Tuesday, July 22, 2025

 විද්‍යාව වෙනුවට මිත්‍යාවෙන් විසඳන්නට යන භාතියලාගේ ඉරණම

කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිට මිය ගිය ‘භාතිය’ නමින් හඳුන්වන හස්තියා පිළිබඳව මේ වන විට සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබේ. කිසිවෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින එම සත්වයා මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෙඩි තැබීම් ඇතුළු විවිධ හේතු නිසා රෝගාතුරව සිටින සහ දෛනිකව මරණයට පත්වන අලි ඇතුන් පිළිබඳව අසන්නට ලැබේ. එසේම අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහ රෝහල් තැනීම, ජංගම පශුවෛද්‍ය ඒකක පිහිටුවීම, වනජීවී පශුවෛද්‍ය සේවය ශක්තිමත් කිරීම වැනි එකී මෙකී නොකී කරුණු රැසක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත. නමුත් ඒ කිසිඳු සාකච්ඡාවක භාතියලාට මෙම ඉරණම අත්වීමට හේතුවී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය අවධාරණය නොවීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් අටක, දිස්ත්‍රික්ක 19 ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක වාර්තාවන අලි-මිනිස් ගැටුම්, ගෝලීය වශයෙන් එම ගැටුම හේතුවෙන් වැඩිම වාර්ෂික අලි මරණ සහ දෙවන ඉහළම මිනිස් මරණ වාර්තාවන රට ශ්‍රී ලංකාව බවට පත්වීමට හේතුවී ඇත. එසේම මෙම ගැටුම නිසා සිදුවන භවභෝග සහ දේපොළ හානි ද ඇතුළු අනෙකුත් බලපෑම් සැලකූ විට වර්තමානයේ අප රට මුහුණ දෙමින් සිටින බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට අලි-මිනිස් ගැටුම පත්ව ඇති බව අවිවාදිතය. එවැනි පසුබිමක රට දවන ප්‍රශ්න විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමට පොරොන්දු දෙමින් බලයට පත්වූ ජාතික ජන බලවේග රජය මෙම අරගලය විසඳීම සඳහා සාධනීය ප්‍රවේශයක් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු විය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු වර්තමාන රජයද අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගතයුතු විද්‍යාත්මක මග වෙනුවට මිත්‍යාව වැළඳ ගැනීම කණගාටුවට කරුණකි.

පරණ පුරුදු අසාර්ථක හා යල්පැන ගිය න්‍යාය

වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බොහෝ විට නොයෙකුත් අමාත්‍යවරුන්ගේ බලපෑම මත, අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට පලවාහැරීම නැවතත් ආරම්භ කළ අතර, රජයේ විගණන මගින්ම අසාර්ථක බව තහවුරුකර ඇති හොරොව්පතාන ඊනියා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හෙවත් හස්ති සිරකඳවුරට අලි ඇතුන් ගාල් කිරීමද නැවතත් ආරම්භ කළේය. මෙම රජය යටතේ මුලින්ම කැකිරාව ප්‍රදේශයේ ආරම්භ කරන ලද අලි පලවාහැරීම අසාර්ථකවූ පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් විශාල අලි පලවාහැරීමේ මෙහෙයුමක් දියත් කෙරුණද එයද සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ඉන්පසු පුත්තලම, මාතලේ සහ පොළොන්නරුව වැනි තවත් ප්‍රදේශ කිහිපයකම එම අන්දමින්ම අලි පලවාහැරීම් ක්‍රියාත්මක කලද ප්‍රතිපලයේ වෙනසක් සිදු නොවීය. ඒ අනුව අතීතයේ කිසිඳු කලෙකත් සාර්ථක නොවූ අලි පලවාහැරීම් තමන්ගේ ආණ්ඩු බලය මගින් සාර්ථක කරගැනීමට හැකි වෙතැයි මෙම රජයේ ප්‍රධානීන් තුළ පැවති මුග්ධ අහංකාරයද බිඳ වැටුණි.

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය විට මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.

මෙවැනි අලි පලවාහැරීමේ මෙහෙයුම් සඳහා සහභාගීවන නිලධාරීන් සහ ඩ්‍රෝන කැමරා කණ්ඩායම් වෙනුවෙන් දරන්නට සිදුවන වියදම්, අලි වෙඩි, පතොරම් සහ යාන වාහන සඳහා වැයවන වියදම් ද සුළු පටු නැත. දැන හෝ නොදැන ඉහේ කේස් ගණනට අසාර්ථකවී ඇති මෙවැනි අලි පලවාහැරීම් නැවත නැවතත් කිරීමෙන් අලි-මිනිස් ගැටුම ඔඩුදිවීම පමණක් නොව ඒ සඳහා මකර කටට යවන මහජනතාවගේ බදු මුදල් සම්බන්ධයෙන් වග වන්නේ කවුරුන්ද යන්නද විමසිය යුතුය? පෙර රජයන් මගින් මෙවැනි නිෂ්ඵල වියදම් කිරීමට උනන්දු වූයේ ඉන් නොයෙකුත් පාර්ශව අයතා ප්‍රතිලාභ ලැබූ නිසාය. නමුත් ජාතික ජන බලවේග රජයක් මෙවැනි නාස්තිකාර වියදම් වලට යොමු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රහේලිකාවකි.

දිස්ත්‍රික් මට්ටමින් විසඳුම් සෙවීමට යාම

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් ජුනි 20 වැනිදා පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස්දී තිබුණේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කරන ලෙසය. මීට අදාළ වැඩිදුර උපදෙස් ඇතුලත් අංක PS/DASA/Circular/5/2025 දරන චක්‍රලේඛය ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් ඉකුත් ජූලි හත්වැනි දින නිකුත් විය.

එමගින් දන්වා ඇත්තේ අදාළ දිස්ත්‍රික් කමිටු පිහිටුවා ගැටුම් අවම කිරීමට අවශ්‍ය දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලසුම් (Action Plan) සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් (Implimentation Plan) එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවන ලෙසය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රවේශය බැලූ බැල්මට සාධනීය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අනුවට ජනාධිපතිවරයාගේ රැස්වීමට පෙර සහ පසු රජයේ දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන්ගේ පැවැත්වූ (ඇතැම් රැස්වීම ජනාධිපතිවරයාගේ යෝජනාව අනුවම පත් කෙරුණු දිස්ත්‍රික් කමිටු) එවැනි රැස්වීම් වල කළ කී දෑ පිළිබඳව විමසා බැලීම මගින් ජනාධිපතිවරයා අපේක්ෂාකළ අරමුණ සාධනය වන්නේද යන්න පිළිබඳව විමසා බලමු.

මහියංගනය හා හසලක ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීමට පසුගියදා මහියංගනය ප්‍රදේශයේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම එවැන්නකි. කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පවා ගැටුමට තිරසාර විසඳුමක් ලබාගත හැකි ක්‍රම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ දරද්දී සුදත් බලගල්ල බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුට බාධා කරමින් වස්ගොමුව ජාතික උද්‍යානයට අලි ඇතුන් ගාල් කිරීමට බලපෑම් කරන ආකාරය එහිදී මැනවින් පැහැදිළි විය. එසේම පසුගිය ජුනි 13 වැනිදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කහල්ල පල්ලෙකැලේ අභය භූමිය අලි ඇතුන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ වරදට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ස්ථාන මාරුකරවීමට නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය. ඉන් නොනැවතුණු ඔහු අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථකර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පෙරමුණ ගත් ආකාරය ජුගුප්සාජනකය.

එමෙන්ම නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නොබෝදා පැවති ජනාධිපතිවරයා විසින් යෝජනා කළ ආකාරයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති කමිටුවේ තීරණ ගැන මාධ්‍යට ලබාදුන් ප්‍රකාශයේද ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුව වෙත එල්ල කළ දෝෂාරෝපණයේද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටුම් අවම කිරීම සඳහා රජයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කරන බව කී ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍යට හෙළිකළ කරුණුද මගින් නැවතත් සනාථ වන්නේ ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක් සඳහා පරිසරවේදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම නොතකා, තවමත් රජයේ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ දැක්මද රක්ෂිත ප්‍රදේශ වලට සීමාවී ඇති බවය. වනජීවී දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට කම්කරුවන් හා සිවිල් ආරක්ෂක භටයින් විශාල වශයෙන් බඳවා ගැනීම ද මෙම යල් පැන ගිය මානසිකත්වය පිළිබඳ අපගේ විවේචනය ශක්තිමත් කරන අතර, රජයේ මූලිකම අවම කිරීමේ උපාය මාර්ගය භෞතික සීමාවන් මත පමණක් විශ්වාසය තැබීම දිගටම කරගෙන යෑම බව සංඥා කරයි.

නිලධාරීන්ගේ අමුතු හැසිරීම

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණේ 2020 වසරේදීය. එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් දියත් කිරීමය.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද වසර හතරක් ඉක්මගිය පසුවත් එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් මෙතෙක් කටයුතුකර නැත. ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි. කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත.

වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළ නමුත් එය දවල් සිහිනයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයාගේ රැස්වීම සහ උක්ත චක්‍රලේඛය මගින් පැහැදිළි වේ.

එසේම ඉකුත්දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට  සහභාගීවූ සහ දිස්ත්‍රික් කමිටු යෝජනාවට අත එසවූ අලි මිනිස් ගැටුම බහුල අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, අම්පාර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වල උක්ත නිලධාරීන් හෝ ඔවුන්ගේ පූර්වගාමීන් අප ඉහතකී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයින් වීම පිළිබඳවද අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. එම නිලධාරීන්ද වනජීවී නිලධාරීන්ද මෙම දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රජා මූලික විදුලි වැට ගැන දේශපාලන අධිකාරිය හමුවේ මුනිවත රැකීම සහ ඒ වෙනුවට නොදැනුවත්කමින් දේශපාලන අධිකාරිය යෝජනා කරන විනාශකාරී මාවතේ ගමන් කිරීමට ඔවුන් උනන්දු කරවීම අමුතු හැසිරීමක් නොවේද?

සැබෑ විසඳුම කවරාකාර විය යුතුද?

වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වූ අතීත ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඒවාය. අලි ඇතුන් තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නිර්දේශ වූයේ එමගිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට ජීවිත පවා පරිත්‍යාගයෙන් කටයුතුකළ වසර හැටකට වැඩි කාලසීමාවකටත් පසු, අද වන විටත් වන අලින්ගේ වාසභූමි වලින් 70% ක් ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල ය. ඒ අනුව එම ප්‍රවේශය ඔස්සේම ඉදිරියට යාම යථාර්තවාදී නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. අප ඉහත කී ආකාරයට අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව තිබුණේ එබැවිණි. නමුත් ජනාධිපතිවරයා ඒ වෙනුවට මෙම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම්ම වැළඳ ගැනීම, හෙට දවසේදී ද භාතියලාගේ පමණක් නොව අසරණ ග්‍රාමීය ජනතාවගේ  ද ඉරණම විසඳනු ඇත්තේ මේ ආකාරයෙන්ම ඛේදණීයව බව අප අවධාරණය කරමු. එබැවින් අඩු තරමින් මේ මොහොතේ හෝ ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙරළා බලන ලෙස අප ජනාධිපතිවරයාට ඇරියුම් කරමු!

No comments:

Post a Comment