Friday, June 10, 2016

සුපුන් ළහිරු අපට කියන අලි ඇතුන් සමඟ ජීවිතය
මානවයන් මේ දිවයිනට සංක්‍රමණය වන්නට වසර මිලියන ගණනකට පෙර බොහෝ අෑත යුගවල පවා අලි ඇතුන්, සිංහයන්, කොටින් පමණක් නොව රයිනෝසිරස්ලාද ඇතුළු තවත් බොහෝ සත්ත්ව කොට්ඨාස මෙබිම වාස භූමිය කොට විසූහ. ඉන් ඇතැම් සතුන් ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් මේ භූමියෙන් තුරන්ව ගිය අතර බහුතරයක් සත්ත්ව වර්ග මෙන්ම තුරුලතාද අපට අහිමි වූයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙනි.
සොබා දහමේ සියලු භෞතික සම්පත් තමාගේ භුක්තියට යටත් කරගත් මිනිස්සු මිහිතලය වනසමින් තමන්ගේ අවසානය ළඟා කර ගනිමින් සිටිති. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යැයි ප්‍රාර්ථනය කොට දවස ආරම්භ කරන ලංකාවේ මිනිස්සු දවසේ ගෙවන සෑම තත්පරයක් පාසාම සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් සිටිති.

අපේ පියවි ඇසට විෂය නොවන කුඩාම සත්ත්ව වර්ගයන්ගේ සිට මිහිතලයේ දැවැන්තයන් දක්වාම අප විසින් ලොවට අහිමි කළ සත්ත්ව කොට්ඨාස බොහෝය. අහසේ පියාසලන කුරුල්ලන්ද, සමනලුද ඒ අතර වෙති. කෙසේ වුවද අද ලංකාවේ වඩාත්ම මිනිසාගේ තර්ජනයට ගොදුරුව සිටින සතුන් අතර ප්‍රමුඛයන් වන්නේ මෙරට අලි ඇත් පරපුරය. අලි ඇතුන් දඩයම් කරන්නන් හා උන් සමඟ සටන් වදින්නන් මෙන්ම ලංකාවේ අලි ඇත් පරපුර මුහුණදී සිටින ඛේදජනක ඉරණම ගැන කම්පාවන සහ ඔවුන්ට ජීවිත දානය ලබා දීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව විමසිල්ලේ පසුවන බොහෝ සත් පුරුෂයෝද ලංකාවේ මෙන්ම විදේශයන්හිද සිටිති.


සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ අලි ඇතුන් සමඟ ජීවිතය එවැනි සාධු ජනයන්ගේ හදවත් ඉතා සංවේදී ලෙස ස්පර්ශ කරන, මෙරට අලි ඇතුන් වර්තමානයේ පත්ව සිටින ඉරණම පිළිබඳව හුදු කම්පා වීමෙන් ඔබ්බට ගොස් අතිශය විද්‍යාත්මකව කරුණු ගෙන හැර පෙන්වා දෙමින් ජනතාවගේ පමණක් නොව වගකිවයුතු පාලකයන්ගේද ඇස් අවදි කරවන කෘතියකි.
අෑත වකවානුවක ලංකාවේ අලි ඇතුන් ගැන සංවේදී මිනිසකු ලෙස අප හැඳින සිටියේ ඉංගී්‍රසි ජාතිකයකු වූ ආර්. එල්. ස්පිට්ල් ‍ෙදාස්තර මහත්තයා. මෑත වකවානුවේ අලින් ගැන අලින්ට විපතක් වන සංසිද්ධියක් ආරංචි වූ විට ඒ පිළිබඳව සුපුන් ලියන ගවේෂණාත්මක විග්‍රහය එළියට එනතුරු ඉව අල්ලා බලා සිටින තැනට සුපුන්
ළහිරු අපව පත්කර තිබුණේය.


සුපුන් ගැන මා දකින්නේ ඔහු ප්‍රශ්නයේ වල්ගයෙන් නොව සමස්තයෙන් අල්ලන ලේඛකයකු වශයෙනි. ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ යැයි කිසිවකුට කියන්නට ඉඩක් නොතබාම සුපුන් සමස්ත ප්‍රශ්නය එහි විවිධ පැතිකඩ ඔස්සේ විදාරණය කරන්නේ අලි ඇතුන් සමඟ ජීවිතය කෘතිය එවැනි පැතිමාන 33ක් ඔස්සේ අලි - ඇතුන් අප රට තුළ මුහුණදී සිටින ඛේදජනක ඉරණමත් බලධාරීන් කළ යුතු, කළ හැකි එහෙත් නොකරන දේ සම්බන්ධවද කරුණු ඉදිරිපත් කරමිනි.
අලි - මිනිස් ගැටුම, සංවර්ධනය තුළ අලි ඇතුන්ගේ ඉරණම, අලි පැටවුන් පැහැර ගැනීම, ජීවිතයෙන් වන්දි ගෙවන දළ ඇතුන්, අලි නිජබිම් සංහාරය, අනාරක්‍ෂිත ළිං සහ වන අලි, දුම්රියට බිලි වන අලි, විදුලි වැට විසඳුමක්ද ආදී සුවිශේෂී මාතෘකා ගණනාවක් ඔස්සේ ලංකාවේ වන අලින් පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැඟීමට සුපුන් සමත් වෙයි. ලංකාවේ අලි ඇතුන්ගේ ප්‍රශ්නය පිළිබඳ ඔබට මතයක් තිබෙනවා විය හැකිය. එහෙත් ඒ මතය ප්‍රකාශ කරන්නට කට අරින්නට පෙර සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ අලි ඇතුන් සමග ජීවිතය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඊට හේතුව මිහිතලයේ දැවන්තයන්ගේ ඉරණම පිළිබඳව ඔබ මෙතෙක් දැරූ මතය තවදුරටත් අරුත් බර වන්නට හේතුවන බොහෝ කරුණු සුපුන්ගේ ග්‍රන්ථයෙහි දිගේලි කොට ඇති බැවිනි.

උදේනි සමන් කුමාර
http://mawbima.lk/1-93483-news-detail.html