පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙය පිළිබඳව පරිසර ඇමතිවරයාගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා!
පසුගිය සැප්තැම්බර් 03 බදාදා දින පැවැත්වූ රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳි ප්‍රකාශ කළේ මෙරට ප්‍රමුඛ ජාතික උද්‍යානයක් වන විල්පත්තුව ජාතික උද්‍යානය තුල පිහිටි පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයට සහභාගීවීමට බැතිමතුන්ට අවසර ලබාදී ඇති බවත්, එම වන්දනා ගමන් සිදුවන්නේ තමන් දැනුවත්ව බවත්ය. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහ අසත්‍ය ප්‍රචාරයක් බවත් එවැනි ප්‍රචාර වලට රැවටී විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුළුවී නිකරුණේ අපහසුතාවයට පත් නොවන ලෙසත් අප බැතිමතුන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.
සියලු අන පනත් හා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොසලකා, පල්ලකණ්ඩල් දේවස්ථානයේ මාසික දේව මෙහෙය සඳහා බව පවසමින් 2025 අගෝස්තු 05 දින වාහන 23 ක් සහ 2025 සැප්තැම්බර් 02 දින වාහන 34 ක් අනවසරයෙන් විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුලුවිය. ඒ අනුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරි වලට බාධා කරමින්, නීති විරෝධී ලෙස ජාතික උද්‍යානයට ඇතුළුවූ සියලු පුද්ගලික වාහන සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළ නීතිමය කටයුතු මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට අදාළ 2025 අගෝස්තු 05 දින ඇතුළුවූ වාහන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් B 39267/25 සහ 2025 සැප්තැම්බර් 02 දින ඇතුළුවූ වාහන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් B 40492/25 අංක දරන බී වාර්තා මගින් කරුණු ඉදිරිපත්කර ඊට අදාළ විමර්ශන සහ නීති කෘත්‍ය ක්‍රියාත්මක වෙමින් පවතී.
එබැවින් පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙය පිළිබඳව පරිසර ඇමතිවරයාගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටී විල්පත්තුව ජාතික උද්‍යානයට ඇතුළුවී නිකරුණේ අපහසුතාවයට පත් නොවන ලෙස අප බැතිමතුන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.
පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නක් බව පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සහ මෙරට ප්‍රථම සහ විශාලතම ජාතික උද්‍යානය ‘විල්පත්තු කැලය’ ලෙස හඳුන්වමින් රේඛීය විෂයභාර අමාත්‍යවරයා මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව ද අප විමතිය පළකරමු. එසේම ජාතික උද්‍යාන මායිමේ සිට කිලෝමීටර් හතක් පමණ අභ්‍යන්තරයේ ඇති මෙම ස්ථානය ‘විල්පත්තු කැලයේ කෙළවරක’ පිහිටා ඇති බව හැඟවීමට ද අමාත්‍යවරයා අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටීම ඉතාම ජුගුප්සාජනක තත්ත්වයකි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික උද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාව තුල පවා ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථමයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික උද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙරට ජාතික උද්‍යානවල තිරසාර පැවැත්ම තහවුරු කිරීම සඳහා එවැනි දැඩි නීති රීති පනවා ඇති පසුබිමක ඇමතිවරයා ජාතික උද්‍යානය තුල ඊට බරපතල හානි සිදු කරමින් කටයුතු කිරීමට උඩගෙඩි දීම ඉතා බරපතල පූර්වාදර්ශයක් බව ද අප අවධාරණය කරමු.
මෙතෙක් කලක් මෙම දේවස්ථානයේ කටයුතු හේතුවෙන් ජාතික උද්‍යානයට සිදුවූ හානිය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවී තිබුණේ ඉකුත් මාර්තු මස සිටය. එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බව එකල වාර්තාවූ අතර අප මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම තත්ත්වය තාවකාලිකව යටපත් විය.
ඉන්පසු ඉකුත් 2025 ජුනි මස 23 වැනිදා පරිසර අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, සහ දේවස්ථානයේ පාලනාධිකාරිය ඇතුළු පිරිසක් විසින් මීට අදාළ සාකච්ඡාවක් පවත්වා තිබුණි. 2025 අගෝස්තු මස මුල් අඟහරුවාදා දින සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින මෙම දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කැබිනට් පත්‍රිකාවක් මගින් සකසා දීමේ වගකීම එහිදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා ඇති බවත්, මෙම තීරණය මගින් විල්පත්තුව ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතල තර්ජන එල්ලවන බවත් අප නැවත නැවතත් අවධාරණය කළෙමු.
එසේ තිබියදී පරිසර විනාශයෙන් ඔබ්බටද යමින් ආගමික විශ්වාස සමග සෙල්ලම් කරමින්, නීත්‍යානුකූලව නියම කර ඇති ආයතනයක අධිකාරියට හානි කරමින් මෙන්ම සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් පවා නිර්මාණය වියහැකි ආකාරයෙන් රජයේ අමාත්‍යවරයෙකු කටයුතු කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වර්තමාන රජයේ මුල් පුටුවල අවධානය යොමුවිය යුතු බව අප අවධාරණය කරමු. එසේ නොවුනහොත් එය මෙරට ආගමික සංහිඳියාව බිඳවැටීමට පවා තුඩුදිය හැකි ඛේදවාචකයක් විය හැකි බව අප ඉතා ඕනෑකමින් ලියා තබමු.
No comments:
Post a Comment