Wednesday, January 19, 2022

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!


වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා භයානක ලෙස උත්සන්න වීමේ අවධානමක් පැනනැගී තිබේ.

වයඹ පළාතේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩමක පිහිටි අක්කර 40ක පමණ වනාන්තර ප්‍රදේශයක් මේ ආකාරයෙන් මහා පරිමාණ පේර වගා ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා මේ වන විට වනසා දමමින් තිබේ. ඒ සඳහා විශාල අගලක්ද ඉදිකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර එමගින් පාලුකඩවල ජලාශය ආශ්‍රිත වනාන්තර කලාපයේ සිට ගල්ගමුව තේක්ක වත්ත හරහා තබ්බෝව අභයභූමියට අලින් සංක්‍රමණය වන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් ඉදිරියේදී මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා බරපතල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකිය.

වයඹ වනජීවී කලාපයට අයත් වන අලි වාසභූමි වලින් වැඩිම ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර මෙසේ වනසා දමමින් සිටින්නේ එවැනි වන අලි වාසභූමි සහ අලිමංකඩය. නමුත් මේ දක්වා ඒ පිළිබඳව බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් මෙම ප්‍රදේශයේ හස්ති වාසභූමි වනසා දමමින් සිදුකෙරෙන මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති විශාල ගැටළුවක් බවට පත්ව තිබේ.

මින් පෙරද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාමසේවා වසමේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුව, මහනාන්නේරිය, තෝරවමයිලෑව, තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නින්දගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික සමාගම් වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කලෝය. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයක්ද ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීම සිදු විය. එම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ. තවද තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු එවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදෙමින් විහාරාධිකාරීන් තම මඩි තරකර ගැනීමේ දිගුවක් ලෙස දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර ඉඩම් විනාශය හැඳින්විය හැකිය.

මෙවැනි හේතු නිසා දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමට සැලසුම් සකස් කිරීම හැර එම අලි මිනිස් ගැටුමේ රෝග නිධානය හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැත. ඉතා ශක්තිමත් ආරක්ෂක උපක්‍රම යොදා ගනිමින් මේ ආකාරයෙන් ප්‍රදේශයේ වන අලි වාසභූමි තුල ක්‍රියාත්මක වගා ව්‍යාපෘති නිසා වන අලින්ට ජීවත්වීමට සහ ඔබමොබ ගමන් කිරීමට අවශ්‍ය වාසභූමි සහ අලි මංකඩ අහිමි වීමෙන් ප්‍රදේශයේ අලි - මිනිස් ගැටුම ඔඩු දිවීම නොවැලක්විය හැකිය. ගම්මාන වලට ඒ ආකාරයෙන් ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වීමෙන් අලි ඇතුන් ගම්මාන සහ ගොවිබිම් හරහා ගමන් කිරීමට පෙළඹීම සහ ආහාර සපයාගැනීම සඳහා වගාබිම් සහ ගෙවතු ආක්‍රමණය කිරීම ස්වභාවිකය.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට අණුවක් පමණම දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ආකාරයෙන් තබ්බෝව සහ කහල්ල – පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස වයඹ වනජීවී කලාපය සැලකේ. එම තත්ත්වය වැලැක්වීම සඳහා ග්‍රාමීය විදුලිවැට සහ කාලීන කුඹුරු විදුලි වැට වැනි ප්‍රජාමූල ක්‍රමවේද ඔස්සේ මහත් පරිශ්‍රමයක් දැරීමට මෙම ප්‍රදේශයේ අසරණ දුප්පත් ගොවි ජනතාවට සිදු විය. එමගින් මේ වනවිට වයඹ වනජීවී කලාපයේ අලි - මිනිස් ගැටුම් කළමනාකරණය යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙනද ඇත. නමුත් එම සාර්ථකත්වයද අහිමි කරමින් සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිල්ලට දෙමින් ව්‍යාපාරිකයින් අතලොස්සක් සහ බෞද්ධ ස්වාමීන්වහන්සේ මේ ආකාරයෙන් හැසිරීම ජුගුප්සාජනකය.

එසේම මේ ආකාරයෙන් මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති ප්‍රදේශයේ ව්‍යාප්ත වීමෙන් ජනතාව පීඩාවට පත්වන්නේ අලි - මිනිස් ගැටුමෙන් පමණක් නොවේ. වාණිජ්‍ය වගාවන් සඳහා ප්‍රදේශයේ භූගත ජලය මහා පරිමාණයෙන් ලබාගැනීම හේතුවෙන් ජනතාවට ජල හිඟයට මුහුණදීමට සිදුවීමද තවත් ගැටළුවකි. ඊට කදිම නිදසුනක් ලෙස නාකොලගනේ ප්‍රාථමික විද්‍යාලය අසල තිබුණු නල ලිඳට මේ වන විට අත්වී ඇති ඉරණම දැක්විය හැක. එම ප්‍රදේශයේ අඹ වගා ව්‍යාපෘති සඳහා මහා පරිමාණයෙන් ජලය ලබාගැනීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම පාහේ සැපයූ එම නල ලිඳ මේ වන විට සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවී තිබේ.

 

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මීට අමතරව මෙම පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය.

තවද කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පලාත තුළ ක්‍රියාත්මක වන විශේෂ පාරිසරික නීතියක් වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

පාරිසරික අණ පනත්වලට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය


Friday, October 1, 2021

 ---------- Forwarded message ---------

From: Supun Lahiru Prakash <prakashtgsl@gmail.com>
Date: Fri, Sep 24, 2021 at 1:14 PM
Subject: වන අලි ජීවිත බිලිගන්නා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට නැවතත් අලින් බිලි නොදෙන ලෙස සිදුකරන ඉල්ලීමයි
To: <dissanayaka_w@parliament.lk>


ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය

අංක 50/1, පරණකන්ද

වත්තල

 

2021. 09. 24

 

ගරු විමලවීර දිසානායක මහතා

වනජීවී රැකවරණයඅලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

 

ගරු අමාත්‍යතුමනි,

 

වන අලි ජීවිත බිලිගන්නා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට නැවතත් අලින් බිලි නොදෙන ලෙස සිදුකරන ඉල්ලීමයි



අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන
කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වන වන අලියෙකු ප්‍රදේශයේ ජන ජීවිතයට හානි සිදුකරන බව පවසමින් අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය හෙවත් එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට කටයුතු කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. මේ හේතුවෙන් එම අලියාගේ සහ අලි ඇල්ලීමට සහභාගීවන නිලධාරීන්ගේ ජීවිත අනතුරේ වැටීමේ අවධානමක් ඇති අතර හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුර තුල තවත් අලියෙකු සිතා මතාම ඝාතනය වීම සිදුවන බැවින් එම තත්වය වැලැක්වීම සඳහා කඩිනමින් ඔබගේ අවධානය යොමුකරන ලෙස අප ඉල්ලා සිටිමු.

 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින අලි ඇල්ලීම සම්බන්ද හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම මෙසේ වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින්නේ එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රියාමාර්ගයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීම හේතුවෙනි. එවැනි පසුබිමක් තුල අලි ඇල්ලීම සම්බන්දයෙන් පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් සහිත කණ්ඩායමක් යොදාගනිමින් මෙසේ අලියා ඇල්ලීමට කටයුතු කිරීම එම සත්වයාට මෙන්ම වනජීවී නිලධාරීන්ගේ ජීවිත වලටද බරපතල අවධානමකි. තවද දිගින් දිගටම අසාර්ථකත්වය සනාථවී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට එම අලියා ගාල් කිරීම මගින් එම අලියාද අකාලයේ මරණයට පත්වීම නොවැලැක්විය හැකිය.

 

හොරොව්පතාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හස්ති වධකාගාරය අලි - මිනිස් ගැටුමට පිළියමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද වන අලි සංරක්ෂණයට සහ අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට එමගින් කිසිඳු ප්‍රයෝජනයක් නැති බව ආණ්ඩුවේ විගණකාධිපතිවාරයා පවා පෙන්වාදී ඇති බව අප අවධාරණය කරමු. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් සිදුකරමින් සිටින්නේ අලි - මිනිස් ගැටුමට දායකවන බවට චෝදනා ලබන අලින් අල්ලා මෙම සිර කඳවුරට ගාල් කර අකාලයේ මිය යාමට සැලැස්වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේද අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

 

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර තිබේ. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

 

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් නොකිවමනාය. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිණි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 

තවද වනජීවී සංරක්ෂණ රාජකාරියේ යෙදී සිටියදී මියගිය වනජීවී නිලධාරීන් අතරින් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු නිලධාරීන්ට අමතරව වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් ඝාතනයවී ඇත්තේ වන අලි සම්බන්ද රාජකාරි අතරතුරදී බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නවාද යන්න අප නොදනිමු. එවැනි තත්වයක් තුල පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් වන අලි ඇල්ලීමේ රාජකාරි වල යෙදවීම සිතා මතාම එම නිලධාරීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් වන අතර එවැනි ආධුනික නිලධාරීන් විසින් අල්ලන අලියාටද එමගින් ජීවිත අවධානමක් ඇතිවේ.

 

එබැවින් ජෛව විවිධත්ව සංරක්‍ෂණය හා පර්යේෂණ කවය ලෙස අපි ඔබ තුමන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ මෙම අවධානම් තත්වය ඉවත්කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසත්අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවැනි මිත්‍යා විසඳුම් යෝජනා කිරීමෙන් වැළකී තිරසාර අලි-මිනිස් ගැටුම් අවමකිරීමේ ප්‍රවේශයකට යොමුවන ලෙසත්ය.

 

 

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු - ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය

 

පිටපත්: සියලුම මාධ්‍ය ආයතන වෙත                                    දැ.පි.  

Sunday, July 11, 2021

මිනිසුන්ටද උපකාර රැසක් ඉටුකරන වවුලන් පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්න!


පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ වාර්තා වු වවුලන් හා කොරෝනා සම්බන්ද නවතම පර්යේෂණ ප්‍රතිපලයක් නිසා අප රට තුල වෙසෙන ජනතාව තුලද වවුලන් පිළිබඳව අනිසි බියක් ඇතිවීනට ඉඩ තිබේ. එබැවින් එම සොයාගැනීම සම්බන්ධව පැහැදිළි කිරීමක් කිරීම සහ මිනිසුන් තුල ඇතිවය හැකි අනියත බිය දුරලීම සඳහා කඩිනමින් මැදිහත්වීම අත්‍යාවශ්‍යය ය.

කොරෝනා යනු එකිනෙකට වෙනස් වෛරස් විශාල ගණනකින් සමන්විත වෛරස් පවුලකි. එම පවුලේ ඇති වෛරස් වර්ග ප්‍රධාන ලෙස කාණ්ඩ 4 කට වර්ග කරනු ලබයි. ඒවා නම් ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා වේ. නමුත් මෙම වෛරස් වර්ග හා මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නම් කල ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් හා ඉන්දියාවෙන් හමුවූ Covid-19 වෛරසයේ ප්‍රභේද අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැත. එම පර්යේෂණ වාර්තාවෙන් සොයාගෙන ඇත්තේ කොරෝනා වෛරස් පවුලේ ඇල්ෆා හා බීටා යන ප්‍රධාන කාණ්ඩ දෙකට අයත් වෛරස් වර්ග වේ. තවද බොහෝ වෙබ් අඩවි හා පුවත්පත් තුලින් වාර්තා කරණු ලැබුවේ ලංකාවේ වවුලන්ටත් කොරෝනා වැළදී ඇති බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දැක්වීමක් වන අතර එමගින් වර්තමානයේ මුළු ලොවම වෙලාගෙන ඇති Covid-19 (විද්‍යාත්මක නම SARS-CoV-2) වෛරසය වවුලන්ටද වැළදී ඇති බව සාමාන්‍ය ජනතාවට වැටහී යයි.

ශ්‍රී ලංකාව තුල එකිනෙකට වෙනස් වවුල් විශේෂ 31 ජීවත් වේ. නමුත් ඉන් විශේෂ දෙකක් තුලින් පමණක් මෙම වෛරස් වර්ග සොයාගෙන ඇති අතර මෙම පර්යේෂකයන් පරීක්ෂා කරන ලද වවුලන් ගෙන් 8% තුලින් පමණක් වෛරසය හමුවී ඇත. තවද එම පර්යේෂණය මඟින් තහවුරු කර ඇත්තේ හඳුනාගෙන ඇති වෛරස් වර්ග වවුල් විශේෂ දෙකකින් පමණක් හමුවෙන බවත් ඒවා එම වවුල් විශේෂයන්ට පමණක් ආවේණික හා වෙනත් වවුලන් තුල හමු නොවන වර්ග දෙකක් බවයි. මෙම පර්යේෂණය සිදුකල ස්ථානයේ වවුල් විශේෂ පහක් එකට ජීවත් වෙන නමුත් අනෙක් වවුල් විශේෂ තුලින් එවැනි කිසිදු වෛරසයක් හමුවී හෝ සොයාගත් වෛරස අනෙකුත් වවුලන් තුල හමුවී නොමැති බවද තහවුරු කර ඇත. මෙම ලියුම්කරු මෙන්ම ලංකාව තුල වසර ගණනාවක සිට වවුලන් පිළිබඳ පර්යේෂණ සිදුකල පර්යේෂකයන් වවුල් ඇසුරේ පර්යේෂණ සිදුකර ඇති අතර මේ දක්වා එවැනි කිසිඳු රෝගාබාධයකට ගොදුරු වී නොමැත.

මෙවැනිම අවාසනාවන්ත සිදුවීමක් මීට පෙර ඉන්දියාවෙන්ද වාර්තාවූ අතර එහිදී ද එරට සිටි පර්යේෂකයන් පිරිසක් විසින් තම පර්යේෂණ ප්‍රතිඵල පොදු ජනතාවට ගැලපෙන හා තේරුම්ගත හැකි ලෙස මාධ්‍ය වෙත නිකුත් නොකිරීම නිසා වවුලන් විශාල ප්‍රමාණයකට නිරපරාදේ තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප රට තුල ජීවත්වන ජනතාව එවැනි අදූරදර්ශී අමනෝඥ තීරණ ගෙන අහිංසක සතුන්ට හිංසා නොකරන බව අප තරයේ විශ්වාස කරමු.

වවුලන් යනු බොහෝ දෙනා ආකර්ෂණය නොවන සත්ව කාණ්ඩයක් වීමට මිනිසා තුල එම සතුන් පිළිබඳව ඇති මිත්‍යා මත බොහෝ දුරට හේතු වී ඇත. වවුලන් යනු පරිසරයට අත්‍යවශ්‍ය සත්ව කාණ්ඩයක් වන අතර ඔවුන් විසින් සිදුකරණ පාරිසරික සේවාවන් මිලකළ නොහැකිය. අප බොහෝ දෙනා දැනුවත් වී ඇත්තේ වවුලන් යනු පළතුරු කන සත්ව කාණ්ඩයක් ලෙසය. නමුත් වවුලන්ගෙන් වැඩි ප්‍රමාණයක් කෘමීන්ව හා වෙනත් විවිධ සතුන් ආහාරයට ගෙන ජීවත් වේ. පළතුරු හා මල් පැණි මත යැපෙන වවුලන් විසින් අපට ඉතා වැදගත් පළතුරු ශාක විශාල ප්‍රමාණයක පරාගනය සිදුකරණ අතර ශාක විශාල ප්‍රමාණයක බීජ ව්‍යාප්තිය ද ඉතා සාර්ථකව ඉටුකරනු ලබයි. කෘමීන් ආහාරයට ගන්නා වවුලන් විසින් එක් රැයක් තුල ඉතා විශාල කෘමීන් ප්‍රමාණයක් ආහාරයට ගෙන අප අවට පරිසරයේ සිටින කෘමීන් ගහනය පාලනය කරනු ලබයි. එහිදී කෘෂිකාර්මික වගාවන් තුල සිටින කෘමි පලිබෝධ මර්ධනය හා ගෘහාශ්‍රිතව සිටින මිනිසාට හානිකර මදුරුවන්, මැස්සන් හා වෙනත් විවිධ කෘමී වර්ග ආහාරයට ගෙන අපව ආරක්‍ෂා කර දෙනු ලබයි. එබැවින් මෙම විද්‍යාත්මක සත්‍ය වටහාගෙන එම සතුන් විසින් මෙම මුළුමහත් පරිසරයටම සාදනු ලබන සෙත සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ පොදු ජනතාව කටයුතු කිරීම සහ වවුලන් සංරක්ෂණය වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය බව අප අවධාරණය කරමු!

තාරක කුසුමින්ද

වවුල් පර්යේෂක සහ ආචාර්ය උපාධි අපේක්ෂක - ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලය

ලේකම් (පර්යේෂන) - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) දස දෙනා අතරට සුපුන් ළහිරු ප්‍රකාශ් 



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් 2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) දස දෙනාගෙන් අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් තෝරා පත්කර ඇත. තවද එම දස දෙනා අතරින් ආසියානු රටකින් එසේ තේරී පත්වූ එකම ජයග්‍රාහකයා වන්නේද ඔහු ය.  

එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) මගින් දේශගුණික විපර්යාස පිළිබඳ මාර්ග ගත (online) ඉගෙනීමේ වේදිකාවක් ‘UN CC: e-Learn නමින් සකස් කර ඇත. 2020 වසරේදී UN CC: e-Learn පාඨමාලා සම්පූර්ණකරන ලද සහතිකපත් ලාභීන් සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා විය. එය ලොව පුරා දේශගුණික සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ ඔවුන්ගේ මෙහෙවරේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ. එම ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන් UN CC: Learn 100k Challenge නමින් වැඩසටහනක් සකස් කළේය. දේශගුණික ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දායකවූ ආකාරය සහ ඊට UN CC: e-Learn පාඨමාලා ඉවහල්වූ ආකාරය දැක්වෙන තමන්ගේ ජීවන අත්දැකීම එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සමග බෙදාහදා ගන්නා ලෙස ඔවුන් තම සහතිකපත්‍ර ලාභී ආදි ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ලොව පුරා රටවල් 87 කින් දේශගුණ ක්‍රියාකාරීන් සිය ගණනක් තම කථා ඉදිරිපත්කර තිබුණි. ඒ අතරින් හොඳම කථා 10 තෝරා ඔවුන් 2020 දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) ලෙස අභිෂේක කිරීමට එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් ද එම ඇය අතරට තෝරා පත්කර ඇත.

එහි අනෙකුත් ජයග්‍රහයකයින් වන්නේ

Andrea Monroy-Licht - කොලොම්බියාව

Moussé Sane - සෙනගාලය

Aikaterina Lengou - ග්‍රීසිය

Maurici Tadeu Ferreira Santos - බ්‍රසීලය

Asha Alexander - එක්සත් අරාබි එමීර් රාජ්‍ය

Hassan Mowlid Yasin - සෝමාලියාව

Karel Liseth Miranda Mendoza - පැනමාව

Jean Baptiste Katako Kayambi - කොංගෝව

Camile Clarke - ජැමෙයිකාව

 

සුපුන් 2017 වසරේදී ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී බාහිර උපාධිය ලබා ගත් අතර 2019 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිරිනමන වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ගත්තේය. තවද 2010 වසරේදී කෘෂිකර්මය පිළිබඳ උසස් ජාතික තාක්ෂණවේදී ඩිප්ලෝමාව ඔහු හිමිකරගෙන ඇත. 2005 වසරේ සිට ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු සහ නිදහස් පරිසර මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටින ඔහුගේ පරිසර වාර්තා සහ ක්‍රියාකාරකම් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික වශයෙන් පිළිගැනීමට ලක්විය. ඔහු 2013 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන අතර 2012 වසරේ සිට මේ දක්වා මුතුරාජවෙල හා මීගමු කලපු සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහුගේ පර්යේෂණ ප්‍රමුඛතා වන්නේ වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණයසොබාදහම පදනම් කරගත් සංචාරක කර්මාන්තය සහ දුම්කොළ නිවරණයයි. පරිසර සහ දේශගුණික ක්‍රියාකාරකම් හැරුණු විටඅක්‍රීය දුම්පානයෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවලමක් ලෙස දිවයිනේ ‘දුම්කොළ නිවාරණ ගම්මාන’ පිහිටුවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පියවර දහයේ ක්‍රියාවලිය හඳුන්වාදීමට ඔහු මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත. ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ පාරිසරික සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම් හා දුම්කොළ නිවාරණය පිළිබඳ ඔහු ඉදිරිපත්කර ඇති පර්යේෂණ පත්‍රිකා ප්‍රකට විද්‍යා සඟරා වල පළවී ඇත. ඔහුගේ නවතම විද්‍යාත්මක පරේෂණ මැදිහත්වීම වන්නේ ශ්‍රී ලංකාවේ වන අලි නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම සහ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

පාරිසරික ක්‍රියාකාරිකයෙකු හා මාධ්‍යවේදියෙකු වශයෙන් සුපුන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ වනාන්තර විනාශයවනජීවී ජාවාරමපරිසර දුෂණය වැනි පොදු දේශීය පාරිසරික ගැටළු කෙරෙහි ය. කෙසේ වෙතත්2013 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වීමට ඔහුට අවස්ථාව ලැබුණි. එය මෙම ගෝලීය අර්බුධය පිළිබඳ ඔහුගේ උද්යෝගය වැඩි කිරීමට සමත් විය. ඉන්පසුවඔහු එක්සත් ජාතීන්ගේ UN CC: e-Learn වැඩසටහන හරහා දේශගුණික විපර්යාස පිළිබඳ මූලික මාර්ග ගත පාඨමාලාව හැදෑරූ අතර එය දේශගුණික විපර්යාස පිළිබඳ ඔහුගේ චින්තනයේ සුවිශාල වෙනසක් ඇති කිරීමට හේතු විය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව තුල දැනුවත්භාවය වර්ධනය සඳහා මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් පැවරී ඇති බව සුපුන් දැඩිව විශ්වාස කරයි. දේශගුණික විපර්යාස පිළිබඳව ජනතාව දැනුවත් කිරීමරටක් ලෙස අප දේශගුණ විපර්යාස පාලනය සඳහා ලෝකයට පොරොන්දුවී ඇති දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව  (Nationally Determined Contributions - NDC) අභියෝගයට ලක්වන ආකාරයේ රජයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ හෙළිදරව් කිරීම සහ දේශගුණික විපර්යාස මුළු මහත් ලෝකයම මුහුණ දෙමින් සිටින වඩාත් තීරණාත්මකම වර්තමාන සහ අනාගත අභියෝගය බව සාමාන්‍ය ජනතාට ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් හැකි සෑම දෙයක්ම කළ යුතුව ඇත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතී. දේශගුණික විපර්යාස අවම කිරීමඅනුවර්තනය වීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ජනතාව මේ පිළිබඳව දැන සිටින්නේ නම්දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලින් තමන් බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ තීරණ ඉල්ලා අරගල කරණු නොඅනුමානය.

දේශීය පාරිසරික ගැටළු සහ දේශගුණික විපර්යාසය ආශ්‍රිත තොරතුරු වාර්තා කරන අතර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා භාෂාව බාධාවක් බව සුපුන් තේරුම් ගත්තේය. දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල භාෂාවෙන් සන්නිවේදනය කරන පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් ය. දේශගුණික දැනුම බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර සිංහල භාෂාවෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. එම නිසාඔහු 2016 දී ඉරුදින පුවත්පත සඳහා ‘දේශගුණ කථාව’ නමින් තීරු ලිපියක් ලිවීම ආරම්භ කළේය. පසුව එය බ්ලොග් අඩවියක් බවට පරිවර්තනය කල අතර දැනට වාර 5000 කට වඩා එය පරිශීලනය කර තිබේ (http://climatetalksrilanka.blogspot.com/). සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වන රැස පුවත්පත සඳහා ඔහු ලියූ ‘අභයභූමියේ සිට ලියමි’ තීරු ලිපියේදී ද දේශගුණික විපර්යාසය සම්බන්ධ කරුණු වලට ප්‍රමුඛස්ථානයක් ලැබුණි.

දේශගුණික විපර්යාස පිළිබඳව විවිධ කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් වලටද විවිධ අවස්ථාවල ඔහු දායකවී ඇති ළමා, තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් ඒවාට සහභාගීවී වී ඇත. ඔහුගේ ලේඛන සහ දේශන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පියවර ගැනීමට අන් අය තුළ යම්කිසි පෙළඹවීමක් ඇති කරන්නට හේතුවන්නට ඇත. ඔහුගේ වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධියේ පර්යේෂණ නිබන්ධනයද දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ අතර ඒ සඳහා ගුරු හරුකම් ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියයි. එහිදී ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසය පිළිබඳ සාක්ෂියක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව සුපුන් අධ්‍යනය කළේය. දේශගුණික විපර්යාස කෙරෙහි ඔහුගේ නොනිමි අවධානය යොමු කළ එක් ප්‍රධාන බලවේගයක් වූයේ UN CC: e-Learn වේදිකාව යි. පෙරටත් වඩා වැඩි දියුණු කරන ලද විවිධ පාඨමාලා රැසක් නොමිලේ හැදෑරීමට දැන් UN CC: e-Learn වැඩසටහන හරහා හැකියාව ලැබී තිබේ. එබැවින් එමගින් දේශගුණ විපර්යාසය පිළිබඳ තම දැනුම අවබෝධය වැඩිදියුණු කරගන්නා ලෙස සුපුන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා ඔහුට සහය දුන් අයද විශේෂයෙන් සිහිපත්කල කිරීමට සුපුන් අමතක නොකරයි. දේශගුණ විපර්යාස පිළිබඳව මුලින්ම ඔහුගේ උනන්දුව ඇති කලේ ප්‍රකට දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන රංග රල්ලාවල මහතාය. ඔහුට ඉරුදින පුවත්පතේ දේශගුණ විපර්යාසය පිළිබඳ තීරු ලිපිය ලිවීමට ඉඩ සලසා දුන්නේ හිතවත් තරුණ මාධ්‍යවේදී ශාලික විමලසේන ය. එසේ ඔහු ලියූ ලිපි සියල්ලම පාහේ ස්වකැමැත්තෙන් පරීක්ෂාකර බලා ගුරුහරුකම් ලබා දීමට තම අතිශය කාර්යබහුල දින චර්යාවෙන් වෙලාවක් වෙන්කර දෙමින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම පිළිබඳ ජාතික විශේෂඥ කමිටුවේ සභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා දැක්වූ සුවිශේෂී දායකත්වයටද සුපුන් තම හිස නමා ආචාර කරයි. තවද ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකරයන් රැස පුවත්පතට ‘අභයභූමියේ සිට ලියමි’ තීරුව ලියන්නට ඔහු උනන්දු කළේය. ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරී හේමන්ත විතානගේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ‘ශ්‍රී ලංකාව සඳහා සිවිල් සමාජ දේශගුණික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා පත්කළ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් පත්කිරීම පිළිබඳව සුපුන් සිහිපත් කරන්නේ ස්තූති පූර්වකව ය. එසේම ප්‍රිය බිරිඳ චේතිකා පෙරේරා සහ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සහ නෑදෑ හිත මිතුරන් ඔහුට ලබාදෙන සහයෝගයද නිබඳවම සිහිපත් කරයි.

තරගය පිළිබඳ විස්තර: https://www.uncclearn.org/2020-un-cclearn-champion-climate-stories/ 

සුපුන් ළහිරු ප්‍රකාශ් (ජයග්‍රාහක): https://www.uncclearn.org/stories/communicating-on-climate-change-in-local-language-in-sri-lanka/ 

 ---------- Forwarded message ---------

From: Supun Lahiru Prakash <prakashtgsl@gmail.com>
Date: Wed, Jun 16, 2021 at 2:02 PM
Subject: නැව් අනතුරෙන් මියගියබවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!
To: <ps@presidentsoffice.lk>
Cc: <sec@mahaweli.gov.lk>


අතිගරු ජනාධිපතිතුමා

ජනාධිපති කාර්යාලය

ගාලු මුවදොර

කොළඹ 01

 

නැව් අනතුරෙන් මියගිය බවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!



එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන සමුද්‍ර ජීවීන් පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් සිදුකරන පරීක්ෂණ සාධණීය මට්ටමින් සිදු වනවාදැයි සැක මතුවී තිබේ. මේ දින වල බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන ඩොල්පින් සතුන් සහ කැස්බෑවන් වැනි සමුද්‍ර ජීවීන් පිළිබඳව එම ප්‍රදේශ භාර වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීම සිදුකළත් එහි අවසාන ප්‍රතිපලය මෙම සාගර ජීවීන්ගේ මරණ වලට සාධාරණයක් ඉටුකරනු ඇතැයි විශ්වාස කිරීමට අපහසු තත්වයක් ඇතිවී තිබේ.

දිවයිනේ බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන සමුද්‍ර ජීවීන් පිළිබඳව ආනවිලුන්දාවා, මුතුරාජවෙලබෙල්ලන්විල - අත්තිඩිය සහ හික්කඩුව වනජීවී කාර්යාල වල නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශ වලට අයත් මහේස්ත්‍රාත් අධිකරණ වලට කරුණු දැක්වීම සිදුකරයි. එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම වනජීවී පශුවෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු අතර වැඩිදුර වාර්තා කැඳවීම සඳහා ගරු අධිකරණ මගින් අදාළ සිරුරු හෝ සාම්පල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට හෝ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරණු ලබයි. නමුත් ඒ ආකාරයෙන් අවශ්‍ය වාර්තා සැපයීම සඳහා බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට කිසිඳු රසායනාගාර පහසුකමක් නොමැති අතර පශුවෛද්‍යවරුන්ට පියවි ඇසින් පමණක් බලා එම සතුන් මරණයට පත්වීමට හේතුව විද්‍යාත්මකව ප්‍රකාශ කිරීමට විශේෂඥතාවයක් නොමැති බව පැහැදිළිය. තවද රජයේ රස පරීක්ෂකවරයාටද එවැනි හැකියාවක් ඇතිද යන්න සැක සහිත වන්නේ මින් පෙර 2019 වසරේ හබරන - හිරිවඩුන්න ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය අලින්ගේ මරණ සම්බන්ධයෙන්ද එවැනි විශේෂඥ සාක්ෂි සැපයීමට අදාළ දෙපාර්තමේන්තුවට නොහැකිවූ බැවිණි.

මෙවැනි පසුබිමක් තුල අදාළ සමුද්‍රජීවීන් මරණයට පත්වූ හේතුව පිළිබඳව නිවැරදි විද්‍යාත්මක අනාවරණයක් සිදුකර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම තුලඑම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයේ ගොනුකර ඇති නඩුද අපතේ යාමට වැඩි ඉඩක් පවතී. එමගින් තවදුරටත් අදාළ නැව් සමාගම් ඇතුළු මෙම විනාශයට වගකිවයුතු ආයතන වලට පහසුවෙන්ම නීතියෙන් ගැලවී යාමටද හැකිවන බව අමුතුවෙන් කිවයුතු නැත.

එබැවින් මෙම මරණවලට නිවැරදි හේතුව සොයාගැනීමටඅදාළ සත්ත්ව කොටස් වල ජෛව රසායනික අන්තර්ගතයන් පිළිබඳව පරීක්ෂණ සිදුකළ හැකිඒ සඳහා විශේෂඥභාවයක් සහිත දේශීය හෝ විදේශීය ආයතනයක් වෙත අදාළ සාම්පල යොමුකර වාර්තා කැඳවීමට බලධාරීන් කටයුතු කලයුතු ය. මෙම විනාශය ප්‍රතිපූරණය කරගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාගැනීමට සහ අනාගතයේදී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවීම වැලක්වීමට එය පිටිවහලක් වනු ඇති බව අප දැඩිව විශ්වාස කරමු. එබැවින් ඒ සඳහා පරිසර අමාත්‍යාංශයවනජීවී විෂය භාර රේඛීය අමාත්‍යංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත ලංකා ආණ්ඩුවම කඩිනමින් ක්‍රියාකලයුතු බව අප අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය