Monday, November 10, 2025

 Budget Dreams, Ground Realities: The Growing Crisis of Human–Elephant Conflict


President Anura Kumara Dissanayake, in his capacity as Minister of Finance, presented the 2026 budget to Parliament on the afternoon of the 7th. It is important to examine the proposals related to mitigating human–elephant conflict—arguably the most serious socio-economic, environmental, and political problem currently facing Sri Lanka. Thousands of elephants, and nearly forty percent of the country’s land area, on which people live, are affected. 

The National People’s Power promised during the election campaign—and the public expected—that this burning issue would be addressed through scientific, effective, and long-term solutions. However, as we highlighted months ago, the present government has abandoned those promises and instead chosen a path that worsens human–elephant conflict through ignorance and misguided assumptions. A review of the recently announced budget proposals repeatedly shows that the solutions focus almost entirely on confining elephants to protected areas, erecting electric fences, and increasing manpower to maintain these fences. In other words, the government is relying yet again on outdated, unscientific, and unsuccessful strategies. As a cosmetic addition, a small allocation has been made for habitat enrichment.

Sri Lanka’s approach to elephant management and conflict mitigation was formulated in 1959, when the recommendation was first made to confine elephants to selected protected areas. After more than sixty years of effort by the Department of Wildlife Conservation to achieve this goal, 70% of elephant habitat still lies in landscapes shared with people. It is therefore self-evident that continuing this approach is unrealistic. Environmentalists and experts have repeatedly communicated this to the government since it came to power, yet the 2026 budget proposals show that these concerns have once again been ignored.

Despite extensive evidence that confining elephants to reserves and installing electric fences is a failed strategy, the current government initiated several such attempts in the Anuradhapura, Polonnaruwa, and Puttalam districts soon after assuming office. A similar attempt is now ongoing in the Hambantota area. If the government had reflected on the failure of these initiatives—or even considered them while preparing the budget—such unscientific and outdated proposals would not appear in the President’s budget.

If anyone believes that this approach will protect humans—regardless of the harm caused to elephants—it must be emphasized that this too is far from reality. Research by the Centre for Conservation and Research, led by Dr. Prithiviraj Fernando, using GPS-collared elephants, has shown that elephant drives do not succeed in displacing problem males from an area, and that some herds remain or eventually return to their original home range. During these drives, elephants are subjected to immense suffering through thousands of elephant-firecrackers (ali-wedi) and gunfire, which increases their aggression toward humans. Once these failed drives end and the political authorities responsible for them move on, it is the innocent villagers—left to face the agitated elephants—who pay the price, often with their lives.

Observations also show that when elephant herds are driven into protected areas and confined by electric fences, many individuals—especially calves—die of starvation. This tragedy affects not only elephants driven in from outside but also herds that historically lived entirely within protected areas.

It has now become clear that the current government has no genuine interest in implementing the scientifically grounded and well-coordinated National Action Plan developed in 2022 to minimize human–elephant conflict. Although the plan itself calls for the appointment of a Presidential Task Force, no government has acted on this. In place of such a Task Force, former President Ranil Wickremesinghe appointed a Presidential Committee in November 2022 to facilitate and monitor implementation. Despite limited authority and funding, some progress was made in 2024: the Department of Agrarian Development installed about 300 seasonal crop protection electric fences, and the Department of Wildlife Conservation reduced elephant drives and translocation. These efforts likely contributed to the reduction in human and elephant deaths in 2024—after nine consecutive years of increases.

However, with the change in government, the committee’s term and implementation of the National Action Plan have effectively ended. From the outset, we emphasized the need for the current government to implement the National Action Plan fully and correctly. Instead, the President dismissed it, and on June 20 instructed officials to form district-level committees in conflict-affected areas and prepare district action plans. On July 7, a circular titled “Establishment of District Level Committees for Elephant–Human Conflict Management” (PS/DASA/Circular/5/2025) was issued under the signature of the Presidential Secretary. According to the Presidential Secretariat’s Information Officer, these district plans were still being received as of October 31. It is therefore evident that these documents were not considered when preparing the President’s budget proposals.

The only seemingly innovative component of the President’s proposals is habitat enrichment. Unfortunately, this too is largely illusory. The highest elephant densities occur in thorn scrub, grassland, and savanna ecosystems such as Udawalawe National Park, where densities reach about 3 elephants per square kilometer. In contrast, undisturbed mature forest in parks such as Wilpattu and Wasgomuwa supports only about 0.1 elephants per square kilometer. Thus, in theory, converting one square kilometer of mature forest into scrub or grassland could increase elephant carrying capacity from 0.1 to 3 elephants.

However, such habitat manipulation requires converting about 80 acres of undisturbed mature forest per elephant. The estimated cost of clearing and burning one acre is around Rs. 30,000, meaning that increasing the carrying capacity for a single elephant costs approximately Rs. 2.4 million per year. Sri Lanka has about 6,000 free-range elephants, of which at least 4,000 live in shared landscapes with people. Habitat management for these 4,000 elephants would cost Rs. 9,600 million. Clearly, the President’s vision is a fantasy, not a realistic plan.

Accordingly, it appears that the so-called ‘Mihikatha’ environmental policy presented by the current National People’s Power government to gain power—promising proper studies of wild elephant populations, migration patterns, and habitats, as well as public participation programs using biological and new technological methods to address human–elephant conflict—was, I regret to say, nothing more than a deceptive election promise.

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???


මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම අලි ඇතුන් දහස් ගණනක් එමගින් පීඩාවට පත්ව සිටින බැවිණි.

ජාතික ජන බලවේගය මැතිවරණවලදී පොරොන්දු වූයේ සහ ජනතාව බලාපොරොත්තු වූයේ අප රට දවන මෙම ප්‍රශ්නය විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් වර්තමාන රජය නොදැනුවත්කම සහ මිත්‍යාව මත පදනම්වූ අලි-මිනිස් ගැටුම් අවුළුවන මග තෝරාගෙන ඇති බව අප මීට මාස කීපයකට පෙරද පෙන්වා දුනිමු. පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අයවැය යෝජනා සමාලෝචනයකර බැලීමේදී ද නැවත නැවතත් පැහැදිලිවම පෙනී යන්නේ එම යෝජනා අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල් කර විදුලි වැට සකස් කිරීමත්, එම වැට ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් බලය සැපයීමත් කෙරෙහි සම්පූර්ණ අවධානය යොමුකර ඇති බවයි. එනම් මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් කෙරෙහිම මෙම ආණ්ඩුවද විශ්වාසය තබා ඇති බවයි. තවද ඊට අයිසින් තැවරුමක් වශයෙන් වාසස්ථාන සුපෝෂණය සඳහා ද යම් මුදලක් වෙන්කර ඇති බවයි.

වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වූ අතීත ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඒවාය. අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නිර්දේශ වූයේ එමගිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට ජීවිත පවා පරිත්‍යාගයෙන් කටයුතුකළ වසර හැටකට වැඩි කාලසීමාවකටත් පසු, අද වන විටත් වන අලින්ගේ වාසභූමි වලින් 70% ක් ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවලය. ඒ අනුව එම ප්‍රවේශය ඔස්සේම ඉදිරියට යාම යථාර්තවාදී නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම රජය බලයට පැමිණි දා සිටි මේ දක්වා විවිධ අවස්ථා වලදී අප ඇතුළු පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ආණ්ඩුවට මේ බව අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. නමුත් ඔවුන් එය කනකට නොගෙන ඇති බව මෙම අයවැය යෝජනා මගින් නැවත නැවතත් පැහැදිලිව පෙනේ.

අලි ඇතුන් රක්ෂිත තුළට ගාල්කර විදුලි වැට සකස් කිරීම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ උපායක් බවට අතීත සාක්ෂි සාධක ඕනෑ තරම් තිබියදී, වර්තමාන රජය බලයට පැමිණි වහා ද එවැනි උත්සාහයන් ගණනාවක් අනුරාධපුර, පොළොන්නරුව සහ පුත්තලම ප්‍රදේශ වලදී දරනු ලැබිණි. මේ වන විට එවැනි උත්සාහයක් හම්බන්තොට ප්‍රදේශයේද ක්‍රියාත්මක වෙමින් පවතී. ආණ්ඩුව අඩු තරමින් ඒවායේ අසාර්ථකත්වය පිළිබඳව හෝ අයවැය යෝජනා සකස් කිරීමේදී අවධානය යොමු කලානම් මෙවැනි අසාර්ථක, අවිද්‍යාත්මක හා යල්පැනගිය යෝජනා ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා වලට ඇතුලත් නොවෙන්න ඉඩ තිබුණි.

මෙම ක්‍රියාවලිය මගින් අලින්ට කුමන අගතියක් සිදු වුවත් මිනිසුන් හෝ ආරක්ෂාවේයැයි කෙනෙකු සිතනවා නම් එයද යථාර්ථයෙන් ඉතා දුරස් බව අවධාරණය කලයුතුය. ඒ මන්ද යත් ආසියානු අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සංරක්ෂණ පර්යේෂණ ආයතනය මගින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) මගින් අධ්‍යනය කෙරුණු පලවාහැරීම් වලට ලක්කළ අලින්ගේ දත්ත මගින් අනාවරණය වී ඇත්තේ අලි පලවා හැරීම් (Elephant Drive) මගින් ගැටළු ඇති කරන පිරිමි සතුන්ව එම ප්‍රදේශයෙන් පලවා හැරීමට නොහැකි බවත්, සමහර අලි රංචු පවා පලවාහැරීම් සිදුකෙරුණු පඨයේ රැඳී සිටින බවත් සහ නැවත තම වාසභූමි වෙත පැමිණෙන බවත් ය.

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය පසු මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.

අලි රංචු තම වාසභූමි වල සිට රක්ෂිත ප්‍රදේශ වෙත පලවාහැර විදුලි වැට මගින් ආවරණය කර ඇති අවස්ථා නිරීක්ෂණය කිරීමෙන් ද පෙනී යන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, විශේෂයෙන් පැටවුන් සාගින්නෙන් මිය යන බවය. මෙම ඉරණම අත්විඳින්නේ පිටතින් පැමිණෙන අලි ඇතුන් පමණක් නොවන අතර සම්පූර්ණයෙන්ම රක්ෂිත ප්‍රදේශය තුළ වාසභූමි පවත්වාගෙන ගිය රංචු වල අලි ඇතුන් ද මෙම ඉරණමට මුහුණ දෙති.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා එදා මෙදා තුර සකස් කෙරුණු ඉතාම සාධනීය සහ සමෝදානිත විද්‍යාත්මක ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම කෙරෙහිද වර්තමාන රජයේ කැමැත්තක් නැති බව මේ වන විට පැහැදිළිය. එම සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද මේ දක්වා එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් කටයුතුකර නැත. ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව අපගේ විශ්වාසයයි.

කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත. වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළෙමු. නමුත් ඒ සියල්ල අළුමය හෙලූ කෙල පිඩක් සේ බැහැර කල ජනාධිපතිවරයා ඉකුත් ජුනි 20 වැනිදා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කර, දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් සකස්කරන ලෙසය. ඊට අදාලව ජූලි හත්වැනි දාතමින්, PS/DASA/Circular/5/2025 අංක දරන “අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ කමිටු පිහිටුවීම” මැයෙන් වන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් විය. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කළේ ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා වන විටද එම සැලසුම් තවමත් ලැබෙමින් පවතින බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා සකස් කිරීමේදී එම ලේඛන කෙරෙහිවත් අවධානය යොමුව නැති බවය.

ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා වලියේ ඇති ආකර්ෂණීය අංගයක් වන්නේ වාසස්ථාන සුපෝෂණයයි. නමුත් එයද දවල් හීනයක් මිස සැබෑවක් නොවන බව කණගාටුවෙන් නමුත් සඳහන් කළයුතුය. ස්වාභාවික වාසභූමිවලින් වැඩිම ඝනත්වයකින් අලි -ඇතුන් වාර්තා වන්නේ උඩවලව ජාතික උද්‍යානය වැනි කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා පරිසර පද්ධතිවලය. ඒවායේ වර්ග කිලෝමීටරයකට අලි -ඇතුන් 3ක් පමණ ජීවත්වේ. නමුත් විල්පත්තුව සහ වස්ගොමුව වැනි ජාතික උද්‍යානවල බාධා නොවූ මේරූ වනාන්තරවල එම අගය වර්ග කිලෝමීටරයකට අලි ඇතුන් 0.1ක් පමණ වේ. මේ අනුව, න්‍යායාත්මකව, බාධා නොවූ මේරූ වනාන්තර වර්ග කිලෝමීටරයක ප්‍රමාණයක් කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා වනාන්තරයක් බවට පරිවර්තනය කිරීමෙන් අලි- ඇතුන්ගේ ඉසිලුම් ධාරිතාව 0.1 සිට 3 දක්වා වැඩි කළ හැකිය.

එවැනි වාසස්ථාන කළමනාකරණ ක්‍රමවේදයක් මඟින් න්‍යායාත්මකව රක්ෂිත ප්‍රදේශවලට පලවාහරින අලි – ඇතුන්ට ආහාර සැපයිය හැකිය. කෙසේ වෙතත්, මේ සඳහා එක් අලියෙකුට අක්කර 80ක පමණ බාධා නොවූ මේරූ වනාන්තරයක් කටු පඳුරු සහිත ලඳු කැලෑ, තෘණ බිම් සහ සැවානා වනාන්තරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ.

මේ ආකාරයෙන් අක්කරයක භූමි ප්‍රමාණයක් කපා පුලුස්සා සකස් කිරීමට දළ වශයෙන් ඇස්තමේන්තුගත පිරිවැය රු. 30,000කි. ඒ අනුව එක් අලියකු සඳහා රක්ෂිත ප්‍රදේශයක ඉසිලුම් ධාරිතාව වැඩි කිරීම සඳහා වසරකට රු. මිලියන 2.4ක් වැය වේ. ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් 6,000ක් පමණ ජීවත්වන අතර එම වන අලි ඇතුන්ගේ වාසභූමිවලින් 70%ක්ම සාමාන්‍ය ජනතාව පදිංචි ප්‍රදේශවල පිහිටා ඇති බැවින් අවම වශයෙන් අලි – ඇතුන් 4,000ක් මිනිසුන් සමඟ පොදු භූමියක ජීවත්වේ. අලි 4,000ක් සඳහා වාසස්ථාන කළමනාකරණයට රු. මිලියන 9,600ක් වැය වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අයිසින් තවරුමද හුදෙක් දවල් හීනයක් බව පැහැදිලිවේ.

ඒ අනුව පෙනී යන්නේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීම සඳහා ඉදිරිපත්කල ‘මිහිකත’ ඊනියා පරිසර ප්‍රතිපත්තියේ සඳහන් ‘අලි මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම’ ද ප්‍රෝඩාකාරී ඡන්ද පොරොන්දුවක් පමණක් බව යන්න කණගාටුවෙන් ලියා තබමි. 

Tuesday, October 7, 2025

පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙය පිළිබඳව පරිසර ඇමතිවරයාගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා!

පසුගිය සැප්තැම්බර් 03 බදාදා දින පැවැත්වූ රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳි ප්‍රකාශ කළේ මෙරට ප්‍රමුඛ ජාතික උද්‍යානයක් වන විල්පත්තුව ජාතික උද්‍යානය තුල පිහිටි පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයට සහභාගීවීමට බැතිමතුන්ට අවසර ලබාදී ඇති බවත්, එම වන්දනා ගමන් සිදුවන්නේ තමන් දැනුවත්ව බවත්ය. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහ අසත්‍ය ප්‍රචාරයක් බවත් එවැනි ප්‍රචාර වලට රැවටී විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුළුවී නිකරුණේ අපහසුතාවයට පත් නොවන ලෙසත් අප බැතිමතුන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

සියලු අන පනත් හා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොසලකාපල්ලකණ්ඩල් දේවස්ථානයේ මාසික දේව මෙහෙය සඳහා බව පවසමින් 2025 අගෝස්තු 05 දින වාහන 23 ක් සහ 2025 සැප්තැම්බර් 02 දින වාහන 34 ක් අනවසරයෙන් විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුලුවිය. ඒ අනුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරි වලට බාධා කරමින්, නීති විරෝධී ලෙස ජාතික උද්‍යානයට ඇතුළුවූ සියලු පුද්ගලික වාහන සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළ නීතිමය කටයුතු මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට අදාළ 2025 අගෝස්තු 05 දින ඇතුළුවූ වාහන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් B 39267/25 සහ 2025 සැප්තැම්බර් 02 දින ඇතුළුවූ වාහන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් B 40492/25 අංක දරන බී වාර්තා මගින් කරුණු ඉදිරිපත්කර ඊට අදාළ විමර්ශන සහ නීති කෘත්‍ය ක්‍රියාත්මක වෙමින් පවතී.

එබැවින් පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙය පිළිබඳව පරිසර ඇමතිවරයාගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටී විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුළුවී නිකරුණේ අපහසුතාවයට පත් නොවන ලෙස අප බැතිමතුන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නක් බව පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සහ මෙරට ප්‍රථම සහ විශාලතම ජාතික උද්‍යානය ‘විල්පත්තු කැලය’ ලෙස හඳුන්වමින් රේඛීය විෂයභාර අමාත්‍යවරයා මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව ද අප විමතිය පළකරමු. එසේම ජාතික උද්‍යාන මායිමේ සිට කිලෝමීටර් හතක් පමණ අභ්‍යන්තරයේ ඇති මෙම ස්ථානය ‘විල්පත්තු කැලයේ කෙළවරක’ පිහිටා ඇති බව හැඟවීමට ද අමාත්‍යවරයා අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටීම ඉතාම ජුගුප්සාජනක තත්ත්වයකි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික උද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාව තුල පවා ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථමයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික උද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙරට ජාතික උද්‍යානවල තිරසාර පැවැත්ම තහවුරු කිරීම සඳහා එවැනි දැඩි නීති රීති පනවා ඇති පසුබිමක ඇමතිවරයා ජාතික උද්‍යානය තුල ඊට බරපතල හානි සිදු කරමින් කටයුතු කිරීමට උඩගෙඩි දීම ඉතා බරපතල පූර්වාදර්ශයක් බව ද අප අවධාරණය කරමු.

මෙතෙක් කලක් මෙම දේවස්ථානයේ කටයුතු හේතුවෙන් ජාතික උද්‍යානයට සිදුවූ හානිය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවී තිබුණේ ඉකුත් මාර්තු මස සිටය. එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බව එකල වාර්තාවූ අතර අප මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම තත්ත්වය තාවකාලිකව යටපත් විය.

ඉන්පසු ඉකුත් 2025 ජුනි මස 23 වැනිදා පරිසර අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, සහ දේවස්ථානයේ පාලනාධිකාරිය ඇතුළු පිරිසක් විසින් මීට අදාළ සාකච්ඡාවක් පවත්වා තිබුණි. 2025 අගෝස්තු මස මුල් අඟහරුවාදා දින සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින මෙම දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කැබිනට් පත්‍රිකාවක් මගින් සකසා දීමේ වගකීම එහිදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා ඇති බවත්, මෙම තීරණය මගින් විල්පත්තුව ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතල තර්ජන එල්ලවන බවත් අප නැවත නැවතත් අවධාරණය කළෙමු.

එසේ තිබියදී පරිසර විනාශයෙන් ඔබ්බටද යමින් ආගමික විශ්වාස සමග සෙල්ලම් කරමින්, නීත්‍යානුකූලව නියම කර ඇති ආයතනයක අධිකාරියට හානි කරමින් මෙන්ම සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් පවා නිර්මාණය වියහැකි ආකාරයෙන් රජයේ අමාත්‍යවරයෙකු කටයුතු කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වර්තමාන රජයේ මුල් පුටුවල අවධානය යොමුවිය යුතු බව අප අවධාරණය කරමු. එසේ නොවුනහොත් එය මෙරට ආගමික සංහිඳියාව බිඳවැටීමට පවා තුඩුදිය හැකි ඛේදවාචකයක් විය හැකි බව අප ඉතා ඕනෑකමින් ලියා තබමු.

Tuesday, September 23, 2025

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

 

© https://www.independent.lk/

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ 206ක දඩයක් ගෙවීමට පසුගියදා (19) නියෝග කළේ ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරමට වැට බැඳීම පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති කරමිනි. ඔහු සිපිරිගෙට නියම වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ අලියකු බව හඟවමින් ලියාපදිංචි නොකළ හා සන්තකයේ තබා ගැනීමට බලපත්‍රයක් නොමැති පොදු දේපළක් වන අලියකු නීතිවිරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකට වරදකරු කරමිනි. නමුත් ඒ පුවත සැළවීමත් සමග ඇතිවූ බලපොරොත්තුවට ආයුෂ පැවතුණේ නඩු තීන්දුව පිළිබඳව වැඩි දුර තොරතුරු වාර්තාවන තෙක් පමණි.

මව් සතුන් මරා ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වූ අලි පැටවුන් පැහැරගෙනවිත් මුදලට විකිණීමේ ජාවාරම මෙරට තුල ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අනුග්‍රහයද වක්‍රාකාරයෙන් ලැබුණු අහස පොළොව නූහුලන මහා අපරාධයක් ලෙසය. ඒ වටා රොක්ව සිටි ධනවතුන් සහ බලවතුන්ගේ අනුභාවය කොතරම්ද යත් හඬක් නැගිය නොහැකි මෙම අසරණ සතුන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවට බලධාරීන් සිදුකළේ ජාවාරම නීතිගත කිරීමට ආණ්ඩුවෙන් ගැසට් නිවේදන පවා නිකුත් කිරීමය. එවැනි පසුබිමක් තුළ මෙම නඩු තීන්දුව ඓතිහාසික එකක් බව සැබෑය. නමුත් මෙම ජාවාරම පිළිබඳව කලක සිට අවධියෙන් සිටි සහ හඬ නැගූ අපට මෙහිදී යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය ලබාදෙන රජයේ ආයතන වල ක්‍රියාකලාපය පිළිබඳව නම් ඇති වන්නේ බරපතල කුකුසකි.

නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණේ අලි පැටවුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වුවද අලි රොෂාන් වරදකරු බවට පත්ව තිබුණේ එක අලි පැටවකු සම්බන්ධයෙන් පමණි. ඔහුට සිර දඬුවම් හිමිවන විට තවත් පිරිසක් නිදොස්කොට නිදහස් විය. මෙම නීති කෘත්‍යයට අදාලව අලි පැටවුන්ගේ වයස අධිකරණය හමුවේ නිවැරදිව සනාථ කිරීමට පවා අපගේ බදු මුදලින් වේතන ලබන විමර්ශන නිලධාරීන් අපොහොසත්ව තිබීම පිළිබඳව ඇති වන්නේ බරපතල සැකයකි.

දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්‍රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව අප විසින් පෙන්වා දුන්නේ 2020 වසරේ දී ය. ඒ මෙම ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමකගේ දායකත්වයෙන් ලොව ප්‍රකට විද්‍යා සඟරාවක පළකරමිනි.

පරිසර හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ අනෙකුත් පෙත්සම්කරුවන් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් 2024 මැයි 31 දින ශ්‍රී ලංකාවේ නීති විරෝධී අලි ජාවාරමට එරෙහිව ලබා දුන් සුවිශේෂී තීන්දුවේ ද එම පර්යේෂණ පත්‍රිකාව උපුටා දක්වා ඇත.

අලි රොෂාන් සිපිරිගෙට නියම වන්නේ අප ඉහත මතුකළ කරුණු පිළිබඳව නැවතත් සිතා බලන්නට අපට බල කරවමිනි. මෙරට ගරු අධිකරණයේ ක්‍රියාකලාපය පිළිබඳව අපට කිසිඳු සැකයක් නැත. නමුත් යුක්තික පසිඳලීමට සහයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වැනි මහජන බදු මුදලින් වැටුප් ලබන ආයතන අම්මාවරුන් මරා වනයෙන් පැහැරගෙන ආ බවට වාර්තාවන මෙම අලි පැටවුන්ට යුක්තික ඉටුකර දීමට කොතරම් සමත්ද? මෙම නඩුවේ තීරණාත්මක සාධකයක් වූයේ අලි ඇතුන්ගේ සැබෑ වයස සහ බලපත්‍රයේ සඳහන් වයස අතර ඇති පරස්පරය ගරු අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමය. ඒ සඳහා මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක පළපුරුද්ද ඇති පශුවෛද්‍යවරුන් යොදා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේ නැද්ද යන්න බරපතල ගැටළුවකි. ඒ වෙනුවට එකී වයස් පිළිබඳව සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස කැඳවනු ලැබූ සාක්‍ෂිකරුවන් අසමත් වී ඇති බව විනිසුරුවරුන් විසින්  විවෘත අධිකරණය හමුවේ කියා සිටියෝය. එළුවන්ගේ වයස පිළිබඳ සාක්‍ෂි දීමට එම විශේෂඥභාවය ප්‍රමාණවත් වුවත් ප්‍රශ්න ගත අලි ඇතුන්ගේ වයස් පිළිබඳව සනාථ කිරීමට ඔවුන්ගේ විශේෂඥභාවය ප්‍රමාණවත් නොවන බව එහිදී වැඩි දුරටත් සඳහන් විය. මෙවැන්නක් සිදු වූයේ කගේ උවමනාවටද?

ආසියානු අලි ඇතුන්ගේ උස අනුව වයස නිර්ණය කිරීම සම්බන්ධයෙන් අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස විසින් 2022 වසරේ පළකර ඇති දැනට ලොවම පිළිගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය පවා භාවිතා කල හැකිව තිබුණි. ඒ කිසිවක් ගැන තැකීමක් නොකළ මෙතරම් දුර්වල විමර්ශකයින් පිරිසකට අලි පැටවුන් ජාවාරම වැනි ඉතා සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී ජාවාරමක් සමග ගැටිය හැකිද යන උභතෝකෝටිකය මේ මොහොතේ අප ඉදිරිපට ඇත. මීට වඩා බරපතල අපරාධ පවා විමර්ශනයකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් මෙසේ මන්දෝත්සාහීව ඇත්තේ මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නටද යන සැකය මතුවන්නේ එබැවිනි.

තවද අප ඉහත කී විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවේ දක්වා ඇති නිර්දේශ පිළිබඳවද දැන්වත් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවනවා නම් මැනවි. මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරී හා මට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කළයුතුය. සැකකරුවන්ගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුය. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද අපගේ අදහසයි. උඩවලව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද අප යෝජනා කරමු.

තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා ඊට අදාළ අනපනත් සංශෝධන කඩිනමින් බලාත්මක කරන ලෙසද අප නිර්දේශ කරමු. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරමු. ඒ වෙනුවෙන් මෙම සටන තවත් බොහෝ දුර ගෙන යා යුතුව ඇති බව අවසන් වශයෙන් ලියා තබමි.

Wednesday, July 23, 2025

වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගකළ වනජීවී විරුවන් සම්බන්ධයෙන් අප සිදුකළ මෙරට ප්‍රථම විද්‍යාත්මක අනාවරණය සහ විග්‍රහය …


වනජීවී සංරක්ෂණය සහ ආරක්ෂණය සම්බන්ද වෘත්තීන් ලොව පුරාම සැළකෙන්නේ ඉතා අවධානම් ගණයේ රැකියා වශයෙනි. ඉතා බිහිසුණු වනජීවීන් සමග දුෂ්කර වනගත ප්‍රදේශ තුල කටයුතු කරන්නට සිදුවීම මෙන්ම, වනජීවී සම්පත් තම ග්‍රහණයට නතුකර ගැනීමට පැමිණෙන අපරාධකරුවන් සමග ගැටෙන්නට සිදුවීම මීට හේතුවී තිබේ. ලොව ජෛවවිවිධත්වයෙන් අනූන රටක් වන ශ්‍රී ලංකාවේද මෙම තත්ත්වය එසේමය. දිවයිනේ වනජීවීන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීමෙහිලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත්තේ විශාල කාර්ය භාරයකි. එසේ ශ්‍රී ලංකාවේ සොබා උරුමයන් ආරක්ෂා කරගැනීමේ මාහැඟි කාර්ය භාරයට උරදීමට ගොස් මේ දක්වා මෙරට වනජීවී සංරක්ෂණ නිලධාරීන් අසූ එකකට තම ජීවිත අහිමිවී ඇති බව පසුගියදා පළවූ නවතම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මගින් අනාවරණය කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛණ සහ වාර්තා අනුසාරයෙන් ලබාගත් දත්ත, ක්ෂේත්‍ර වනජීවී නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡා මගින් නිරවද්‍යතාවය වැඩිදුරටත් තහවුරු කරගැනීමෙන් පසු මරණය සිදුවූ දිනය, ස්ථානය, හේතුව ආදී කරුණ මෙම පර්යේෂණය මගින් විශ්ලේෂණය කර තිබේ. එම විශ්ලේෂණ ප්‍රතිපල ලෝක සංරක්ෂණ සංගමය (International Union for Conservation of Nature – IUCN) මගින් වසරකට දෙවරක් පල කරන ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන PARKS ජර්නලයේ නවතම කලාපයේ ඉකුත් නොවැම්බර් 30 දින පළ විය.

පර්යේෂකයන්ට අනුව මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණු 1949 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වනජීවී නිලධාරීන් අසූවක් තම රාජකාරි අතරතුර මෙරට සොබා උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගකර තිබේ. තවද එක් වනජීවී නිලධාරී මහතෙකු අතුරුදහන් ලේඛනයට ඇතුලත්වී තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් වසරකට එක වනජීවී නිලධාරී මහතෙකු මෙරට සොබා උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් දිවි දී තිබේ. මෙයින් සිදුවීම් 59ක් වනජීවී රක්ෂිත තුල සිදුවී ඇති අතර ඉතිරිය වනජීවී රක්ෂිත වලින් බැහැරව සිදුවී ඇත. වනජීවී රක්ෂිත තුල සිදුවී ඇති මරණ වලින් 58ක්ම සිදුවී ඇත්තේ ජාතික උද්‍යාන තුලදී වන අතර විල්පත්තු, රුහුණ (යාල), කුමන, උඩවලව, මාදුරුඔය, වස්ගමුව, ගල්ඔය සහ අංගමැඩිල්ල යන ජාතික උද්‍යාන තුලදී එසේ රාජකාරි අතරතුර වනජීවී නිලධාරීන් ඝාතනයට ලක්ව තිබේ. තවද එක් මරණයක් වික්ටෝරිය-රන්දෙණිගල-රන්ටැඹේ අභයභූමිය තුලදී සිදුවී ඇත.

මෙසේ මරණයට පත්වූ වනජීවී නිලධාරීන් තනතරු දහයකට අයත් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වනජීවී නියාමක නිලධාරීන් අතරිනි. එම ගණන 34කි. තවද අඩවි සහකාර නිලධාරීන් 11ක් සහ අඩවි ආරක්ෂක නිලධාරීන් 10ක් ඝාතනයට ලක්වී තිබේ. රාජකාරි අතරතුර ඝාතනයට ලක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ ඉහළම නිලධාරියා වන්නේ එවකට නැගෙනහිර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එම්.එම්.ඩී. පෙරේරා මහතාය. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ කුමන ජාතික උද්‍යානයේ පරිපාලනය ස්ථාපනය කිරීමට දරණ ලද ප්‍රයත්නයක් අතරතුර ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකිනි. 1990 ජනවාරි මස කුඩුම්බිගල ප්‍රදේශයේ සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් තවත් වනජීවී නිලධාරීන් තිදෙනෙකුට ජීවිත අහිමි විය. තවද බංගලා භාරකරුවන් දෙදෙනෙක්, සහකාර බංගලා භාරකරුවෙක්, රියදුරන් හය දෙනෙක්, වනජීවී ක්ෂේත්‍ර සහකාරවරුන් තිදෙනෙක්, ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් දෙදෙනෙක් සහ කම්කරුවන් එකොළොස් දෙනෙක් මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර තිස් හතක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස දැනට විශ්‍රාම ලබා සිටින ගාමිණී විජිත් සමරකෝන් මහතාගේ මගපෙන්වීම යටතේ මෙම අධ්‍යනයට මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත්තේ තරුණ සංරක්ෂනවේදියෙකු සහ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මහතාය. තවද මේ සඳහා මෙරට සිටින ප්‍රමුඛ වර්ගීකරණ සහ පරිසර විද්‍යා පර්යේෂකයෙකු වන සමීර සුරංජන් කරුණාරත්න, එක්සත් ජනපදයේ, හම්බෝල්ට් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය බුද්ධික මදුරප්පෙරුම සහ බ්‍රිජ්වෝටර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය තිලිණ සූරසිංහ යන මහත්වරුන් තම දායකත්වය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ වනජීවී නිලධාරීන් ඝාතනය වීම් වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙනි. නගරයෙන් ඉතා දුර බැහැර වනජීවී රක්ෂිත තුල හුදෙකලාව තම රාජකාරි වල නිරතවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් ත්‍රස්තවාදීන්ගේ පහසු ඉලක්ක බවට පත් විය. මෙරටදී එක් ස්ථානයකදී වනජීවී නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්වන්නේද විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙනි. 1985 මැයි මස 14 දින සිදුවූ එම බිහිසුණු මනුෂ්‍ය ඝාතන වැල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් 24 දෙනෙකුට තම ජීවිත අහිමි කළේය. එම වසරේ රුහුණ (යාල) ජාතික උද්‍යානයේ ගල්ගේ ප්‍රදේශයේදී අත්වැරදීමකින් ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් රාජකාරියේ යෙදී සිටි වනජීවී නියාමක මහතෙකු මරණයට පත්වූ අතර වසරකදී වැඩිම වනජීවී නිලධාරීන් සංඛ්‍යාවක් රටට අහිමිවූ වසර ලෙස එම වර්ෂය ඉතිහාස ගත වෙයි. කෙසේ නමුත් මේ වන විට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රණවිරුවන් කටයුතු කිරීම නිසා වනජීවී නිලධාරීන් තුළින් එම අවධානම ඉවත්වී තිබේ.

මෙරට වනජීවී නිලධාරීන්ට දෙවැනි විශාලතම ජීවිත අවධානම එල්ලවී ඇත්තේ වන අලි ප්‍රහාර හේතුවෙනි. මේ දක්වා නිලධාරීන් 20ක් වන අලි ප්‍රහාර වලට ලක්ව අකාලයේ මරු වැළඳගෙන තිබේ. එයින් බහුතරයක්ම (13ක්) සිදුවී ඇත්තේ වනජීවී රක්ෂිත වලින් බැහැර ප්‍රදේශ වලය. අලි – මිනිස් ගැටුම මෙරට තීරණාත්මක පාරිසරික හා සාමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණය සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණය මියයන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මෙම අධ්‍යනයද සිදුකළ සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් 2020 වසරේදී අනාවරණය කෙරනි. මෙරට අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. නමුත් මේ දක්වාම ඊට සාධනීය පිළියම් යෙදීමට බලධාරීන් අපොහොසත්වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වකීය නිලධාරීන්ද විශාල සංඛාවක් අහිමිවී තිබේ. අලි පලවාහැරීම්, අලි ඇතුන් පරිස්ථාපනය කිරීම් සහ තුවාල ලැබූ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම් වනජීවී නිලධාරීන්ගේ සුලභ රාජකාරි අතරට ගැනෙන අතර එහිදී වන අලින්ගේ පහරදීම් වලට වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් ගොදුරුවේ. වන අලින්ට අමතරව වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන් පහරදීම නිසාද වනජීවී නිලධාරීන් එක් අයෙකු බැගින් මරණයට පත්වී තිබේ. මෙරට වනජීවී නිලධාරී මහතෙකු ප්‍රථම වරට රාජකාරි අතරතුර මරණයට පත්වී ඇත්තේ 1957 ජුලි මස විල්පත්තු ජාතික උද්‍යානයේදී වලසෙකු විසින් පහරදීම හේතුවෙනි. ඒ කේ. මැණික්රාල නම් නියාමක මහතෙකි.

ලොව පුරා වනජීවී සංරක්ෂණ වෘත්තිකයන් වැඩිම සංඛ්‍යවක් මරණයට පත්වී ඇත්තේ වනජීවී ජාවාරම්කරුවන් සමග ඇතිවූ ගැටුම් වලදීය. නමුත් ශ්‍රී ලංකාවේ එම තත්ත්වයේ යම්කිසි අඩුවක් පෙන්නුම් කරයි. අපේ රටට හිමි ස්වභාවික සම්පත් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට දැරූ උත්සාහයන් වලදී වනජීවී නිලධාරීන් 15 දෙනෙකු මරණයට පත්වී තිබේ. වෙඩි තැබීමෙන් සිදුවූ මරණ 10ක්, පිහි ඇනුම් තුනක් සහ පහරදීම් දෙකක් ඒ අතර වේ. එම ඝාතන අතරින් 13ක් ම සිදුකර ඇත්තේ දඩයක්කරුවන් විසින් වන අතර වැලි ජාවාරම්කරුවන් එක් මරණයකට වගකිවයුතු බව අනාවරණය වී තිබේ. තවද එක් ඝාතනයක චුදිතයින් පිළිබඳව වාර්තාවී නැත.

මීට අමතරව අත්වැරදීමෙන් ගිනිඅවි ක්‍රියාත්මකවීම, රිය අනතුරු සහ දියේ ගිලීම නිසා නිලධාරීන් පස් දෙනෙකුට ජීවිත අහිමිවී තිබේ. එසේම 1988/89 භීෂණ සමයේ විල්පත්තු ජාතික උද්‍යානයේ සේවයේ නියුතුව සිටියදී එක් වනජීවී නිලධාරී මහතෙකු ඝාතනයට ලක්වී ඇති අතර උඩවලව ජාතික උද්‍යානයේ සේවයේ නියුතුව සිටියදී එක් අයෙකු අතුරුදහන්කර තිබේ.

පර්යේෂකයින් විසින් තම අධ්‍යනයේදී අනාවරණය කරගත් කරුණු අනුව මෙසේ වනජීවී නිලධාරීන් ඝාතනය වීම වැලැක්වීම සඳහා සුදුසු නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත්කර තිබේ. ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ උපරිම කාර්යක්ෂමතාවය ළඟා කර ගත හැක්කේ ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමෙන්, සමස්ත සේවක සංඛ්‍යාව වැඩි කිරීමෙන් සහ ඔවුන්ගේ සාමූහික ධාරිතාව ඉහළ නැංවීම සඳහා පවතින පුරප්පාඩු පිරවීමෙන් පමණි. වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ සංකීර්ණ ගැටලු කළමනාකරණය කිරීමට වත්මන් සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් අමතර ශ්‍රම යෙදවුම් ප්‍රමාණනය කිරීම සඳහා පුළුල්, දීප ව්‍යාප්ත තක්සේරුවක් සිදු කිරීමට පර්යේෂකයින් නිර්දේශ කරයි. නිලධාරි පුහුණු කටයුතු වලදී විද්‍යාත්මක සහ විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස, අලි – මිනිස් ගැටුම් විසඳීම සඳහා විශාල වනජීවීන් සංරක්ෂණය, වනජීවී හැසිරීම් සහ මානව මානයන් පිළිබඳ පුහුණුව ලත් නිලධාරීන් අවශ්‍ය විය හැකිය. අවදානම් නිරාවරණය සැලකිල්ලට ගනිමින්, ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දැනට පවතින වේතනයන්, වඩා හොඳ වෛද්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ සහ රාජකාරියේ දී දිගු කාලීනව සිදුවන හානියකදී මූල්‍ය ආධාර ඇතුළත් වන පරිදි සංශෝධනය කළ යුතුය. ක්ෂේත්‍ර කාර්යාලවල යටිතල පහසුකම් (රථ වාහන, නවීන ගිනි අවි, වෙනත් උපකරණ) හා තාක්ෂණික යෙදුම් (වනජීවීන් ලුහුබැඳීමේ පද්ධති, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සයිබර් යටිතල පහසුකම්) වැඩි දියුණු කළයුතු අතර පුහුණු පහසුකම් ඉහළ නැංවීම මෙන්ම රාජකාරි නිල නිවාස වල තත්ත්වය උසස් කිරීමද සුදුසුය. ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දෙන අවදානම් තත්ත්වය කාලය හා භූගෝලීය වශයෙන් වෙනස් වේ. නිවැරදි ආරක්ෂක ක්‍රමවේද සැලසුම් කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් අතර සිදුවන අනතුරු, ඔවුන් මුහුණ දෙන අනෙකුත් බරපතල තුවාල සහ ඔවුන් මුහුණ දෙන නව තර්ජන (නැගී එන සතුන් මගින් බෝවන ආසාදන වැනි) ලේඛනගත කර විශ්ලේෂණයන් සිදු කළ යුතු බව මෙම පර්යේෂණ කණ්ඩායමේ අදහසයි.

Tuesday, July 22, 2025

 විද්‍යාව වෙනුවට මිත්‍යාවෙන් විසඳන්නට යන භාතියලාගේ ඉරණම

කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිට මිය ගිය ‘භාතිය’ නමින් හඳුන්වන හස්තියා පිළිබඳව මේ වන විට සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබේ. කිසිවෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින එම සත්වයා මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෙඩි තැබීම් ඇතුළු විවිධ හේතු නිසා රෝගාතුරව සිටින සහ දෛනිකව මරණයට පත්වන අලි ඇතුන් පිළිබඳව අසන්නට ලැබේ. එසේම අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහ රෝහල් තැනීම, ජංගම පශුවෛද්‍ය ඒකක පිහිටුවීම, වනජීවී පශුවෛද්‍ය සේවය ශක්තිමත් කිරීම වැනි එකී මෙකී නොකී කරුණු රැසක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත. නමුත් ඒ කිසිඳු සාකච්ඡාවක භාතියලාට මෙම ඉරණම අත්වීමට හේතුවී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය අවධාරණය නොවීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් අටක, දිස්ත්‍රික්ක 19 ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක වාර්තාවන අලි-මිනිස් ගැටුම්, ගෝලීය වශයෙන් එම ගැටුම හේතුවෙන් වැඩිම වාර්ෂික අලි මරණ සහ දෙවන ඉහළම මිනිස් මරණ වාර්තාවන රට ශ්‍රී ලංකාව බවට පත්වීමට හේතුවී ඇත. එසේම මෙම ගැටුම නිසා සිදුවන භවභෝග සහ දේපොළ හානි ද ඇතුළු අනෙකුත් බලපෑම් සැලකූ විට වර්තමානයේ අප රට මුහුණ දෙමින් සිටින බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට අලි-මිනිස් ගැටුම පත්ව ඇති බව අවිවාදිතය. එවැනි පසුබිමක රට දවන ප්‍රශ්න විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමට පොරොන්දු දෙමින් බලයට පත්වූ ජාතික ජන බලවේග රජය මෙම අරගලය විසඳීම සඳහා සාධනීය ප්‍රවේශයක් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු විය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු වර්තමාන රජයද අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගතයුතු විද්‍යාත්මක මග වෙනුවට මිත්‍යාව වැළඳ ගැනීම කණගාටුවට කරුණකි.

පරණ පුරුදු අසාර්ථක හා යල්පැන ගිය න්‍යාය

වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බොහෝ විට නොයෙකුත් අමාත්‍යවරුන්ගේ බලපෑම මත, අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට පලවාහැරීම නැවතත් ආරම්භ කළ අතර, රජයේ විගණන මගින්ම අසාර්ථක බව තහවුරුකර ඇති හොරොව්පතාන ඊනියා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හෙවත් හස්ති සිරකඳවුරට අලි ඇතුන් ගාල් කිරීමද නැවතත් ආරම්භ කළේය. මෙම රජය යටතේ මුලින්ම කැකිරාව ප්‍රදේශයේ ආරම්භ කරන ලද අලි පලවාහැරීම අසාර්ථකවූ පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් විශාල අලි පලවාහැරීමේ මෙහෙයුමක් දියත් කෙරුණද එයද සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ඉන්පසු පුත්තලම, මාතලේ සහ පොළොන්නරුව වැනි තවත් ප්‍රදේශ කිහිපයකම එම අන්දමින්ම අලි පලවාහැරීම් ක්‍රියාත්මක කලද ප්‍රතිපලයේ වෙනසක් සිදු නොවීය. ඒ අනුව අතීතයේ කිසිඳු කලෙකත් සාර්ථක නොවූ අලි පලවාහැරීම් තමන්ගේ ආණ්ඩු බලය මගින් සාර්ථක කරගැනීමට හැකි වෙතැයි මෙම රජයේ ප්‍රධානීන් තුළ පැවති මුග්ධ අහංකාරයද බිඳ වැටුණි.

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය විට මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.

මෙවැනි අලි පලවාහැරීමේ මෙහෙයුම් සඳහා සහභාගීවන නිලධාරීන් සහ ඩ්‍රෝන කැමරා කණ්ඩායම් වෙනුවෙන් දරන්නට සිදුවන වියදම්, අලි වෙඩි, පතොරම් සහ යාන වාහන සඳහා වැයවන වියදම් ද සුළු පටු නැත. දැන හෝ නොදැන ඉහේ කේස් ගණනට අසාර්ථකවී ඇති මෙවැනි අලි පලවාහැරීම් නැවත නැවතත් කිරීමෙන් අලි-මිනිස් ගැටුම ඔඩුදිවීම පමණක් නොව ඒ සඳහා මකර කටට යවන මහජනතාවගේ බදු මුදල් සම්බන්ධයෙන් වග වන්නේ කවුරුන්ද යන්නද විමසිය යුතුය? පෙර රජයන් මගින් මෙවැනි නිෂ්ඵල වියදම් කිරීමට උනන්දු වූයේ ඉන් නොයෙකුත් පාර්ශව අයතා ප්‍රතිලාභ ලැබූ නිසාය. නමුත් ජාතික ජන බලවේග රජයක් මෙවැනි නාස්තිකාර වියදම් වලට යොමු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රහේලිකාවකි.

දිස්ත්‍රික් මට්ටමින් විසඳුම් සෙවීමට යාම

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් ජුනි 20 වැනිදා පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස්දී තිබුණේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කරන ලෙසය. මීට අදාළ වැඩිදුර උපදෙස් ඇතුලත් අංක PS/DASA/Circular/5/2025 දරන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් ඉකුත් ජූලි හත්වැනි දින නිකුත් විය.

එමගින් දන්වා ඇත්තේ අදාළ දිස්ත්‍රික් කමිටු පිහිටුවා ගැටුම් අවම කිරීමට අවශ්‍ය දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් (Action Plan) සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් (Implimentation Plan) එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවන ලෙසය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රවේශය බැලූ බැල්මට සාධනීය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අනුවට ජනාධිපතිවරයාගේ රැස්වීමට පෙර සහ පසු රජයේ දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන්ගේ පැවැත්වූ (ඇතැම් රැස්වීම ජනාධිපතිවරයාගේ යෝජනාව අනුවම පත් කෙරුණු දිස්ත්‍රික් කමිටු) එවැනි රැස්වීම් වල කළ කී දෑ පිළිබඳව විමසා බැලීම මගින් ජනාධිපතිවරයා අපේක්ෂාකළ අරමුණ සාධනය වන්නේද යන්න පිළිබඳව විමසා බලමු.

මහියංගනය හා හසලක ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීමට පසුගියදා මහියංගනය ප්‍රදේශයේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම එවැන්නකි. කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පවා ගැටුමට තිරසාර විසඳුමක් ලබාගත හැකි ක්‍රම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ දරද්දී සුදත් බලගල්ල බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුට බාධා කරමින් වස්ගොමුව ජාතික උද්‍යානයට අලි ඇතුන් ගාල් කිරීමට බලපෑම් කරන ආකාරය එහිදී මැනවින් පැහැදිළි විය. එසේම පසුගිය ජුනි 13 වැනිදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කහල්ල පල්ලෙකැලේ අභය භූමිය අලි ඇතුන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ වරදට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ස්ථාන මාරුකරවීමට නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය. ඉන් නොනැවතුණු ඔහු අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථකර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පෙරමුණ ගත් ආකාරය ජුගුප්සාජනකය.

එමෙන්ම නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නොබෝදා පැවති ජනාධිපතිවරයා විසින් යෝජනා කළ ආකාරයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති කමිටුවේ තීරණ ගැන මාධ්‍යට ලබාදුන් ප්‍රකාශයේද ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුව වෙත එල්ල කළ දෝෂාරෝපණයේද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටුම් අවම කිරීම සඳහා රජයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කරන බව කී ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍යට හෙළිකළ කරුණුද මගින් නැවතත් සනාථ වන්නේ ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක් සඳහා පරිසරවේදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම නොතකා, තවමත් රජයේ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ දැක්මද රක්ෂිත ප්‍රදේශ වලට සීමාවී ඇති බවය. වනජීවී දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට කම්කරුවන් හා සිවිල් ආරක්ෂක භටයින් විශාල වශයෙන් බඳවා ගැනීම ද මෙම යල් පැන ගිය මානසිකත්වය පිළිබඳ අපගේ විවේචනය ශක්තිමත් කරන අතර, රජයේ මූලිකම අවම කිරීමේ උපාය මාර්ගය භෞතික සීමාවන් මත පමණක් විශ්වාසය තැබීම දිගටම කරගෙන යෑම බව සංඥා කරයි.

නිලධාරීන්ගේ අමුතු හැසිරීම

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණේ 2020 වසරේදීය. එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් දියත් කිරීමය.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද වසර හතරක් ඉක්මගිය පසුවත් එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් මෙතෙක් කටයුතුකර නැත. ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි. කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත.

වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළ නමුත් එය දවල් සිහිනයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයාගේ රැස්වීම සහ උක්ත චක්‍රලේඛය මගින් පැහැදිළි වේ.

එසේම ඉකුත්දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට  සහභාගීවූ සහ දිස්ත්‍රික් කමිටු යෝජනාවට අත එසවූ අලි මිනිස් ගැටුම බහුල අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, අම්පාර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වල උක්ත නිලධාරීන් හෝ ඔවුන්ගේ පූර්වගාමීන් අප ඉහතකී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයින් වීම පිළිබඳවද අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. එම නිලධාරීන්ද වනජීවී නිලධාරීන්ද මෙම දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රජා මූලික විදුලි වැට ගැන දේශපාලන අධිකාරිය හමුවේ මුනිවත රැකීම සහ ඒ වෙනුවට නොදැනුවත්කමින් දේශපාලන අධිකාරිය යෝජනා කරන විනාශකාරී මාවතේ ගමන් කිරීමට ඔවුන් උනන්දු කරවීම අමුතු හැසිරීමක් නොවේද?

සැබෑ විසඳුම කවරාකාර විය යුතුද?

වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වූ අතීත ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඒවාය. අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නිර්දේශ වූයේ එමගිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට ජීවිත පවා පරිත්‍යාගයෙන් කටයුතුකළ වසර හැටකට වැඩි කාලසීමාවකටත් පසු, අද වන විටත් වන අලින්ගේ වාසභූමි වලින් 70% ක් ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල ය. ඒ අනුව එම ප්‍රවේශය ඔස්සේම ඉදිරියට යාම යථාර්තවාදී නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. අප ඉහත කී ආකාරයට අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව තිබුණේ එබැවිණි. නමුත් ජනාධිපතිවරයා ඒ වෙනුවට මෙම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම්ම වැළඳ ගැනීම, හෙට දවසේදී ද භාතියලාගේ පමණක් නොව අසරණ ග්‍රාමීය ජනතාවගේ  ද ඉරණම විසඳනු ඇත්තේ මේ ආකාරයෙන්ම ඛේදණීයව බව අප අවධාරණය කරමු. එබැවින් අඩු තරමින් මේ මොහොතේ හෝ ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙරළා බලන ලෙස අප ජනාධිපතිවරයාට ඇරියුම් කරමු!

Monday, July 14, 2025

විල්පත්තු ජාතික උද්‍යානයට දැඩි බලපෑම් එල්ල කරමින් පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්?



ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ අනුව කලක සිට විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු වෙමින් මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට තර්ජනයක්වූ පල්ලකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටළුව මේ වන විට ඉතා තීරණාත්මක අටියකට පැමිණ ඇති බැවින් ආගම්, ජාති භේදයකින් තොරව සංරක්ෂණයට ලැදි සියලු දෙනා ආණ්ඩුවේ මෙම අත්තනෝමතික, අසාධාරණ හා අමනෝඥ තීරණයට එරෙහිව පෙළගැසිය යුතු බව අප අවධාරණය කරමු.

වර්ෂ 1938-1973 කාල වකවානුවේදී ප්‍රකාශයට පත් කරන ලද කලාප පහකින් සමන්විත විල්පත්තු ජාතික උද්‍යානය අනුරධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති අතර මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. විල්පත්තුව ජාතික උද්‍යානය වන අලින් ඇතුළු ලොකු කුඩා වනජීවීන් රාශියකට කදිම වාසස්ථාන සපයන අතර කලාතුරකින් මිනිස් ඇස ගැටෙන වලසුන් හා කොටින් නැරඹීමට ඇති කදීම තෝතැන්නක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික උද්‍යානවල දක්නට නොලැබෙන ආකාරයේ ඝන වනාන්තරයෙන් වැසී ඇති මෙම භූමිභාගය වියළි කලාපීය වනාන්තර, කටු පදුරු සහිත වනාන්තර, තැනින්තැන විශාල ප්‍රදේශයක විසිරී පැතිරුණු විවෘත තැනිතලා, වැලිපර හා මෙම ජාතික උද්‍යානයටම අනන්‍යවූ සුවිශේෂි විල්ලු පරිසර පද්ධතිවලින් සමන්විත වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශ්‍රිත පටු වෙරළ තීරයෙන් වහා නැගෙන රත් පැහැති නග්න ප්‍රපාතය උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමි භාගයකි. විල්පත්තු ජාතික උද්‍යානය ඉපැරණි ඓතිහාසික නගරයක් වන අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන්ම ඉතිහාසයේ විවිධ කාලවකවානුවලට අයත් පුරාණ නටබුන් හා මානව නිර්මාණ වලින් සමන්විත වේ. නමුත් මෙම බිම්කඩ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වනජීවීන් සහ වෘක්ෂලතාදීය සංරක්ෂණය සඳහා කැප කෙරුණු බිම්කඩක් බවට පත්වූ අතර පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා වීම ආනුෂංගික සේවාවක් ලෙස පැවතුනි.

ශු. අන්තෝනි මුනිඳුන්ට පුද පූජා පවත්වන කතෝලික පූජනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන පල්ලකණ්ඩල් සිද්ධස්ථානය කලක් තිස්සේ විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පොම්පරිප්පුව ප්‍රදේශයේ පැවතියේ ද කුඩා කැලෑබද දේවස්ථානයක් ලෙසය. වර්ෂ 1964 අංක 28 දරණ ඉඩම් අත්කර ගැනීමේ (සංශෝධන) පනත (1969.12. 26 දිනැති අංක 14,886 දරන ගැසට් පත්‍රය) යටතේ 1969 දී රජය විසින් එම කුඩා ඉඩම් කොටස රජයේ ඉඩමක් ලෙස අත්පත් කර ගන්නා ලද අතර පසුව විල්පත්තුව ජාතික උද්‍යානයේ V කොටස 1973 දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එම කුඩා වනගත දේවස්ථානය ඇතුළුව සමස්ත පල්ලකණ්ඩල් ගම්මානයම උද්‍යානයේ කොටසක් බවට පත්විය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමත් සමග විල්පත්තුව ජාතික උද්‍යානය නැවත විවෘත කිරීමෙන් පසු මෙම දේවස්ථානය ස්ථිර ගොඩනැගිලි සමඟ වේගයෙන් උද්‍යානය තුළට පුළුල් විය. එපමණක් නොව, පල්ලියේ මහා පරිමාණ උත්සවවල ප්‍රතිඵලයක් ලෙස ජාතික උද්‍යානයට සිදුවූ මිනිස් ආක්‍රමණ ද වැඩි විය. සෑම වසරකම ජූලි මස දෙවැනි සතියේ ඉරිදායින් අවසන් වන දින හතක පමණ මහා පරිමාණ පූජා උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මෙම දේවස්ථානය වෙත එක් රැස් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR/224/2010 දරන නඩුවට අදාළ නියෝග මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු රාජකාරි සඳහා පමණක් භාවිතා කළ හැකි බව සඳහන්කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති මාර්ගයේ කිලෝමීටර් හතක් ගමන් කරමින් දේවස්ථානයට ප්‍රවේශවන එම බැතිමතුන් විසින් අපද්‍රවය බැහැරලීම, ගිණි තැබීම, ඩ්‍රෝන කැමරා භාවිතය, උද්‍යානය තුළ ක්‍රියාත්මක පරිපාලන නීතී රීති උල්ලංඝනය කරමින් ඉබාගාතේ ඇවිදීම හා ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය වැනි ජාතික උද්‍යානයේ වනජීවීන්ට සහ ඔවුන්ගේ වාසස්ථාන වලට හානිකර ක්‍රියාකාරකම් වල යෙදෙන බවට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් නඩු පැවරීම්ද ගණනාවක් සිදුකර තිබේ.

මේ ආකාරයෙන් උද්‍යානයට හානි සිදුවීමට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්ද ගොනුකර ඇති අතර නීතිපතිවරයා විසින් උද්‍යානය තුළ කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018 (KDP) හා 2019 නොවැම්බර් 13 දිනැති බේරුම්කරණ නියමයන්ද ඉදිරිපත්කර ඇත. කෙසේ නමුත් එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කටයුතු උද්‍යානයට හානිකර අන්දමින් මේ දක්වාම පවත්වාගෙන යන්නේ අත්තනෝමතික ආකාරයටය. එසේ තිබියදී එළැඹෙන අගෝස්තු මාසයේ සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින විශාල ජන සහභාගීත්වයකින් යුතුව මාසික දේව මෙහෙයක් පැවැත්වීමට උද්‍යානය තුළට පිවිසීමට කැබිනට් පත්‍රිකාවක් හරහා අවසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම සංරක්ෂණ ලැදි සියලු දෙනාගේ කඩිනම් අවධානයට ලක්විය යුතු තත්වයකි.

පසුගිය 2025 ජුනි මස 23 වැනිදා පරිසර අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, සහ දේවස්ථානයේ පාලනාධිකාරිය ඇතුළු පිරිසක් විසින් පවත්වන ලද සාකච්ඡාවකදී 2025 අගෝස්තු මස මුල් අඟහරුවාදා දින සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින මෙසේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කැබිනට් පත්‍රිකාවක් මගින් සකසා දීමේ වගකීම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා තිබේ.

මෙතෙක් කලක් මෙම දේවස්ථානයේ කටයුතු හේතුවෙන් ජාතික උද්‍යානයට සිදුවූ හානිය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත්වරයා මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවී තිබුණේ ඉකුත් මාර්තු මස සිටය. එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට දැනට විශ්‍රාම ගොස් සිටින උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බව එකල වාර්තාවූ අතර අප මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම තත්ත්වය තාවකාලිකව යටපත් විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වන උයන රැකගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති බව අප අමතක නොකළ යුතුය. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ වනජීවී නිලධාරියෙකු මුල් වරට රාජකාරි අතරතුර මරණයට පත්ව ඇත්තේද විල්පත්තුව ජාතික උද්‍යානය තුළදීය. ඒ 1957 ජූලි මස 04 දින වනජීවී නියාමක කේ. මැණික්රාල මහතා වලසෙකුගේ ප්‍රහාරයෙන් මරණයට පත්වීමය. 1985 මැයි 14 වන දින විල්පත්තු ජාතික උද්‍යානයේ මූලස්ථානයේදී ත්‍රස්තවාදීන් විසින් නිලධාරීන් 24 දෙනෙකු සමූලඝාතනය කරන ලද අවස්ථාව එක් ස්ථානයකදී වැඩිම වනජීවී නිලධාරීන් ප්‍රමාණයකට දිවි අහිමිවූ අවස්ථාව ලෙස ඉතිහාසගතවී තිබේ. ඊට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා සහ බෝම්බ පුපුරුවා වනජීවී නිලධාරීන් සත් දෙනෙකු ඝාතනය කර ඇත. තවද දඩයක්කරුවන් විසින් වෙඩි තබා වනජීවී නිලධාරීන් දෙදෙනෙකු සහ පහරදී එක් අයෙකු මරා දමා තිබේ. එමෙන්ම රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීමකින් ද එක් නිලධාරියෙකු මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට එක් වනජීවී රක්ෂිතයක් රැකගැනීම සඳහා වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් දිවි පූජාකර ඇත්තේ විල්පත්තුවේය. එම සංඛ්‍යාව 36 කි.

එසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය දිවි පුදා රැකගත් විල්පත්තුව ජාතික උද්‍යානයට කිසිඳු පාලනයකින් තොරව මාසිකව මිනිසුන් දසදහස් ගණනකට ඇතුළුවිය හැකි ආකාරයෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් අවසර ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතම පැවරීම දෛවයේ සරදමක් වැනිය. එසේම වර්තමාන රජය නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික්කයේ කිතුනු මැති ඇමතිවරුන්ට පෙර ඕනෑ තරම් එවැනි මැති ඇමතිවරුන් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. නමුත් ඔවුන් මෙසේ අත්තනෝමතික සහ අසාධාරණ ලෙස විල්පත්තුවට අත තැබීමට කටයුතු නොකළේ අඹ මල් රේණුවක තරම් හෝ බුද්ධියක් තිබූ නිසා විය යුතුය. නමුත් දහසක් පුරාජේරු දොඩවා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ එතරම්වත් බුද්ධියක් නොමැති පුද්ගලයින් ඇමති, නියෝජ්‍ය ඇමති පුටු අරා සිටීම ‘පුනරුද යුගයක්’ පැතූ ජනතාව රෑ වැටුණු වලේ මහා දවාලේද ඇදගෙන වැටීමක් වැනිය.