Sunday, July 11, 2021

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සහ ඉන් ඔබ්බට ...



ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය ය. ඊට අදාළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත්වී තිබේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව දකුණු සහ ඌව පළාත් වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනයේ මොණරාගල දිස්ත්‍රික්කය දකුණු පළාතට අයත් ලෙස සඳහන් කර ඇත) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටි හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විත ය.

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම මගින් මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය අලි ඇතුන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරුණේ මීට දශකයකට පමණ පෙර ය (ආසියානු අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙය යෝජනා කලේ ඊටද පෙර සිටය). නමුත් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදීම් හේතුවෙන් එය මෙතෙක් කලක් ප්‍රමාදවූ බව නොරහසකි. එහි ප්‍රතිපලය වූයේ එදා මෙදා තුර තවත් අලි- මිනිස් ජීවිත රැසක් අකාලයේ රටට අහිමි වීම සහ ප්‍රදේශයේ ජන ජීවිතය කබලෙන් ලිපට වැටීමය. මේ මොහොතේද ආණ්ඩුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කරන්නේ එහි සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය වටහාගෙනද නොඑසේ නම් වල්සපුගල ගොවි සංවිධාන නායකයින් තවමත් ගෙන යන (මේ සටහන ලියන විට) අනවරත අරගලය හේතුවෙන් ආණ්ඩුවට එල්ලවූ බලපෑම නිසාද යන්න ගැටළු සහගත ය. මීට නොබෝ දිනකට පෙර රජයේ ප්‍රභල ඇමතිවරයෙකු එම අරගලයට නායකත්වය දුන් ගොවි නායකයින්ට එල්ලකළ ඉතා තුච්ච සහ පහත් චෝදනාව එම කුකුසට එක් සාධාරණ හේතුවකි. කෙසේ නමුත් වන අලි කළමනාකරණ රක්ෂිත වල සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුව සහ අලි- මිනිස් ගැටුමෙන් බැට කන-නොකන පොදු ජනතාව තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බව සිතමි.

අලි- මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක පමණ පුරා පැතිරුණු විශාල සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය. 2009 වසරේදී ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා වීමත් සමග එය මෙරට ඉහළම ජාතික ප්‍රමුඛතාවය බවට පත්විය. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19 ක් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි මිනිස් ගැටුම ව්‍යාප්තව පවතී. එමගින් ලොව අලි- මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව ලියුම්කරු ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් ඉකුත් වසරේ විද්‍යාත්මක අධ්‍යනයක් මගින් පෙන්වා දුනිමු. පසුගිය දශක හයක පමණ කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරුවේ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ තුලට ගාල්කර විදුලි වැට ඉදිකිරීමේ දිගින් දිගටම අසාර්ථක ක්‍රමවේදය මගිනි.

නමුත් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන 6000 කට ආසන්න අලි ඇතුන් ජීවත්වන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණ ව්‍යාප්තව ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ වලින් පිටතය. එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර මෙම මහා අරගලයට විසඳුම් සෙවීමට නොහැකි බවත් අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම බවත් පර්යේෂකයින් පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. “වන අලි කළමනාකරණ රක්ෂිත” යෝජනා වන්නේ ඒ සඳහා ය. එහි ආරම්භක පියවරක් වශයෙන් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වූ අලි ඇතුන් 400 ක පමණ ප්‍රමාණයක වාසභූමි “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසිණි. ඒ ද මෙම අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරණ ලද අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමක ය. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලසීමාවත් තුල එකී “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” බෝඩ් ලෑලි වලට පමණක් සීමාවූ අතර එම හස්ති වාසභූමි දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයින් විසින් ආක්‍රමණය කෙරිණි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැනීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්නවූ ආකාරය අපද අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවන තැනට තත්ත්වය දරුණු අතට හැරිණ.

මූලික වශයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියේ ගැටළු තිබේ. එහි සහ හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දැක්වෙන අලි කලමනාකරණ රක්ෂිතයේ වපසරිය අතර පැහැදිළි වෙනස්කම් ඇති බව මෙහි දැක්වෙන සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහේ. තවද දැනට ප්‍රකාශයට පත්කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය තුලද මෙතෙක් සිදුකෙරුණු නීති විරෝධී මානව ක්‍රියාකාරකම් අවසන් කිරීමද ආණ්ඩුවට අභියෝගයක් බව නොකිවමනාය. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව අවිවාදිතය.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රක්ෂිත වලින් එහා ගිය විකල්පයන් දැකීමට දේශපාලකයින්, නිලධාරීන් සහ ජනතාව යොමු වීමයි. රජය අවංකවම කැපවුණ හොත් රක්ෂිත වලින් බැහැරව ජීවත්වන අලි ඇතුන් ඔවුන්ගේ වාසභූමි තුලම සංරක්ෂණය කිරීම මගින් අලි සම්පතට සහ අලි- මිනිස් ගැටුම් සංසිඳුවීමට ලැබෙන දායකත්වය ප්‍රායෝගිකව දැකගැනීමට ඉඩ ලැමේ. හම්බන්තොටින් එහා දිවයිනේ එවැනි අලි ඇතුන් ජීවත්වන අනෙකුත් ප්‍රදේශ වලද මෙම න්‍යාය ක්‍රියාත්මක කර අලි- මිනිස් ජීවිත වලට අස්වැසිල්ලක් ලබාදීමට හැකියාව ලැබේ.

වන අලි පලවාහැරීම් අඛණ්ඩව සිදුකිරීම සහ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට උත්සාහ කිරීම අලි- මිනිස් ගැටුම් උත්සන්න වීමට හේතුවන අතර එමඟින් විශාල ආර්ථික අලාභයක් සිදු වේ. මීට අමතරව, ඉසිළුම් ධාරිතාව ඉක්මවා යාම නිසා අලි රංචු අහිමි වීම රක්ෂිත ප්‍රදේශවල අලි ගහණයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. අලි රංචු ජාතික උද්‍යානවලට පලවාහැර ඒවා තුලට සීමා කිරීම අලි - මිනිස් ගැටුම් කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ ගැටුම් ඇතිකරන පිරිමි සතුන් බහුතරයක් පලවාහැරීම් මගින් ඉවත් කිරීමට නොහැකි බැවිණි.

නමුත් එහි ප්‍රතිපලයක් ලෙස අලි රංචු අහිමි වීම වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. වර්තමානයේ, ශ්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් නැරඹීම සඳහා ලොව ඇති හොඳම සංචාරක ගමනාන්තයයි. කෙසේ වෙතත්, මේ වන විට එම කරුණ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති අතර නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කර නැත. වන අලි කළමනාකරණ රක්ෂිත තුල පවා වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් රටට සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි අතර එය ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකයටද අස්වැසිල්ලකි.

වන අලි කළමනාකරණ රක්ෂිත සියලු රෝග නිවාරණය සඳහා විශ්මකර්මයෙකු නොවේ. නමුත් එය නිසි පරිදි අවංක චේතනාවෙන් යොදා ගැනීම මගින් වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන පුළුල් ජාතික වැඩපිළිවෙලක විශාල පරාසයක් ආවරණය වේ. එබැවින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව කිවමනා ය.

බුද්ධ චීවරයට මුවාවී වයඹ පළාතේ අලි නිජබිම් හායනය නැවත්ත ...



වයඹ පළාතේ ගල්ගමුව, අතරගල්ල, නාකොලගනේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුවමහනාන්නේරියතෝරවමයිලෑවතෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නිදගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික ආයතන වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයකද මේ දිනවල ඩෝසර් යන්ත්‍ර යොදා වනාන්තර විනාශ කරමින් තිබේ. මෙම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ.

විශේෂයෙන් දැනට වන විනාශයට ලක්වෙමින් පවතින නාකොලගනේ රජමහා විහාරයට අයත් පාළුකඩවල වැවට ඉහළින් ඇති වනාන්තර ප්‍රදේශය ගල්ගමුව ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන්ගේ ඉතා වැදගත් වාසභූමියක් වන අතර තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු මෙවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදීමටත්, දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමටත් කටයුතු කිරීම අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ක්‍රියාවකි. එමගින් සිදුවන්නේ දැනට වයඹ වනජීවී කලාපයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සාර්ථකත්වය අහිමිවීම සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිලිගනිමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් තව දුරටත් උත්සන්න වීම පමණි.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් තබ්බෝව සහ කහල්ල- පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත. ඒ අනුව යමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව සිටින අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා ඓතිහාසික පියවරක් ලෙස මෙරට ප්‍රථම වන අලි කළමනාකරණ ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි. වයඹ වනජීවී කලාපයේ වනජීවී රක්ෂිත වලින් පිටත ජීවත්වන අලි ඇතුන්ගේ වාසභූමිද ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයකි.

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

 වන අලින් විල්පත්තුවට පලවාහැර වයඹ අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය නොහැකිය !


අලි මිනිස් ගැටුම වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ. ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවා හැරීමට පසුගිය සෙනසුරාදා දින යෝජනා විය. නමුත් ඒ ආකාරයෙන් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් සම්පුර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම අලි - මිනිස් ගැටුමට කිසිඳු ආකාරයක විසඳුමක් නොවන බව පසුගිය දශක හයකට වැඩි ඉතිහාසය සාක්ෂි දරයි. ඒ වෙනුවට මෙවැනි අලි පලවාහැරීම් මගින් සිදුවන්නේ අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය නැවත ආපස්සට හැරවීම හා අලි - මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාම මගින් එම දෙපාර්ශවයේම ජීවිත අනතුරේ වැටීම පමණක් බව අප අවධාරණය කරමු. නමුත් බලධාරීන් නැවතත් මේ සිදුකරන්නට උත්සාහ කරමින් සිටින්නේ අලින් හා මිනිසුන් රෑ වැටුණු වලේ මහා දවලෙත් ඇදදැමීමට වීම ඛේදණීයය.

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරන ලද ප්‍රධාන සිද්ධාන්තය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. කෙසේ වෙතත් වර්තමානයේ වයඹ වනජීවී කලාපයේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ ජීවත් වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව බව ජාතික වන අලි සංගණනය මගින්ද තහවුරුවී ඇත. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් දැනට කුල්ලක තරම් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් අල්ලක් තරම් ප්‍රදේශයකට ගාල් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකර තිබේ. එවැනි පසුබිමක් තුල අලි - මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යොදාගැනීම ඉතා අවිද්‍යාත්මක ක්‍රියාවක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.

වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් 225 ක්‌ පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි. එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමි වලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පලවාහැර මෙම ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහ අසාර්ථක වුනේ අද ඊයේ සිට නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින්ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි - මිනිස් ගැටුමට දායකවන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිතවූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කිරීම සුලභව දක්නට ලැබේ.

තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම්  සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි - මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම් වලට වැදීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවමකිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග ඉකුත් වසරේ ජූලි මසදී අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී. මෙරට අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගෙන් සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට විද්වතුන් මෙන්ම වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, ගොවිජන සේවා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අලි මිනිස් ගැටුමෙන් දැඩි ලෙස බැටකන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් වරුන්ගෙන් සමන්විත විය. අදාළ කමිටුව මගින් සකස්කළ ක්‍රියාකාරී සැළැස්ම ඉකුත් වසරේ දෙසැම්බර් මස අගදී ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. එබැවින් දැන් ඔහු සිදුකළ යුත්තේ තව දුරටත් අඳුරේ අතපත ගාමින් කල් මැරීම නොව. අදාළ ක්‍රියාකාරී සැළැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුලම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීමය.

‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාව හොර මගඩියක් බව ආණ්ඩුවේ විගණනය මගින්ම ඔප්පු වෙයි!



ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාපත් වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත. එසේම ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණක් බවද පැහැදිලිය. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි. නමුත් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැත. ඒ වෙනුවට ඉතිහාසයේ නැවත නැවතත් අසාර්ථක ‘එළිමහන් අලි සිර කඳවුරක්’ ඉදිකරන මුවාවෙන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ද බලධාරීන් මේ වනවිට උලාකමින් සිටී. එවැනි පසුබිමක ආණ්ඩුවේ විගණකාධිපති විසින්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක බව පමණක් නොව එය හොර ගුහාවක් බවත් නැවත නැවතත් ඔප්පුකර පෙන්වීම සරදමක් වැනිය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව ඉදිරිපත්කර ඇත. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලුතින් අලි රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවාගෙන පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරීම අලි රැඳවුම් මධ්‍යස්ථානයක කාර්ය භාරයයි. මෙරට ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරි කරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2012 වසරේදී අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙම එළිමහන් හස්ති සිර කඳවුර ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යවමින් සිටියි. මෙකී ආන්ධෝලනාත්මක විගණන වාර්තාව කරළියට පැමිණෙන්නේ එසේ රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියදීය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් අප මින් පෙරද අවස්ථා ගණනාවකදී පෙන්වාදී ඇත්තෙමු. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

නමුත් බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර රෑ වැටුණු වලේ ස්වකැමැත්තෙන්ම මහා දාවලේද ඇදගෙන වැටෙමින් සිටී. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව මේ ඔස්සේ වංචනිකව ලැබුණු ප්‍රතිලාභ නිසාම විය හැකි බව විගණකාධිපති වාර්තාව මගින් ගම්‍යමාන වේ. 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදය තුල හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැත. අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යනයක් සිදු නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති අතර එමගින් අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුලත්කර, සතුන්ට සපයා, මුදල් ලබාගෙන ඇත. සපයන ලද ආහාරවල බර කිරීම සඳහා පුද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිතා කර ඇති අතර බර කිරීම අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නැත. බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවීම් සිදුකර ඇත. 2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව නමයක් බව වාර්තා වුවද 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලින් තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා ඇති බවත් ඒ අනුව රුපියල් 6,559,245 ක වැඩිපුර ආහාර සපයා ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. නමුත් මධ්‍යස්ථානයේ සිටි අලින්ගෙන් මිය ගොස් ඇති බවට වාර්තාකර ඇති අලින් දොළොස් දෙනාගෙන් පස් දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැතිවීම සහ මන්දපෝෂණය හේතුවෙන් වීම විමතිය දනවන සුළුය. ඒ අනුව මෙය හොර ගුහාවක්ව පවතින්නට ඇති බව යළිත් පැවසිය යුතු නැත.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනය ඉදිකරනු ලබන්නේ 2012 මාර්තු 17 දිනැති 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුවය. ඒ 2012 අයවැය යෝජනාවලියේ සඳහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන හතරින් එකක් වශයෙනි. හොරොව්පතාන ප්‍රථමයෙන් ඉදිකර එහි සාර්ථකත්වය ඇගයීමෙන් පසුව අනෙක්වා ඉදිකිරීමට තීරණය කර තිබුණි. නමුත් ක්‍රියාකාරකම් සිදුවන්නේ එකී එකඟතාවයන් සියල්ලට පටහැනිවය. ඒ රටේ අවශ්‍යතාවයට වඩා දේශපාලකයන්ගේ සහ වනජීවී ලොක්කන්ගේ කෑදරකම ලොකු නිසා විය යුතුය. මෙතෙක් කලක් අප පමණක් පැවසූ අඳුරු යථාර්ථය, මහජන මුදලින් යැපෙන ආණ්ඩුවේම ආයතනයක් මගින්ම සාක්ෂි සාධක සහිතව පෙන්වාදී තිබේ. දැන් එළඹ ඇත්තේ ගලේ පැහැරූ බළලුන් තම අසූචි දුගඳ සඟවා ගන්නා ආකාරය පිළිබඳව විමසිලිමත් විය යුතු කාලයයි.

 

දහයියාගල (අලි මංකඩ) අභයභූමියේ ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීමෙන් ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම උත්සන්න වීමේ අවධානමක්



ශ්‍රී ලංකාවේ ප්‍රකට වන අලි වාසභූමියක් වන උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය අතර අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඉවහල් වන දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීම නිසා ඉදිරියේදී ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී. තවද මෙවැනි අත්තනෝමතික, අසාධාරණ සහ අමනෝඥ ක්‍රියාකලාපයන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වල වනජීවී රක්ෂිත අනවසරයෙන් අල්ලා ගැනීමටද පුද්ගලයින් පෙළඹීමට නරක පූර්වාදර්ශ සපයන බව අප අවධාරණය කරමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජනවාරි 30 දින පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලුත්වැව ග්‍රාම නිලධාරී වසමේ පවත්වනු ලැබූ ගම සමග පිළිසඳරඅට වැනි වැඩසටහනේදී මෙම අලි- මිනිස් ගැටුම් ඉහළ යාමට තුඩුදෙන සහ නරක පූර්වාදර්ශ සපයන තීන්දු තීරණ ජනතාව හමුවේ ප්‍රකාශකර තිබේ. තවද මෙම වැඩසටහන අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දහයියාගල අභයභූමියට අයත් කුකුල්කටුව වැව් තාවුල්ල අනවසරයෙන් විනාශකර නිර්මාණයකල පසුතලයක පැවැත්වීමද කණගාටුවට කරුණකි.

වර්ෂ 2002 ජුනි මස 07 දිනැති අංක 1239/28 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 2685.07 ක වපසරියකින් සමන්විත දහයියාගල අභයභූමිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය ඇතුළු සමස්ත හස්ති වාසභූමියේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහාය. උඩවලව ජාතික උද්‍යානයේ සිට සහ වටහිරකන්ද අලි මංකඩ ඔස්සේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යායේ සිට පවා අලි ඇතුන් බෝගහපට්ටිය යෝජිත අභයභූමිය, රජවක වන රක්ෂිතය, සමනල වැව වන රක්ෂිතය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අධි සංවේදීම පරිසර පද්ධතියක් වන හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තර කළාපය වෙත සංක්‍රමණය වීමට මෙම අලි මංකඩ භාවිතා කරයි. එසේම මෙහි කරමැටිය ප්‍රදේශයේ පිහිටා ඇති ලවණ නිධිය අලි ඇතුන්ගේ ලවණ අවශ්‍යතාවය සැපිරීම සඳහා පුළුල් වශයෙන් භාවිතයට ගැනේ. තවද දහයියාගල අභයභූමිය තුල ඇති වැව් පද්ධතියද වියලි කාලයේදී අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා විශාල පිටුබලයක් ලබාදේ. උඩවලව ජාතික උද්‍යානයට විශාල වශයෙන් හීලෑ ගවයින් ඇතුළු කිරීම සහ ආක්‍රමණික ශාක ව්‍යාප්තිය නිසා එහි අලි ඇතුන් දැඩි ආහාර හිඟයකට මුහුණදී සිටින බව නොරහසකි. එසේම දිවයිනේ වැඩිම ගම්මාන සංඛ්‍යාවකින් වටවී ඇති ජාතික උද්‍යානය වන්නේද උඩවලව යි. එබැවින් එහි ජීවත්වන අලි ඇතුන්ට තම පැවැත්ම හතවුරුකර ගැනීම සඳහා ඇති ප්‍රධානතම විකල්පය වන්නේ දහයියාගල අලි මංකඩ ඔස්සේ බෝගහපට්ටිය දෙසට ගමන් කිරීමයි. ඒ අනුව අලි ඇතුන්ට වාසභූමියක් ලෙස මෙන්ම අත්‍යාවශ්‍ය සංක්‍රමණ මාර්ගයක් ලෙස දහයියාගල අභයභූමිය අතිශයින්ම වැදගත් වන බව පැහැදිළිය.  

එබැවින් දහයියාගල අභයභූමියට අයත් ඉඩම් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදාගත හොත් එම අලි මංකඩ අවහිර වීමෙන් අලි මංකඩ දෙපසම ප්‍රදේශ වල අලි- මිනිස් ගැටුම උග්‍ර වීම නොවැලැක්විය හැකිය. මේ හේතුවෙන් ඉදිරියේදී වේලිඔය, කන්ඩියපිට වැව, මහපැලැස්ස, අලුත් වැව, පොකුනුතැන්න, කුකුල්කටුව, හම්බෙගමුව, ඇඳගල, පොතුපිටිය, දම්වැල්ඕඩය, දහයියාගල, ලගිනගල, කරමැටිය වැනි ගම්මාන වලට එල්ලවන වන අලි ප්‍රහාර දෙගුන තෙගුන වීම අනිවාර්ය වේ. එසේම ඉදිරියේදී සෙවනගල, බලන්ගොඩ, වැල්ලවාය, බුදුරුවගල, බෙරගල, දියලුම හා හල්දුම්මුල්ල දක්වාද අලි ඇතුන්, විශේෂයෙන් තනි පිරිමි අලින් ගමන් කිරීමට මෙම තත්ත්වය හේතුවිය හැකිය.

තවද උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන සංචාරක ආකර්ශකය බවට පත්ව ඇත්තේ අලි ඇතුන් වන අතර දිවයිනේ අගනුවරට ආසන්නම වන අලි ඇතුන් නැරඹිය හැකි ප්‍රදේශය වන්නේද මෙම ජාතික උද්‍යානයයි. එමගින් සෆාරි ජීප්රථ සේවා, සංචාරක පහසුකම් ආදීය සපයමින් ජීවිකාව සරිකර ගන්නා ප්‍රමාණය අති විශාලය. නමුත් මෙම ජාතික උද්‍යානයේ අලි ඇතුන් ආහාර හිඟය හේතුවෙන් කෘෂවී ඇති බවට පසුගිය කාලයේ විශාල වශයෙන් චෝදනා එල්ල විය. දහයියාගල අලි මංකඩ අවහිරවීම හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වීම සහ උද්‍යානයේ අලි ගහනය හීනවීම සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපෑ හැකි අතර එය සංචාරක කර්මාන්තය ඔස්සේ ජීවනෝපාය සරිකරගත් ජනතාවටද මරු පහරක් වනු නොඅනුමානය.  

දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් දේශපාලන හිතවත්කම් සහිත පුද්ගලයින් විසින් නීති විරෝධී ආකාරයෙන් අත්පත්කර ගැනීමට උත්සාහ දැරුනේ අද ඊයේ සිට නොවේ. විශේෂයෙන් 2008 සැප්තැම්බර් 21 දින එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ උසිගැන්වීම මත උඩවලව ජාතික උද්‍යානය මායිමේ විදුලි වැටක් ඉදිකර මෙම දහයියාගල අභයභූමියේ ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත්කර ගැනීමට පිරිසක් උත්සාහ කළේය. නමුත් ප්‍රදේශයේ ජනතාව, වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය. එසේම මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පාරිසරික පදනම, හා වනපෙත් හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සමක තීන්දුව ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ දහයියාගල අභයභූමිය සුරැකෙන අයුරින් හා අලි ඇතුන්ට බෝගහපට්ටියට ගමන්කළ හැකි අයුරින් අභයභූමි මායිමෙන් විදුලි වැට ඉදිකරන ලෙසය. එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2010 ඔක්තෝබර් 4 දින ය. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උත්සාහ දැරූ අවස්ථාවේද නැවතත් ඉහත කී දේශපාලකයින්ගේ හෙන්චයියන් විසින් ඊට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුනි. නමුත් කෙසේ හෝ එම සියළු උත්සාහයන්ද පිටු දකිමින් අභයභූමිය ආරක්ෂාවන පරිදි විදුලි වැට ඉදිකර මෙම වටිනා පරිසර පද්ධතිය සුරක්ෂිත කරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.     

නමුත් ගම සමග පිළිසඳරවැඩසටහන සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට කැඳවා දහයියාගල අභයභූමියේ ඉඩම් ලබාදෙන බවට ප්‍රදේශයේ දේශපාලඥයින් විසින් ජනතාව උසිගැන්වීම නිසා නැවතත් පසුගිය දින කිහිපයේ ජනතාව මෙම අභයභූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට විවිධ උත්සාහයන් දැරීය. එහෙත් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යම්තාක් දුරකට පාලනය කරගැනීමට හැකිවිය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනවාරි 30 දින මෙම ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳර ට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් එම ආක්‍රමණය මේ වනවිට දරුණු අතට හැරී ඇත. “පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත්  ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ  පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි” ඔහු විසින් නිලධාරීන්ට උපදෙස් දීමත් සමග මෙම තත්ත්වය වඩාත් බරපතල වී ඇත. පසුගිය 30 දින, සෙනසුරාදා දින පස්වරුවේ සහ ඉරිදා දින විශාල වශයෙන් ජනතාව අභයභූමියට ඇතුළුවී එහි ඉඩම් කට්ටි මායිම් සලකුණු කරගැනීම සහ වන වැස්ම විනාශකිරීම සිදුකර ඇතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් හේතුවෙන් වගකිවයුතු නිලධාරීන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වෙමින් පවතී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. තවද මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක්කොටසෙහි සඳහන් වන්නේ මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේයනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු යයනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

නමුත් දහයියාගල අභයභූමිය වැනසීමට තුඩු දෙන ජනාධිපතිවරයා ලබාදී ඇති නියෝග මගින් ඔහු තමන්ගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පමණක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝනය කරමින් තිබේ. තවද 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වැනි අන පනත් උල්ලංඝනය කරමින් වනජීවී රක්ෂිතයකට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට රටේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන නරක පූර්වාදර්ශය දහයියගලට පමණක් නොව ඉදිරියේදී සමස්ථ දිවයිනේම වනජීවී සහ වන රක්ෂිත වලට විශාල බලපෑමක් එල්ලකරනු නොඅනුමානය.

මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව මහ ජනතාව වශයෙන් අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව මේ සිදුවන සියළු අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් දයියාගල අලි මංකඩ දේශපාලන හෙන්චයියන් විසින් අත්පත් කරගැනීමේ අනිටු ප්‍රතිපල වලට වනජීවීන්ට පමණක් නොව ප්‍රදේශයේ සියළු ජනතාවට නුදුරේදීමට මුහුණදීමට සිදුවනු නියතය.

 

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය වනසමින් සිදුකිරීමට යෝජිත මාර්ග සංවර්ධනයට විරෝධය පළකිරීම

 


ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් ජාතික උද්‍යානයක් වන ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා සංවර්ධනය කිරීමට යෝජිත මනම්පිටිය - යක්කුරේ ඉපැරණි මාර්ගය හේතුවෙන් ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ලවීමේ අවධානමක් මතුවී තිබේ.

මනපිටිය සිට යක්කුරේ දක්වා මහවැලි ගඟ ඔස්සේ වැටී තිබූ ඉපැරණි මාර්ගය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයත් සමග භාවිතයෙන් ඉවත් කෙරුණු අතර එය ජලගැලුම් නිමින ජාතික උද්‍යානයට අයත් භූමි භාගයක් බවට පත්විය. ඒ වෙනුවට දැනට මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයට කාපට් ඇතිරූ පුළුල් මාර්ගයක් ඉදිකර ඇති අතර ජනතාව කිසිඳු අවහිරයකින් තොරව එම මාර්ගය තම එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරයි. නමුත් එසේ තිබියදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලකයින් කිහිපදෙනෙකුගේ පටු අවශ්‍යතා සඳහා නැවතත් මෙම අත්හැර දැමූ මාර්ගය සංවර්ධනය කිරීමට උත්සාහ දැරීම ප්‍රශ්න රැසක් පැන නැගීමට හේතුවේ.

1984 වසරේ අගෝස්තු 7 වැනි දින ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සහිතවය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මගින් නිර්මාණය කෙරෙන සිවිශේෂී පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ පරිසර පද්ධති වලින් සමන්විත, මහවැලි ගංගාවේ පිටාර තැන්න ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණකි. තවද මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් වාසභූමි අහිමිවූ වන අලින් ඇතුළු වනජීවීන් රැසකට වාසභූමි සැපයීමද මෙහි තවත් අරමුණුකි. හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ජාතික උද්‍යානය තුල ඉතා මනස්කාන්ත භූමි දර්ශයක් සහ පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ රැසක් පිහිටා ඇත. අලි ඇතුන් ඇතුළු විශාල සත්ව ප්‍රජාවකට එමගින්  ගොදුරුබිම් සැපයේ. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට (30%) වඩා වාර්තාවෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා තීරණාත්මක වනජීවී රක්ෂිතයක් වන ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද වෙයි. එසේම දකුණින් පිහිටි වස්ගොමුව ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතී ජාතික උද්‍යානය එකට යා කරමින් මධ්‍යගතව පිහිටි මෙම ජාතික උද්‍යානය මහවැලි වනජීවී රක්ෂිත ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් මනා පිටිවහලක් ලබාදෙන අතර අලි ඇතුන්ගේ සෘතු සංචරනයටද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

නමුත් එදා මෙදා තුර මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට එල්ලවූ තර්ජනවල නිමක් නොමැති අතර පසුගිය රජයේ අමනෝඥ වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් ඉඩම් වී වගාව සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදීමට උත්සාහකල ආකාරය අපට මතකය. එසේම මෙම ජාතික උද්‍යානය කලක් වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයටද දැඩිව නැතුව තිබුණේ වනජීවී නිලධාරීන් පවා කාර්යාල අඩස්සියට පත්කරමිනි. තවද ජාතික උද්‍යානයේ අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශවල වසර දහස් ගණනක් පැරණි කුඹුක් ගස් විශාල සංඛ්‍යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකිරීමට කටයුතුකර තිබූ ආකාරයද සෝචනීයය. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් කරමින් අනවසර ඉඩම් අත්පත්කරගැනීම් වලට වැට බඳිමින් සහ අධිකරණ නියෝග මගින් අනවසර වගාකරුවන් ජාතික උද්‍යානයෙන් ඉවත් කරමින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වනජීවී පරිපාලනය ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටිති. එවැනි පසුබිමක් තුල එම සියලු සංරක්ෂණ ප්‍රයත්නයන් නිෂ්ඵල කරමින් ජාතික උද්‍යානය හරහා මහා මාර්ගයක් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකසීම කණගාටුවට කරුණකි.

ස්වභාවික පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පුර්ණ කාලසීමාව තුලම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවන බව ලොව පුරාම සිදුකර ඇති පර්යේෂණ මගින් විද්‍යාත්මකව අනාවරණයවී ඇත. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහන ප්‍රශ්න ඇතිවීම සහ කැලිකසල ප්‍රශ්න ඇතිවීම ඉන් සමහරකි. මහවැලි ගඟ, මනම්පිටිය විල්ලුව, හඳපාන් විල්ලුව සහ බඳියා විල්ලුව ඔස්සේ වැටී ඇති මෙම යෝජිත මාර්ගය සංවර්ධනය කර පොදු ජනතාවගේ පරිහරණයට නිදහස් කිරීමෙන් යක්කුරේ දක්වා ගමන් කරන පුද්ගලයින්ට තම කාලය මදක් ඉතිරිකර ගැනීමට හැකි බව සැබෑය. නමුත් ඊට සමගාමීව ඉහත සඳහන් කල සියලුම බලපෑම් වලින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතල බලපෑම් සිදුවීමට එය හේතුවේ. තවද වසරකට අඩු තරමින් මාස හතරක්වත් මෙම මාර්ගය මහවැලි ගඟෙන් සහ හඳපාන් විල්ලුවෙන් පිටාර ගලන ජලයෙන් යටවී පවතින අතර එම කාලසීමාවේදී ජනතාවගේ භාවිතයට ගැනීමට හැකියාව නොලැබේ. එසේම බඳියා විල්ලුව හා හුංගමාල ඔය හරහා මාදුරුඔය ජාතික උද්‍යානයට අලි ඇතුන් ගමන් කරන සංක්‍රමණය මාර්ගය වැටී ඇති බැවින් මෙම මාර්ගයේ නිතර අලි ඇතුන් ගැවසීමෙන් මාර්ගයේ ගමන්කරන පුද්ගලයින් වන අලි පහරදීම් වලට ලක්වීමේ අවධානමක්ද පවතී. එබැවින් මහ ජනතාවට වඩාත් සුරක්ෂිත ආකාරයෙන් සහ වසර පුරාම නොවෙනස්ව භාවිතා කිරීමට හැකියාව ඇත්තේ අප ඉහත කී මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයටවැටී ඇති කාපට් යොදා සංවර්ධනය කර ඇති මාර්ගයයි. එබැවින් විශේෂයෙන්ම ප්‍රදේශයේ දේශපාලකයින් මෙම මාර්ග සංවර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නේ ජනතාවට සහන සැලසීමට නොව මහවැලි ගඟේ ඉහළට තවදුරටත් වැලි ජාවාරම ව්‍යාප්ත කිරීමට සහ ජාතික උද්‍යානයේ දැව සම්පත කොල්ලකෑමට බව අප අවධාරණය කරමු.

මෙම විනාශකාරී මාර්ග සංවර්ධන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ දේශපාලඥන් කිහිපදෙනෙකු පසුගියදා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතවී ඇති අතර ඊට සමගාමීව ජනතාව මේ සඳහා උසිගැන්වීමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇත. තවද ඔවුන් විසින් මෙම විනාශකාරී මාර්ග සංවර්ධන කටයුත්ත සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද බලපෑම් එල්ල කරමින් සිටින බව ද සඳහන් වේ. එබැවින් මෙම විනාශකාරී මාර්ග සංවර්ධනය කටයුත්ත අත්හිටුවා ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සංරක්ෂණ තහවු කිරීම සියලුම වගකිවයුත්තන්ගේ යුතුකම සහ වගකීමය.

ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව එළිදකී …


ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව පසුගියදා දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් එළිදක්වන ලදී. ‘
Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka’ යන හිසින් පළකර ඇති එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන Nature Conservation හි 42 කලාපයේ 2020 නොවැම්බර් 03 දිනැතිව පළකර ඇත. 2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුල මෙරට තුලින් වාර්තාවූ වන අලි පැටවුන් වනාන්තර වලින් ඇල්ලු බව වාර්තාවූ සහ එසේ අල්ලාගෙන පුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනෙකු පිළිබඳව පර්යේෂකයින් මෙම අධ්‍යනයේදී කරුණු අනාවරණය කර ඇත.

ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තර වලින් අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබුනත් අසල්වැසි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම පර්යේෂණ මෙතෙක් සිදුකර නැත. ඒ අනුව මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ ඊට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයට සැළකියයුතු දායකත්වයක් ලැබෙන බවයි පර්යේෂකයින් පවසන්නේ. දැනට ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලි ඇතුන්ගේ ජෛවමිතිය හා නීතිමය ලියකියවිලි ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ඇල්ලීමේ හා ජාවාරම් කිරීමේ ක්‍රම, ඒවා සිදුවන ප්‍රදේශ, වෙළඳ මාර්ග, සම්බන්ධ පාර්ශවකරුවන් සහ වෙළඳපල වටිනාකම පිළිබඳව මෙහිදී පර්යේෂකයින් විසින් අධ්‍යනය කර ඇත. ඒ සඳහා අධිකරණයේ විභාගවන නඩුවල වාර්තා, අලි ජාවාරම පිළිබදව සෙවීමට පත්කළ කමිටු වාර්තා, විගණකාධිපති වාර්තා, පරිසරවේදීන් විසින් ඉදිරිපත්කළ විමර්ශන වාර්තා, සහ මාධ්‍ය වාර්තා මෙන්ම මීට සම්බන්ධ විවිධ පාර්ශව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇතුළු මුලාශ්‍ර රැසක් උපයෝගීකරගෙන තිබේ.

සැක කටයුතු අලින්ගේ ලියාපදිංචි ලේඛනවල දක්වා ඇති වයස සහ වනජීවී පශුවෛද්‍යවරුන් විසින් නිර්ණය කරන ලද වයස අතර සංඛ්‍යාන විද්‍යාත්මකව කැපී පෙනෙන වෙනසක් ඇති බව මෙම අධ්‍යනයේදී අනාවරණය කරගෙන ඇති විශේෂ කරුණකි. ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අලි ඇතුන් පිළිබඳ සැකය තවදුරටත් තීව්‍ර වේ. දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව හෙළිවී ඇත. එමෙන්ම වනයේ අතරමං වන අලි පැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත් අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතුකර ඇත. එසේම මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්යේෂකයින් අනාවරණය කරයි. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශ වලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වාදෙන පර්යේෂකයින් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පවසයි.

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සහ තරුණ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති අතර මෙරට වන අලි අල්ලා මුදලට විකිණීමේ ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්දර්ජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඊට දායකත්වය ලබාදී ඇත. එමෙන්ම වනජීවී වෙළඳාම පිළිබඳව ලොව පුරා අධ්‍යන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බ්රුක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛපෙළේ වනජීවී පර්යේෂකයෙකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛවවිවිධත්ව සංරක්ෂණ සංගමයේ පර්යේෂක මාධව බොතේජු යන මහත්වරුන් මෙම පර්යේෂණ කණ්ඩායම නියෝජනය කරති.

අධ්‍යනයට භාජනයවූ දස වසරක කාලසීමාව තුල ජාවරම්කර ඇති බවට මෙම අධ්‍යනය මගින් අනාවරණය වී ඇත්තේ අලින් පනස් පස් දෙනෙකු පමණක් වුවත් එය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවයි පර්යේෂකයින්ගේ අදහස. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන බව පෙන්වාදෙන පර්යේෂකයින් සඳහන් කරන්නේ එවැනි පශුවෛද්‍ය සත්කාර රහිත ජාවරම්කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.

දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්‍රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව පවසන පර්යේෂකයින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් බෞද්ධ සංස්කෘතිය මෙම ජාවාරමට දඩමීමා කරගැනීම විශාල ගැටළුවක් බව අවධානරණය කරයි. එසේම රජය විසින් මෙම අලි පැටවුන් විවිධ උපක්‍රම මගින් නැවතත් සැකකරුවන් වෙතම පැවරීමටද උත්සාහ දරා ඇති බව පර්යේෂකයින් අවධාරණය කරයි. ඒ යටතේ පවත්නා නීතියේ හිදැස් යොදා ගනිමින් මෙම අලි පැටවුන් නැවතත් සැකකරුවන් වෙත ලබාදීමට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට ඉහළ දේශපාලකයෙකු විසින් බලපෑම් කර ඇති බව පර්යේෂකයින් සඳහන් කරයි. තවද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත්කළ අංක 16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද මීට නිදසුන් වශයෙන් පර්යේෂකයින් ඉදිරිපත් කරයි.

මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට පර්යේෂකයින් නිර්දේශ කරයි. සැකකරුගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුබව ඔවුන් අවධාරණය කරති. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද ඔවුන්ගේ අදහසයි. උඩවලාව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද ඔවුන් යෝජනා කරති. තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කරන ලෙසද පර්යේෂකයින් නිර්දේශ කරයි. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතු බව ඔවුන්ගේ අදහසයි. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි පර්යේෂකයින් අපේක්ෂා පළකරති.