Sunday, November 3, 2024

කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහීලා


කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී, යාල සහ කුමන ජාතික උද්‍යාන ද වැනසෙන්නට පෙර නියාමනයක් ඕනෑ කර තිබේ.

හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් ඇත. නමුත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම වන්දනා ගමන මේ වන විට ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන ජාතික උද්‍යානවල පැවැත්මටද දැඩි තර්ජනයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

 පාද යාත්‍රාවේ ගමන් කළ නාවික හමුදාවේ ප්‍රධානියාට පහසුකම් සැලසීම සඳහා ඉදිකර ඇති කුඩාරම්

ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් තොරව නොමිලේ පා ගමනින් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයන් හරහා ගමන් කිරීමට ලැබෙන අතිශය විරල අවස්ථාවක් ලෙස මෙම පාද යාත්‍රාව හැඳින්විය හැකිය. එසේම කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළුවී යාල ජාතික උද්‍යානයෙන් පිටතට පැමිණීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ. යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක තුළ සංචාරය කිරීමටද විශේෂ කොන්දේසි තිබේ. එබැවින් එවැනි කිසිඳු අවසරයක් අවශ්‍ය නොවන පාද යාත්‍රාව දඩමීමා කරගෙන තමන්ගේ පටු ඕනෑ එපාකම් සරිකරගැනීම සඳහා විවිධ පිරිස් මේ වන විට පෙළඹී තිබේ. ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින් ඊට ඇතුලත් වේ. මේ හේතුවෙන් කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී වනජීවී රක්ෂිතද විනාශ මුඛයට යාමට පටන්ගෙන තිබේ. තවද මෙහි බොර දියේ මාළු බාමින් යාල සහ කුමන වෙත ඇතුළුවීමට කටයුතු කරන ආරක්ෂක අංශ, දන්සැල් කරුවන් සහ විවිධ රාජ්‍ය ආයතනද වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම ඉතා බරපතල තත්වයකි.

 පාද යාත්‍රාවේ ගමන් කළ නාවික හමුදාවේ ප්‍රධානියාට වැසිකිලි පහසුකම් ලබා දීම සඳහා සිදුකළ ඉදිකිරීම් වල ශේෂවූ කොන්ක්‍රීට් තට්ටු

මෙම වසරේද පාද යාත්‍රාවට සහභාගී වීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පුද්ගලයින්ට ඇතුළුවීම සඳහා ජුනි මස තිස්වැනි දින කුමන ජාතික උද්‍යානයේ දොරටුව විවෘත කෙරිණි. එය නැවත වසා දැමුනේ ජූලි මස දොළොස්වන දින සවස හතරටය. යුද්ධය අවසන් වීමෙන් පසු වාර්ෂිකව 25000 – 30000 අතර පිරිසක් මෙම වන්දනා ගමනට සහභාගීවූ අතර මෙවර එම ගණන වාර්තාගත ලෙස 32000 කට ඉතා ආසන්නව වන ලෙස ඉහළ ගියේය. හින්දු බැතිමතුන් ඉමහත් දුෂ්කරතා විඳිමින් මෙම පාද යාත්‍රාවට සහභාගී වෙමින් කතරගම වෙත පැමිණෙන්නේ දෙවියන් කෙරෙහි ඇති අප්‍රමාණ භක්තිය පෙරදැරිවය. ඔවුන් අනුගමනය කළ අල්පේච්ඡ වන්දනා විධි ක්‍රම මගින් පරිසරයට සිදුවූ හානිය අල්ප විය.

 කුඩාරම් ඉදිකළ ස්ථානවල ගස් කපා දමා ඇති අයුරු

යුධ සමයේ මෙම පාද යාත්‍රාව ඔස්සේ කොටි ත්‍රස්තවාදීන් දකුණට ගමන් කිරීමේ අවධානමක් ඇතැයි පෙන්වා දෙමින් වන්දනා කරුවන් ගණන් ගැනීමට යුධ හමුදාව මගින් කටයුතු කෙරිණි. නමුත් ඉන් නොනැවතී යුධ තත්ත්වය අවසන් වීමෙන් පසුවද ආරක්ෂක අංශ මගින් වන්දනාකරුවන්ට ජලය සහ ආහාරපාන වෙළඳාම් කිරීමට කටයුතු කිරීම මගින් මෙම වන්දනාවේ ඓතිහාසික වත්පිළිවෙත් වලට බලපෑම් එල්ල විය. වන්දනාකරුවන් ප්‍රමාණාත්මකව වැඩි වීමටද මෙම තත්ත්වය හේතු විය. සැබෑ බැතිමතුන්ගේ අපේක්ෂාව තමන්ට අවශ්‍ය සියලු දෑ පොදි බැඳගෙන දුෂ්කරතා විඳ ගනිමින් මෙම වන්දනා ගමන නිමා කිරීමය. එමගින් ඔවුන්ගේ භක්තිමත්බව දෙවියන් හමුවේ සනාථ කිරීමය. ඔවුන්ට ජාතික රක්ෂිත ප්‍රදේශය හරහා ගමන් කරන විට භාවිතා කිරීමට බෝතල් කළ ජලය හෝ ආහාර පාන තබා සෞඛ්‍ය පහසුකම් වත් වෙනත් පාර්ශවයන් මගින් සැපයීම අවශ්‍ය නොවීය. නමුත් සැබැවින්ම ඒවා අවශ්‍ය වූයේ අප ඉහත කී ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින්ටය. ඊට උඩගෙඩි දෙන වැඩි දෙනෙක් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සහිත පාර්ෂවයන් බවද කියති. එහි අවසන් ප්‍රතිපලය සැබෑ අල්පේච්ඡ වන්දනාව වෙනුවට පරිසරයට විශාල වශයෙන් බලපෑම් එල්ලවන විකෘතියක් බවට මෙම චාරිකාව පත්වීමය.

නාවික හමුදාවේ මැදිහත්වීම

 ජාතික උද්‍යානය තුළ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු දන්සැල් භූමියක්

කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේම බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ කටයුත්තකද (බෝතල් ජලය විකිණීමට අමතරව) යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී. එසේ තිබියදී වන්දනාකරුවන් සඳහා ප්‍රති අසෘත ජල පිරිපහදු පද්ධතියක් උද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට බව පවසමින් නාවික හමුදාව වන්දනා සමයේ ජාතික උද්‍යානයට ප්‍රවේශ විය. එතැන් සිට නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථාන වල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශකිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම එවැනි අහිතකර කටයුතු ඒ අතර වේ.

දන්සැල් කරුවන්ගේ දිගු රථ පෙළපාලියක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවන අයුරු (මුලාශ්‍ර සමාජ මධ්‍ය)

කුමන බලපෑම් පැමිණියද පලටුපාන ප්‍රවේශය හරහා නියමිත වේලාවට පෙර යාල ජාතික උද්‍යානයට වාහන ඇතුළු කිරීමෙන් වැළකී සිටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. නමුත් පාන්දර යාමයේ සිට එහි පැමිණ නියමිත වෙලාව එළැඹෙන තුරු රැඳී සිටින නාවික හමුදා වාහන මුලින්ම උද්‍යානයට ඇතුළුවීම නිතැතින්ම සිදුවේ. එම රථ පෙළ වනය දෙවනත් කරගෙන ඇදී යන විට වනයේ සිටින අලි-කොටි-වලස් ඈ ආකර්ශණීය වනජීවීන් පලා යාම නොවැලැක්විය හැකිය. එවිට දුරු කතර ගෙවාගෙන පැමිණ, තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටල් කාමරවල නවාතැන්ගෙන, හිමිදිරියේ උද්‍යානයට ඇතුළුවී සතුන් වැඩි ප්‍රමාණයක් නැරඹීමට සැදී පැහැදී සිටින දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන්නේ හිස් අතින් නැවත පිටවී යාමටය. එසේම පාද යාත්‍රාවේ පැමිණි නාවුක හමුදා ප්‍රධානියා සහ ඔහුට ආරක්ෂාව සපයන හැට-හැත්තෑවක හමුදා අනුඛණ්ඩය ඉකුත් වසරේ මෙන්ම මේ වසරේදීද වන්දනාකරුවන්ට වෙන්වූ මාවතෙන් මෑත්ව තල්ගස්මංකඩ ප්‍රදේශයෙන් යාල ජාතික උද්‍යානයේ සංචාරකයන් ගමන් ගන්නා මාර්ග පද්ධතියට අවතීර්ණව අත්තනෝමතික අකාරයෙන් ගමන්කර ඇති බව දැනගන්නට ලැබේ. එයද වන සතුන්ට මෙන්ම සංචාරක කර්මාන්තයට කොහෙත්ම හිතකර තත්වයක් නොවේ.

දන්සැල් කරුවන්ගේ බලපෑම

ශ්‍රී දළදා මාලිගාව ඇතුළුව විවිධ රාජ්‍ය සහ පුද්ගලික අංශ සහ පුද්ගලයින් ද මෙම සමයේදී දන්සැල් පැවැත්වීමට බව පවසමින් රක්ෂිත ප්‍රදේශයට ඇතුළුවීම සිදුකරයි. ඔවුන් අතර සිටින අප ඉහත කී ඊනියා පරිසරවේදීන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් මෙන්ම සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා බව පවසමින් පැමිණෙන පුද්ගලයින් පවා තමන්ගේ ඩිපෙන්ඩර් රථ වල නැගී රාත්‍රී කාලයේ වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සරණ බවට චෝදනා එල්ලවේ. එවැනි තත්වයන් වනජීවී සංරක්ෂණය අතින් කොහෙත්ම යහපත් නොවේ.

අදාළ ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවා නිසි බලපත්‍රයක් ලබා ගෙන ජාතික උද්‍යානයකට ඇතුළුවන සංචාරකයින්ට පවා උද්‍යානයේ ගමන් කිරීමට අවසර ඇත්තේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළදී පමණි. නමුත් විවිධ උප්පරවැට්ටිය යොදා ගනිමින් මෙම වන්දනා සමයේ උද්‍යානය තුළට ඇතුළුවන ඉහතකී පාර්ශව අදාළ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලැබෙන අවසරය වල්බූරු නිදහසක් කරගැනීමට සංරක්ෂණ නීතී උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ජුගුප්සාජනකය. විශේෂයෙන්ම යාල කලාප අංක එකට අයත් පරණ තොටුපොළ සංචාරක බංගලාව වෙන්කරවා ගන්නා දළදා මාලිගයේ දන්සැල් නඩය ඔවුන් විසින් දන්සැල පවත්වාගෙන යන කටුපිලාර දක්වා (ඉන් ඔබ්බටද) රැයක් දවාලක් නොමැතිව ගමන් කිරීමට දන්සැල දඩමීමා කරගන්නා බවට චෝදනා එල්ලවේ. එසේම කලාප අංක දෙකට අයත් ළිං තුන සහ කැබැල්ලෑවල ප්‍රදේශවලද බත් සහ කඩල දන්සැල් පවත්වාගෙන යෑමට බව පවසමින් විශාල පිරිසක් උද්‍යානයට ඇතුළුවී තමන්ට රිසිසේ කටයුතුකර තිබේ.

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. එමනේම දන්සැල් දඩමීමා කරගෙන මෙසේ පිටස්තර පුද්ගලයින් යාලට ඇතුළුවන්නේ වන්දනාකරුවන් කෙරෙහි උපන් දයාවෙන් ද නැතිනම් හුදෙක් තමන්ගේ විනෝදාස්වාදය සඳහා ද යන්න එම පාර්ශව විසින් සමාජ මාධ්‍ය මගින් පළකර ඇති ඡායාරූප සහ වීඩියෝපට මගින් මොනවට පැහැදිළි වේ. සැතපුම් ගණන් පා ගමනින්ම පැමිණ, සුළු ආහාරයක් උයා පිහාගෙන කා විවෘත පිටියක රැය පහන් කරන පාද යාත්‍රාවට පහසුකම් සැළසීමට ඇතැම් දන්සැල් සංවිධායකවරුන් පැමිණ තිබුණේ සුඛෝපභෝගී කැරවැන් (Caravan) ද රැගෙන බව කිවයුතුය.

සමීපව අධීක්ෂණය නොකිරීම

 උද්‍යානය තුළ කැලිකසල ගොඩගැසී ඇති අයුරු

ව්‍යුත්පන්න කිහිපයකදී හැර මෙරට ජාතික උද්‍යානය වලට ඇතුළුවන සංචාරකයින් ඒවා තුළ ගමන් ගන්නා සියලුම අවස්ථා වලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සංචාරක මාර්ගෝපදේශකයෙකු ඔවුන් සමග ගමන් කිරීම සිදු කරයි. නොඑසේ අදාළ දෙපාර්තමේන්තුවට වග කිවයුතු සෆාරි ජීප් රථ රියදුරන් හෝ ඔවුන් සමග වෙති (විවේචන තිබිය හැක). නමුත් දෙසතියකට ආසන්න කාලයක් තුළ පිටස්තර පුද්ගලයින් දස දහස් ගණනින් කුමන සහ යාල ජාතික උද්‍යායේ කලාප අංක එක සහ දෙක තුළ නිදහසේ ගමන් ගන්නේ එවැනි සංචාරක මාර්ගෝපදේශකයින් කිසිවෙක් නොමැතිවය. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යවේ. එවැනි පසුබිමක් තුළ අප ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩිපෙන්ඩර් රථවල නැගී රාත්‍රී කාලයේ පවා වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සැරීම, ඩ්‍රෝන කැමරා යොදාගෙන රූපගත කිරීම වැනි කටයුතු එළිපිටම සිදුකිරීම මගින් පෙනී යන්නේ එවැනි සමීප අධීක්ෂණයක් සිදු නොවන බවය.

 උද්‍යානය තුළ ගිණි තැබීම් සිදුකර ඇති අයුරු

මේ ආකාරයෙන් මහා ජනකායක් දීර්ඝ කාල සීමාවක් තුළ වනජීවී රක්ෂිත තුළ හැසිරීම නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බලපෑම් එල්ලවීම, කැලිකසල සහ මලපහ මගින් ස්වභාවික පරිසර පද්ධතීන් සහ ජල මුලාශ්‍ර දූෂණය වීම වැනි පාරිසරික බලපෑම් රැසක් ඇතිවේ. සංචාරකයින් සංඛ්‍යාව වැඩිවන විට ඊට අනුලෝමව බලපෑමද වැඩිවේ. කතරගම පාද යාත්‍රාවද දුෂ්කර වන්දනා ගමනක සිට සැණකෙළියකට පරිවර්තනය වීමෙන් සිදුවන්නේ සංචාරකයින් සංඛ්‍යාව වැඩිවී පාරිසරික බලපෑම වැඩිවීමය. එබැවින් මීට අදාළ අනුමැතීන් ලබාදීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට යාල සහ කුමන ජාතික උද්‍යාන භාරකරුවන් දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කලමනාකරණ ධුරාවලියේ සියලු ස්ථර මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේම සිදුවන මානව ක්‍රියාකාරකම් සහ ඇතිවන තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට සහ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොබියව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීමද ආණ්ඩුවේ වගකීමය. එසේම තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර නොගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ නොහැරීම, වනජිවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම සහ පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර නොගැනීම දිසාපතිවරුන්ගේ, ආගමික නායකයිගේ සිට සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ යුතුකම බව අප අවධාරණය කරමු.

 උද්‍යානය තුළ දිය වළවල් කැලිකසල මගින් අපවිත්‍රවී ඇති අයුරු

 වනජීවී රැකවලුන් සිරගත කර දඩයක්කරුවන් වන උයන්වල දඩකෙළියේ …


යාල ජාතික උද්‍යානයේ සයවන කොටස ලෙස මෑතකදී නැවත වරක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරුණු ලුණුගම්වෙහෙර වන උයන පුරා පැතිර ඇත්තේ මහා කාලකන්නි මුස්පේන්තු ගතියක්. සෆාරි ජීප් රථ මාර්ග වල පවා ඔබ මොබ ඇවිද ගිය මිනිසුන්ගේ නිරුවත් පා සටහන් දුලභ නැහැ. ඒවා වනසතුන් දඩයම, දැව ජාවාරම, ගංජා වගාව වැනි කුමන හෝ වනජීවී අපරාධයක් සිදුකිරීම සඳහා උද්‍යානයට ඇතුළුවූ පුද්ගලයින්ගේ බවට සැක නැහැ. ඇතැම් අවස්ථාවලදී දිවගොස් වන පෙත් තුළ සැඟවෙන මිනිස් හොල්මන් පවා උද්‍යානයේ ඉඳහිට හෝ ගමන් කරන සංචාරකයින්ගේ නෙත ගැටී තිබෙනවා. මහා දහවලේ පවා වන සතුන් ඉලක්කකර තබන වෙඩි උණ්ඩ වල කටෝර හඬ එම සංචාරකයින් බියෙන් සලිත කරවීමට සමත්.

මේ අවාසනාවන්ත තත්ත්වයට ලුණුගම්වෙහෙර වන උයන ඇද වැටීමට හේතුවූ කණගාටුදායක සිදුවීම සිදුවන්නේ ඉකුත් 2023 වසරේ නොවැම්බර් පහළොස්වැනිදා. ඒ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවෙකු මරණයට පත්වීම. අසරණ වන සතුන් සිය දහස් ගණනකට දිවි අහිමිකළ දඩයක්කරුවෙකු වනජීවී රක්ෂිතයක් තුළ හෝ ඉන් පිටත දී මරණයට පත්වීම පරිසරයට ආදරය කරන අයවලුන්ට නම් කණගාටුවට කරුණක් නොවේ. කණගාටුවට කරුණ වන්නේ මෙම සිදුවීම නිසා එදින වැටලීමට සහභාගීවූ වනජීවී නිලධාරීන් තිදෙනෙකු මිනීමැරුම් චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. ඒ හේතුව නිසා දිවයින පුරාම වනජීවී නිලධාරීන් අධෛර්යමත් වීම සහ වනජීවී අපරාධකරුවන්ට එරෙහිව ඔවුන් විසින් සිදුකරන වැටලීම් අඩපණ වීම මේ දක්වාම මෙරට සොබා උරුමයන්ට එල්ලකර ඇති පීඩනය සුළු පටු නැහැ.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය වන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ නෛතික විධි විධානයන්ට යටත්වයි. එම පනතේ බලයලත් වනජීවී නිලධාරීන් වන අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකරුවන් සහ නියාමකවරුන්ට පනත බලාත්මක කරමින් මෙරට වනජීවීන්, ස්වභාවික සම්පත් හා වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා ටී 56, රිපීටර්, බෝර දොළහා සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය මගින් පුහුණුවක් ලබාදී සහතිකපත්‍ර ද පිරිනමා තිබෙනවා. වනජීවී කාර්යාල වලට ගිනිඅවි සහ පතුරොම් ලබාදී උක්ත බලයලත් නිලධාරීන්ට ගිනිඅවි භාවිතයට බලපත්‍රද ලබාදී තිබෙනවා.

ඒවගේම 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 60 ‘ආ’ වගන්තියේ සඳහන් වන්නේ එම පනත යටතේ යම් වනජීවී නිලධරයෙකු විසින් සද්භාවයෙන් නීත්‍යානුකූලව කරන ලද යම් දෙයක් සඳහා ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු බවයි.

ලෝකයේ නීතිවිරෝධී ධනෝපායන මාර්ග අතරින් වනජීවී ජාවාරම පවතින්නේ ඉහළම තැනකයි. වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට වනජීවී අපරාධකරුවන් මැඩලීම සඳහා ගිනිඅවි ලබාදී තිබෙන්නේ එම ජාවාරමේ ඇති සංකීර්ණ සහ බිහිසුණුබව හේතුවෙන් මයි. එසේම වනජීවීන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම රටකට ඒ තරම්ම වැදගත් නිසයි. අත්අඩංගුවට ගැනීමට අවනත නොවන අවස්ථාවලදී වනජීවී අපරාධකරුවන්ට වෙඩි තැබීමට අවසර ලබාදී ඇති රටවල් අතරට අප්‍රිකානු රටවල් මෙන්ම අප අසල්වැසි ඉන්දියාවද අයත්. නමුත් ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් ද වන ශ්‍රී ලංකාවේ ඒ ආකාරයෙන් වනජීවීන් සංරක්ෂණ කටයුතු වලට දායක වන වනජීවී නිලධාරීන්ට උරුමවන්නේ සිපිරිගෙයද යන්න ලුණුගම්වෙහෙරේ වනජීවී නිලධාරීන්ට අත්වූ ඉරණය මගින් අපගෙන් විමසයි. නැතිනම් එම ගිනිඅවි ලබා දෙන්නේ රජයේ මුදල් අපතේ හරිමින් ගස් ගල් වලට වෙඩි තැබීමට හෝ සතුන් දඩයමේ යාමටද යන්නද විමසිය යුතුයි. අදාළ නිලධාරීන්ට ඇති පුද්ගල ආරක්ෂාවේ අයිතියවත් මෙහිදී හිමිකරදී ඇතිද යන්න ප්‍රශ්න සහගතයි.

මෙම සිදුවීම ආරම්භ වන්නේ පසුගිය 2023 වසරේ නොවැම්බර් 15 වැනිදා ලුණුගම්වෙහෙර උද්‍යානයේ කරවිලේ සහ වෙහෙරගල බීට්ටු කාර්යාලවල නිලධාරීන් විසින් වනජීවී රක්ෂිතය තුළ සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකින්. එහි ප්‍රතිපලයක් ලෙස එදින පස්වරුවේ වෙහෙරගල ඇල මාර්ගය ආසන්න ස්ථානයකදී වෙඩි තබා මරණ ලද මුවෙකු, ගිනිඅවි දෙකක්, විදුලි පන්දම්, ඉවුම්පිහුම් උපකරණ සහ මස් වියලීම සඳහා යොදා ගන්නා දැල් ඇතුළු දඩයම් ආම්පන්න සමග දඩයක්කරුවෙකු තම භාරයට ගැනීමට එම නිලධාරීන්ට හැකි වෙයි. එහිදීද වෙඩි හුවමාරුවක් සිදුවී ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුවී ඇති බව දැනගන්නට නැත. නමුත් තවත් දඩයක්කරුවන් පිරිසක් පලා යන අතර ඔවුන් පලා යන්නේ ලුණුගම්වෙහෙර ජලාශය දෙසට බව එම නිලධාරීන් ලුණුගම්වෙහෙර මුලස්ථානයට දන්වයි.

පණිවුඩය ලද අඩවි ආරක්ෂක අනුරුද්ධ ද සිල්වා මහතා එම දඩයක්කරුවන් රැකසිට අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් සංවිධානය කරයි. එවක එම කාර්යාලයේ රාජකාරි කළ නියාමක එච්. කේ. සම්පත්, වම්ඉවුර බීට්ටුවේ රාජකාරි කළ නියාමක පී. චමින්ද ලක්මාල් සහ බෝගහවැව බීට්ටුවේ රාජකාරි කළ නියාමක එච්. ජී. කේ.  රසාංග ගුණසේන ඒ සඳහා යොමු කරයි. පලාගිය දඩයක්කරුවන් ගමන්කළ දිශාව අනුව ඔවුන්ට උද්‍යානයෙන් පිටතට යෑමට පහසුම ඉසව්ව වන්නේ වම්ඉවුර ප්‍රදේශය බැවින් නිලධාරීන් එහි රහසේ සැඟව සිටී. ඔවුන්ගේ උපකල්පනය සනාථ කරමින් දඩයක්කරුවන් ඔවුන් සිටි දෙසට පැමිණි අතර දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී නැවතත් වෙඩි හුවමාරුවක් සිදුවේ. එහිදී වනය තුළින් පුද්ගලයෙකු වෙඩි වැදී කෑ ගසන හඬ ඇසුණු වනජීවී නිලධාරීන් කඩිනමින් ඔහුව ලුණුගම්වෙහෙර රෝහල වෙත රැගෙන යයි. නමුත් ඒ වන විට අදාළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව දැනගන්නට ලැබේ.

ලොව පුරා වනජීවී සංරක්ෂණ වෘත්තිකයින් වැඩිම සංඛ්‍යවක් මරණයට පත්වී ඇත්තේ වනජීවී ජාවාරම්කරුවන් සමග ඇතිවූ ගැටුම් අතරතුරයි. අපේ රටට හිමි ස්වභාවික සම්පත් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට දැරූ උත්සාහයන් වලදී ද වනජීවී නිලධාරීන් 16 දෙනෙකු පමණ වනජීවී අපරාධකරුවන් අතින් මරණයට පත්වී ඇත. වෙඩි තැබීමෙන් සිදුවූ මරණ 11 ක්, පිහි ඇනුම් තුනක් සහ පහරදීම් දෙකක් ඒ අතර වෙයි. එම ඝාතන අතරින් 14ක් ම සිදුකර ඇත්තේ දඩයක්කරුවන් විසින් වන අතර වැලි ජාවාරම්කරුවන් එක් මරණයකට වගකිවයුතු බව අනාවරණය වේ.

ලුණුගම්වෙහෙරේ සිදුවීමේදී ද මුලින් වෙඩි තැබූ දඩයක්කරුවන්ගේ ඉලක්කය වැරදී වනජීවී නිලධාරීන්ගේ ගිනිඅවි ඉක්මන් නොවුනානම් මෙසේ රාජකාරි අතරතුර මරණයට පත්වූ වනජීවී නිලධාරීන්ගේ ලේඛණය එදින නැවතත් යාවත්කාලීන වන්නට තිබූ ඉඩ අතිශයින්ම වැඩියි.

වනජීවී නිලධාරීන් අතින් සැකකරුවන් මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ රියදුරුට මරණකරු සමග ඥාති සම්බන්ධයක් පැවතීම මෙම සිදුවීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පොලීසිය වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමට හේතු වුණා දැයි අප දන්නේ නැහැ. නමුත් එහි ප්‍රතිපලය දිවි නොතකා වැටලීමට සහභාගීවූ නිලධාරීන් තිදෙනාට සිව් මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සිදුවීම. එපමණක් නොවේ, ඒ හේතුව නිසා දිවයිනේ බොහෝ වනජීවී රක්ෂිත වල වනජීවී අපරාධ මැඩලීමේ කටයුතු මේවනවිට ඇත්තේ ඉතා පසුගාමී තත්වයක. ගිනිඅවි නොමැතිව දඩයක්කරුවන් මැඩලීමට ගියහොත් සිදුවන්නේ උන් අතින් මරණයට පත්වීමට. වැටලීම් වලදී ගිනිඅවි භාවිතා කිරීම නිසා යම්කිසි සිදුවීමක් සිදුවුවහොත් අත්වෙන්නේ ලුණුගම්වෙහෙරේ නිලධාරීන්ට අත්වූ ඉරණමම නොවේදැයි වනජීවී නිලධාරීන් තුළ බියක් ඇතිවීම ද සාධාරණයි. වනජීවීන් රකින්නට ගොස් බන්ධනාගාරවල තපින්නට කිසිඳු නිලධාරියෙකුට මොළේ අමාරුවක් තිබේද?

සිර මැදිරි තුළ සිටියදී මෙන්ම ගිනිඅවි පෙන්වීමට වැනි කටයුතු සඳහා පිටතට රැගෙනගොස් සිටියදී ශ්‍රී ලංකා පොලීසිය භාරයේ සිටි සැකකරුවන් මරණයට පත්වූ වාර පසුගිය සමයේ අසන්නට ලැබුණේ ඉඳහිට නම් නොවෙයි. පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තැබූ වෙඩි පහරවල් වල ඉලක්කද මරණයෙන් කෙළවරවූ අවස්ථා තිබුණා. ඒ සෑම විටෙකම මරණකරුගේ අපරාධ ඉතිහාසය තළුමරමින් ප්‍රකාශකිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කටයුතු කළා විනා අදාළ සිදුවීම් වලට සම්බන්ද තම නිලධාරීනට දණ්ඩ නීතී සංග්‍රහ පනතේ 296 වගන්තිය ප්‍රකාරව මිනී මැරුම් චෝදනා එල්ල කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළාද? නොඑසේනම් එම නිලධාරීන් සඳහා නඩු පැවරුනේ 298 වගන්තියෙන්ද? වනජීවී නිලධාරීන් සම්බන්ධයෙන් පොලීසියේ මෙම න්‍යාය වෙනස් වුණේ කෙසේද? පොලිස් රාජ්‍යවල පොලීසිය කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්ද? පොලීසියේ මෙවැනි කටයුතු නිසා යුක්තියේ දෙවඟන පවා තමන්ගේ පතිවත රැකගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වන්නේ නොවේද? මේ මොහොතේ රටේ ජනතාවගේ සිත් තුළ එවැනි උභතෝකෝටික ප්‍රශ්න රැසක් ඇතිවිය හැකියි.

මෙරට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යධූරය හොබවන්නිය වන පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිණිය රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවක සිටින නිලධාරීන් මේ ආකාරයෙන් අසරණ කරනු ලැබ සිටින බව දන්නේදැයි අප දන්නේ නැහැ. තමන් විසින් පවරන ලද රාජකාරි ඉටුකිරීමේ වරදට සිපිරිගෙට නියමවූ යටත් නිලධාරීන්ට එහිම තපින්නට ඉඩ හැර, අනිවාර්ය නිවාඩු යවා, ඔවුන්ට සොච්චම් මූලික වැටුප පමණක් ගෙවීම හැර මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් වෙනත් සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනද දැනගන්නට නැහැ. ඊට අමතරව ඔහු විසින් සිදුකර ඇත්තේ මෙම නඩු කටයුත්ත දඩමීමා කරගනිමින් තමන්ගේ ගජමිතුරු (ගොඩ) පෙරකදෝරුවෙකු කිසිඳු ප්‍රයෝජනයක් නැතිව රජයේ වියදමින් ප්‍රවාහන සහ සියලු සැප සම්පත් සපයා නිවාඩුවක් ගතකිරීම සඳහා ලුණුගම්වෙහෙරට එවීම පමණයි.

එමගින් ඔහු සිදුකර ඇත්තේ තමා ලබාදුන් රාජකාරි උපදෙස් හා ඊට අවශ්‍ය උපකරණ භාවිතා කරමින් සද්භාවයෙන් රාජකාරි ඉටුකළ තම නිලධාරීන්ට රැකවරණය සැලසීමද නොඑසේ නම් පොලීසියට අවනත වෙමින්  මුනිවත රැකීමද යන්න විමසිය යුතුයි. ඔහු මෙමගින් තම නිලධාරීන්ට දෙන පණිවුඩය වන්නේ කොතරම් නිර්භීතව සහ අවංකව රාජකාරි ඉටුකලත් ඔවුන්ට දෙපාර්තමේන්තුව මගින් කිසිඳු රැකවරණයක් නොලැබෙන බව නොවේද? දෙනදෙයක් කා වෙනදෙයක් බලාගෙන පුටුව රත්කරමින් පසුවීම යහපත් බව නොවේද?

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ලුණුගම්වෙහෙර භාරව සිටි උද්‍යානභාරකරු සහ ප්‍රදේශය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් බහුල නිලධාරීන් බවට විවාදයක් නැහැ. නමුත් මේ මොහොතේ ඔවුන්ගේ එම ජ්‍යෙෂ්ඨත්වය හා අත්දැකීම් මෙම තත්ත්වය නිසි පරිදි කලමනාකරණය කිරීම සඳහා යොදා නොගැනීමද පහළ නිලධාරීන්ට මෙම ඉරණම අත්වීමට හේතු වන්නට බැරි නැහැ. එසේම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඔඩොක්කු කුක්කන් ( උද්‍යානය තුළ ගංජා හේන් පවත්වාගෙන ගිය බවට චෝදනා ලබා දැනටත් විමර්ශනයට යටත් ස්ථාන මාරු ලබා සිටින) පසුගිය කාලයේ කොතරම් කාර්යක්ෂම ලෙස උද්‍යානයේ පරිපාලනය ගෙනගියාද යන්න පිළිබඳවද මෙමගින් දෙස් දෙයි. වනජීවී සංරක්ෂණය වෙනුවට ඔවුන් සිදුකළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පදිංචි ගම් පළාතේ හිමිකරුවන්ට අයත් බර යන්ත්‍රෝපකරණ ගෙනැවිත් ඊනියා අලි ගාලක් සකස්කිරීමට බව පවසමින් බිංකුණ්ඩන් සේ උද්‍යානයේ අගල් හැරීම පමණක් බවටද චෝදනා එල්ලවෙයි.  

වනජීවීන් පාදක කරගත් සංචාරක කර්මාන්තය හරහා මෙරට රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්නට දේවකාරියටත් එහා ගොස් උතුම්කොට රාජකාරි ඉටුකරන වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන දායකත්වය ඉමහත්. නමුත් එම කුලකයේ නිලධාරීන් තිදෙනෙක් ඉකුත් අප්‍රේල් තෙවැනිදා හම්බන්තොට මහාධිකරණය මගින් ඇප ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කරන තෙක් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හිඟා නොකා හිඟා කන්නට ඇති බවනම් සැක නැහැ. සොච්චම් මූලික වැටුපෙන් ණය වාරික කැපී ඔවුන් අතට පත්වුණු රුපියල් කිහිපය (වනජීවී වෘත්තීය සමිති සහ දානපතීන් පිහිටට නොඑන්නට) වර්තමාන ජීවන වියදමට අලගු තබන්නවත් ප්‍රමාණවත් ද? මෙරට ආණ්ඩුව රාජ්‍ය අංශයේ සංරක්ෂණ වෘත්තිකයන්ට සළකන්නේ මේ ආකාරයෙන් නම් රටේ සංරක්ෂණය ගැන ඉදිරියේදී කතා කරන්නට වත් දෙයක් ඉතිරි වේද?

මෙම සිදුවීමට අදාළ නඩු හම්බන්තොට මහාධිකරණයේ තවමත් විභාග වෙමිනුයි පවතින්නේ. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් අප මෙම එඩිතර වනජීවී නිලධාරීන්ට එමගින් හෝ යුක්තිය ඉටුවෙතැයි අපේක්ෂාවෙන් පසුවෙනවා.

නීතියේ මාර්ගෝපදේශක මූලධර්මවල මෙසේ සඳහන් වෙනවා,

'යුක්තිය ඉටු කිරීම පමණක් නොව, ප්‍රකාශිතව සහ සැකයකින් තොරව එය සිදු වන බව දැකිය යුතුයි'.


එච්. කේ. සම්පත්


2001 වසරේ ක්ෂේත්‍ර සහායකවරයෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු ජුවාන හැන්නදිගේ සම්පත් (44) මහතා එම තනතුරේ ස්ථීර වන්නේ 2005 වසරේ අප්‍රේල් 18 වැනිදාය. ඉන්පසු 2017 වසරේ ජනවාරි 16 දින වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට උසස්වීම් ලබන ඔහු තම රාජකාරි දිවිය තුළ රැකව, නුගේපොකුණ, යාල, හෝටන්තැන්න, ඇල්ල යන ප්‍රදේශවල සේවය කර ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන විට ලුණුගම්වෙහෙර උද්‍යාන මුලස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිටියේය. 2018 වසරේ වනජීවී අපරාධකරුවන්ට එරෙහිව දිවයිනේ වැඩිම නඩු සංඛ්‍යාවක් පැවරීමට කටයුතු කළ වනජීවී කාර්යාලය බවට ලුණුගම්වෙහෙර උද්‍යාන මුලස්ථානය පත්කිරීමට සම්පත් මහතාගේ ද සක්‍රීය දායකත්වය ලැබුණු අතර ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට තණමල්විල දෙසින් ඇතුළුවීමට ඇති දොරටුව වන ‘කළු පාලම’ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සම්පත් මහතා ලබාදුන් සුවිශේෂී දායකත්වය 2023 වසරේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ බව දැනගන්නට තිබේ. වනජීවී අපරාධකරුවන් මර්ධනය සඳහා නොබියව පෙරට යන නිලධාරියෙකු ලෙස දෙපාර්තමේන්තුව තුළ නමක් දරා සිටින සම්පත් මහතා ඇතුළු පිරිසක් සමග 2018 වසරේ බෝගහවැව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවෙකු තුවාල ලැබීය. විවාහකයෙකු වන ඔහු එක්දරු පියෙකි.


පී. චමින්ද ලක්මාල් 


2001 වසරේ ස්වේච්ඡා මාර්ගෝපදේශකයෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු පරණගමගේ චමින්ද ලක්මාල් (41) මහතා 2006 වසරේදී ක්ෂේත්‍ර සහායකවරයෙකු ලෙස පත්වීම් ලබා 2017 වසරේදී වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට උසස්වීම් ලබා ඇත. බූන්දල, යාල, උඩවලව, ලුණුගම්වෙහෙර සහ උඩවලව ඇත් අතුරු සෙවන යන රාජකාරි ස්ථාන වලල සේවය කර ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන විට වම්ඉවුර බීට්ටු කාර්යාලයට අනියුක්තව සේවය කළේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක දෙකකට වැඩි අත්දැකීම් ඇති චමින්ද ලක්මාල් මහතා විවාහකයෙකු වන අතර එක්දරු පියෙකි.


එච්. ජී. කේ.  රසාංග ගුණසේන


2019 අගෝස්තු දෙවැනිදා පුහුණුවන වනජීවී නියාමකවරයෙකු වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු හන්නගල ගමගේ කුසිත රසාංග ගුණසේන (29) මහතා මනම්පිටිය සහ කල්පිටිය, ඉලන්තිඅඩිය යන බීට්ටු කාර්යාල වල රාජකාරි ඉටුකර 2020 පෙබරවාරි තුන්වැනි දින වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට ස්ථීර පත්වීම් ලබා ඇත. 2020 මාර්තු පළමුවැනි දින සිට රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන තෙක්ම ඔහු බෝගහවැව බීට්ටු කාර්යාලයට අනියුක්තව සේවය කළේය. අධිකරණ කටයුතු සම්බන්ධයෙන්ද විශේෂ උනන්දුවක් දක්වන ඒ මහතා මෙම සිදුවීම සිදුවූ දිනද සවස්වන තුරුම තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ රැඳී සිටි බවට සාක්ෂි තිබේ. ඉකුත් පෙබරවාරි 28 වැනිදා විවාහ දිවියට ඇතුළත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණත් මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් එදින ඔහුට ගතකිරීමට සිදුව තිබුණේ බන්ධනාගාරයේය.

Tuesday, November 22, 2022

 අලි මංකඩක් අවහිරවන පරිදි පොලිස් ස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, මොරගොඩ ග්‍රාම සේවා වසමේ, මොරගොඩ පාසැල අසලින් වැටී ඇති අලි ඇතුන් ඉතා සුලභව භාවිතා කරනු ලබන අලි මංකඩ අවහිර වන පරිදි මොරගොඩ පොලිස් ස්ථානය ඉදිකිරීමට කටයුතු ආරම්හ කර ඇති බව අප වෙත වාර්තාවී ඇත.

මෙතෙක් කලක් කුලී පදනම මත පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය එම පොලිස් ස්ථානය සඳහා ස්ථීර රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙසේ අලි මංකඩ අවහිර වන පරිදි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රිටිගල අඩවියේ, මොරගොඩ බීට්ටු කාර්යාලය පිහිටි අක්කර දහයක පමණ ඉඩමෙන් අක්කරයක පමණ කොටසක් යොදා ගැනීමට කටයුතු කරමින් පවතී.

හබරණ - මින්නේරිය - රිටිගල යන ප්‍රදේශවල සැරි සරණ 300ක් පමණ වන අලි රංචුවක් වසරේ අගෝස්තු පමණ සිට අනුයාත වසරේ පෙබරාවාරි පමණ දක්වා දින පතාම පාහේ මෙම අලි මංකඩ භාවිතා කරමින් මොරගොඩ වැව, මානංකට්ටිය වැව හා එරු වැව යන ජලාශ වල ජලපෝෂක වනාන්තර වෙත කලින් කලට සංක්‍රමණය වෙමින් ජීවත්වන බව දැනගන්නට ලැබී තිබේ. එසේම තනි අලින් වසර පුරාම තමන්ගේ වාසභූමි වල විවිධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම සඳහා මෙම අලි මංකඩ භාවිතා කරනු ලබයි. මීට මදක් දුරින් පිහිටි උණගොල්ලෑව අලි මංකඩද මේ වන විට කුඹුරු වගා කිරීම නිසා අවහිරවී ඇති පසුබිමක මෙම මොරගොඩ අලි මංකඩ අවහිර වුව හොත් ඉදිරියේදී මොරගොඩ, උණගොල්ලෑව, බැඳිවැව, නාවක්කුලම, අමුණුකොලේ යන ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී.

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් සංරක්ෂණය කිරීම හා අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා 2014 වසරේ ඉදිරිපත්කෙරුණු සැලැස්මකට අනුව අලි මංකඩ 16ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. නමුත් මොරගොඩ අලි මංකඩ අවහිර කරමින් පොලිස් ස්ථානයක් ඉදිකිරීමට කටයුතු කිරීමෙන් ඇතිවන ගැටළුව වන්නේ පැරණි අලි මංකඩ ප්‍රතිස්ථාපනය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය දැනට අලි ඇතුන් විසින් සුලභව භාවිතා කරන අලි මංකඩ ආරක්ෂා කරගැනීම සඳහා ලබා නොදෙන්නේද යන්නයි.

‘වන අලි සංරක්ෂණ ප්‍රදේශ, වන අලි කළමනාකරණ ප්‍රදේශ, සහ වන අලි පිවිසුම් (අලි මංකඩ) සැලකිල්ලට ගනිමින් වන අලි වාසභූමි හඳුනාගැනීම සහ සිතියම්ගත කිරීම මගින් අලි ඇතුන්ගේ නිදහස් සංචරණය සහතික කිරීම’ වර්ෂ 2020 ක් වූ දෙසැම්බර් මස රජයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින්ද අවධාරණය කර ඇති කරුණකි. මිනිසුන් සමග ගැටුම් ඇති කර නොගනිමින් ආහාර සපයා ගැනීම සහ සහකරුවන් සොයා ගැනීම වැනි චර්යාත්මක අවශ්‍යතා සඳහා තම වාසභූමියේ එක් කොටසක සිට තවත් කොටසකට අලි ඇතුන්ට ගමන් කිරීමට මෙවැනි අලි මංකඩවල් ඉවහල් වීම ඊට හේතුවයි.

එබැවින් මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා සුදුසු විකල්ප ඉඩමක් ලබාදී, මොරගොඩ අලි මංකඩ ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප උදක්ම ඉල්ලා සිටිමු.

Saturday, November 5, 2022

අඩසියවසකදී මිහිතලයේ ජීවත්වූ වනජීවී ගහනයෙන් සියයට 69ක් වැනසී ගිහින් ...

 


සොබාදහම විසින් තම නොහික්මුණු පුත්‍රයා වන මිනිස් ජීවියා මේ මිහිතලයේ ජනිත කළ දා සිට මේ දක්වා ඔහු විසින් නසා වනසා දැමූ අනෙකුත් ජීවී විශේෂ ප්‍රමාණය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. පසුගිය වසර මිලියන ගණනක් තුල මේ මිහිතලයේ ජීවත්වූ විවිධ සත්ත්ව කාණ්ඩ ස්වභාවික හේතු නිසා වඳවී ගිය අවස්ථා නැතුවා නොවේ. එවැනි තත්වයන් නොවැලැක්විය හැකි නමුත් නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයෙන් සමුගෙන ගිය සහ මේ මොහොතේද සමුගෙන යමින් සිටින වනජීවීන්ට එම ඉරණම අත්කරදීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුත්තේ මිනිසාය. එම තත්ත්වය කොතරම් දරුණුද යත් පසුගිය අඩසියවස තුළ මෙම මිහිතලයේ ජීවත්වූ ජීවී විශේෂ ගහනයෙන් සියයට හැට නමයක් (69%) මිහිතලයෙන් තුරන්වී ඇති බව ලෝක වනජීවී අරමුදල (WWF - World Wide Fund For Nature) මගින් පසුගියදා තම නවතම වාර්තාවක් මගින් අනාවරණය කෙරිණි.

ගෝලීය ජෛව විවිධත්වයේ ප්‍රවණතා සහ මිහිතලයේ යහපැවැත්ම පිළිබඳ ලෝක වනජීවී අරමුදල මගින් සිදුකරණ පුළුල් අධ්‍යයනයක් වන ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 (The Living Planet Report 2022) වාර්තාවේ නවතම සංස්කරණය නොබෝදා එළි දැක්විණි. මෙම ප්‍රමුඛතම ගෝලීය ප්‍රකාශනයට අනුව 1970 සිට මේ දක්වා ජීවී විශේෂ වල ජනගහනයෙන් 69% ක පහත වැටීමක් හෙළි කරතිබේ. විවිධ සංරක්ෂණ ප්‍රයත්නයන් මගින් මෙම මිහිතලයේ ජීවත්වන ජීවී විශේෂ ආරක්ෂා කරගැනීමට යම්කිසි පිටිවහලක් ලැබුණද සිදුවෙම්න් පවතින මෙම මහා විනාශය ආපසු හැරවීමට නම් හදිසි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය බව එමගින් අවධාරණය කර තිබේ.

පෘථිවියේ ජීවයේ විවිධත්වය වන ජෛව විවිධත්වය මිනිස් යහපැවැත්ම සඳහාද අත්‍යවශ්‍ය සේවාවන් අපට සපයන අතර මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඖෂධ හා ඇඳුම් ඉන් කිහිපයකි. නමුත් අද වන විට අපට එම ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින්නේ ඉතා භයානක වේගයකිනි. ශාක හා සත්ත්ව විශේෂ මිලියනයක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ලෝකයේ කොරල්පරවලින් අඩක් අපට අහිමි වී හමාරය. ලෝක වනජීවී අරමුදල අවධාරණය කරන්නේ ගතවන සෑම විනාඩියකටම පාපන්දු පිට්ටනි 27 ක් තරම් වන වනාන්තර ප්‍රමාණයක් අපට අහිමි වෙමින් ඇති බවය. වනාන්තර අපගේ දේශගුණය ස්ථාවර කරන අතර ඒවා නොමැති වුවහොත් ගෝලීය උෂ්ණත්වය වර්තමානයේ පවතින ප්‍රමාණයට වඩා සෙල්සියස් අංශක 0.5 කින් උණුසුම් වනු ඇත. නමුත් සෑම වසරකම පෘතුගාල භූමියේ ප්‍රමාණයට සමාන වනාන්තර ප්‍රමාණයක් අපට අහිමි වේ. වනාන්තර විනාශය මගින් පෘථිවි වායුගෝලයේ  හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යන අතර නියඟයන් වැඩි වීමට සහ උණුසුම් වියළි දේශගුණයන් ඇතිවීමට මෙම තත්ත්වය හේතු වේ. එය මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය අවදානමට ලක් කරයි.

වර්තමාන සහ අනාගත පරම්පරාවේ යහපැවැත්මට තර්ජනයක් වන මානව ප්‍රේරිත දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීමේ ද්විත්ව, අන්තර් සම්බන්ධිත හදිසි අවස්ථාවන්ට අද දවසේ අපි මුහුණ දෙමින් සිටිමු. අපගේ අනාගතය ජෛව විවිධත්වය සහ ස්ථාවර දේශගුණයක් මත තීරණාත්මක ලෙස රඳා පවතින බැවින්, ස්වභාවධර්මයේ පරිහානිය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වන්නේ කෙසේදැයි අප අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේවා එකිනෙකින් වෙන් නොවන අතර එකම කාසියේ දෙපැත්ත බඳුය. එබැවින් මෙම සම්බන්ධතා වල ස්වභාවය, එමගින් මිනිසුන්ට සහ ජෛව විවිධත්වයට ඇති කරන බලපෑම්, ධනාත්මක, සාධාරණ සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම, යන කරණු මෙවර ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 වාර්තාවේ ප්‍රධාන තේමාවන් වේ.

ගොඩබිම, මිරිදියේ සහ සාගරයේ බොහෝ ශාක හා සත්ව විශේෂවල ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම හෝ ඛණ්ඩනය කිරීම මෙන්ම ඉඩම් පරිහරණ රටාවේ වෙනස් කිරීම් තවමත් ස්වභාවධර්මයට ඇති විශාලතම තර්ජනයයි. කෙසේ වෙතත්, මිහිතලයේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 ක සීමාවේ පවත්වාගෙන යාමට අපට නොහැකි වුවහොත්, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාස ජෛව විවිධත්වය අහිමි වීමේ ප්‍රධාන හේතුව බවට පත්වීමට ඉඩ ඇත. උෂ්ණත්වය ඉහළ යාම දැනටමත් ඇතැම් ජීවී විශේෂ සමූලඝාතනය වීමට මෙන්ම සමස්ත විශේෂවල වඳවීයාමට ප්‍රධාන හේතුවයි. මිහිතලය උණුසුම් වන සෑම ඒකකයකින්ම මෙම විනාශය ඉහළ යාම සහ ඒවායින් මිනිසුන්ට ඇති කරන බලපෑම වැඩි වීම අපේක්ෂා කිරීමට අපට සිදුවේ.

දැනට ප්‍රකාශයට පත්කර ඇති වඩාත්ම විස්තීර්ණ සොයාගැනීම් සහිත මෙම ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 සංස්කරණය මගින් අනාවරණය කරන ආකාරයට ලොව පුරා නිරීක්ෂණය කරන ලද වන ජීවීන් ගහනයන්ගෙන් 69% පමණ 1970 - 2018 කාලසීමාව තුළ පහත වැටී තිබේ. ලතින් ඇමරිකාවේ තත්ත්වය වඩාත් භයානක වන අතර එම ප්‍රමාණය වනජීවී ගහණයේ 94% ක පරිහානියකි. තවද අප්‍රිකාවේ 66% කින්, ආසියා පැසිපික් කලාපයේ 55% කින්, උතුරු ඇමරිකාවේ 20% කින් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 18% කින් වනජීවී ගහනයන් පහළ ගොස් තිබේ. විවිධ සත්ත්ව කාණ්ඩ සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මිරිදිය විශේෂ වලට වන අතර අදාළ කාලසීමාව තුල මිහිතලයේ ජීවත්වූ මිරිදිය විශේෂ ගහනය 83% කින් පහළ වැටී තිබේ.

මෙම අධ්‍යයනය මගින් අප අවධාරණය කරගතයුතු සත්‍ය වන්නේ අප ස්වභාවික ලෝකය මත ඇතිකරන පීඩනය පෙරලා තීව්‍ර වන ස්වභාවික අර්බුදයන් රැසක් අප වෙතම එල්ල කරන බවයි. එමඟින් දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුහුරුවීම ඇතුළු තීරණාත්මක සේවාවන් සැපයීමේ හැකියාව අඩපණ කරයි. අපගේ සොබාදහම විනාශ කිරීම වසංගතවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරන අතරම වඩාත් අවදානම් සමාජ කණ්ඩායම් මත වැඩි බලපෑම ඇති වේ. එබැවින් අප සිදුකළ යුත්තේ මෙම අවධානමෙන් මිදීමට අද අදම වඩාත් සක්‍රියව ක්‍රියා කිරීමයි. අපට ක්‍රියාත්මක වීමට තවමත් කාලය ඇති නමුත් කඩිනම් ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය බව අවසන් වශයෙන් අවධාරණය කළ යුතුය.

සම්පූර්ණ වාර්තාව කියවීමට: https://wwflpr.awsassets.panda.org/downloads/lpr_2022_full_report.pdf