත් එක් දිගුවක් වශයෙන් බවත් කාරුණිකව දන්වනු කැමැත්තෙමූ.
ශ්‍රී ලංකාවේ සත්ත්ව සුබ සාධන පනත’ 
යාවත්කාලීන විය යුත්තේ ඇයි ?

සත්ත්ව ආරක්ෂණය හා සුබ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපට ඇත්තේ වෙනත් කිසිදු ජාතියකට නොමැති තරම් සාඩම්බර අතීතයකි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී මෙරට රජ කළ දේවානම්පියතිස්ස රජු සකලවිධ සත්ත්ව වර්ගයාට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය පිළිගත්තේය. ඒ මිහින්තලාව අභයභූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි.
පසුකාලීනව වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙරට නීති රීති පද්ධතිය විකාශනය වුවද සත්ත්ව හිංසනය වැලැක්වීම සහ සුබසාධනය සම්බන්ධයෙන් දක්නට ලැබුණේ අඩු උනන්දුවකි. 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත මෙරට සතුනට රැකවරණය ලබා දීම සඳහා දැනට ඇති එකම නීතිමය ආවරණය වීම ඊට කදිම නිදසුනයි. නමුත් විවිධ හේතූන් නිසා මෙය යාවත්කාලීන කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් පැන නැඟී  තිබුණ ද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නො කිරීම කණගාටුවට කරුණකි.
ලොව සියලුම සත්ත්වයින්ට ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් ඇත. එය මිනිසුන්ට මෙන්ම සෙසු සත්ත්වයින්ට ද පොදු ය. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කොතෙකුත් නීතිමය ප්‍රතිපාදන තිබුණ ද සත්ත්ව අයිතින් වෙනුවෙන් එවැනි නීතිමය ආරක්ෂාවන් ඇත්තේ ඉතා අවම වශයෙනි. වර්තමානයේ ගෘහාශ්‍රිත මෙන්ම වන සතුන් ඉතා කෘර හා අමානුෂික හිංසනයන්ට හා ඝාතනයන්ට ගොදුරුවන්නේ එම නිසාය . 2016 වසරේදී කුස ඇලි මුහුදු උකුස්සෙකු පණපිටින් හමගසා මරා දැමීමේ සිදුවීමක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තාවූ අතර 2018 වසරේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගම් වැදුණු කොටියෙකු ඉතා අමානුෂික ලෙස පොලු වලින් පහරදී මරා දැමු ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. පසුගිය දා මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේදී සුනඛයෙකු ගිනිතබා මරා දැමීම හා බලංගොඩ, මස්තැන්න ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණයකර මරා දැමීම මෙවැනි සත්ත්ව හිංසනයන් සම්බන්ධ ආසන්නතම සිදුවීම් ද්විත්වයයි.
මෙම අසරණ  සතුන්  සිය දුක් කඳුළු මතින් නිහඬ අරගලයක යෙදෙන්නේ සත්ත්ව හිංසනය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන මෙරට තුළ  ශක්තිමත් කරන ලෙස තව තවත් සිහි කැඳවමිනි. නමුත් අවාසනාවට සත්ත්ව සුබසාධන පණත හමස් පෙට්ටියේ දමාගෙන බලධාරිහු  තවමත් මුණිවත රකිති.
අප ඉහත සඳහන් කළ පරිදි මෙරට සතුන්ගේ ආරක්ෂණය හා සුබසාධනය සම්බන්ධයෙන් දැනට මෙරට තුළ ක්‍රියාත්මකවන නීතිය වන්නේ 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනතයි. බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කරන සමයේ නීතිගතකරන ලද එම ආඥාපනත කරළියට පැමිණ වසර සියයකට අධික කාලයක් ගතවී ඇත. ඉන්පසු ගෙවුණු අතීතය තුළ ලෝකයේ සෙසු රටවල් බොහොමයක් සත්ත්ව හිංසනයන් වැලැක්වීම සඳහා ශක්තිමත් නීති අනපනත් නිර්මාණය කර ඇත. ලොව පුරා ඕනෑ තරම් එවැනි උදාහරණ තිබියදී වර්තමානයට ගැලපෙන ලෙස සත්ත්ව අයිතිවාසිකම් නීතිගතකර ආරක්ෂාකිරීමට රටක් ලෙස අප අපොහොසත්වීම කණගාටුවට කරුණකි.
2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් අප රට සතුව ඇතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.  සැබැවින්ම ඉන් පෙනෙන්නට ඇත්තේ බලධාරින් ඊට දක්වන උනන්දුවේ තරමය. වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධ නීති රීති යම්කිසි ප්‍රමාණයකින් යාවත්කාලීන  කරන අතරේ පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය පිළිබඳව රජයට පසුගාමී අදහසක් තිබීම විමතියට කරුණකි.
මේ පිළිබඳව අප කළ විමසීමේදී සත්ත්ව සුබසාධන හවුලේ කැඳවුම්කාරිණි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවසුවේ ‘පසුගිය කාලය පුරාම සත්ත්ව හිංසන සිද්ධි රැසක් වර්තා වුණා. අප දිගින් දිගටම සත්ත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු යැයි අරගලයක නිරත වන්නෙ ඒ නිසයි. අදටත් ක්‍රියාත්මක වන්නේ  1907 හඳුන්වා  දුන් නීතියක්. අද රටට ගැලපෙන විධියට මේ නීති අලුත්වන්නට අවශ්‍යයි. අප රජයෙන් ඉල්ලා  සිටින්නේ  සත්ත්ව සුබ සාධන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර මෙරට තුළ සිදුවන සත්ත්ව හිංසනයන් වැලැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙසයි’.
1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මගින් යම්කිසි සත්ත්ව හිංසනයක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයෙකුගෙන් අයකර ගතහැකි උපරිම දඩ මුදල රුපියල් සියයක් පමණි. එවැනි වරදකරුවෙකු සය මසක උපරිමයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමකට යටත්කළ හැකිව තිබුණද එම දණ්ඩනය පැනවෙන්නේද ඉතා අල්ප වශයෙන් බව විජේනායක මහත්මිය පවසන්නීය. මේ අනුව සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශක්තිමත් පනතක් නීතිගත කිරීම කාලීන අවශ්‍යතාවයකි.
මෙම නව පනත සම්මත කිරීම මගින් ආකාර කිහිපයකින් අසරණ සතුන්ට නීතිමය ආරක්ෂාවක් සැලසේ. සත්ත්වයින් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය අර්ථකථනය වඩාත් පුළුල් කිරීම මගින් සත්ත්ව හිංසනයට එරෙහිව වැඩි ආවරණයක් ලැබීම මෙම නව පනතේ ඇති විශේෂත්වයකි. එසේම සත්ත්ව හිංසනයන් හා සතුන්ට නොසලකා හැරීම් සම්බන්ධයෙන් වැරදකරුවන්ට ලබා දිය හැකි දඬුවම් ඉහළ නැංවීමට ද මෙ මඟින් අවස්ථාව ලැබේ. තව ද සතෙකු තම භාරයේ තබාගන්නා පුද්ගලයාට එම සත්ත්වයා රැකබලා ගැනීමට නෛතික වගකීමක් පැවරීමද මෙහි ඇති නව සංකල්පයකි. එමෙන්ම සත්ත්ව ආරක්ෂණය සහ හිංසනය පිළිබඳ විශේෂයෙන් ක්‍රියාත්මක වන අධිකාරියක් හරහා නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යූහය ද මෙම පනත හරහා ගොඩ නැඟීමට ප්‍රතිපාදන සලසා ඇත. මේ සියලු කරුණු  සමග වඩාත් ඵලදායී හා කාර්යක්ෂම නීති රාමුවකින් මෙරට සියලු සත්වයින්ට ආරක්ෂාව ලැබීමට හා සුබසාධනය තහවුරුකරගැනීමට මෙම පනත අවස්ථාව උදාකරදී ඇත. මේ නිසා සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බල කිරීම අවිහිංසාව අගයන උතුම් මානව ගුණාංගයන්ගෙන් පිරි හදවත් ඇති සැමගේ යුතුකම හා වගකීම වන්නේය

Thursday, August 16, 2018


තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය අලි - මිනිස් ගැටුම් කළමනාකරණය ආපස්සට හැරවීමට විරෝධය පළකිරීම !



ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම අවුරුදු එකහමාරකින් විසඳීම සඳහා තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය මගින් නව වැඩපිළිවෙලක් යෝජනා කර ඇත.

එමගින් අදහස්  කෙරෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් සහිත සියළුම ප්‍රදේශවලින් වන අලි ඇතුන් දහස් ගණනක් පන්නා රක්ෂිත වලට කොටු කිරීමත්, ප්‍රශ්නකාරී තනි අලින් සිය ගණනක් අල්ලා ජීවිතාන්තය දක්වා සිරගත කිරීමත් මගින් මෙම ගැටුම විසඳීමටය.

මෙය අලි කළමනාකාරණ ජාතික ප්‍රතිපත්තියට සම්පුර්ණයෙන් පටහැනි, සියළු විද්‍යාත්මක සොයාගැනීම් වලට විරුද්ධ හා යථාර්තවාදීද නොවන වැඩපිළිවෙලකි.

මෙය කිසිදා සාර්ථකකරගත නොහැකි අසාර්ථක වැඩසටහනක් නමුත්, එහි ඇති භයානකකම වන්නේ ඒ සඳහා උත්සාහ දැරීම මගින්ද අලි - මිනිස් ගැටුම් විශාල ලෙස උත්සන්න වීමත්, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් එමගින් මරණයට පත්වීමත්ය.



ශ්‍රී ලංකාවේ අලි ඇතුන් හා මිනිසුන් සම්බන්ධයෙන් විශාල සමාජීය, ආර්ථික හා පාරිසරික බලපෑමක් එල්ලකරන ගැටළුවක් බවට අලි - මිනිස් ගැටුම පත්ව ඇත. ගැටුමේ පාර්ශව දෙකටම අගතියක් නොවන පරිදි වඩාත් විද්‍යාත්මක හා තිරසාර ආකාරයෙන් මෙම ගැටුම කළමනාකරණය කළයුතුව තිබියදී එසේ නොකර මිනිසුන් ජීවත්වන ප්‍රදේශ වලින් අලි ඇතුන් සම්පුර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශ වල ගාල්කිරීම හා අලි රැඳවුම් මධ්‍යස්ථානවල සිරිගතකිරීම මගින් එම ගැටුම පාලනය කිරීම සඳහා තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන යථාර්තයෙන් හා ජාතික ප්‍රතිපත්තියෙන් බැහැර අලි - මිනිස් ගැටුම් කළමනාකරණ වැඩසටහන සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය පළකරමු. ඒ හේතුවෙන් දිවයින පුරා පැතිරී ඇති අලි - මිනිස් ගැටුම් ඉදිරියේදී තවදුරටත් උත්සන්නවීමේ දැඩි අවධානමක් පැනනැගී ඇති අතර එම තත්ත්වය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් මැදිහත්වන ලෙස අප වර්තමාන තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නොයෙකුත් අඩුලුහුඬුකම් මතින්හෝ වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව හා සෙසු ඇල්මැති පාර්ශව අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා විද්‍යාත්මක හා සාධනීය විසඳුම් යෝජනා ගණනාවක් මත පදනම්වූ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගා ඊට අනුකූලව වැඩසටහන් ක්‍රියාවට නැංවීම අරඹා ඇත. එසේ තිබියදී එකී සියළුම විසඳුම් යෝජනා නොසලකා හරිමින් ඉදිරි වසර එක හමාර තුල අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට යැයි පවසමින්රේඛීය විෂයභාර තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය මගින්  මෙම වැඩසටහන සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව පසුගිය ජූලි මස 13 වැනි දින අලි - මිනිස් ගැටුම කළමනාකරණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ අදහස් ලබාගැනීම සඳහා බව හුවා දක්වමින් රේඛීය අමාත්‍යංශය විසින් සංවිධානය කෙරුණු වැඩමුළුවේදී අනාවරණය විය.

නමුත් ඒ ආකාරයෙන් මිනිසුන් ජීවත්වන ප්‍රදේශ වලින් අලි ඇතුන් සම්පුර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම හා අලි රැඳවුම් මධ්‍යස්ථානවල සිරිගතකිරීම අලි - මිනිස් ගැටුමට කිසිඳු ආකාරයක විසඳුමක් නොවන බව අප අවධාරණය කරමු. ඒ වෙනුවට මෙමගින් සිදුවන්නේ අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය නැවත ආපස්සට හැරවීම හා අලි - මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාම මගින් එම දෙපාර්ශවයේම ජීවිත අනතුරේ වැටීම පමණි.

එබැවින් ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය හා අලි මිනිස් ගැටුම කළමනාකරණය සම්බන්ධව 2017 වසරේ කෙටුම්පත්කර දැනට අප්‍රකාශිත තත්වයේ පවතින ප්‍රතිපත්ති මාලාවේද අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුලම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මෙරට අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා නායකත්වය ගන්නා ලෙස අප තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටිමු.

මිනිසුන් ජීවත්වන ප්‍රදේශ වලින් අලි ඇතුන් සම්පුර්ණයෙන්ම ඉවත්කර වනජීවී හා වන රක්ෂිත වලට ගාල්කිරීම මගින් අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට ඉතිහාසය පුරා දරන ලද සියළු ප්‍රයත්නයන් අසාර්ථකවී තිබියදී බලධාරීන් නැවතත් මෙරට වන අලින් හා මිනිසුන් රෑ වැටුණු වලේ මහා දවලෙත් ඇදදැමීමට කටයුතු කරමින් සිටීම ඛේදණීයය. පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරනලද ප්‍රධාන සිද්ධාන්තය වූයේ ද වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. කෙසේ වෙතත් වර්තමානයේවනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත්රක්ෂිත ප්‍රදේශ ජාලය මගින් ආවරණය වන්නේ දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට විසිහයක් පමණ වන අතර මිනිස් ක්‍රියාකාරකම් නැතිරක්ෂිත ප්‍රදේශසියයට දහඅටක් පමණවේ.නමුත් දිවයිනෙහි සියයට හැටක පමණ ප්‍රදේශයක වන අලි ඇතුන් ජීවත්වේ. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් දැනට කුල්ලක තරම් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් අල්ලක් තරම් ප්‍රදේශයකට ගාල් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත. ඒ මතුද නොව, දැනට අලි ඇතුන් ජීවත්වන රක්ෂිත ප්‍රදේශවලින් සියයට හතලිස් හතරක පමණ ප්‍රදේශයක මිනිස් ක්‍රියාකාරකම් සිදුවන අතර “මිනිසුන් ජීවත්වන ප්‍රදේශ වලින් අලි ඇතුන් සම්පුර්ණයෙන්ම ඉවත්කිරීම” ට නම් එම ප්‍රදේශ සියල්ලෙන්ම වන අලින් ඉවත්කළ යුතුය. ඒ අනුව මෙම වැඩපිළිවෙල මගින් ඉදිරියේදී වන අලි ඇතුන් 4000කට පමණ බලපෑම් එල්ලවීමට නියමිතය.   එබැවින් මෙම උත්සාහය කිසිඳු ආකාරයකින් සාර්ථකත්වයක් අත්කර නොගන්නා බව යලි යලිත් පැවසිය යුතු නැත. එසේම එවැනි ප්‍රයත්නයකින් සිදුවන්නේ අලි - මිනිස් ගැටුම නැවත නැවතත් භයානකලෙස ඔඩුදිවීම පමණක් බවත් තම ජන්මභූමි වලින් පන්නා දමන අලි ඇතුන් හාමතේ මියයාම බවත් අමාත්‍යෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වටහානොගැනීම කණගාටුවට කරුණකි.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකරතිබේ. එවැනි පසුබිමක් තුල අලි - මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යොදාගැනීම ඉතා අවිද්‍යාත්මක ක්‍රියාවක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් 225 ක්‌ පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි. එසේම වයඹ වනජීවී කලාපයේ දිවිගෙවන අලි ඇතුන් රංචු කහල්ල - පල්ලෙකැලේ හා තබ්බෝව අභයභූමි තුලට ගාල්කර එම ප්‍රදේශයේ අලි - මිනිස් ගැටුම කළමනාකරණ කිරීමට ගොස් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අසාර්ථකත්වයට පතුවුයේ ද වරක් දෙවරක් නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීමසැඟවිය නොහැකිසත්‍යකි. අද දක්වාමඑම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

ඒ සඳහා අමාත්‍යංශ බලධාරීන් යෝජනාකරන විසඳුම වන්නේ අක්කර දස දහසක තෘණ වගාකර වන අලින්ගේ කුසගින්න නිවීමටය. අක්කර දස දහසක් විශාල වපසරියක් ලෙස සිතුවද අලි ඇතුන් දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරන පසුබිමක අක්කර දස දහසක තණකොළ අලි ඇතුන් සිය දෙනෙකුටවත් ප්‍රමාණවත් වේදැයි සැකසහිතය. එසේම අලි ඇතුන් අති මහත් බහුතරයක් ජීවත්වන වියළි කළාපයේ මෙසේ තෘණ භූමි ඇතිකරමින් අලින්ට ආහාර සැපයීමට කිසිලෙසකත් ප්‍රායෝගික නොවන්නේ වියළි සමයේ තණකොළ වැවීමට තබා එම ප්‍රදේශවල ජනතාවට පවා පිපාසය සංසිඳුවා ගැනීමට වත් ජලය නොමැතිවන බැවිණි. ඒ සඳහා මින්පෙර ලුණුගම්වෙහෙර, උඩවලව හා තබ්බෝව ප්‍රදේශවල අසාර්ථකවූ තණකොළ වැවීමේ ව්‍යාපෘතිද උදාහරණ ලෙස ගත හැකිය. ඒ අනුව මෙම වැඩපිළිවෙල මගින් ඉදිරියේදී බලපෑම් එල්ලවීමට නියමිත වන අලි ඇතුන් 4000කට කුසගින්නේ මියයාමට සිදුවීම නොවැලැක්විය හැකිය.  

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්වඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණුපර්යේෂණ මගින්ද අනාවරණය වන්නේකොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි - මිනිස් ගැටුමට දායකවන තනිඅලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාස භූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව,පැන්නීමෙන් කුපිතවූපිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කිරීමසුලභව දක්නට ලැබේ.
තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම් සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලිවෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි - මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන හා ජාතික ප්‍රතිපත්තිය මගින් පිළිගත් කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇතිප්‍රදේශප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම්වලටවැදීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

හම්බන්තොට වනඅලි කළමනාකරණ ප්‍රදේශය (Managed Elephant Range) වැනි ව්‍යාපෘති මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරා ඇත්තේ මේ ආකාරයෙන් වනජීවී රක්ෂිත වලින් පරිබාහිරව ජීවත්වන වන අලි රංචු ක්‍රමානුකූලව ඔවුන්ගේ වාසභූමි තුලට සීමා කර අලි - මිනිස් ගැටුම අලි - මිනිස් සහජීවනයක් බවට පත් කිරීමටය. නමුත් එවැනි වනඅලි කළමනාකරණ ප්‍රදේශ සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය ලබා දීමට කටයුතු නොකිරීම හා එම ප්‍රදේශද දේශපාලන හෙංචයියන් හා ව්‍යාපාරිකයින්ට උලාකන්නට ඉඩහැර අහක බලාගෙන සිටින බලධාරීන් එමගින් ඔඩුදුවන අලි - මිනිස් ගැටුම පාලනය සඳහා බව කියමින් අලි ඇතුන් වනජීවී හා වන රක්ෂිත තුලට ගාල් කිරීමට යත්න දැරීම ජුගුප්සාජනකය. එසේ සිදුකර දැනට ඉදිකර ඇති විදුලි වැට කිලෝමීටර් 4500 කට අමතරව තවත් විදුලිවැට කිලෝමීටර් 2500 ක් ඉදිකර මෙම ගැටුම පාලනය කිරීමට හැකි බවට බලධාරීන්ට අදහස් පහළවූයේ කෙසේද යන්න ප්‍රශ්නයකි. 

තවද මෙවැනි අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද යොදා ගනිමින් ගැටුම ප්‍රවර්ධන කරන බලධාරීන් එහි සෘජු ප්‍රතිපලයක් වන අලි ඇතුන් “මිනීමරු” හංවඩුව ගසා“අලිරැඳවුම් මධ්‍යස්‌ථාන”නමින් හඳුන්වන එළිමහන් සිර කඳවුරු වලට ගාල් කර ජීවිතාන්තය දක්‌වා 'සිරදඬුවම්' ලබා දීමටද යෝජනා කෙරේ. ඒ අනුව දැනට හොරොව්පතාන ප්‍රදේශයේ ඉදි කර ඇති අලිරැඳවුම් මධ්‍යස්‌ථානයේ අලි සියදෙනෙකු සිරගත් කිරීමට නියමිත අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අලි රැඳවුම් මධ්‍යස්ථානයේද එවැනිම අලි ඇතුන් ප්‍රමාණයක් සිරගත් කිරීමට නියමිතය. මේ වැඩපිළිවෙල මගින් ඉදිරි වසර එකහමාර තුල අලි - මිනිස් ගැටුමට තිත තැබිය හැකිවෙතැයි බලධාරීන් ගත්තීරණය  කුමනදත්තමත පදනම්ව ඇත්දයන්න විමසිය යුතුව ඇත.

වර්ග කිලෝමීටර් විස්සක පමණ කුඩා භූමි ප්‍රමාණයක්‌, වන අලින්ට පැන යැමට නොහැකි බව කියන භෞතික බාධකවලින් ආවරණය කර සකස්‌ කර ඇති මෙවැනි අලි රැඳවුම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම එළිමහන් හස්‌ති සිර කඳවුරු‌ බව කීම වරදක්‌ නො වේ. තවද එමගින්ද සිදුවන්නේ අලි මිනිස්‌ ගැටුම පාලනය වෙනුවට ප්‍රවර්ධනය කිරීම බව දෙවරක් පැවසිය යුතුව ඇත. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් සියයක පමණ ප්‍රදේශයක සංචාරය කරමින් ජීවත් වන වනගත පිරිමි අලි මද කිපෙන සමයේ දී වර්ග කිලෝමීටර් හය සියයක (600 km2) පමණ පුළුල් ප්‍රදේශයක ගමන් කරති. එවැනි හැසිරීමක්‌ සහිත අලින් මෙවැනි පටු බිම්කඩකජීවත කාලයමකොටු කර තැබීම සැබැවින් ම සිරගත කර තැබීමක්‌ බව නො කිවමනා ය. සිර කරනු ලබන වන අලින්ට ආහාර පිටතින් ලබා දීමට තීරණය කෙරුණ ද මේ අලි සිරකරුවන්ට එවැනි ආහාර සැපයීමක්‌ කල හැකිද යන්න ද ගැටළුසහගත ය. දරාගත නොහැකි කුසගින්න හා මානසික ආතතියෙන් බැට කන මේ අසරණ අලි ඇතුන්ට ඇති එක ම විකල්පය වන්නේ කඳවුර බිඳගෙන පලා යැම වුවත් ඒ සඳහා දරන සැම උත්සාහයක්‌ ම දැනට හොරොව්පතානේ සිදුකරන ආකාරයට වෙඩි උණ්‌ඩ මඟින් ව්‍යර්ථ කිරීමඅදහස්  කරන බව දැනගන්නට ලැබී තිබේ. එසේ ම අලි රැඳවුම් මධ්‍යස්‌ථානයට ගාල් කරන අලි ඇතුන් ගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කිරීමට, සෞඛ්‍ය හා සුබසාධන තත්ත්වය සොයා බැලීමට ආදි කිසිදු සාධනීය ප්‍රවේශයකට මෙහි දී අවධානය යොමු කර නොමැති අතර ඒ සඳහා අඩු තරමින් සැලසුමක්‌ හෝ නොමැති බව අප අවධාරණය කළ යුතු ය. ඕනෑ ම දෙයකට දරාගත හැකි උපරිම ධාරිතාවක්‌ ඇතත් බලධාරීන් මේ අලි සිර ගෙදරට එවැනි උපරිම ධාරිතාවක්‌ වත් නිර්ණය කර ඇති බවක්‌ පෙනෙන්නට නැත. ඒ මන්ද යත් සිර කඳවුරේ ගාල් කර ඇති අලින් සංඛ්‍යාව පිළිබඳ ව වනජීවීය සතු ව පිළිගත හැකි සංඛ්‍යාලේඛන හෝ වාර්තා නොමැති බැවිනි. එවැනි අවාසනාවන්ත පසුබිමක් තුල හොරොව්පතානඅලි ගාලේ සිර කෙරුණු බව කියන අලි ඇතුන් 36 දෙනෙකුගෙන් (සැබෑ සංඛ්‍යාව මීටවඩා බෙහෙවින් වැඩි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ) අලින් ගණනාවක් අකාලයේ කුසගින්නෙන් මරණයට පත් වී හෝ පැනගොස් ඇති බව රේඛීය විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයාද ප්‍රකාශකරන පසුබිමක බලධාරීන් සුදානම් වන්නේ අලි - මිනිස්‌ ගැටුමට දායක වන බවට චෝදනා ලබන අලින් තව තවත් අල්ලා සිරගත කිරීම ය. එසේ ම මහජන මුදල් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති සඳහා කාබාසිනියා කරන බලධාරීන් ඒවායේ අසාර්ථක බව පිළිබඳ ව තොරතුරු ජනතාවට වසන් කිරීම ද ජුගුප්සාජනක ය.

මෙම රැඳවුම් මධ්‍යස්‌ථාන අලි මිනිස්‌ ගැටුම පාලනය වෙනුවට ප්‍රවර්ධනය කරන මධ්‍යස්‌ථාන ලෙස ක්‍රියා කරන බව අප අවධාරණය කරන්නේ එමඟින් සිදු වන්නේ මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බැවිනි. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව නො කිවමනා ය. ගාලෙන් පැනගෙන තම මුල් වාසභූමිය වෙත අලියාට පැමිණිය හැකි වුව හොත් එම සත්ත්වයා පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නො වේ. එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම නො වේ ද? එසේ ම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාව ගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. එසේ ම මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යැම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන සම්පත් ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.
ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයට හා අලි මිනිස් ගැටුම කළමනාකරණයට අදාලව 2006 වසරේ එළිදැක්වුණු රජයේ ජාතික ප්‍රතිපත්ති මාලාවේ මෙන්ම 2017 වසරේ කෙටුම්පත්කර දැනට හමස් පෙට්ටියේ දමාගෙන සිටින ප්‍රතිපත්ති මාලාවේද අවධාරණය කෙරෙන්නේ වන අලි ඇතුන් එම සතුන්ගේ පාරම්පරික වාසභූමි තුලම සංරක්ෂණය කරමින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමය. දැනට විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පුකර ඇති ප්‍රායෝගික විසඳුම වන්නේ ද එයයි. නමුත් ඒ සියල්ලට පයින් ගසමින් රේඛීය අමාත්‍යංශය ක්‍රියාකිරීමෙන් සිදුවන්නේ වර්තමාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණය නැවත වසර විස්සක් පමණ ආපස්සට තල්ලුවීම බව අප අවධාරණය කලයුතුය. තම විෂය පථය වෙනස්වීම හෝ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීම මගින් බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ ඔළුගෙඩි මාරු වුවද ඔවුන් විසින් සිදුකරන වැරදි නිසා රට ආපස්සට යාම නොවැලැක්විය හැකි අතර වර්තමානයේ මෙරට අලි - මිනිස් ගැටුම් කළමනාකරණයද මුහුණදී ඇත්තේ එකී ඉරණමට බව අප අවධාරණය කරමු.

වර්තමාන තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිමාකිරීමට මැදිහත්වූ අයුරින් අලි - මිනිස් ගැටුම මැඩලීම සඳහා ද සාධනීය මැදිහත්වීමක් සිදුකරණු ඇතැයි අප සියළුදෙනාම බලාපොරොත්තු වුනෙමු. නමුත් වනජීවී සංරක්ෂණයට පටහැනි ආකාරයෙන් හා අලින්ට එරෙහිව සිදුකරන යුද්ධයක ආකාරයෙන් මෙම වැඩසටහනට ඔහු මගින් ක්‍රියාත්මක කරවීමට කිසිවෙකු හෝ උත්සාහ දරමින් සිටින්නේ වැරදි දත්ත ලබාදෙමින් ඔහුවද නොමග යවමින් ද යන්න සැක සහිතය. නමුත් ත්‍රස්‌තවාදය මර්ධනය කල ආකාරයෙන් ගැටුමේ එක් පාර්ශවයක් සමූලඝාතනය කර යුද්ධයක් දිනිය හැකි වුවද අලි - මිනිස් ගැටුම විසඳීමේදී එය සිදුකළ යුත්තේ ගැටුමේ පාර්ශවකරුවන් දෙපිරිසටම අනර්ථයක් සිදු නොවන ආකාරයෙන් බව අමාත්‍යවරයා ද වටහාගෙන ඇත.එනමුත් මේ සිදුකිරීමට යන්නේ වන අලින්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම ය. අලි රංචු වනජීවී හා වන රක්ෂිත තුලට හා අලි රැඳවුම් මධ්‍යස්ථාන වලට ගාල්කර එයින් පිටතට පැමිණෙන අලින් දණ්ඩනය කිරීම සඳහා නවීන තුවක්කු හා ප්‍රවාහන පහසුකම් සහිත 5000 ක සිවිල් ආරක්ෂක බලඇණියක් ද යොදා ගැනීමට සැලසුම් සකස් කිරීමෙන් ඒ බව මොනවට පැහැදිළිවේ.

තවද ඒ සමග මෙතෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවසහ සෙසු ඇල්මැති පාර්ශව (වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන, ග්‍රාමීය ප්‍රජාව) ජාතික ප්‍රතිපත්තිය මත පදනම්වසාමුහික ප්‍රයත්නයක් වශයෙන් දියත් කෙරුණු අලි - මිනිස් ගැටුම් කළමනාකරණ කටයුතු තනිකරම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ රාජකාරිය බවට පත්කර ගැනීමට බලධාරීන් කටයුතු කිරීම මගින් ජනතාවට ලබාදෙන නරක පූර්වාදර්ශය ද ඉතා බරපතල බව අවධාරණයකල යුතුය. මෙම ක්‍රියාකලාපය හේතුවෙන් උත්සන්න වන අලි - මිනිස් ගැටුම් හේතුවෙන් ජීවිත තර්ජනයට මුහුණදෙන ජනතාව ඉදිරියේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව අවි ඔසවන්නේ අලි - මිනිස් ගැටුම පාලනය සඳහා තමන් වෙත පැවරී ඇති සාමූහික වගකීමෙන් මුදවනු ලැබ වඩාත් නිදහස් ආකාරයෙන් බව බලධාරීන් සිහිතබා ගත යුතුය.
එබැවින් අප තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ න්‍යාය මගින් මෙරට අසරණ වන අලි සම්පත හා අහිංසක දුප්පත් ජනතාව කබලෙන් ලිපට ඇද දැමීම නවතා වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ තිරසාර ආකාරයෙන් අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට නායකත්වය දෙන ලෙසය.

මීට විශ්වාසී,
සංරක්ෂණ පර්යේෂණ ආයතනය
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
පරිසර යුක්ති කේන්ද්‍රය
පරිසර සංවිධාන සම්මේලනය
ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය
වැසිවනාන්තර සුරකින්නෝ
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය
ස්වභාව ගවේෂණ හා අධ්‍යාපන කණ්ඩායම
අලි ඇතුන්, වනාන්තර හා පරිසර සංරක්ෂණ භාරය
උඩවලවේ හස්ති පර්යේෂණ ව්‍යාපෘතිය
ජෛවවිවිධත්ව හා අලි සංරක්ෂණ භාරය
පරිසර හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය
ඉකෝ බ්‍රිගේඩ් ශ්‍රී ලංකා
ඉකෝ වී - පරිසරහිතකාමී ස්වේච්ඡා සංවිධානය
ජෛවවිවිධත්ව අධ්‍යාපන හා ගවේෂණ සංගමය
නැචුරල් හිස්ට්‍රි සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා
දේශීය වනාන්තර සුරකීමේ සංගමය
ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Saturday, May 19, 2018

අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි !

(Endangered Species Day: 18 May)


අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදට යෙදී තිබේ. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද නොයෙකුත් අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීමේ දොරකඩට පැමිණ ඇති අහිංසක අසරණ වනජීවී විශේෂ ප්‍රමාණය දස දහස් ගණනකි. වාසභූමි අහිමිවීම හෝ ඛණ්ඩනය වීම, වනජීවී ජාවාරම, දේශගුණ විපර්යාසය වැනි මානව බලපෑමෙන් ඇතිවූ නොයෙකුත් සෘජු හා වක්‍ර හේතු නිසා මෙසේ වනජීවීන් වඳවීමේ තර්ජනයට මුහුණපා සිටිති.
මේ පොළෝ තලය මත මිනිස් ප්‍රාණියා බිහිවීමට පෙර සිට ජීවත්වූ සුවහසක් වනජීවී විශේෂ මිහිපිටින් අතුගා දමමින් මිනිසා නම් සොබාදහමේ නොහික්මුණු පුත්‍රයා පෘථිවි තලය මත බලවත්වූ දා සිට තවමත් එකී කාලකන්ණිකම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඇත්දළ, අලි හම් ඈ කොටස් ලබාගැනීම සඳහා ලේ විල් මැද ඝාතනය කරන අලි ඇතුන්ගේ සිට කුඩා කෘමි සතුන් දක්වා සෑම තරාතිරමකම වනජීවීන් මේ මොහොතේද මිනිසාගේ කෑදරකමේ ගොදුරක් බවට පත්වෙමින් සිටී.
මෙම තත්වය වැලැක්වීම සඳහා සොබාදහමේ සැබෑ දූ පුතුන් අතලොස්සක් නොයෙක් වීරිය කෙරුවද තවමත් බොහෝ තැන් වල සැහැසිකම් සිදුවෙමින් පවතී. ජෛවවිවිධත්වය අතින් ලොව ඉහළින්ම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපටද අපගෙන් සුමුගෙන යාමට සැරසෙන අසරණ වන සත්ව විශේෂ රැකගැනීම සඳහා වගකීමක් හා යුතුකමක් ඇත. විල්පත්තුව, දුම්බර වැනි සුවිශේෂී වනජීවී වාසභූමි තක්කඩි දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය යොදා උලාකමින් සිටින මොහොතක මෙවර “අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය !” අපේ රටටද ඉතා තීරණාත්මක බව අප සිතමු.
පරිසරය රකින බවට ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් ආණ්ඩුව වැටත් නියරත් ගොයම් කන්නා සේ රටේ ස්වභාවික සම්පත් උලා කද්දී ඒ අමාරුව කියන්නට කෙනෙක් නැති සෙයක් හැගේ. නමුත් මේ පොළොවේ ජීවත්වන සියළුම ජීවී විශේෂ වලට තම ජීවිත පවත්වාගෙන යාම සඳහා සමාන අයිතිවාසිකමක් ඇති බව අප අවධාරණය කරමු. එසේම ඒ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනීසිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවන බව බලධාරීන්ට අවධාරණය කරමු !!!

මීට ශ්‍රී ලංකා ජෛවවිවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය