Sunday, July 11, 2021

‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාව හොර මගඩියක් බව ආණ්ඩුවේ විගණනය මගින්ම ඔප්පු වෙයි!



ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාපත් වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත. එසේම ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණක් බවද පැහැදිලිය. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි. නමුත් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැත. ඒ වෙනුවට ඉතිහාසයේ නැවත නැවතත් අසාර්ථක ‘එළිමහන් අලි සිර කඳවුරක්’ ඉදිකරන මුවාවෙන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ද බලධාරීන් මේ වනවිට උලාකමින් සිටී. එවැනි පසුබිමක ආණ්ඩුවේ විගණකාධිපති විසින්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක බව පමණක් නොව එය හොර ගුහාවක් බවත් නැවත නැවතත් ඔප්පුකර පෙන්වීම සරදමක් වැනිය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව ඉදිරිපත්කර ඇත. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලුතින් අලි රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවාගෙන පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරීම අලි රැඳවුම් මධ්‍යස්ථානයක කාර්ය භාරයයි. මෙරට ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරි කරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2012 වසරේදී අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙම එළිමහන් හස්ති සිර කඳවුර ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යවමින් සිටියි. මෙකී ආන්ධෝලනාත්මක විගණන වාර්තාව කරළියට පැමිණෙන්නේ එසේ රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියදීය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් අප මින් පෙරද අවස්ථා ගණනාවකදී පෙන්වාදී ඇත්තෙමු. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

නමුත් බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර රෑ වැටුණු වලේ ස්වකැමැත්තෙන්ම මහා දාවලේද ඇදගෙන වැටෙමින් සිටී. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව මේ ඔස්සේ වංචනිකව ලැබුණු ප්‍රතිලාභ නිසාම විය හැකි බව විගණකාධිපති වාර්තාව මගින් ගම්‍යමාන වේ. 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදය තුල හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැත. අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යනයක් සිදු නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති අතර එමගින් අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුලත්කර, සතුන්ට සපයා, මුදල් ලබාගෙන ඇත. සපයන ලද ආහාරවල බර කිරීම සඳහා පුද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිතා කර ඇති අතර බර කිරීම අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නැත. බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවීම් සිදුකර ඇත. 2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව නමයක් බව වාර්තා වුවද 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලින් තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා ඇති බවත් ඒ අනුව රුපියල් 6,559,245 ක වැඩිපුර ආහාර සපයා ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. නමුත් මධ්‍යස්ථානයේ සිටි අලින්ගෙන් මිය ගොස් ඇති බවට වාර්තාකර ඇති අලින් දොළොස් දෙනාගෙන් පස් දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැතිවීම සහ මන්දපෝෂණය හේතුවෙන් වීම විමතිය දනවන සුළුය. ඒ අනුව මෙය හොර ගුහාවක්ව පවතින්නට ඇති බව යළිත් පැවසිය යුතු නැත.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනය ඉදිකරනු ලබන්නේ 2012 මාර්තු 17 දිනැති 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුවය. ඒ 2012 අයවැය යෝජනාවලියේ සඳහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන හතරින් එකක් වශයෙනි. හොරොව්පතාන ප්‍රථමයෙන් ඉදිකර එහි සාර්ථකත්වය ඇගයීමෙන් පසුව අනෙක්වා ඉදිකිරීමට තීරණය කර තිබුණි. නමුත් ක්‍රියාකාරකම් සිදුවන්නේ එකී එකඟතාවයන් සියල්ලට පටහැනිවය. ඒ රටේ අවශ්‍යතාවයට වඩා දේශපාලකයන්ගේ සහ වනජීවී ලොක්කන්ගේ කෑදරකම ලොකු නිසා විය යුතුය. මෙතෙක් කලක් අප පමණක් පැවසූ අඳුරු යථාර්ථය, මහජන මුදලින් යැපෙන ආණ්ඩුවේම ආයතනයක් මගින්ම සාක්ෂි සාධක සහිතව පෙන්වාදී තිබේ. දැන් එළඹ ඇත්තේ ගලේ පැහැරූ බළලුන් තම අසූචි දුගඳ සඟවා ගන්නා ආකාරය පිළිබඳව විමසිලිමත් විය යුතු කාලයයි.

 

දහයියාගල (අලි මංකඩ) අභයභූමියේ ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීමෙන් ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම උත්සන්න වීමේ අවධානමක්



ශ්‍රී ලංකාවේ ප්‍රකට වන අලි වාසභූමියක් වන උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය අතර අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඉවහල් වන දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීම නිසා ඉදිරියේදී ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී. තවද මෙවැනි අත්තනෝමතික, අසාධාරණ සහ අමනෝඥ ක්‍රියාකලාපයන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වල වනජීවී රක්ෂිත අනවසරයෙන් අල්ලා ගැනීමටද පුද්ගලයින් පෙළඹීමට නරක පූර්වාදර්ශ සපයන බව අප අවධාරණය කරමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජනවාරි 30 දින පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලුත්වැව ග්‍රාම නිලධාරී වසමේ පවත්වනු ලැබූ ගම සමග පිළිසඳරඅට වැනි වැඩසටහනේදී මෙම අලි- මිනිස් ගැටුම් ඉහළ යාමට තුඩුදෙන සහ නරක පූර්වාදර්ශ සපයන තීන්දු තීරණ ජනතාව හමුවේ ප්‍රකාශකර තිබේ. තවද මෙම වැඩසටහන අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දහයියාගල අභයභූමියට අයත් කුකුල්කටුව වැව් තාවුල්ල අනවසරයෙන් විනාශකර නිර්මාණයකල පසුතලයක පැවැත්වීමද කණගාටුවට කරුණකි.

වර්ෂ 2002 ජුනි මස 07 දිනැති අංක 1239/28 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 2685.07 ක වපසරියකින් සමන්විත දහයියාගල අභයභූමිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය ඇතුළු සමස්ත හස්ති වාසභූමියේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහාය. උඩවලව ජාතික උද්‍යානයේ සිට සහ වටහිරකන්ද අලි මංකඩ ඔස්සේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යායේ සිට පවා අලි ඇතුන් බෝගහපට්ටිය යෝජිත අභයභූමිය, රජවක වන රක්ෂිතය, සමනල වැව වන රක්ෂිතය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අධි සංවේදීම පරිසර පද්ධතියක් වන හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තර කළාපය වෙත සංක්‍රමණය වීමට මෙම අලි මංකඩ භාවිතා කරයි. එසේම මෙහි කරමැටිය ප්‍රදේශයේ පිහිටා ඇති ලවණ නිධිය අලි ඇතුන්ගේ ලවණ අවශ්‍යතාවය සැපිරීම සඳහා පුළුල් වශයෙන් භාවිතයට ගැනේ. තවද දහයියාගල අභයභූමිය තුල ඇති වැව් පද්ධතියද වියලි කාලයේදී අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා විශාල පිටුබලයක් ලබාදේ. උඩවලව ජාතික උද්‍යානයට විශාල වශයෙන් හීලෑ ගවයින් ඇතුළු කිරීම සහ ආක්‍රමණික ශාක ව්‍යාප්තිය නිසා එහි අලි ඇතුන් දැඩි ආහාර හිඟයකට මුහුණදී සිටින බව නොරහසකි. එසේම දිවයිනේ වැඩිම ගම්මාන සංඛ්‍යාවකින් වටවී ඇති ජාතික උද්‍යානය වන්නේද උඩවලව යි. එබැවින් එහි ජීවත්වන අලි ඇතුන්ට තම පැවැත්ම හතවුරුකර ගැනීම සඳහා ඇති ප්‍රධානතම විකල්පය වන්නේ දහයියාගල අලි මංකඩ ඔස්සේ බෝගහපට්ටිය දෙසට ගමන් කිරීමයි. ඒ අනුව අලි ඇතුන්ට වාසභූමියක් ලෙස මෙන්ම අත්‍යාවශ්‍ය සංක්‍රමණ මාර්ගයක් ලෙස දහයියාගල අභයභූමිය අතිශයින්ම වැදගත් වන බව පැහැදිළිය.  

එබැවින් දහයියාගල අභයභූමියට අයත් ඉඩම් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදාගත හොත් එම අලි මංකඩ අවහිර වීමෙන් අලි මංකඩ දෙපසම ප්‍රදේශ වල අලි- මිනිස් ගැටුම උග්‍ර වීම නොවැලැක්විය හැකිය. මේ හේතුවෙන් ඉදිරියේදී වේලිඔය, කන්ඩියපිට වැව, මහපැලැස්ස, අලුත් වැව, පොකුනුතැන්න, කුකුල්කටුව, හම්බෙගමුව, ඇඳගල, පොතුපිටිය, දම්වැල්ඕඩය, දහයියාගල, ලගිනගල, කරමැටිය වැනි ගම්මාන වලට එල්ලවන වන අලි ප්‍රහාර දෙගුන තෙගුන වීම අනිවාර්ය වේ. එසේම ඉදිරියේදී සෙවනගල, බලන්ගොඩ, වැල්ලවාය, බුදුරුවගල, බෙරගල, දියලුම හා හල්දුම්මුල්ල දක්වාද අලි ඇතුන්, විශේෂයෙන් තනි පිරිමි අලින් ගමන් කිරීමට මෙම තත්ත්වය හේතුවිය හැකිය.

තවද උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන සංචාරක ආකර්ශකය බවට පත්ව ඇත්තේ අලි ඇතුන් වන අතර දිවයිනේ අගනුවරට ආසන්නම වන අලි ඇතුන් නැරඹිය හැකි ප්‍රදේශය වන්නේද මෙම ජාතික උද්‍යානයයි. එමගින් සෆාරි ජීප්රථ සේවා, සංචාරක පහසුකම් ආදීය සපයමින් ජීවිකාව සරිකර ගන්නා ප්‍රමාණය අති විශාලය. නමුත් මෙම ජාතික උද්‍යානයේ අලි ඇතුන් ආහාර හිඟය හේතුවෙන් කෘෂවී ඇති බවට පසුගිය කාලයේ විශාල වශයෙන් චෝදනා එල්ල විය. දහයියාගල අලි මංකඩ අවහිරවීම හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වීම සහ උද්‍යානයේ අලි ගහනය හීනවීම සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපෑ හැකි අතර එය සංචාරක කර්මාන්තය ඔස්සේ ජීවනෝපාය සරිකරගත් ජනතාවටද මරු පහරක් වනු නොඅනුමානය.  

දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් දේශපාලන හිතවත්කම් සහිත පුද්ගලයින් විසින් නීති විරෝධී ආකාරයෙන් අත්පත්කර ගැනීමට උත්සාහ දැරුනේ අද ඊයේ සිට නොවේ. විශේෂයෙන් 2008 සැප්තැම්බර් 21 දින එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ උසිගැන්වීම මත උඩවලව ජාතික උද්‍යානය මායිමේ විදුලි වැටක් ඉදිකර මෙම දහයියාගල අභයභූමියේ ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත්කර ගැනීමට පිරිසක් උත්සාහ කළේය. නමුත් ප්‍රදේශයේ ජනතාව, වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය. එසේම මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පාරිසරික පදනම, හා වනපෙත් හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සමක තීන්දුව ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ දහයියාගල අභයභූමිය සුරැකෙන අයුරින් හා අලි ඇතුන්ට බෝගහපට්ටියට ගමන්කළ හැකි අයුරින් අභයභූමි මායිමෙන් විදුලි වැට ඉදිකරන ලෙසය. එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2010 ඔක්තෝබර් 4 දින ය. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උත්සාහ දැරූ අවස්ථාවේද නැවතත් ඉහත කී දේශපාලකයින්ගේ හෙන්චයියන් විසින් ඊට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුනි. නමුත් කෙසේ හෝ එම සියළු උත්සාහයන්ද පිටු දකිමින් අභයභූමිය ආරක්ෂාවන පරිදි විදුලි වැට ඉදිකර මෙම වටිනා පරිසර පද්ධතිය සුරක්ෂිත කරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.     

නමුත් ගම සමග පිළිසඳරවැඩසටහන සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට කැඳවා දහයියාගල අභයභූමියේ ඉඩම් ලබාදෙන බවට ප්‍රදේශයේ දේශපාලඥයින් විසින් ජනතාව උසිගැන්වීම නිසා නැවතත් පසුගිය දින කිහිපයේ ජනතාව මෙම අභයභූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට විවිධ උත්සාහයන් දැරීය. එහෙත් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යම්තාක් දුරකට පාලනය කරගැනීමට හැකිවිය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනවාරි 30 දින මෙම ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳර ට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් එම ආක්‍රමණය මේ වනවිට දරුණු අතට හැරී ඇත. “පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත්  ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ  පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි” ඔහු විසින් නිලධාරීන්ට උපදෙස් දීමත් සමග මෙම තත්ත්වය වඩාත් බරපතල වී ඇත. පසුගිය 30 දින, සෙනසුරාදා දින පස්වරුවේ සහ ඉරිදා දින විශාල වශයෙන් ජනතාව අභයභූමියට ඇතුළුවී එහි ඉඩම් කට්ටි මායිම් සලකුණු කරගැනීම සහ වන වැස්ම විනාශකිරීම සිදුකර ඇතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් හේතුවෙන් වගකිවයුතු නිලධාරීන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වෙමින් පවතී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. තවද මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක්කොටසෙහි සඳහන් වන්නේ මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේයනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු යයනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

නමුත් දහයියාගල අභයභූමිය වැනසීමට තුඩු දෙන ජනාධිපතිවරයා ලබාදී ඇති නියෝග මගින් ඔහු තමන්ගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පමණක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝනය කරමින් තිබේ. තවද 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වැනි අන පනත් උල්ලංඝනය කරමින් වනජීවී රක්ෂිතයකට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට රටේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන නරක පූර්වාදර්ශය දහයියගලට පමණක් නොව ඉදිරියේදී සමස්ථ දිවයිනේම වනජීවී සහ වන රක්ෂිත වලට විශාල බලපෑමක් එල්ලකරනු නොඅනුමානය.

මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව මහ ජනතාව වශයෙන් අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව මේ සිදුවන සියළු අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් දයියාගල අලි මංකඩ දේශපාලන හෙන්චයියන් විසින් අත්පත් කරගැනීමේ අනිටු ප්‍රතිපල වලට වනජීවීන්ට පමණක් නොව ප්‍රදේශයේ සියළු ජනතාවට නුදුරේදීමට මුහුණදීමට සිදුවනු නියතය.

 

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය වනසමින් සිදුකිරීමට යෝජිත මාර්ග සංවර්ධනයට විරෝධය පළකිරීම

 


ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් ජාතික උද්‍යානයක් වන ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා සංවර්ධනය කිරීමට යෝජිත මනම්පිටිය - යක්කුරේ ඉපැරණි මාර්ගය හේතුවෙන් ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ලවීමේ අවධානමක් මතුවී තිබේ.

මනපිටිය සිට යක්කුරේ දක්වා මහවැලි ගඟ ඔස්සේ වැටී තිබූ ඉපැරණි මාර්ගය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයත් සමග භාවිතයෙන් ඉවත් කෙරුණු අතර එය ජලගැලුම් නිමින ජාතික උද්‍යානයට අයත් භූමි භාගයක් බවට පත්විය. ඒ වෙනුවට දැනට මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයට කාපට් ඇතිරූ පුළුල් මාර්ගයක් ඉදිකර ඇති අතර ජනතාව කිසිඳු අවහිරයකින් තොරව එම මාර්ගය තම එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරයි. නමුත් එසේ තිබියදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලකයින් කිහිපදෙනෙකුගේ පටු අවශ්‍යතා සඳහා නැවතත් මෙම අත්හැර දැමූ මාර්ගය සංවර්ධනය කිරීමට උත්සාහ දැරීම ප්‍රශ්න රැසක් පැන නැගීමට හේතුවේ.

1984 වසරේ අගෝස්තු 7 වැනි දින ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සහිතවය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මගින් නිර්මාණය කෙරෙන සිවිශේෂී පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ පරිසර පද්ධති වලින් සමන්විත, මහවැලි ගංගාවේ පිටාර තැන්න ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණකි. තවද මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් වාසභූමි අහිමිවූ වන අලින් ඇතුළු වනජීවීන් රැසකට වාසභූමි සැපයීමද මෙහි තවත් අරමුණුකි. හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ජාතික උද්‍යානය තුල ඉතා මනස්කාන්ත භූමි දර්ශයක් සහ පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ රැසක් පිහිටා ඇත. අලි ඇතුන් ඇතුළු විශාල සත්ව ප්‍රජාවකට එමගින්  ගොදුරුබිම් සැපයේ. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට (30%) වඩා වාර්තාවෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා තීරණාත්මක වනජීවී රක්ෂිතයක් වන ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද වෙයි. එසේම දකුණින් පිහිටි වස්ගොමුව ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතී ජාතික උද්‍යානය එකට යා කරමින් මධ්‍යගතව පිහිටි මෙම ජාතික උද්‍යානය මහවැලි වනජීවී රක්ෂිත ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් මනා පිටිවහලක් ලබාදෙන අතර අලි ඇතුන්ගේ සෘතු සංචරනයටද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

නමුත් එදා මෙදා තුර මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට එල්ලවූ තර්ජනවල නිමක් නොමැති අතර පසුගිය රජයේ අමනෝඥ වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් ඉඩම් වී වගාව සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදීමට උත්සාහකල ආකාරය අපට මතකය. එසේම මෙම ජාතික උද්‍යානය කලක් වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයටද දැඩිව නැතුව තිබුණේ වනජීවී නිලධාරීන් පවා කාර්යාල අඩස්සියට පත්කරමිනි. තවද ජාතික උද්‍යානයේ අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශවල වසර දහස් ගණනක් පැරණි කුඹුක් ගස් විශාල සංඛ්‍යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකිරීමට කටයුතුකර තිබූ ආකාරයද සෝචනීයය. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් කරමින් අනවසර ඉඩම් අත්පත්කරගැනීම් වලට වැට බඳිමින් සහ අධිකරණ නියෝග මගින් අනවසර වගාකරුවන් ජාතික උද්‍යානයෙන් ඉවත් කරමින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වනජීවී පරිපාලනය ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටිති. එවැනි පසුබිමක් තුල එම සියලු සංරක්ෂණ ප්‍රයත්නයන් නිෂ්ඵල කරමින් ජාතික උද්‍යානය හරහා මහා මාර්ගයක් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකසීම කණගාටුවට කරුණකි.

ස්වභාවික පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පුර්ණ කාලසීමාව තුලම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවන බව ලොව පුරාම සිදුකර ඇති පර්යේෂණ මගින් විද්‍යාත්මකව අනාවරණයවී ඇත. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහන ප්‍රශ්න ඇතිවීම සහ කැලිකසල ප්‍රශ්න ඇතිවීම ඉන් සමහරකි. මහවැලි ගඟ, මනම්පිටිය විල්ලුව, හඳපාන් විල්ලුව සහ බඳියා විල්ලුව ඔස්සේ වැටී ඇති මෙම යෝජිත මාර්ගය සංවර්ධනය කර පොදු ජනතාවගේ පරිහරණයට නිදහස් කිරීමෙන් යක්කුරේ දක්වා ගමන් කරන පුද්ගලයින්ට තම කාලය මදක් ඉතිරිකර ගැනීමට හැකි බව සැබෑය. නමුත් ඊට සමගාමීව ඉහත සඳහන් කල සියලුම බලපෑම් වලින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතල බලපෑම් සිදුවීමට එය හේතුවේ. තවද වසරකට අඩු තරමින් මාස හතරක්වත් මෙම මාර්ගය මහවැලි ගඟෙන් සහ හඳපාන් විල්ලුවෙන් පිටාර ගලන ජලයෙන් යටවී පවතින අතර එම කාලසීමාවේදී ජනතාවගේ භාවිතයට ගැනීමට හැකියාව නොලැබේ. එසේම බඳියා විල්ලුව හා හුංගමාල ඔය හරහා මාදුරුඔය ජාතික උද්‍යානයට අලි ඇතුන් ගමන් කරන සංක්‍රමණය මාර්ගය වැටී ඇති බැවින් මෙම මාර්ගයේ නිතර අලි ඇතුන් ගැවසීමෙන් මාර්ගයේ ගමන්කරන පුද්ගලයින් වන අලි පහරදීම් වලට ලක්වීමේ අවධානමක්ද පවතී. එබැවින් මහ ජනතාවට වඩාත් සුරක්ෂිත ආකාරයෙන් සහ වසර පුරාම නොවෙනස්ව භාවිතා කිරීමට හැකියාව ඇත්තේ අප ඉහත කී මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයටවැටී ඇති කාපට් යොදා සංවර්ධනය කර ඇති මාර්ගයයි. එබැවින් විශේෂයෙන්ම ප්‍රදේශයේ දේශපාලකයින් මෙම මාර්ග සංවර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නේ ජනතාවට සහන සැලසීමට නොව මහවැලි ගඟේ ඉහළට තවදුරටත් වැලි ජාවාරම ව්‍යාප්ත කිරීමට සහ ජාතික උද්‍යානයේ දැව සම්පත කොල්ලකෑමට බව අප අවධාරණය කරමු.

මෙම විනාශකාරී මාර්ග සංවර්ධන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ දේශපාලඥන් කිහිපදෙනෙකු පසුගියදා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතවී ඇති අතර ඊට සමගාමීව ජනතාව මේ සඳහා උසිගැන්වීමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇත. තවද ඔවුන් විසින් මෙම විනාශකාරී මාර්ග සංවර්ධන කටයුත්ත සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද බලපෑම් එල්ල කරමින් සිටින බව ද සඳහන් වේ. එබැවින් මෙම විනාශකාරී මාර්ග සංවර්ධනය කටයුත්ත අත්හිටුවා ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සංරක්ෂණ තහවු කිරීම සියලුම වගකිවයුත්තන්ගේ යුතුකම සහ වගකීමය.

ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව එළිදකී …


ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව පසුගියදා දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් එළිදක්වන ලදී. ‘
Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka’ යන හිසින් පළකර ඇති එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන Nature Conservation හි 42 කලාපයේ 2020 නොවැම්බර් 03 දිනැතිව පළකර ඇත. 2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුල මෙරට තුලින් වාර්තාවූ වන අලි පැටවුන් වනාන්තර වලින් ඇල්ලු බව වාර්තාවූ සහ එසේ අල්ලාගෙන පුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනෙකු පිළිබඳව පර්යේෂකයින් මෙම අධ්‍යනයේදී කරුණු අනාවරණය කර ඇත.

ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තර වලින් අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබුනත් අසල්වැසි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම පර්යේෂණ මෙතෙක් සිදුකර නැත. ඒ අනුව මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ ඊට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයට සැළකියයුතු දායකත්වයක් ලැබෙන බවයි පර්යේෂකයින් පවසන්නේ. දැනට ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලි ඇතුන්ගේ ජෛවමිතිය හා නීතිමය ලියකියවිලි ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ඇල්ලීමේ හා ජාවාරම් කිරීමේ ක්‍රම, ඒවා සිදුවන ප්‍රදේශ, වෙළඳ මාර්ග, සම්බන්ධ පාර්ශවකරුවන් සහ වෙළඳපල වටිනාකම පිළිබඳව මෙහිදී පර්යේෂකයින් විසින් අධ්‍යනය කර ඇත. ඒ සඳහා අධිකරණයේ විභාගවන නඩුවල වාර්තා, අලි ජාවාරම පිළිබදව සෙවීමට පත්කළ කමිටු වාර්තා, විගණකාධිපති වාර්තා, පරිසරවේදීන් විසින් ඉදිරිපත්කළ විමර්ශන වාර්තා, සහ මාධ්‍ය වාර්තා මෙන්ම මීට සම්බන්ධ විවිධ පාර්ශව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇතුළු මුලාශ්‍ර රැසක් උපයෝගීකරගෙන තිබේ.

සැක කටයුතු අලින්ගේ ලියාපදිංචි ලේඛනවල දක්වා ඇති වයස සහ වනජීවී පශුවෛද්‍යවරුන් විසින් නිර්ණය කරන ලද වයස අතර සංඛ්‍යාන විද්‍යාත්මකව කැපී පෙනෙන වෙනසක් ඇති බව මෙම අධ්‍යනයේදී අනාවරණය කරගෙන ඇති විශේෂ කරුණකි. ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අලි ඇතුන් පිළිබඳ සැකය තවදුරටත් තීව්‍ර වේ. දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව හෙළිවී ඇත. එමෙන්ම වනයේ අතරමං වන අලි පැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත් අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතුකර ඇත. එසේම මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්යේෂකයින් අනාවරණය කරයි. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශ වලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වාදෙන පර්යේෂකයින් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පවසයි.

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සහ තරුණ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති අතර මෙරට වන අලි අල්ලා මුදලට විකිණීමේ ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්දර්ජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඊට දායකත්වය ලබාදී ඇත. එමෙන්ම වනජීවී වෙළඳාම පිළිබඳව ලොව පුරා අධ්‍යන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බ්රුක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛපෙළේ වනජීවී පර්යේෂකයෙකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛවවිවිධත්ව සංරක්ෂණ සංගමයේ පර්යේෂක මාධව බොතේජු යන මහත්වරුන් මෙම පර්යේෂණ කණ්ඩායම නියෝජනය කරති.

අධ්‍යනයට භාජනයවූ දස වසරක කාලසීමාව තුල ජාවරම්කර ඇති බවට මෙම අධ්‍යනය මගින් අනාවරණය වී ඇත්තේ අලින් පනස් පස් දෙනෙකු පමණක් වුවත් එය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවයි පර්යේෂකයින්ගේ අදහස. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන බව පෙන්වාදෙන පර්යේෂකයින් සඳහන් කරන්නේ එවැනි පශුවෛද්‍ය සත්කාර රහිත ජාවරම්කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.

දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්‍රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව පවසන පර්යේෂකයින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් බෞද්ධ සංස්කෘතිය මෙම ජාවාරමට දඩමීමා කරගැනීම විශාල ගැටළුවක් බව අවධානරණය කරයි. එසේම රජය විසින් මෙම අලි පැටවුන් විවිධ උපක්‍රම මගින් නැවතත් සැකකරුවන් වෙතම පැවරීමටද උත්සාහ දරා ඇති බව පර්යේෂකයින් අවධාරණය කරයි. ඒ යටතේ පවත්නා නීතියේ හිදැස් යොදා ගනිමින් මෙම අලි පැටවුන් නැවතත් සැකකරුවන් වෙත ලබාදීමට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට ඉහළ දේශපාලකයෙකු විසින් බලපෑම් කර ඇති බව පර්යේෂකයින් සඳහන් කරයි. තවද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත්කළ අංක 16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද මීට නිදසුන් වශයෙන් පර්යේෂකයින් ඉදිරිපත් කරයි.

මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට පර්යේෂකයින් නිර්දේශ කරයි. සැකකරුගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුබව ඔවුන් අවධාරණය කරති. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද ඔවුන්ගේ අදහසයි. උඩවලාව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද ඔවුන් යෝජනා කරති. තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කරන ලෙසද පර්යේෂකයින් නිර්දේශ කරයි. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතු බව ඔවුන්ගේ අදහසයි. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි පර්යේෂකයින් අපේක්ෂා පළකරති.

Saturday, June 6, 2020

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම එන්න එන්නම ප්‍රචණ්ඩ වෙමින් තවදුරටත් ව්‍යාප්ත වෙයි...


ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය ඒකාබද්ධව සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළිවෙයි !

  • දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි - මිනිස් ගැටුම්
  • වාර්ෂිකව අලි - මිනිස් ගැටුම දරුණු අතට, ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්ෂිකව වැඩි වෙලා
  • ගැටුම හේතුවෙන් වසරකට මිනිස් මරණ 81 ක්, 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී මරණ සංඛ්‍යාව 50% කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% කින් වර්ධනයක්
  • වසරකට අලි 263 ක් ගැටුමට බිලිවෙයි, 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී හස්ති මරණ සංඛ්‍යාව 92%කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31% ක වර්ධනයක්
  • ප්‍රධාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතරක් සඳහා වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුල 110% කින් වර්ධනය වෙලා
  • වසරේ සෑම කාලසීමවකම නොවෙනස්ව අලි - මිනිස් ගැටුම් මගින් අලි - මිනිස් ජීවිත රටට අහිමිවේ
  • අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම සහ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් අලි - මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවයි

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි - මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 – 2019 කාලසීමාව තුල මෙරට වාර්තාවූ අලි - මිනිස් ගැටුම් ආශ්‍රයෙන් සිදුකෙරුණු මෙම අධ්‍යනයට අනුව දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක පමණ අලි - මිනිස් ගැටුම් වාර්තාවී ඇති අතර එම ප්‍රමාණය මෙරට සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් තුනෙන් එකකටත් වඩා ඉහළ අගයක් ගනී.
අධ්‍යනයට පදනම්වූ කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 807 ක් අලි - මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමිවී ඇති අතර එම ප්‍රමාණය වසරකට 81 ක් පමණ වේ. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 112 ක එම කාලය තුල මිනිස් මරණ වාර්තාවී ඇත. 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව 50%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% වර්ධනයක් පෙන්නුම් කෙරේ. අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර පසුවුවන්වේ. තවද වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.
අදාළ කාලසීමාව තුල අලි ඇතුන් 2631 ක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 263 කි. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක එම කාලය තුල අලි මරණ වාර්තාවී ඇත. වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් ය. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ හස්ති මරණ සංඛ්‍යාව 92%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31%කින් වර්ධනයවී ඇති බවයි. එසේම වසරේ සෑම කලාසීමාවකදීම නොවෙනස්ව අලි - මිනිස් ගැටුම් වාර්තාවන බව පෙන්වාදෙන පර්යේෂකයින් පවසන්නේ වසර පුරාම මෙසේ අලි - මිනිස් මරණ වාර්තාවීමට වාරි ජලය මගින් වගා කිරීම නිසා වසරේ සෑම කාලසීමාවකම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම, බහුවාර්ෂික භෝග වගාව, නිවෙස් වල අස්වනු තැන්පත්කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල වසරේ සෑම කාලසීමාවකම ජනතාව අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු හේතුවිය හැකි බවයි. මීට අමතරව ගැටුම් හේතුවෙන් මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි 579 ක් සහ දේපොළ හානි 10,532 ක් මෙම කාලසීමාව තුලදී වාර්තාවී ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් ලැබී ඇති ප්‍රතිපාදන යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත සහ එම දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව නිකුත්කරන කාර්ය සාධන වාර්තා උපයෝගී කරගෙන මෙම අධ්‍යනය සිදුකර ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පාදක කරගනිමින් අලි - මිනිස් ගැටුම පිළිබඳව අධ්‍යනය කල ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මින් පෙර ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ අධ්‍යනයන් සියල්ලක්ම පාහේ සිදුකර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කලාප පදනම්කරගෙන වන නමුත් ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස්වීම සහ නව කලාප හඳුන්වාදීම සිදුවේ. ඒ හේතුවෙන් එම වනජීවී කලාප පදනම් කරගෙන යම් කිසි කාල පරාසයක් තුල සිදුවූ අලි - මිනිස් ගැටුම් වල ප්‍රවනතා අධ්‍යනය කිරීමෙන් නිවැරදි අවබෝධයක් ලබාගැනීම අපහසුය. එබැවින් කලින් කලට ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව වෙනස් නොවන ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගනිමින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර එමගින් අලි මිනිස් ගැටුමේ ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි අවබෝදයක් ලබාගතහැකි බවයි පර්යේෂකයින් පවසන්නේ. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් මෙම අධ්‍යනය සිදුකර ඇත. ඒ පිළිබඳ සවිස්තර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ආසියානු අලි ඇතුන් පිළිබඳ ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ‘Gajah’ ජර්නලයේ නවතම කලාපයේ පසුගියදා පලවිය.
වසරක් පාසා අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන මිනිස් මරණ, ශාරීරික හානි, දේපොළ හානි සහ අලි මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර ඒ අනුව ගැටුම එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. තවද ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවද වාර්ෂිකව වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ අනුව අලි - මිනිස් ගැටුම නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වන බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ. මිනිස් මරණ, ශාරීරික හානි හා අලි මරණ සංඛ්‍යාව එක්ව ගත්කල වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල පිළිවෙලින් එහි ඉදිරියෙන්ම පසුවන සෙසු දිස්ත්‍රික්ක වේ. පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට යාපනය අර්ධද්වීපයට අයත් මදුරන්කේණි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වා උතුරට අලි - මිනිස් ගැටුම් පැතිරී ඇති බවයි. වැඩිම දේපොළ හානි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල දේපොළ හානි වැඩි වශයෙන් වාර්තාවූ සෙසු දිස්ත්‍රික්ක වේ.
තවද මෙම පර්යේෂණය මගින් අනාවරණයවී ඇති විශේෂ කරුණක් වන්නේ මෙතෙක් දිවයිනේ වැඩිම අලි - මිනිස් ගැටුම් ප්‍රමාණයක් වාර්තාවී තිබූ වයඹ පළාතේ ගැටුම් අඩුවෙමින් පවතින අතර අතීතයේ තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තාවූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතින බවයි. සංරක්ෂණ පර්යේෂණ ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර ගණනාව පුරාවට වයඹ පළාතේ අලි - මිනිස් ගැටුම අවමකර ගැනීම සඳහා ගම්මාන වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීමේ සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීමේ ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කල අතර මෙසේ එම කලාපයේ අලි - මිනිස් ගැටුම් අඩුවීමට එම ව්‍යාපෘති හේතුවන්නට ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. නමුත් ඒ වෙනුවට උතුරුමැද පළාතේ අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට ගාල් කරමින් විදුලි වැට ඉදිකිරීම සහ නැගෙනහිර පළාතේ පසුගිය යුද සමයේ වල් බිහිවී තිබූ ගම්බිම් සහ කුඹුරු නැවත ජනාවාස වීම සහ එම කලාපයේ ඉතිරිව තිබූ වනාන්තර සීග්‍රයෙන් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම එම දෙපලාතේ අලි මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවිය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.
මෙම පර්යේෂණය මගින් අනාවරණයවී ඇති තවත් කරුණක් වන්නේ අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය, සහ වන අලි පලවාහැරීම යන ප්‍රධාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා රජය මගින් වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුල 110% කින් පමණ වර්ධනය වී ඇති බවයි. 2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92 ක් පමණ වැයකර ඇති අතර 2018 වන විට එම ප්‍රමාණය රුපියල් මිලියන 194 දක්වා ඉහළ ගොස් තිබේ. අලි - මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට මෙම කාලසීමාව තුලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර ඇති අතර මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10 ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවාහැරීමේ මෙහෙයුම් සිය ගණනක් දින පතා සිදුකරයි) වසරක් පාසා සිදුකර ඇත. නමුත් එවන් පසුබිමක අදාළ කාලසීමාව තුල අලි - මිනිස් ගැටුමේ කිසිඳු අඩුවක් සිදුවී නොමැති බව මෙම අධ්‍යනය අනුව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත්වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර අලි - මිනිස් ගැටුම විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුල නොගත් උත්සාහයක් නැත. එසේම ඔවුන් අලි - මිනිස් ගැටුම පාලනය සඳහා යොදාගන්නා වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම, අලි පලවාහැරීම, මිනිස් ජීවිත හා දේපොළ වලට හානි සිදුකරන අලින් අල්ලා හොරොව්පතාන වැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගාල් කිරීම වැනි අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම්ද මෙසේ දිවයිනේ අලි - මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවන බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ.
එබැවින් වන අලි ඇතුන් තවත් ප්‍රචණ්ඩත්වයට ඇද දමන යල්පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම වලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුලම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම තුලින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවියයුතු බවයි පර්යේෂකයින් පවසන්නේ. එසේම වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාර වලින් බැටකන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මෙන්ම වන අලි ගැවසෙන ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේ කටයුතු කිරීමේදී සැළකිලිමත්වීම වැනි කරුණු මගින්ද ජීවිත හා දේපොළ හානි අවමකර ගැනීමට හැකියාව පවතී. තවද වන අලින් නෙවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුල ගබඩාකර තැබීම වැලැක්වීම සඳහා වන අලි - මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල කෘෂි අස්වනු සාධාරණ මිලකට මිලදීගැනීමට රජය මගින් කටයුතු කිරීමද කාලෝචිත බවයි පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් බාගතාකළ හැකිය: 


Thursday, April 23, 2020

දඩයක්කරුවන්ගේ වර මන්දට බිලිවූ 
නල්ලතන්නියේ කොටි දෙන

(
http://www.animalwelfare.lk වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදී)


ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත වනාන්තර නිවහන කරගනිමින් ජීවත්වන බිළාල පවුලේ විශාලතම සාමාජිකයා වන කොටියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම අසන්න ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්ති නොවේ. දඩයක්කරුවන් විසින් විවිධ ක්‍රම මගින් එම සතුන් ඝාතනය කිරීම් සහ සත්ව කොටස් ලබාගැනීම පිළිබඳ සිද්ධීන් ගණනාවක් ඒ අතර විය. එසේම වෙනත් සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් ඇටවූ මදු වලට හසුවීම නිසා ද අසරණභාවයට පත් කොටින් පිළිබඳව වාර්තාවූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් වනජීවී නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් දිවි බේරා ගත්තද තවත් පිරිසක් අතිශය වේදනාත්මක මරණයකට ගොදුරුවිය. මෙම ශෝකාන්තයේ ආසන්නතම බිල්ල පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ මස්කෙළිය ප්‍රදේශයෙනි.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ දඹේතැන්න කොටසේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියෙකු හසු වී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය. කොටියා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයා විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව පසුදා එනම් 18 දින කොටියා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත භාර පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු කාර්යමණ්ඩලය සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
වයස අවුරුදු 04 ක් පමණ වූ මෙම කොටියා ගැහැණු සත්වයෙකු වන අතර දිගින් අඩි 05 ක් පමණ විය. දඩයක්කරුවන් විසින් අටවා තිබූ කම්බි මදුවට කොටි ධේනුව හසුව තිබුණේ 17 වැනිදා අළුයම් කාලයේය. වතු කම්කරුවන් එම සත්වයාට බිය වී පහරදීමට උත්සාහ කිරීමේදී කොටියා අසල පිහිටි ගසක අඩි 20 ක් පමණ උස දෙබලකට නැග ඇත. කම්බි මද්ද සවිකර තිබූ දිග ලී කැබැල්ල සමග කොටි ධේනුව ගසට නැග ඇති අතර එම ලීය ගසේ දෙබලක සිරවීම නිසා නැවත ගසෙන් බැසීමට නොහැකිව පැය ගණනාවක් කොටියා ගස උඩ සිරවී සිට තිබූ අතර ඒ හේතුවෙන් සත්වයාගේ ඉණ ප්‍රදේශය කම්බියට කැපී දරුණු ලෙස තුවාල වී තිබුණි. නිර්වින්දන එන්නතක් ශරීරගත කිරීමෙන් පසු වනජීවී නිලධාරීන් දැඩි අවධානමක් ගෙන ගසට නැග රැහැන් ගලවා කොටියා ගසෙන් බිමට රැගෙන මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතුකළ නමුත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යාමේදී එම සත්වයා සදහටම දෙනෙත් පියා ගත්තේය.
විද්‍යාත්මකව Panthera pardus kotiya යන නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටි උප විශේෂය මෙරටට ආවේණික වන අතර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් රතු දත්ත ලේඛණයට ඇතුලත්කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට කොටින්ට ඇති බරපලතම තර්ජන සත්ව කොටස් ලබාගැනීම සඳහා දඩයම් කිරීම සහ මිනිස් – කොටි ගැටුම බවයි.
වාර්ෂිකව දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් මේ ආකාරයේ කොටි මරණ සැළකියයුතු ප්‍රමාණයක් වාර්තාවන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා විශාල විය හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි. විශේෂයෙන් මදු වලට හසුවූ කොටින් බේරා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කලද ඒ වන විටත් ඉණ ප්‍රදේශටය මද්ද දැඩි ලෙස තදවීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට දරුණු ලෙස හානි සිදුවීමෙන් එම සතුන් මරණයට පත්වූ අවස්ථා රැසක් වාර්තා වේ.
ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම මෙහි කතානායිකාව මෙන් වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත. උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වය තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.
ඡායාරූප අයිතිය https://www.facebook.com/DWCSrilanka/
සුපුන් ළහිරු ප්‍රකාශ්

Saturday, April 18, 2020


‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ මිත්‍යාවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය බිලිගැනීමට ඉඩ නොතබමු!



මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම සඳහා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රකට ජාතික උද්‍යානයක් වන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ හෙක්ටයාර් 3500 ක භූමි භාගයක් ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම ජාතික උද්‍යානයේ දිවිගෙවන අලි ඇතුන් ඇතුළු සෙසු වනජීවීන්ගේ ජීවිත වලට තර්ජන රැසක් එල්ලවීමේ සහ ජාතික උද්‍යනය අවට ගම්මානවල අලි - මිනිස් ගැටුම් උත්සන්න වීමේ අවධානමක් ඇතිවී තිබේ. එසේම අවස්ථා කිහිපයකදී අත්හදා බලා අසාර්ථකවී ඇති අවිද්‍යාත්මක වන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ මෙවලමක් වන ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ සඳහා තව දුරටත් මහජන මුදල් මිලියන දහස් ගණනින් වැය කිරීම මහජන මුදල් නාස්ති කිරීමක් වන අතර එමගින්ද තවදුරටත් මෙරට අලි මිනිස් ගැටුම උත්සන්නවීම නොවැලැක්විය හැකි බව අප අවධාරණය කරමු.

ප්‍රචණ්ඩකාරී වන අලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම මගින් අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට බව පවසමින් මෙරට ප්‍රථම ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරිකරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2013 වසරේදී පමණ අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙවැනිම එළිමහන් හස්ති සිර කඳවුරක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යැවීමටය. රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමටය.

‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ නමින් පවත්වාගෙන යන මෙවැනි එළිමහන් හස්ති සිර කඳවුරු මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි දරයි. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

හොරොව්පතාන අලි ගාලට ඇතුලත් කෙරුණු අලි ඇතුන් හැටකට වැඩි සංඛ්‍යාවෙන් දැනට එහි ඉතිරිව ඇත්තේ ඉතා අතලොස්සක් පමණක් වන අතර සෙසු අලින්ට කුමක් සිදුවීදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා නොදනිති. නමුත් අලි ගාල තුල අලින් විශාල සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වූ බවද ඊට මෙම අලි ගාල ඉදිකිරීමේදී එතුලට අහම්බෙන් කොටුවූ ඇතින්නක් සහ පැටවෙකුද ඇතුළත්වූ බවද නොරහසකි. තවද මෙම සිර කඳවුරෙන් මිදී පලාගිය අලින් නිසා හොරොව්පතාන අවට ප්‍රදේශවල අලි - මිනිස් ගැටුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ. ඒ අනුව මෙවැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන මගින් අලි ඇතුන් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා කිසිඳු දායකත්වයක් නොලැබෙනබව පැහැදිළිය.

තවද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය වැනි මෙරට ප්‍රකට හස්ති වාසභූමියකින් විශාල බිම් ප්‍රමාණයක් මෙවැනි ව්‍යාපෘතියකට වෙන්කර ගැනීම එහි නේවාසික අලි ගහනයටද මරු පහරක් එල්ල කරයි. මින් පෙර වළව වම ඉවුර ව්‍යාපාරය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වූ අලි ඇතුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් මෙම ජාතික උද්‍යානයට ගාල කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙහි ජීවත්වූ අලි ඇතුන් කුසගින්න සහ විවිධ රෝගාබාධ හේතුවෙන් මරණයට පත්වූබව සියළු දෙනාම දනී. දැනට එහි ඉතිරිව සිටින්නේ එයින් බොහෝ ආයාසයෙන් දිවි ගැටගසාගත් අලි ඇතුන් පිරිසකි. නැවත මේ ආකාරයෙන් අලි ගාලක් සඳහා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ පාරම්පරික හස්ති වාසභූමි උදුරාගැනීම හේතුවෙන් එම සතුන් ආහාර හිඟයට මුහුණදී මරණයට පත්වීම නොවැලැක්විය හැකිය. එසේම මෙම ආහාර හිඟය සහ වාසභූමි අහිමිවීම හේතුවෙන් හොරොව්පතානේ සිදුවුනාක් මෙන් අලි ඇතුන් පෙරටත් වඩා වැඩි සීග්‍රතාවයකින් ගම් වැදීම හේතුවෙන් ජාතික උද්‍යානය වටා ගම්මානවල අලි - මිනිස් ගැටුම් ඉහළ යාමටද මෙම අසාර්ථක ව්‍යාපෘතිය හේතුවේ. වසරකට අලි ඇතුන් පහළොවක් පමණ මෙසේ සිරගත කෙරුණද එමගින් අලි - මිනිස් ගැටුමට කිසිඳු පිළියමක් ලැබී නොමැති බවට දිනෙන් දින ඉහළ යන අලි මිනිස් ගැටුම් සහ එමගින් රටට අහිමිවන අලි - මිනිස් ජීවිත සාක්ෂි දරද්දී පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අඳුරේ අත පත ගාමින් සිටීම විමතියට කරුණකි.

එවැනි පසුබිමක් තුල මහජන මුදල් රුපියල් මිලියන 2000 ක් පමණ නාස්තිකරමින් අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කිරීමට හැකියාවක් නැත. මේ සඳහා මුලින් ලෝක බැංකුව මගින් මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිතව තිබුණද, ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පිළිබඳව අවබෝධවීම හේතුවෙන් පසුව ඔවුන් එය ප්‍රතික්ෂේපකල බව දැනගන්නට ලැබේ. නමුත් එයින්ද පසුභට නොවූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ වනවිට තම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් තම දහදිය මහන්සියෙන් ගොඩනැගූ වනජීවී අරමුදලේ මුදල් මගින් මෙම අසාර්ථක ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නට උත්සාහ දරමින් සිටින්නේ ඔවුන් තුල සැබැවින්ම අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට ඇති උනන්දුව නිසාද එසේත් නැතිනම් කොමිස් කුට්ටි වලට ඇති කෑදරකම නිසාද යන්න ගැටළු සහගතය.

එබැවින් ‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාවට යටවී මහජන මුදල් නිකරුනේ කාබාසිනියා කිරීමෙන් සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය නැවතත් අලි ඇතුන්ට මරු කතරක් කිරීමෙන් වැළකී වඩාත් විද්‍යාත්මක අලි  - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද දවසේ කාර්ය භාරය බව අප අවධාරණය කරමු. දඩබ්බර අලි ඇතුන් සිරකර අලි - මිනිස් ගැටුම යටපත්කර තැබීමට අසාර්ථක උත්සාහයක නිරතවීම වෙනුවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ යුත්තේ තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්‌ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක්‌ වෙත ප්‍රවේශ වීම ය. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සඵලදායක විසඳුමක්‌ හමස්‌ පෙට්‌ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමය. අලි ඇතුන් යනු ශක්‌තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක්‌ බව වටහාගෙන අලි ඇතුන් සංරක්‌ෂණය හා සංවර්ධනය මනා ලෙස ගලපා ගනිමින් ඉදිරියට යාමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය