Thursday, April 23, 2020

දඩයක්කරුවන්ගේ වර මන්දට බිලිවූ 
නල්ලතන්නියේ කොටි දෙන
(http://www.animalwelfare.lk වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදී)
Image may contain: tree, sky and outdoor
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත වනාන්තර නිවහන කරගනිමින් ජීවත්වන බිළාල පවුලේ විශාලතම සාමාජිකයා වන කොටියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම අසන්න ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්ති නොවේ. දඩයක්කරුවන් විසින් විවිධ ක්‍රම මගින් එම සතුන් ඝාතනය කිරීම් සහ සත්ව කොටස් ලබාගැනීම පිළිබඳ සිද්ධීන් ගණනාවක් ඒ අතර විය. එසේම වෙනත් සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් ඇටවූ මදු වලට හසුවීම නිසා ද අසරණභාවයට පත් කොටින් පිළිබඳව වාර්තාවූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් වනජීවී නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් දිවි බේරා ගත්තද තවත් පිරිසක් අතිශය වේදනාත්මක මරණයකට ගොදුරුවිය. මෙම ශෝකාන්තයේ ආසන්නතම බිල්ල පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ මස්කෙළිය ප්‍රදේශයෙනි.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ දඹේතැන්න කොටසේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියෙකු හසු වී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය. කොටියා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයා විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව පසුදා එනම් 18 දින කොටියා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත භාර පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු කාර්යමණ්ඩලය සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
වයස අවුරුදු 04 ක් පමණ වූ මෙම කොටියා ගැහැණු සත්වයෙකු වන අතර දිගින් අඩි 05 ක් පමණ විය. දඩයක්කරුවන් විසින් අටවා තිබූ කම්බි මදුවට කොටි ධේනුව හසුව තිබුණේ 17 වැනිදා අළුයම් කාලයේය. වතු කම්කරුවන් එම සත්වයාට බිය වී පහරදීමට උත්සාහ කිරීමේදී කොටියා අසල පිහිටි ගසක අඩි 20 ක් පමණ උස දෙබලකට නැග ඇත. කම්බි මද්ද සවිකර තිබූ දිග ලී කැබැල්ල සමග කොටි ධේනුව ගසට නැග ඇති අතර එම ලීය ගසේ දෙබලක සිරවීම නිසා නැවත ගසෙන් බැසීමට නොහැකිව පැය ගණනාවක් කොටියා ගස උඩ සිරවී සිට තිබූ අතර ඒ හේතුවෙන් සත්වයාගේ ඉණ ප්‍රදේශය කම්බියට කැපී දරුණු ලෙස තුවාල වී තිබුණි. නිර්වින්දන එන්නතක් ශරීරගත කිරීමෙන් පසු වනජීවී නිලධාරීන් දැඩි අවධානමක් ගෙන ගසට නැග රැහැන් ගලවා කොටියා ගසෙන් බිමට රැගෙන මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතුකළ නමුත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යාමේදී එම සත්වයා සදහටම දෙනෙත් පියා ගත්තේය.
විද්‍යාත්මකව Panthera pardus kotiya යන නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටි උප විශේෂය මෙරටට ආවේණික වන අතර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් රතු දත්ත ලේඛණයට ඇතුලත්කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට කොටින්ට ඇති බරපලතම තර්ජන සත්ව කොටස් ලබාගැනීම සඳහා දඩයම් කිරීම සහ මිනිස් – කොටි ගැටුම බවයි.
වාර්ෂිකව දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් මේ ආකාරයේ කොටි මරණ සැළකියයුතු ප්‍රමාණයක් වාර්තාවන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා විශාල විය හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි. විශේෂයෙන් මදු වලට හසුවූ කොටින් බේරා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කලද ඒ වන විටත් ඉණ ප්‍රදේශටය මද්ද දැඩි ලෙස තදවීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට දරුණු ලෙස හානි සිදුවීමෙන් එම සතුන් මරණයට පත්වූ අවස්ථා රැසක් වාර්තා වේ.
ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම මෙහි කතානායිකාව මෙන් වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත. උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වය තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.
ඡායාරූප අයිතිය https://www.facebook.com/DWCSrilanka/
සුපුන් ළහිරු ප්‍රකාශ්

Saturday, April 18, 2020


‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ මිත්‍යාවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය බිලිගැනීමට ඉඩ නොතබමු!

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම සඳහා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රකට ජාතික උද්‍යානයක් වන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ හෙක්ටයාර් 3500 ක භූමි භාගයක් ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම ජාතික උද්‍යානයේ දිවිගෙවන අලි ඇතුන් ඇතුළු සෙසු වනජීවීන්ගේ ජීවිත වලට තර්ජන රැසක් එල්ලවීමේ සහ ජාතික උද්‍යනය අවට ගම්මානවල අලි - මිනිස් ගැටුම් උත්සන්න වීමේ අවධානමක් ඇතිවී තිබේ. එසේම අවස්ථා කිහිපයකදී අත්හදා බලා අසාර්ථකවී ඇති අවිද්‍යාත්මක වන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ මෙවලමක් වන ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ සඳහා තව දුරටත් මහජන මුදල් මිලියන දහස් ගණනින් වැය කිරීම මහජන මුදල් නාස්ති කිරීමක් වන අතර එමගින්ද තවදුරටත් මෙරට අලි මිනිස් ගැටුම උත්සන්නවීම නොවැලැක්විය හැකි බව අප අවධාරණය කරමු.
ප්‍රචණ්ඩකාරී වන අලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම මගින් අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට බව පවසමින් මෙරට ප්‍රථම ‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරිකරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2013 වසරේදී පමණ අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙවැනිම එළිමහන් හස්ති සිර කඳවුරක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යැවීමටය. රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමටය.
‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ නමින් පවත්වාගෙන යන මෙවැනි එළිමහන් හස්ති සිර කඳවුරු මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි දරයි. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.
 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.
ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.
හොරොව්පතාන අලි ගාලට ඇතුලත් කෙරුණු අලි ඇතුන් හැටකට වැඩි සංඛ්‍යාවෙන් දැනට එහි ඉතිරිව ඇත්තේ ඉතා අතලොස්සක් පමණක් වන අතර සෙසු අලින්ට කුමක් සිදුවීදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා නොදනිති. නමුත් අලි ගාල තුල අලින් විශාල සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වූ බවද ඊට මෙම අලි ගාල ඉදිකිරීමේදී එතුලට අහම්බෙන් කොටුවූ ඇතින්නක් සහ පැටවෙකුද ඇතුළත්වූ බවද නොරහසකි. තවද මෙම සිර කඳවුරෙන් මිදී පලාගිය අලින් නිසා හොරොව්පතාන අවට ප්‍රදේශවල අලි - මිනිස් ගැටුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ. ඒ අනුව මෙවැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන මගින් අලි ඇතුන් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා කිසිඳු දායකත්වයක් නොලැබෙනබව පැහැදිළිය.
තවද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය වැනි මෙරට ප්‍රකට හස්ති වාසභූමියකින් විශාල බිම් ප්‍රමාණයක් මෙවැනි ව්‍යාපෘතියකට වෙන්කර ගැනීම එහි නේවාසික අලි ගහනයටද මරු පහරක් එල්ල කරයි. මින් පෙර වළව වම ඉවුර ව්‍යාපාරය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වූ අලි ඇතුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් මෙම ජාතික උද්‍යානයට ගාල කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙහි ජීවත්වූ අලි ඇතුන් කුසගින්න සහ විවිධ රෝගාබාධ හේතුවෙන් මරණයට පත්වූබව සියළු දෙනාම දනී. දැනට එහි ඉතිරිව සිටින්නේ එයින් බොහෝ ආයාසයෙන් දිවි ගැටගසාගත් අලි ඇතුන් පිරිසකි. නැවත මේ ආකාරයෙන් අලි ගාලක් සඳහා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ පාරම්පරික හස්ති වාසභූමි උදුරාගැනීම හේතුවෙන් එම සතුන් ආහාර හිඟයට මුහුණදී මරණයට පත්වීම නොවැලැක්විය හැකිය. එසේම මෙම ආහාර හිඟය සහ වාසභූමි අහිමිවීම හේතුවෙන් හොරොව්පතානේ සිදුවුනාක් මෙන් අලි ඇතුන් පෙරටත් වඩා වැඩි සීග්‍රතාවයකින් ගම් වැදීම හේතුවෙන් ජාතික උද්‍යානය වටා ගම්මානවල අලි - මිනිස් ගැටුම් ඉහළ යාමටද මෙම අසාර්ථක ව්‍යාපෘතිය හේතුවේ. වසරකට අලි ඇතුන් පහළොවක් පමණ මෙසේ සිරගත කෙරුණද එමගින් අලි - මිනිස් ගැටුමට කිසිඳු පිළියමක් ලැබී නොමැති බවට දිනෙන් දින ඉහළ යන අලි මිනිස් ගැටුම් සහ එමගින් රටට අහිමිවන අලි - මිනිස් ජීවිත සාක්ෂි දරද්දී පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අඳුරේ අත පත ගාමින් සිටීම විමතියට කරුණකි.
එවැනි පසුබිමක් තුල මහජන මුදල් රුපියල් මිලියන 2000 ක් පමණ නාස්තිකරමින් අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කිරීමට හැකියාවක් නැත. මේ සඳහා මුලින් ලෝක බැංකුව මගින් මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිතව තිබුණද, ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පිළිබඳව අවබෝධවීම හේතුවෙන් පසුව ඔවුන් එය ප්‍රතික්ෂේපකල බව දැනගන්නට ලැබේ. නමුත් එයින්ද පසුභට නොවූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ වනවිට තම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් තම දහදිය මහන්සියෙන් ගොඩනැගූ වනජීවී අරමුදලේ මුදල් මගින් මෙම අසාර්ථක ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නට උත්සාහ දරමින් සිටින්නේ ඔවුන් තුල සැබැවින්ම අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට ඇති උනන්දුව නිසාද එසේත් නැතිනම් කොමිස් කුට්ටි වලට ඇති කෑදරකම නිසාද යන්න ගැටළු සහගතය.
එබැවින් ‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාවට යටවී මහජන මුදල් නිකරුනේ කාබාසිනියා කිරීමෙන් සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය නැවතත් අලි ඇතුන්ට මරු කතරක් කිරීමෙන් වැළකී වඩාත් විද්‍යාත්මක අලි  - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද දවසේ කාර්ය භාරය බව අප අවධාරණය කරමු. දඩබ්බර අලි ඇතුන් සිරකර අලි - මිනිස් ගැටුම යටපත්කර තැබීමට අසාර්ථක උත්සාහයක නිරතවීම වෙනුවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ යුත්තේ තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්‌ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක්‌ වෙත ප්‍රවේශ වීම ය. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සඵලදායක විසඳුමක්‌ හමස්‌ පෙට්‌ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමය. අලි ඇතුන් යනු ශක්‌තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක්‌ බව වටහාගෙන අලි ඇතුන් සංරක්‌ෂණය හා සංවර්ධනය මනා ලෙස ගලපා ගනිමින් ඉදිරියට යාමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය