Monday, July 7, 2025

 අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?



ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ථ වියලි කලාපයම පාහේ ඇතුලත් විශාල වපසරියක පැතිරී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය මෙරට පරිසරවේදීන් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ මෙම රජය මගින් හෝ අපගේ මාතෘභූමිය ඉහළට ඔසවා තැබෙනු ඇතැයි දැඩි විශ්වාසයෙනි. එසේම ජාතික ජන බලවේගය විසින් පොරොන්දු වූයේ සහ ජනතාව බලාපොරොත්තු වූයේ අප රට දවන ප්‍රශ්න විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු වර්තමාන රජය ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා නොදැනුවත්කම සහ මිත්‍යාව මත පදනම්වූ අලි-මිනිස් ගැටුම් අවුළුවන මග තෝරාගැනීම ජාතියේ අවාසනාවකි.

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස, වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් ජුනි 20 වැනිදා පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි. ඒ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටද උපදෙස් දී තිබේ. දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත ගැනීමටද, ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටද, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටද නිලධාරීන්ට උපදෙස් දී තිබේ. තවද වන අලි ගැටලුව විසඳීමට, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දැනට ගෙන යන මෙහෙයුම් (වන අලි පලවහැරීම් මිස අන් කිසිවක් නොවේ) වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව දැනගන්නට ලැබේ.

වර්තමාන රජයේ කෙටි ධූර කාලය තුළ අලි-මිනිස් ගැටුම අවම කිරීමට බව පවසමින් ගෙන ඇති සහ ගෙන යමින් සිටින ක්‍රියාමාර්ග මෙන්ම ජනාධිපතිවරයා ලබාදී ඇති උක්ත උපදෙස් මගින්ද යළි යළිත් තහවුරු වන්නේ මෙම ප්‍රශ්නය සාර්ථකව කළමනාකරණ කිරීමේදී මූලිකව අවබෝධ කරගතු යුතු අලි-මිනිස් ගැටුමේ පසුබිම, අලි ඇතුන්ගේ හැසිරීම් රටා සහ අලි-මිනිස් ගැටුම් මැඩපැවැත්වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්ගේ සාර්ථක අසාර්ථකභාවය යනාදී කරුණු ගැන රජයට කිසිඳු අවබෝධයක් නොමැති බවය. නමුත් අප මෙහිදී තරයේ සිහි තබාගත යුත්තේ මිහිතලයේ වෙසෙන ඉතාම ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදීම සත්ව විශේෂයක් වන අලි ඇතුන් සමග මිනිසා ඇතිකරගෙන ඇති මෙම ගැටුම විසඳීමට නම් අලි ඇතුන්ගේ හැසිරීම් රටා, ඔවුන් අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේද වලට දක්වන ප්‍රතිචාර සහ එකී ක්‍රමවේද වල සඵලතාවය පිළිබඳ පසුගිය දත්ත ගැඹුරින් විමසා බැලීම අත්‍යාවශ්‍ය බවය. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ලෝකයේ දරුණුතම අලි-මිනිස් ගැටුම දක්වා ඔඩු දුවා ඇත්තේද, රුපියල් කෝටි ගණන් මහජන මුදල් ගඟට කැපූ ඉනි බවට පත්ව දුප්පත් අහිංසක ග්‍රාමීය ජනතාව දිනෙන් දිනම කබලෙන් ලිපට විසිවී ඇත්තේද මෙතෙක් කලක් එසේ නොකළ නිසා බවය.

ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් අටක, දිස්ත්‍රික්ක 19 ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක වාර්තාවන අලි-මිනිස් ගැටුම්, ගෝලීය වශයෙන් එම ගැටුම හේතුවෙන් වැඩිම වාර්ෂික අලි මරණ සහ දෙවන ඉහළම මිනිස් මරණ වාර්තාවන රට ශ්‍රී ලංකාව බවට පත්වීමට හේතුවී ඇති බව අප විද්‍යාත්මකව තහවුරු කළේ 2020 වසරේදීය. ගැටුම් කලින් වාර්තා කළ ප්‍රමාණයට වඩා තීව්‍රතාවයෙන් සහ භූගෝලීය ව්‍යාප්තියෙන් බෙහෙවින් වැඩි වී ඇති බවත් අප එහිදී පෙන්වා දුනිමු. එම වසරේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම වසර අවසානයේදී රජයට භාර දීමය. එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් දියත් කිරීමය.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද වසර හතරක් ඉක්මගිය පසුවත් එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් මෙතෙක් කටයුතුකර නැත. ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය. අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි. තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය. අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි. කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත. වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළ නමුත් එය දවල් සිහිනයක් බවට පත්ව ඇත.

ඉකුත්දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට වන අලි ගැටලුව බහුලව පවතින දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්ද සහභාගීවූ බව වාර්තා විය. වඩාත් විමතිය දනවන කාරණය නම් එසේ සහභාගීවූ අලි මිනිස් ගැටුම බහුල අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, අම්පාර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වල උක්ත නිලධාරීන් හෝ ඔවුන්ගේ පූර්වගාමීන් අප ඉහතකී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයින් වීමය. එම නිලධාරීන්ද වනජීවී නිලධාරීන්ද මෙම දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රජා මූලික විදුලි වැට ගැන දේශපාලන අධිකාරිය හමුවේ මුනිවත රැකීමය. ඒ වෙනුවට නොදැනුවත්කමින් දේශපාලන අධිකාරිය යෝජනා කරන විනාශකාරී මාවතේ ගමන් කිරීමට ඔවුන් උනන්දු කරවීමය.

වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බොහෝ විට නොයෙකුත් අමාත්‍යවරුන්ගේ බලපෑම මත, අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට පලවාහැරීම නැවතත් ආරම්භ කළ අතර, රජයේ විගණන මගින්ම අසාර්ථක බව තහවුරුකර ඇති හොරොව්පතාන ඊනියා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හෙවත් හස්ති සිරකඳවුරට අලි ඇතුන් ගාල් කිරීමද නැවතත් ආරම්භ කළේය. මෙම රජය යටතේ මුලින්ම කැකිරාව ප්‍රදේශයේ ආරම්භ කරන ලද අලි පලවාහැරීම අසාර්ථකවූ පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් විශාල අලි පලවාහැරීමේ මෙහෙයුමක් දියත් කෙරුණද එයද සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ඉන්පසු පුත්තලම, මාතලේ සහ පොළොන්නරුව වැනි තවත් ප්‍රදේශ කිහිපයකම එම අන්දමින්ම අලි පලවාහැරීම් ක්‍රියාත්මක කලද ප්‍රතිපලයේ වෙනසක් සිදු නොවීය. ඒ අනුව අතීතයේ කිසිඳු කලෙකත් සාර්ථක නොවූ අලි පලවාහැරීම් තමන්ගේ ආණ්ඩු බලය මගින් සාර්ථක කරගැනීමට හැකි වෙතැයි මෙම රජයේ ප්‍රධානීන් තුළ පැවති මුග්ධ අහංකාරයද බිඳ වැටුණි.

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය පසු මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.

මෙවැනි අලි පලවාහැරීමේ මෙහෙයුම් සඳහා සහභාගීවන නිලධාරීන් සහ ඩ්‍රෝන කැමරා කණ්ඩායම් වෙනුවෙන් දරන්නට සිදුවන වියදම්, අලි වෙඩි, පතොරම් සහ යාන වාහන සඳහා වැයවන වියදම් ද සුළු පටු නැත. දැන හෝ නොදැන ඉහේ කේස් ගණනට අසාර්ථකවී ඇති මෙවැනි අලි පලවාහැරීම් නැවත නැවතත් කිරීමෙන් අලි-මිනිස් ගැටුම ඔඩුදිවීම පමණක් නොව ඒ සඳහා මකර කටට යවන මහජනතාවගේ බදු මුදල් සම්බන්ධයෙන් වග වන්නේ කවුරුන්ද යන්නද විමසිය යුතුය? පෙර රජයන් මගින් මෙවැනි නිෂ්ඵල වියදම් කිරීමට උනන්දු වූයේ ඉන් නොයෙකුත් පාර්ශව අයතා ප්‍රතිලාභ ලැබූ නිසාය. නමුත් ජාතික ජන බලවේග රජයක් මෙවැනි නාස්තිකාර වියදම් වලට යොමු වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රහේලිකාවකි.

ජාතික ජන බලවේග රජය සමයේ මෙතෙක් සිදුකළ අලි පලවාහැරීම් පිළිබඳ තීරණ ගෙන ඇත්තේ කවුරුද යන්න සොයා බැලීමෙන් එහි (අ)විද්‍යාත්මක පදනම තහවුරු වේ. ඒ අනුව වන අලි ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා යෝජනා කරන දිස්ත්‍රික් කමිටුද මෙහිම දිගුවක් වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. තවදුරටත් එය කවරාකාර වේද යන්න මෑතකදී පැවැත්වූ එවැනි රැස්වීම් කිහිපයක් මගින්ද නිදසුන් ගෙනහැර දැක්විය හැකිය. මහියංගනය හා හසලක ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීමට පසුගියදා මහියංගනය ප්‍රදේශයේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම එවැන්නකි. කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පවා ගැටුමට තිරසාර විසඳුමක් ලබාගත හැකි ක්‍රම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ දරද්දී සුදත් බලගල්ල බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුට බාධා කරමින් වස්ගොමුව ජාතික උද්‍යානයට අලි ඇතුන් ගාල් කිරීමට බලපෑම් කරන ආකාරය එහිදී මැනවින් පැහැදිළි විය. එසේම පසුගිය ජුනි 13 වැනිදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කහල්ල පල්ලෙකැලේ අභය භූමිය අලි ඇතුන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ වරදට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ස්ථාන මාරුකරවීමට නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය. ඉන් නොනැවතුණු ඔහු අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථකර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පෙරමුණ ගත් ආකාරය ජුගුප්සාජනකය.

එමෙන්ම නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නොබෝදා පැවති ජනාධිපතිවරයා විසින් යෝජනා කළ ආකාරයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති කමිටුවේ තීරණ ගැන මාධ්‍යට ලබාදුන් ප්‍රකාශයේද ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුව වෙත එල්ල කළ දෝෂාරෝපණයේද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටුම් අවම කිරීම සඳහා රජයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කරන බව කී ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍යට හෙළිකළ කරුණුද මගින් නැවතත් සනාථ වන්නේ මෙම වෙනත් නොයෙකුත් විෂයන් භාර මැති ඇමතිවරුන් සියල්ලෝම සැනින් වනජීවී කළමනාකරණ විශේෂඥයින් බවට පත්වී ඇති බවය. අලි-මිනිස් ගැටුම විශාල ජන කොටසකට බලපාන බැවින් මේ සියලු බලධාරීන් එය විසඳීමට උනන්දු වීම අගයකල යුතුය. එනමුත් එසේනම් කළ යුත්තේ ඒ ගැන හරි හැටි හදාරා දැනුවත්වීම මිස තමන් බලධාරීන් වූ පමණින් සියල්ල දත්තවුන් ලෙස හැසිරීම නොවේ.

විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍යාංශ විෂය පථයන් බෙදා වෙන්කර ඒ අනුව කටයුතු කිරීමට වගබලා ගන්නා බව කී ආණ්ඩුව, අලි-මිනිස් ගැටුම මැඩපැවැත්වීමේ අදහසින් සිදු කරන අලින් කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී පරිසර අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමද තවත් තමන්ගේම පොරොන්දු සහ ප්‍රතිපත්ති වලින් පිටපැනීමකි. ඉකුත් විසි වැනිදා ජනාධිපතිතුමන් මූලිකව පැවති රැස්වීමේද පරිසර අමාත්‍යවරයා පෙනෙන්නට නොසිටි අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනු ලැබුවේ වෙනත් විෂයන් භාර විවිධ අමාත්‍යවරුන් විසිනි. මින් විදහා පාන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් වෙනුවට ‘බල්ලාගේ වැඩේ බූරුවා කිරීමේ’ ක්‍රම වේදයයි.

මෙතෙක් ජාතික ජන බලවේග රජයේ ක්‍රියාකලාපයෙන් පැහැදිළි වන්නේ ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක් සඳහා පරිසරවේදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම නොතකා, තවමත් රජයේ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ දැක්ම රක්ෂිත ප්‍රදේශ වලට සීමාවී ඇති බවය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට කම්කරුවන් හා සිවිල් ආරක්ෂක භටයින් විශාල වශයෙන් බඳවා ගැනීම ද මෙම යල් පැන ගිය මානසිකත්වය පිළිබඳ අපගේ විවේචනය ශක්තිමත් කරන අතර, රජයේ මූලිකම අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ උපාය මාර්ගය සැමදා අසාර්ථකවූ ක්‍රමවේද මත පමණක් විශ්වාසය තැබීම දිගටම කරගෙන යෑම බව සංඥා කරයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඊනියා ‘අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ රැස්වීම’ මගින් සිදු වුණේ අපගේ සැකය තහවුරු කිරීම පමණක් වන අතර වර්තමාන රජය ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීමේ නාමයෙන් සිදුකරන්නට යන්නේ අලි-මිනිස් ගැටුම් අවුළුවා අලි ඇතුන්ද මනු සතුන්ද කබලෙන් ලිපට තල්ලුකර දැමීම බව අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමි.

 Can Rural Poverty Be Eliminated by Fueling Human-Elephant Conflicts?


With the National People's Power Government led by President Anura Kumara Dissanayake ascending to power with a large mandate, the public’s expectations around the oft-mentioned goal of “eradicating rural poverty” have significantly increased. To fulfill those expectations, minimizing the human-elephant conflict—now widespread across much of Sri Lanka’s dry zone—must be made a national priority. In this context, Sri Lankan environmentalists and scholars have consistently called for a rapid, holistic, and science-based response, moving beyond the outdated, unscientific, and failed methods currently employed to manage this complex human-wildlife conflict. What the NPP promised and the people expected was the effective resolution of our burning issues through a logical, science-based approach. Unfortunately, the current Government, including His Excellency the President, appears to be choosing a path based on unfounded beliefs and ignorance, which aggravates the problem rather than eliminating rural poverty.

The President's Media Division announced that during a meeting held at the Presidential Secretariat on June 20, the President instructed officials to urgently implement a comprehensive mechanism to address the human-elephant conflict, which severely affects both rural livelihoods and the national economy. Accordingly, officials have been directed to appoint district-level committees within the next month in areas affected by human-elephant conflict. Further instructions include recruiting retired officers on contract basis to fill vacancies in the Department of Wildlife Conservation, deploying trained Civil Security personnel to assist the department, and drafting a relevant legal framework. Additionally, the President emphasized the need to streamline current operations (elephant drives) jointly conducted by the Police, Security Forces, and Wildlife officials.

However, the measures already taken—and those now being proposed—repeatedly confirm the current government’s fundamental lack of understanding of the root causes of human-elephant conflict, elephant behavioral ecology, and the practicality and success or failure of various mitigation methods. Resolving a conflict with one of the most intelligent, powerful, and emotionally sensitive species on earth demands an evidence-based understanding of elephant behavior, their responses to mitigation actions, and the effectiveness of mitigatory actions. The failure to take these into account in the past, has contributed to Sri Lanka becoming the country with the world’s most intense human-elephant conflict—marked by significant public expenditure and increasing rural suffering.

In 2020, it was scientifically demonstrated that human-elephant conflict is reported from eight (8) Provinces, 19 Districts, and 131 Divisional Secretariats in Sri Lanka, and globally, Sri Lanka has the highest annual elephant deaths and the second-highest human fatalities due to such conflicts. Scientific research has also shown that the conflict is intensifying in both severity and geographical spread. Another key milestone in that year was the preparation of the National Action Plan for the Mitigation of Human-Elephant Conflict. It was developed by a Presidential Committee comprising wildlife experts, relevant State Department Heads, and District Secretaries from conflict-prone areas. The plan recommended abandoning methods like elephant translocations and drives that have been undertaken for decades and consistently failed to resolve the conflict, and instead focusing on proven strategies such as community-based permanent village electric fencing and community-based seasonal agricultural electric fencing to protect villages and farmlands from elephant depredation.

While the National Action Plan for the Mitigation of Human-Elephant Conflict was developed during President Gotabhaya’s period, it was then shelved, and the government took no steps to implement it. Despite the plan’s recommendation to appoint a Presidential Task Force for its implementation, it was never done. Instead of a task force, during President Ranil Wickramasinghe’s period, a Committee to facilitate and oversee the implementation of the National Action Plan was appointed. Despite lacking authority and funding, and the limited implementation possible, particularly the implementation of over three hundred community-based paddy field electric fences in Kurunegala, Anuradhapura, Puttalam, Killinochci, Mullativu, Trincomalee, Moneragala and Hambanthota Districts through the Department of Agrarian Development, and significant reduction in elephant drives and translocations by the wildlife conservation Department, it contributed to a reduction in both human and elephant fatalities in 2024—the first such drop in nine years. Sadly, the Committee’s term and even the limited implementation of the National Action Plan automatically ended with the change in government. Since the start of this administration, the full and proper implementation of the Action Plan has been urged by environmentalists and scientists, but this remains a distant dream.

Participating in the recent meeting on human-elephant conflict mitigation, chaired by the President on June 20th, were the District Secretaries from the most conflict-affected areas—Anuradhapura, Polonnaruwa, Puttalam, Kurunegala, Ampara, Hambantota, and Monaragala—and officials of the Department of Wildlife Conservation. Ironically, while many of these same officials, or their predecessors, were members of the committee that prepared the National Action Plan, none thought of enlightening the political authority on the failure of elephant drives to mitigate the conflict or of the effectiveness of community-based electric fencing. Instead, they led the politicians down the path of ignorance and disaster.

Since the new Government took office, the Department of Wildlife Conservation—often commanded by ministers and deputy ministers of various subjects —has resumed driving elephants to protected areas. Additionally, ignoring the government audit itself, which demonstrated its complete failure, translocating elephants to the controversial “Elephant Rehabilitation Center” or elephant prison in Horowpathana, has been resumed. Upon resumption of elephant drives under the current regime, the first drive in Kekirawa in December 2024, completely failed as the elephants refused to be moved, and was given up. Subsequently, a large-scale drive was undertaken to drive elephants from Sraawastipura, Thalaawa, Oyamaduwa, Thanthrirmale and Morawewa in Anuradhapura to Wilpattu National Park. The drive also completely failed, with no elephants being driven to the Park and instead leading to increased damage to crops, houses, and property in the drive areas. Not satisfied with these failures next a drive was initiated in Puttalam in March 2025 to drive elephants from Mahakumbukkadawala, Anamaduwa, and Karuwalagaswewa to Sellankanda/Tabbowa. That too completely failed, and the people in the drive villages now complain of increased raiding by elephants. After that, drives were done in Matale and Polonnaruwa with equally dismal results. And now more drives are being planned in these same districts and also in Kurunegala, Ampara, and Hambantota. The recent spate of failures only confirmed the documented failures of the last 65 years in mitigating human-elephant conflict by elephant drives.

Elephant drives involve hundreds of people going into forests and creating large-scale disturbance, the lighting of thousands of firecrackers, and shooting at elephants with rubber bullets and SG cartridges, subjecting elephants to severe stress and extreme conflict. This leads to elephants becoming terrified of people and responding with increased aggression upon encountering humans. After conducting such operations, which invariably fail to eliminate elephants from drive areas, the politicians and officials responsible depart, leaving rural communities to deal with the enraged elephants, at the cost of their lives.

These operations also entail significant financial costs, for salaries and bonuses of personnel, their transport, board and lodging, for explosives, ammunition, drones, etc. Under previous governments, such exercises were welcomed as there were many who gained financial and other benefits. While this would not be the case under the NPP, the question now is who should be held accountable for repeatedly investing public funds into ineffective operations that only worsen the crisis?

Looking at the decision makers of recent moves illustrates the lack of an evidence-based and scientific approach to this question under the NPP regime. An inquiry into the decision-makers behind the above failed elephant drives under the National People's Power government lays bare the unscientific foundation on which these efforts have been based. The committees proposed by the President is an extension of this trend. In Mahiyanganaya, at a meeting led by the Environment Minister to address the local conflict, a regional Assistant Director of Wildlife was prevented from presenting sustainable solutions by the Badulla MP Sudath Balagalla, who instead pressured officials to confine elephants into the Wasgomuwa National Park. Similarly, at the June 13th Kurunegala District Coordination Committee Meeting, Deputy Minister of Agriculture Namal Karunaratne ordered the immediate transfer of a Wildlife Ranger who had attempted to protect the Kahalla-Pallekele Sanctuary for elephants, and defended an official who advocated, failed elephant drives. Recent press briefings by the Deputy Minister of Agriculture Namal Karunaratne, the blaggarding of the Wildlife Department by the Public Security Minister, Ananda Wijepala,  and recent public statements by the Minister of Public Administration, Provincial Councils, and Local Government, A.H.M.H. Abeyratne, regarding a Government-approved project in Puttalam, suggest that all these politicians have become instant experts in wildlife management. Since human-elephant conflict affects a large segment of our population, the keenness to address it by a range of politicians should be applauded. However, then they need to get off the high horse and spend the time and energy to study it and become knowledgeable.

The glaring absence of the Ministry of Environment in key decision-making processes regarding the management of elephants further indicates the absence of a logical and scientific approach, which was supposedly a core policy of the NPP. The apparent absence of the Minister of Environment at the high-level meeting held on the 20th is particularly telling. Even more concerning is that directives on how and what the Department of Wildlife Conservation should do, are being issued by politicians with unrelated portfolios. This not only undermines the Ministry of Environment but also raises serious concerns about the coherence and legitimacy of interventions on a matter of national importance.

Despite constant calls by experts and environmentalists for a coordinated, evidence-based, and scientific response, the Government is mired in the failed approach of confining elephants to protected areas. The Department of Wildlife Conservation’s large-scale recruitment of electric fence workers and Civil Security personnel further reinforces the current government’s backtracking and reliance on an unscientific, failed, outdated approach, setting back human-elephant conflict mitigation by decades.

Hence, the President’s perhaps well-intentioned meeting on human-elephant conflict mitigation only confirms our worst fears. In the name of eradicating rural poverty, the current Government is set on stoking the flames of human-elephant conflict, pushing both humans and elephants from the frying pan into the fire.

Saturday, June 28, 2025

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා


අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය. ඔවුන්ගේ මෙහෙවර හුදෙක් වනසතුන් හා වෘක්ෂලතාවල රැකවරණය වෙනුවෙන් පමණක් යැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් එයින් එහා ගිය අසමාන සේවාවන් රාශියක් මානව වර්ගයා වෙනුවෙන්ද ඉටු කරන ඔවුන් නොවන්නට අපගේ ආහාර, ජල හා බලශක්ති සුරක්‍ෂිතතාවය මෙන්ම ජීවත්වීමේ අයිතිය පවා තවදුරටත් අභියෝගයට ලක්විය හැකිය. එබැවින් ඔවුන් රටේ ජනතාවගේ මෙන්ම ජනතා නියෝජිතයින්ගේද පැසසුමට ලක්විය යුත්තෝය. නමුත් අද වන විට ඔවුන් දිවි හිමියෙන් සිදුකරන එම සංරක්ෂණ කාර්යය රාජ උදහසට ලක්වීමටද හේතුවක් වීම කොතරම් නම් අභාග්‍යයක්ද?

අපගේ කතා නායකයා වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස සේවයේ නියුතු නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්නට අද වන විට අත්ව ඇත්තේ එවැනි ඉරණමකි. ඔහු තුන්වන ශ්‍රේණියේ වනසත්ව අඩවි ආරක්ෂකවරයෙකු වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ වර්ෂ 2012 ජුනි 7 වන දිනය. එතැන් සිට කවුඩුල්ල, මඩු, කිලිනොච්චිය, උල්හිටිය සහ ගම්පහ ප්‍රදේශවල සහ නැවතත් කිලිනොච්චිය යන සේවා ස්ථාන වල රාජකාරි ඉටු කිරීමෙන් පසු ඔහු හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබන්නේ වර්ෂ 2023 සැප්තැම්බර් 1 වන දිනය.

නව රාජකාරි ස්ථානයේදී ඔහුගේ අවධානය යොමුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රදේශයේ පවතින විශාල ගැටළුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීමය. ඒ සඳහා ඔහු අනුගමනය කරන එක් උපායමාර්ගයක් වන්නේ මෙම කලාපයේම ඇති එකම වනජීවී රක්ෂිතය වන කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුරක්ෂිත කිරීමය. ඔහු තක්කඩි දේශපාලුවන්ගේ උදහසට ලක්වීමට ප්‍රධාන හේතුව වන්නේද එයයි. එහිදී අභය භූමියේ ඇති හක්වටුණාව ජලාශයේ වැව් පිටිය අලි ඇතුන් වෙනුවෙන් වෙන්කර දීමට දැරූ උත්සාහයේදී ආණ්ඩුවේ දේශපාලන හෙංචයියන්ගේ ඉඩම්ද ඊට හසුවීම මෙම වනසත්ව අඩවි ආරක්ෂකවරයාගේ රාජකාරි දිවියේ තීරණාත්මක සංදිස්ථානයක් බවට පත්වීම දෛවයේ සරදමක් වැනිය. එහි අවසන් ප්‍රතිපලය ඔහු අනීතික ආකාරයට ස්ථාන මරු කරවීමට පසුගිය ජුනි 13 වැනිදා රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීන්දුවක් ගැනීමය.

මෙම අත්තනෝමතික, අසාධාරණ සහ අනීතික දේශපාලන අතපෙවීමට එකම හේතුව උක්ත නිලධාරියා 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලයලත් නිලධාරියෙකු ලෙස එම පනත මගින් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමය. ඔහු විසින් අභය භූමියේ ආරක්ෂාව වෙනුවෙන් 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු පවරා ගැනීමේ) පනයේ ප්‍රතිපාදන ප්‍රකාරව පැවරූ නඩු සංඛ්‍යාව විසි එකකි. එමගින් මේ දක්වා අස් කිරීමේ දැන්වීම් යවා වනසතුන් වෙනුවෙන් නිදහස් කරගැනීමට කටයුතු කරමින් ඇති, විවිධ පුදගලයින් විසින් නීතී විරෝධී ලෙස අල්ලාගෙන සිටි කහල්ල පල්ලෙකැලේ අභය භූමියට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර හැට පහකට ආසන්නය. එසේ සන්තකය පවරා ගැනීමට කටයුතු කර ඇත්තේ හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමියේ වගාකළ පුද්ගලයන්ට අයත් ඉඩම්ය. එසේම වන අලින් තිදෙනෙකුට එකවර විදුලි සැර යෙදීමෙන් මරණයට පත්කළ සහ තවත් ස්ථානයක එසේම වන අලියෙකුට විදුලි සැර යෙදීමෙන් මරණයට පත් කරනු ලැබූ අභය භූමිය තුළ වූ ඉඩම් දෙකක්ද, අලුතින් කැලෑ එළිපෙහෙළි කළ ඉඩම් දෙකකක්ද නැවත අභය භූමියට ඇතුලත්කර ගැනීමට ඔහු වෙහෙසුනේය. ඒ අනුව ඔහු තම රාජකාරි ඉටුකර ඇත්තේ පෞද්ගලික පළිගැනීමේ චේතනාවකින් හෝ බලය හොබවන දේශපාලන පක්ෂය අපහසුතාවයට පත් කිරීමේ උවමනාවෙන් නොව, හේරත්ගම අඩවියේ වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස තමන් වෙත පැවරී ඇති රාජකාරිමය වගකීමෙන් බව මානව පැහැදිළි වේ.

වඩාත්ම ජුගුප්සාජනක කාරණය නම් පසුගිය ජුනි 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී නාට්‍යානුසාරීව වනජීවී අපරාධකරුවන්ට අනුකම්පාව උපදවමින් හා වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්නට  අභූත චෝදනා එල්ල කරමින් ඔහුව දංගෙඩිය නියම කරමින් කැකිල්ලේ තීන්දු ගත් අමනෝඥ දේශපාලුවන් අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථකර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියෙකු උත්කර්ෂයට නැගීමය. තවද ඔහු අභයභූමිය තුළ පිහිටි ඉරුදෙණියාය ප්‍රදේශයේ ඉඩම් ජනතාවට බෙදා දීමේ ව්‍යාපෘතියේද ඉදිරි පෙළ සාමාජිකයෙකි.

හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබා පැමිණි දින සිට මේ දක්වා පමණක් චතුර විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති වනජීවී අපරාධ සම්බන්ධයෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව සියයකට වැඩිය. එමගින් වනජීවී අරමුදලට බැර කර ඇති දඩ මුදල රුපියල් 5,785, 000.00 කි. මින් පෙරද තමන්ගේ රාජකාරි දිවිය තුළ විවිධ අභියෝගවලට මුහුණදී ඇති චතුර විවිධ දේශපාලන පක්ෂවල ප්‍රභලයින්ට ඥාතීත්වයන් සහ හිතවත්කම් කියා පාමින් තමන් සිදුකළ වනජීවී අපරාධ යටගසා ගැනීමට තැත් කෙරූ කිසිවෙකුට  සමාවක් ලබාදී නැත.

ඔහු කිලිනොච්චිය අඩවි ආරක්ෂකවරයා ලෙස රාජකාරි ඉටුකළ දින 450 තුළ වනජීවී අපරාධ සම්බන්ධ නඩු 324 ක් අධිකරණය හමුවේ පවරා තිබේ. අයියකච්චි සහ පරන්තන් ප්‍රදේශවල පිහිටි උතුරේ ප්‍රහල දේශපාලඥයින්ට සබඳකම් ඇති පුද්ගලයින් විසින් පවත්වාගෙන ගිය හෝටල්වලට පවා පැවරූ නඩු ඒ අතර වේ. එක් අවස්ථාවක අයියකච්චි ප්‍රදේශයේ හෝටලයක රඳවාගෙන සිටි තිත් මුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් හෝටල්කරු නීතිය හමුවට පමුණුවා එම සතුන් විල්පත්තුව ජාතික උද්‍යානයට මුදාහැරීමටද වරදකරුට අධිකරණ මගින් රුපියල් 20,000.00 දඩ මුදලක් නියම කිරීමටද ඔහු කටයුතු කළේය. එසේම පරන්තන් ප්‍රදේශයේ දඩමස් ජාවාරමේ නියුතු ප්‍රකට හෝටලයකට පිට පිට නඩු පවරා රුපියල් ලක්ෂ පහකට ආසන්න දඩ මුදල් රජයට අයකර දීමටද නැවත එම වරද සිදු කළහොත් අදාළ හෝටලය මුද්‍රා තැබීමටද ඔහු අධිකරණ නියෝග ලබාගෙන තිබේ. එම අවස්ථා වලදී නොයෙකුත් තරාතිරම් වල දේශපාලඥයින්ගෙන් ඔහුට බලපෑම් එල්ල වුවද එම බලපෑම් ඔහු තඹ සතයකට මායිම් කළේ නැත. එසේම එම දේශපාලඥයින්ද ඒ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න ඇති කිරීමට කටයුතු කළේ නැත. එවැනි පසුබිමක් තුළ වංචාව හා දූෂණය මුලිනුපුටා දමන බවටත් දුෂිත දේශපාලන තන්ත්‍රය වෙනස් කරන බවටත් ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි වර්තමාන රෙජීමය මේ ආකාරයෙන් ඉතා තුච්ච ආකාරයට තමන්ගේ රාජකාරිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ නිලධාරියෙකුගෙන් දිගින් දිගටම පලි ගැනීම තමන් ලද ජන වරමටද නිගා දෙවන බව අප අවධාරණය කරමු.

2023 වසරේ ජූලි මස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු වශයෙන්ද දිවුරුම්දී ඇති අඩවි ආරක්ෂක චතුරට තම බිරිඳ, දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම වඩා උසස් ජීවන තත්වයක් අත්කර දීමට පූර්ණ කාලීන නීතීඥ වෘත්තිය තෝරා ගැනීමට කිසිඳු බාධාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය සේවයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා කිසිඳු ඇගයීමක් නොලබා ඔහු වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙසේ කැපවීම විශ්මයජනකය. බීබීසී සේවය මගින් ලොව පුරා විකාශය කෙරෙන බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමරු විසින් ඉදිරිපත් කරනු ලබන 'ගාඩියන්ස්' වාර්තා වැඩසටහන් මාලාව මගින්ද මේ දිනවල පෘථිවියේ වටිනාම පරිසර පද්ධති ආරක්ෂා කරන චතුර වැන්නවුන්ගේ ජීවන තොරතුරු ලෝකයා හමුවට ගෙන එයි. පසුගියදා එහි සයවන කථාංගය වෙන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙනි. නමුත් එවැනි පසුබිමක අලි ඇතුන්ගේ වාසභූමි සංරක්ෂණය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ වනසත්ව අඩවි ආරක්ෂකවරයෙකුට පාදඩ දේශපාලුවන් විසින් එලව එලවා පහර දෙන බව, මරණීය තර්ජන එල්ල කරමින් ඇති බව විලියම් කුමරු නොදන්නවා විය යුතුය.

හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මේ ආකාරයෙන් අත්තනෝමතික, අසාධාරණ හා අනීතික ආකාරයට ස්ථාන මාරු කිරීමට හෝ දණ්ඩනයට ලක් කිරීමට බලධාරීන් කවර ආකාරයකින් හෝ කටයුතු කිරීම ඔහුට පමණක් හුදෙකලා සිදුවීමක් නොවේ. එය වනජීවී අපරාධකරුවන්ට මෙරට වනජීවී සහ වන සම්පත් විනාශ කිරීමට උඩගෙඩි දීමකි. තවද මහජන බදු මුදල් වලින් තමන් ලබන වේතනයට ණය නැතිව අවංකව සහ නිර්භයව තම රාජකාරි ඉටු කරන සමස්ථ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයටම එල්ල කරන මරු පහරක් බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.

Tuesday, June 24, 2025

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ 

කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්


හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන ජාතික උද්‍යානවල පැවැත්මටද දැඩි තර්ජනයක් බවට පත් වෙමින් පවතින බව අප මුල් වරට අනාවරණය කරනු ලැබුවේ ඉකුත් 2025 වසරේ ජූලි මාසයේදීය. එහිදී අප ජන සහභාගීත්වය අධික වීම නිසා ඇතිවී ඇති ගැටළු, නාවික හමුදාවේ බලපෑම්, දන්සැල් කරුවන්ගේ නොමනා හැසිරීම් මෙන්ම මෙම කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම පිළිබඳවද කරුණු අනාවරණය කළෙමු. නමුත් මේ වසරේදී ද ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රවය නියාමනය සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හැරුණු කොට අප සඳහන් කළ අනෙක් කරුණු කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීමට බලධාරීන් අපොහොසත්වීම කණගාටුවට කරුණකි.

ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් තොරව නොමිලේ පා ගමනින් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයන් හරහා ගමන් කිරීමට ලැබෙන අතිශය විරල අවස්ථාවක් ලෙස මෙම පාද යාත්‍රාව හැඳින්විය හැකිය. එසේම කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළුවී යාල ජාතික උද්‍යානයෙන් පිටතට පැමිණීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ. යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක තුළ සංචාරය කිරීමටද විශේෂ කොන්දේසි තිබේ. එබැවින් එවැනි කිසිඳු අවසරයක් අවශ්‍ය නොවන පාද යාත්‍රාව දඩමීමා කරගෙන තමන්ගේ පටු ඕනෑ එපාකම් සරිකරගැනීම සඳහා විවිධ පිරිස් මේ වන විට පෙළඹී තිබේ. ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින් ඊට ඇතුලත් වේ. මේ හේතුවෙන් කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී වනජීවී රක්ෂිතද විනාශ මුඛයට යාමට පටන්ගෙන තිබේ. තවද මෙහි බොර දියේ මාළු බාමින් යාල සහ කුමන වෙත ඇතුළුවීමට කටයුතු කරන ආරක්ෂක අංශ, දන්සැල් කරුවන් සහ විවිධ රාජ්‍ය ආයතනද වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම ඉතා බරපතල තත්වයකි.

මෙම වසරේද පාද යාත්‍රාවට සහභාගී වීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පුද්ගලයින්ට ඇතුළුවීම සඳහා ජුනි මස විසිවැනි දින කුමන ජාතික උද්‍යානයේ දොරටුව විවෘත කෙරිණි. යුද්ධය අවසන් වීමෙන් පසු වාර්ෂිකව 25000-30000 අතර පිරිසක් මෙම වන්දනා ගමනට සහභාගීවූ අතර 2024 වසරේ එම ගණන 31986 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. සාම්ප්‍රදායික හින්දු බැතිමතුන් මෙම ගමනේදී අනුගමනය කළ අල්පේච්ඡ වන්දනා විධි ක්‍රම මගින් පරිසරයට සිදුවූ හානිය අල්ප විය. නමුත් පසුකාලීනව විවිධ පාර්ශව ඊට මැදිහත්වීම හේතුවෙන් එකී අල්පේච්ඡ වන්දනාව වෙනුවට පරිසරයට විශාල වශයෙන් බලපෑම් එල්ලවන විකෘතියක් බවට මෙම චාරිකාව පත්වූ ආකාරය අප පෙන්වා දුනිමු. වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අප ඉදිරිපත්කළ කරුණු අනුමත කරමින් ‘බෝතල් කළ ජලය සහ සෞඛ්‍ය සේවා වැනි අමතර පහසුකම් අවශ්‍ය පුද්ගලයින්ගේ පැමිණීම සහ හමුදාවේ මැදිහත්වීම ගමනේ ස්වභාවය සහ වනජීවීන්ට එහි බලපෑම සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති’ බව එවක මාධ්‍යට කරුණු දක්වා තිබුණි. නමුත් මෙවරද එම විනාශකාරී ක්‍රියා පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සාධනීය මැදිහත්වීමක් සිදුකර ඇති බව අපට දැනගන්නට ලැබී නැත.

වන්දනාකරුවන් සඳහා ජලය සැපයීමට බව පවසමින් නාවික හමුදාව මෙවරද වන්දනා සමයේ ජාතික උද්‍යානයට ප්‍රවේශවී ඇත. ඒ සඳහා පැමිණෙන නාවික හමුදා ප්‍රධානීන්ගේ ආරක්ෂාවට සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට මෙවරද චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථාන වල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශකිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම එවැනි අහිතකර කටයුතු ඒ අතර වේ.

කුමන බලපෑම් පැමිණියද පලටුපාන ප්‍රවේශය හරහා නියමිත වේලාවට පෙර යාල ජාතික උද්‍යානයට වාහන ඇතුළු කිරීමෙන් වැළකී සිටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ මෙන්ම මෙම වසරේදී ද කටයුතු කර තිබේ. නමුත් පාන්දර යාමයේ සිට එහි පැමිණ නියමිත වෙලාව එළැඹෙන තුරු රැඳී සිටින නාවික හමුදා වාහන මුලින්ම උද්‍යානයට ඇතුළුවීම නිතැතින්ම සිදුවේ. එම රථ පෙළ වනය දෙවනත් කරගෙන ඇදී යන විට වනයේ සිටින අලි-කොටි-වලස් ඈ ආකර්ශණීය වනජීවීන් පලා යාම නොවැලැක්විය හැකිය. එවිට දුරු කතර ගෙවාගෙන පැමිණ, තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටල් කාමරවල නවාතැන්ගෙන, හිමිදිරියේ උද්‍යානයට ඇතුළුවී සතුන් වැඩි ප්‍රමාණයක් නැරඹීමට සැදී පැහැදී සිටින දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන්නේ හිස් අතින් නැවත පිටවී යාමටය.

එසේම පාද යාත්‍රාවේ පැමිණි නාවුක හමුදා ප්‍රධානියකු සහ ඔහුට ආරක්ෂාව සපයන හමුදා අනුඛණ්ඩය ඉකුත් දෙවසරේදී ද වන්දනාකරුවන්ට වෙන්වූ මාවතෙන් මෑත්ව තල්ගස්මංකඩ ප්‍රදේශයෙන් යාල ජාතික උද්‍යානයේ සංචාරකයන් ගමන් ගන්නා මාර්ග පද්ධතියට අවතීර්ණව අත්තනෝමතික අකාරයෙන් ගමන්කර ඇති බව වාර්තාවිය. එයද වන සතුන්ට මෙන්ම සංචාරක කර්මාන්තයට කොහෙත්ම හිතකර තත්වයක් නොවේ. මෙම වසරේද උද්‍යානය තුළ දැනටමත් ඉදිකර ඇති කුඩාරම් සහ වැසිකිළි පද්ධති මේ වසරේදීද එම ගැටළු ඒ ආකාරයෙන්ම උද්ගතවනු ඇති බවට දෙස් දෙයි.

ශ්‍රී දළදා මාලිගාව ඇතුළුව විවිධ රාජ්‍ය සහ පුද්ගලික අංශ සහ පුද්ගලයින් ද මෙම සමයේදී දන්සැල් පැවැත්වීමට බව පවසමින් රක්ෂිත ප්‍රදේශයට ඇතුළුවීම සිදුකරයි. ඔවුන් අතර සිටින අප ඉහත කී ඊනියා පරිසරවේදීන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් මෙන්ම සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා බව පවසමින් පැමිණෙන පුද්ගලයින් පවා  තමන්ගේ ඩිපෙන්ඩර් රථ වල නැගී රාත්‍රී කාලයේ වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සරණ බවට චෝදනා එල්ලවේ. එවැනි තත්වයන් වනජීවී සංරක්ෂණය අතින් කොහෙත්ම යහපත් නොවේ.

අදාළ ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවා නිසි බලපත්‍රයක් ලබා ගෙන ජාතික උද්‍යානයකට ඇතුළුවන සංචාරකයින්ට පවා උද්‍යානයේ ගමන් කිරීමට අවසර ඇත්තේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළදී පමණි. නමුත් විවිධ උප්පරවැට්ටිය යොදා ගනිමින් මෙම වන්දනා සමයේ උද්‍යානය තුළට ඇතුළුවන ඉහතකී පාර්ශව අදාළ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලැබෙන අවසරය වල්බූරු නිදහසක් කරගැනීම හා සංරක්ෂණ නීතී උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ජුගුප්සාජනකය. විශේෂයෙන්ම යාල කලාප අංක එකට අයත් පරණ තොටුපොළ සංචාරක බංගලාව වෙන්කරවා ගන්නා දළදා මාලිගයේ දන්සැල් නඩය ඔවුන් විසින් දන්සැල පවත්වාගෙන යන කටුපිලාර දක්වා (ඉන් ඔබ්බටද) රැයක් දවාලක් නොමැතිව ගමන් කිරීමට දන්සැල දඩමීමා කරගන්නා බවට ඉකුත් වසරේදීද චෝදනා එල්ල වූ අතර මේ වසරේදීද එම දන්සැල සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසර ලබාදී ඇත.

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා කරගෙන උද්‍යානය වෙත පිවිසෙන පටු අවස්ථාවාදීන්ටය. තවද වාර්ෂිකව මේ සඳහා සහභාගීවන පිරිස ඉහළ යාමටද මෙම තත්ත්වය හේතුවී ඇත. එමෙන්ම දන්සැල් පැවැත්වීම සඳහා මෙසේ උද්‍යානයට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් යාලට ඇතුළුවන්නේද වන්දනාකරුවන් කෙරෙහි උපන් දයාවෙන් ද නැතිනම් හුදෙක් තමන්ගේ විනෝදාස්වාදය සඳහා ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

ව්‍යුත්පන්න කිහිපයකදී හැර මෙරට ජාතික උද්‍යානය වලට ඇතුළුවන සංචාරකයින් ඒවා තුළ ගමන් ගන්නා සියලුම අවස්ථා වලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සංචාරක මාර්ගෝපදේශකයෙකු ඔවුන් සමග ගමන් කිරීම සිදු කරයි. නොඑසේ නම් අදාළ දෙපාර්තමේන්තුවට වග කිවයුතු සෆාරි ජීප් රථ රියදුරන් හෝ ඔවුන් සමග වෙති (විවේචන තිබිය හැක). නමුත් දෙසතියකට ආසන්න කාලයක් තුළ පිටස්තර පුද්ගලයින් දස දහස් ගණනින් කුමන සහ යාල ජාතික උද්‍යායේ කලාප අංක එක සහ දෙක තුළ නිදහසේ ගමන් ගන්නේ එවැනි සංචාරක මාර්ගෝපදේශකයින් කිසිවෙක් නොමැතිවය. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යවේ. එවැනි පසුබිමක් තුළ අප ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩිපෙන්ඩර් රථවල නැගී රාත්‍රී කාලයේ පවා වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සැරීම, ඩ්‍රෝන කැමරා යොදාගෙන රූපගත කිරීම වැනි කටයුතු එළිපිටම සිදුකිරීම මගින් පෙනී යන්නේ එවැනි සමීප අධීක්ෂණයක් සිදු නොවන බවය.

මේ ආකාරයෙන් මහා ජනකායක් දීර්ඝ කාල සීමාවක් තුළ වනජීවී රක්ෂිත තුළ හැසිරීම නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බලපෑම් එල්ලවීම,  කැලිකසල සහ මලපහ මගින් ස්වභාවික පරිසර පද්ධතීන් සහ ජල මුලාශ්‍ර දූෂණය වීම වැනි පාරිසරික බලපෑම් රැසක් ඇතිවේ. සංචාරකයින් සංඛ්‍යාව වැඩිවන විට ඊට අනුලෝමව බලපෑමද  වැඩිවේ. කතරගම පාද යාත්‍රාවද දුෂ්කර වන්දනා ගමනක සිට සැණකෙළියකට පරිවර්තනය වීමෙන් සිදුවන්නේ සංචාරකයින් සංඛ්‍යාව වැඩිවී පාරිසරික බලපෑම වැඩිවීමය. එබැවින් මීට අදාළ අනුමැතීන් ලබාදීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට යාල සහ කුමන ජාතික උද්‍යාන භාරකරුවන් දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කළමනාකරණ ධුරාවලියේ සියලු ස්ථර මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේම සිදුවන මානව ක්‍රියාකාරකම් සහ ඇතිවන තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට සහ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොබියව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීමද ආණ්ඩුවේ වගකීමය.

එසේම තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර නොගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ නොහැරීම, වනජීවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම සහ පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර නොගැනීම දිසාපතිවරුන්ගේ, ආගමික නායකයිගේ සිට සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ යුතුකම බව අප නැවත නැවතත් අවධාරණය කරමු. 

Monday, June 2, 2025

 වනජීවී සංරක්ෂණය සහ ආණ්ඩුවේ මුව හම 


ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කතා කිරීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිහියට නැගෙන්නේ නිතැතිනි. ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර තීරයද ඇතුළුව දේශසීමාව තුළ වනජීවී සම්පත් දිගු කාලීනව ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය පැවරී ඇත්තේ එම දෙපාර්තමේන්තුවට වන බැවිණි. මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට දහසයක් (16%) පමණ වන වර්ග කිලෝමීටර් 9100 ක් ඉක්මවන වනජීවී රක්ෂිත ජාලයක් ස්ථාපනයකර කළමනාකරණය කිරීමේ වගකීමද පැවරී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ කර මතය. නමුත් වසර ගණනාවක අදූරදර්ශී පරිපාලනයේ හපන්කම් විසින් මේ මොහොත වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්කරදී ඇති ඉරණම සහ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් එම තත්ත්වය තවදුරටත් ඛේදාන්තයක් දක්වා ඉදිරියට ගෙන යමින් සිටින ආකාරය පිළිබඳව මෙවර පරිසර දිනය හිනිපෙත්තේ සිට ලියා තැබීම සුදුසු බව සිතමි.

මෙතෙක් කලක් පරිසරවේදීන්ට රටේ හිමිව තිබුණු විපක්ෂ භූමිකාව යම්තාක් දුරකට හෝ වෙනස්වනු ඇතැයි සිතමින් මෙරට අවංක පරිසරවේදීන් රැසක් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සෘජුව හෝ වක්‍රව කටයුතු කළ බව නොරහසකි. එසේම මහා මැතිවරණයෙන් ලැබූ විශාල ජන වරම ඔස්සේ වර්තමාන ආණ්ඩුව මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් මුල සිටම සාධනීයව මැදිහත්වනු ඇතැයි අප අපේක්ෂා දල්වාගෙන සිටියෙමු. ඒ වෙනුවෙන් අනෙකුත් බොහෝ පරිසරවේදීන් මෙන්ම ලියුම්කරුද පරිසර අමාත්‍යාංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු රැස්වීම් ගණනාවකට ස්වේච්ඡාවෙන්ම සහභාගීවී සංරක්ෂණයේ ගතයුතු මග පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළේය. නමුත් එදා මෙදා තුර එවැනි සාකච්ඡාවලදී ගැඹුරින් සංවාද කෙරුණු කරනා වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඇත්තේ උභතෝකෝටිකයකි. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ම උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්වීම සුදුසු යයි සිතමි.

මෙරට වනජීවීන් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන වශයෙන් බලය පැවරී ඇත්තේ 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගිනි. එම පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිලධාරීන් වන අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකාරවරුන් සහ නියාමකවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වන 1591න් මේ වන විට සියයට හතළිහකට වඩා ඇත්තේ පුරප්පාඩුවය. එම තනතුරු බඳවාගෙන මෙරට වනජීවී ආරක්ෂණය ශක්තිමත් කිරීම වෙනුවට ආණ්ඩුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට කම්කරුවන්ගෙන් පිරවීමට මේ වන විට කටයුතු කරමින් සිටී. අපට දැනගන්න ඇති ආකාරයට එම ගණන හාරදහසකට අඩු නැත.

වනජීවී අපරාධකරුවන්ගේ සාක්කුවට නොවැටී සහ කොන්ත්‍රාත්කරුවෙකු නොවී මෙතෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංකව රාජකාරි ඉටුකළ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව ආකර්ශණීය තැනක් වීමට තිබූ එක් හේතුවක් වන්නේ වාර්ෂික දිරි දීමනාවයි (අවංක නිලධාරීන් තම දිවි දෙවැනි කොට වනජීවීන් රකින්නට කැපවුණේ දිරි දීමනාව ලබාගැනීම සඳහා බව මෙයින් කිසි විටෙකෙත් අදහස් නොවේ). නමුත් මෙසේ එකවර දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්යමණ්ඩලය කිහිප ගුණයකින් ඉහළ යාමෙන් එක් නිලධාරියෙකුට වසරකට වරක් ලැබෙන එම දීමනාව සොච්චමක් බවට පත්වේ. එමගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පනත බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන් අලුතෙන් බඳවාගැනීමේදී මෙන්ම වර්තමාන නිලධාරීන් ප්‍රමාණය දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමේදී බරපතල ගැටළු ඇති විය හැක.

එසේම ප්‍රායෝගික නොවන ශ්‍රේණි ක්‍රමයක් යොදා ගනිමින් නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ එක් තනතුරක පල් කරවමින් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායකයාගේ සිට ඉහළට ඇති සේවක ධුරාවලියේ ඉහළට නැගීමට ඔවුන්ට ඇති අවස්ථා හීන කිරීමටද වනජීවී සංරක්ෂණයේ ඉහළ පුටු ඉතා සූක්ෂම ලෙස කටයුතු කර තිබේ. එබැවින් මෙම විශාල කම්කරුවන් පිරිසක් එකවර බඳවාගැනීම, නිසි වැටුප් තල වල නොපිහිටුවීම, දීමනා ගැටළු වැනි ප්‍රශ්න රැසක් හමුවේ තවමත් වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවන නිලධාරීන් අතලොස්සද තවදුරටත් අධෛර්යමත් කිරීමට එකී ලොක්කන් ඇටවූ උගුලක්ද යන්නද විමසිය යුතුය.

එසේම මේ ආකාරයෙන් විශාල විදුලි වැට කම්කරුවන් පිරිසක් බඳවාගැනීම මගින් සක් සුදක් සේ පැහැදිළිවන අනෙක් කාරණය නම් වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ප්‍රතිපත්තියද අලි ඇතුන් වනජීවී ආරක්‍ෂිත තුළට ගාල් කර, විදුලි වැට ගසා උක්ත කම්කරුවන් මගින් වැට රැකීම බවය. කන්නට දෙයක් නැති වනජීවී රක්ෂිත වලට අලි ඇතුන් ගාල් කර ඔවුන් කුසගින්නේ මරා දැමීමේ අවිද්‍යාත්මක අලි ඇතුන් සංරක්ෂණ හා අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේදය වසර හැටකට වැඩි කලක්  තිස්සේ අසාර්ථකව තිබුණද එය අත් හැර දැමීමට වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් නැත. දශක ගනනාවක් තිස්සේ වනජීවීයේ ලොකු පුටු හොබවන ඇත්තන් සහ ආණ්ඩුවේ පරිසර උපදේශකයින් ලබා දෙන ලණු කමින් එම වරදම නැවත සිදු කිරීම තමන් ලද මහා ජන වරමට නිගා කරන බව ආණ්ඩුව වටහා ගෙන නැත.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පරිසර අමාත්‍යවරයා සමග පැවැත්වූ පළමු සාකච්ඡාවේදීම ලියුම්කරු එක් දෙයක් ඉල්ලා සිටියේය. ඒ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ නාමයෙන් අතීතයේ සිදුකළ වැරදි මගින් පාඩම් උගෙන අත්හැර දමා තිබූ අලි පලවාහැරීම සහ හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට අලි ඇතුන් ගෙන ගොස් දැමීම නැවත ආරම්භ නොකරන ලෙසය. නමුත් එසේ තිබියදී ආණ්ඩුව අනුරාධපුර ප්‍රදේශයේ අලි පලවාහැරීමක් සිදුකර එම ප්‍රදේශයේ අලි ඇතුන්ගේ මෙන්ම මනු සතුන්ගේද ජීවිත කබලෙන් ලිපට ඇද දැමීය. එතැනින් නොනැවතී පුත්තලම ප්‍රදේශයේදී ද ආණ්ඩුව එම වරදම නැවත සිදු කළේය. එසේ අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට ගල් කර වැට ගැසීමෙන් අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට නොහැකි වුණේ කම්කරු හිඟය නිසා බව ආණ්ඩුවේ උපදේශකයන් කියා ඇතිදැයි අපි නොදනිමු. නොඑසේ නම් අප ඉහත සඳහන් කළ වසර ගණනාවක අදූරදර්ශී වනජීවී පරිපාලනය තම නිරුවත වසාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවද ගොනාට අන්දවා තිබිය යුතුය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ලංකාවේ අලි-මිනිස් ගැටුම මෙම වසර තුළ සියයට විස්සකින් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පසුගියදා සඳහන් කර තිබිණි. ඊට අදාලව වන අලි කළමනාකරණ ප්‍රදේශ කිහිපයක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පවසමින්ද එම දෙපාර්තමේන්තුව සිදුකර ඇත්තේ ආණ්ඩුව ගොනාට ඇන්දවීමම බව ලියුම්කරුගේ අවබෝධයයි. මින් වසර ගණනාවකට පෙර 2021 වසරේ අප්‍රේල් මස 9 වැනිදා 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශයට අදාල එම ප්‍රදේශය කළමනාකරණය කර ගැනීම, සංරක්ෂණය කර ගැනීම ආදිය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නීති රීති මේ දක්වා නීතිගතකර නොමැත. සිදුකර ඇත්තේ එම ප්‍රදේශයේ මායිම් සලකුණු ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම පමණි. එබැවින් මේ දක්වාම මෙරට තුළ ‘වන අලි කළමනාකරණ ප්‍රදේශ’ පත්ව ඇත්තේ සුදු අලියෙකු බවටය. අලි-මිනිස් ගැටුම සියයට විස්සකින් අවම කරන බව පවසමින් දෙපාර්තමේන්තුව ආණ්ඩුව කඩේ යවන්නේ ඒ ගැන නොදැනද?

මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ අලි ඇතුන් සහ මිනිසුන් ජීවත් වන්නේ එකටය. එම තත්ත්වය තේරුම් ගනිමින් ගැටුම් අවම කරගැනීම සඳහා ඉකුත් 2020 වසරේ දී සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ ක්‍රියාවට නැගීම සඳහා මේ දක්වා කිසිම උත්සාහයක් වර්තමාන ආණ්ඩුවවත් ගෙන ඇති බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට වර්තමාන පුනරුද ආණ්ඩුවද අතපත ගාන්නේ අඳුරේය. වැටෙන්නට හදන්නේ රෑ වැටුණු වලේ නොව, නැවත වරක් මහා දහවලේ ඇදගෙන වැටුණු වලේය.

මෙරට වනජීවී පරිපාලනයේ නිර්මාණය කර ඇති ගැටළු දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ පටු ඕනෑ එපාකම් ඉටුකරගැනීම සහ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා බොහෝ උපක්‍රමශීලීව නිර්මාණය කළ ඒවාය. සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ තානාන්තර වල සිට දෙවැනි පෙළ අධ්‍යක්ෂ ජනරාල් පට්ටම් දක්වා තම පැවැත්ම තහවුරු කරගැනීමට දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කර ඇති වනජීවී ලොකු පුටු ඒ හැර ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රශ්න ගැටලු විසඳීමට එකී උනන්දුවෙන් කටයුතු කලා නම් වර්තමානයේ වනජීවී සංරක්ෂණයේ උද්ගවී ඇති ගැටලු රැසකට පිළිතුරු ලැබී තිබෙන්නට ඉඩ තිබුණි.

එබැවින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුව හමටම තඩිබෑමෙන් පමණක් පලක් නොවන බව අප දනිමු. නමුත් එම උප්පරවැට්ටි වලට හසුවී දැන දැනම අමාරුවේ නොවැටීමේ වගකීම ආණ්ඩුව සතුය. නමුත් වනජීවීන් කෙරෙහි ද්වේශය මුදා හරින ආකාරයේ ප්‍රකාශ නිකත් කිරීම මගින් අලියාගේ, රිලවාගේ සිට අතුරුගිරියේ තිත් මුවන් දක්වා සියලු වනජීවීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට තරම් වගකීම් විරහිතව ක්‍රියාකළ, නැවත නැවතත් අසාර්ථක අලි පලවහැරීම් මගින් හත් පොළේ ගා ගත් ආණ්ඩුව ඒ සඳහා කොතරම් දුරට සමත් වෙත්දැයි අප නොදනිමු. එබැවින් ආණ්ඩුව තමන් වෙත ලැබී ඇති ජනවරමේ බැරෑරුම්කම සහ එහි පරිසරයට ඇළුම්කරන මිනිසුන්ගේ පංගුව තේරුම්ගෙන කටයුතු කරන්නට තමන් බලයට පත්වී සමරන මුල්ම පරිසර දිනයේදී හෝ අදිටන් කරගන්නේ නම් මැනවි.

 ශු. අන්තෝනි මුනිඳුනි,

විල්පත්තු වන උයන රැකදෙනු මැනවි! 



මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ කඩයිමක් සනිටුහන් කරමින් 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික උද්‍යානය විල්පත්තුව ජාතික උද්‍යානයයි. එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ  1938 පෙබරවාරි 25 වැනිදාය. විවිධ කාල වකවානු වලදී විවිධ අභියෝග වලට මුහුණ දෙමින්, ත්‍රස්තවාදයෙන්ද බැටකමින් නමුත් මෙරට සොබා උරුමයන් සපිරි සැලකියුතු බිම් කඩක් දශක නමයකට ආසන්න කාල සීමාවක් තිස්සේ රැකබලා ගැනීමට මෙම අද්විතීය වනජීවී රක්ෂිතයකට හැකියාව ලැබී ඇත. නමුත් කලක සිට විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු වෙමින් මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට තර්ජනයක්වූ පල්ලකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටළුව මේ වන විට ඉතා තීරණාත්මක අටියකට පැමිණ ඇත. ඒ ආගම්, ජාති භේදයකින් තොරව සංරක්ෂණයට ලැදි සියලු දෙනා එක්විය යුතු අවස්ථාවක් උදා කරමිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානය 1938-1973 දක්වා කාල වකවානුවේදී ප්‍රකාශයට පත් කරන ලද කලාප පහකින් සමන්විත වේ. අනුරධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති මෙම ජාතික උද්‍යානය මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. විල්පත්තුව ජාතික උද්‍යානය වන අලින් ඇතුළු ලොකු කුඩා වනජීවීන් රාශියකට කදිම වාසස්ථාන සපයන අතර කලාතුරකින් මිනිස් ඇස ගැටෙන වලසුන් හා කොටින් නැරඹීමට ඇති කදීම තෝතැන්නක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික උද්‍යානවල දක්නට නොලැබෙන ආකාරෙය් ඝන වනාන්තරයෙන් වැසී ඇති මෙම භූමිභාගය වියළි කලාපීය වනාන්තර, කටු පදුරු සහිත වනාන්තර, තැනින්තැන විශාල ප්‍රදේශයක විසිරී පැතිරුණු විවෘත තැනිතලා, වැලිපර හා මෙම ජාතික උද්‍යානයටම අනන්‍යවූ සුවිශේෂි විල්ලු පරිසර පද්ධතිවලින් සමන්විත වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශ්‍රිත පටු වෙරළ තීරයෙන් වහා නැගෙන රත් පැහැති නග්න ප්‍රපාතය උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමි භාගයකි. විල්පත්තු ජාතික උද්‍යානය ඉපැරණි ඓතිහාසික නගරයක් වන අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන්ම ඉතිහාසයේ විවිධ කාලවකවානුවලට අයත් පුරාණ නටබුන් හා මානව නිර්මාණ වලින් සමන්විත වේ. නමුත් මෙම බිම්කඩ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වනජීවීන් සහ වෘක්ෂලතාදීය සංරක්ෂණය සඳහා කැප කෙරුණු බිම්කඩක් බවට පත්වූ අතර පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා වීම ආනුෂංගික සේවාවක් ලෙස පැවතුනි.

ශු. අන්තෝනි මුනිඳුන්ට පුද පූජා පවත්වන කතෝලික පූජනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන පල්ලකණ්ඩල් සිද්ධස්ථානය කලක් තිස්සේ විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පොම්පරිප්පුව ප්‍රදේශයේ පැවතියේ ද කුඩා කැලෑබද දේවස්ථානයක් ලෙසය. වර්ෂ 1964 අංක 28 දරණ ඉඩම් අත්කර ගැනීමේ (සංශෝධන) පනත (1969.12. 26 දිනැති අංක 14,886 දරන ගැසට් පත්‍රය) යටතේ 1969 දී රජය විසින් එම කුඩා ඉඩම් කොටස රජයේ ඉඩමක් ලෙස අත්පත් කර ගන්නා ලද අතර පසුව විල්පත්තුව ජාතික උද්‍යානයේ V කොටස 1973 දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එම කුඩා වනගත දේවස්ථානය ඇතුළුව සමස්ත පල්ලකණ්ඩල් ගම්මානයම උද්‍යානයේ කොටසක් බවට පත්විය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමත් සමග විල්පත්තුව ජාතික උද්‍යානය නැවත විවෘත කිරීමෙන් පසු මෙම දේවස්ථානය ස්ථිර ගොඩනැගිලි සමඟ වේගයෙන් උද්‍යානය තුළට පුළුල් විය. එපමණක් නොව, පල්ලියේ මහා පරිමාණ උත්සවවල ප්‍රතිඵලයක් ලෙස ජාතික උද්‍යානයට සිදුවූ මිනිස් ආක්‍රමණ ද වැඩි විය. සෑම වසරකම ජූලි මස දෙවැනි සතියේ ඉරිදායින් අවසන් වන දින හතක පමණ මහා පරිමාණ පූජා උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මෙම දේවස්ථානය වෙත එක් රැස් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR/224/2010 දරන නඩුවට අදාළ නියෝග මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු රාජකාරි සඳහා පමණක් භාවිතා කළ හැකි බව සඳහන්කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති මාර්ගයේ කිලෝමීටර් හතක් ගමන් කරමින් දේවස්ථානයට ප්‍රවේශවන එම බැතිමතුන් විසින් අපද්‍රවය බැහැරලීම, ගිණි තැබීම, ඩ්‍රෝන කැමරා භාවිතය, උද්‍යානය තුළ ක්‍රියාත්මක පරිපාලන නීතී රීති උල්ලංඝනය කරමින් ඉබාගාතේ ඇවිදීම හා ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය වැනි ජාතික උද්‍යානයේ වනජීවීන්ට සහ ඔවුන්ගේ වාසස්ථාන වලට හානිකර ක්‍රියාකාරකම් වල යෙදෙන බවට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් නඩු පැවරීම්ද ගණනාවක් සිදුකර තිබේ.

මේ ආකාරයෙන් උද්‍යානයට හානි සිදුවීමට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්ද ගොනුකර ඇති අතර නීතිපතිවරයා විසින් උද්‍යානය තුළ කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018 (KDP) හා 2019 නොවැම්බර් 13 දිනැති බේරුම්කරණ නියමයන්ද ඉදිරිපත්කර ඇත. කෙසේ නමුත් එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කටයුතු උද්‍යානයට හානිකර අන්දමින් අත්තනෝමතික ආකාරයට සිදුකරගෙන යාමට අමතරව මේ වන විට සෑම මසකම පළමු අඟහරුවාදා දින විශාල ජන සහභාගීත්වයකින් යුතුව මාසික දේව මෙහෙයක් පැවැත්වීමට උද්‍යානය තුළට පිවිසීමට දේවස්ථානයේ ලෝගුධාරීන් කටයුතු කිරීම නිසා ඉදිරියේදී විල්පත්තුව ජාතික උද්‍යානය කබලෙන් ලිපට වැටීමේ අවධානමක් උද්ගතව තිබේ.

මෙතෙක් කලක් එම තත්ත්වය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත්වරයා මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් එළැඹෙන මාර්තු මස සිට මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක පොරොන්දුවී ඇති බවත්, එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට දැනට විශ්‍රාම පූර්ව නිවාඩු ගොස් සිටින උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බවත් අසන්නට ලැබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වන උයන රැකගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති බව අප අමතක නොකළ යුතුය. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ වනජීවී නිලධාරියෙකු මුල් වරට රාජකාරි අතරතුර මරණයට පත්ව ඇත්තේද විල්පත්තුව ජාතික උද්‍යානය තුළදීය. ඒ 1957 ජූලි මස 04 දින වනජීවී නියාමක කේ. මැණික්රාල මහතා වලසෙකුගේ ප්‍රහාරයෙන් මරණයට පත්වීමය. 1985 මැයි 14 වන දින විල්පත්තු ජාතික උද්‍යානයේ මූලස්ථානයේදී ත්‍රස්තවාදීන් විසින් නිලධාරීන් 24 දෙනෙකු සමූලඝාතනය කරන ලද අවස්ථාව එක් ස්ථානයකදී වැඩිම වනජීවී නිලධාරීන් ප්‍රමාණයකුට දිවි අහිමිවූ අවස්ථාව ලෙස ඉතිහාසගතවී තිබේ. ඊට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා සහ බෝම්බ පුපුරුවා වනජීවී නිලධාරීන් සත් දෙනෙකු ඝාතනය කර ඇත. තවද දඩයක්කරුවන් විසින් වෙඩි තබා වනජීවී නිලධාරීන් දෙදෙනෙකු සහ පහරදී එක් අයෙකු මරා දමා තිබේ. එමෙන්ම රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීමකින් ද එක් නිලධාරියෙකු මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට එක් වනජීවී රක්ෂිතයක් රැකගැනීම සඳහා වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් දිවි පූජාකර ඇත්තේ විල්පත්තුවේය. එම සංඛ්‍යාව 36 කි.

එසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය දිවි පුදා රැකගත් විල්පත්තුව ජාතික උද්‍යානයට කිසිඳු පාලනයකින් තොරව මාසිකව මිනිසුන් දහස් ගණනකට ඇතුළුවිය හැකි ආකාරයෙන් අවබෝධතා ගිවිසුමක් මගින් අවසර ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම මත කටයුතු කරන්නේ නම් එය සංරක්ෂණයට හිතැති කුමන හෝ ආගමක් අදහන පුද්ගලයෙකුට අනුමත කළ නොහැක. තවද මෙහි දිගුවක් වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා එක් දුරකථන ඇමතුමකින් පරිසර අමාත්‍යාංශයට කැඳවා විමර්ශන නාඩගමක් මගින් ඔවුන් බියට පත්කිරීමට දරා ඇති තැතද ජුගුප්සාජනකය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ‘ඇත් දළයක් හෝ වෙහෙර විහාර වලට පුජා කළ නොහැකි නම් තමන්ගේ අමාත්‍ය පට්ටමෙන් පලක් නැතැයි’ කී වනජීවී විෂයභාර අමාත්‍යවරුන් මෙරට සිටි බව සැබෑය. නමුත් දහසක් පුරාජේරු දොඩවා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේද එවැනි හීනමානකාරයින්, මොළේ අමාරුකාරයින් සිටිත් නම් එය ‘පුනරුද යුගයක්’ පැතූ ජනතාවට සිදුවූ දෛවයේ සරදමක් වැනිය.

 

එබැවින්,

ශු. අන්තෝනි මුනිඳුනි,

මේ හීනමානකාරයින්, මොළේ අමාරුකාරයින්ගෙන් විල්පත්තු වන උයන රැකදෙනු මැනවි!

“මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි, එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ බවට පත්කර තිබේ”

මැතිව් 21:12-13

 වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? 



විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. නමුත් බලයට පැමිණ මසක් යන්නටත් ප්‍රථම එම ප්‍රතිපත්තිය අවිද්‍යාත්මක, අත්තනෝමතික හා අමනෝඥ ආකාරයෙන් වෙනස්වීම දෛවයේ සරදමක් වැනිය. දිවයිනේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් රංචු ඉතා දුර බැහැර පිහිටි වනජීවී රක්ෂිත වලට පලවාහැරීම ඊට කදිම නිදසුනකි.   

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බිහිවූ දා සිට මේ දක්වාම අලි ඇතුන් සංරක්ෂණයේ හා අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ පදනම වූයේ එම දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. නමුත් වසර 60 කට අධික කාලයක් තිස්සේ දැරූ එම උත්සාහයන්ගෙන් පසුව, අද වන විටත් වන අලි වාසභූමි වලින් 70% ක්ම ව්‍යාප්තවී ඇත්තේ සාමාන්‍ය ජනතාව නේවාසික ප්‍රදේශවලය. එමගින් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රවේශයක් බව පෙන්නුම් කෙරෙන අතර සමහර අවස්ථාවලදී වනජීවී නිලධාරීන්ට තම ජීවිත පවා අහිමි කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දශක ගණනාවක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයක්  දැරුවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට අපොහොසත් වීමට හේතුවී ඇත්තේ අලි ඇතුන්ගේ හැසිරීම් රටාව සහ ඉසිළුම් ධාරිතාවය සම්බන්ධ ගැටළු ඇතුළු ජීව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක කරුණු ගණනාවකි.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකර තිබේ. එබැවින් අලි-මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස එම ක්‍රමෝපායම යොදාගැනීමට වත්මන් රජයද කටයුතු කිරීම රෑ වැටුණු වලේ මහා දවාලේද ඇද වැටීමට උත්සාහ කිරීමක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.

වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් හාරසියයක් පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි.

එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමි වලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පලවාහැර මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුනේ වරක් දෙවරක් නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගේ ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින්ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි-මිනිස් ගැටුමට දායකවන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි-මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි-මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිතවූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කිරීම සුලභව දක්නට ලැබේ.

තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම්  සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි-මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි-මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම් වලට ඇතුළුවීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි-මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

එසේ තිබියදී වර්තමාන රජයද අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ නාමයෙන් අතීතයේ සිදුකළ වැරදි නැවත නැවතත් සිදුකිරීමට පෙළඹීම පුනරුද යුගයේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි පරිසර සංරක්ෂණවේදීන්ට ගැසූ අතුල් පහරක් වැනිය. මින් පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ද ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවා හැරීමට යෝජනා විය. එහිදීද ලියුම්කරු එමගින් සිදුවන ඉහත සඳහන් ව්‍යසනය පිළිබඳව මේ ආකාරයෙන්ම කරුණු දැක්වීය. නමුත් පුනරුද යුගයේ සිදුකරණ බව කී ‘අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන’ ද එම ව්‍යසනයම වීම ජුගුප්සාජනකය.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස 2020 වසරේ සකස් කෙරුණු ‘අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්ම’ විවිධ බාධක මධ්‍යයේ පවා ක්‍රියාවට නැංවීමෙන් යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව 2024 වසරේ අලි-මිනිස් ගැටුමේ වින්දිතයිනේ මරණ සංඛ්‍යාව පහළ වැටීමෙන් පැහැදිළිවේ. එබැවින් වර්තමාන රජය සිදුකළ යුත්තේ තව දුරටත් අඳුරේ අතපත ගාමින් කල් මැරීම නොව, ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර අදාළ ක්‍රියාකාරී සැළැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුළම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා නායකත්වය ගැනීමය.