Thursday, November 27, 2014

මාදුරුඔය සත්ව සංහාරයට වැට බඳින්නේ කවදාද?

maduru-oya-91013
‘මාදුරුඔය’ කියූ පමණින් බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ මහවැලි ජලාශයකි. වනජීවී ලෝලීන්ට ‘මාදුරුඔය’ වැදගත් වන්නේ ජාතික වනෝද්‍යානය හේතුවෙනි. වර්ෂ 1983.11.09 වැනි දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වුණු මාදුරුඔය ජාතික උද්‍යානය මෙරට පිහිටා ඇති ඉතා වැදගත් වනජීවී රක්ෂිතයකි.
පොළොන්නරුව හා අම්පාර දිස්ත‍්‍රික්කවලට අයත්ව පිහිටා ඇති එහි වපසරිය හෙක්ටයාර 59,000 ක් පමණ වෙයි. මෙම ජාතික උද්‍යානය පිහිටුවීමේ මූලික අරමුණක් වූයේ මාදුරුඔය ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශය ආරක්ෂා කර ගැනීමය. එසේම මහවැලි ව්‍යාපාරය මඟින් වාසභූමි අහිමි වූ, වන සතුන්ට අභයස්ථාන සැපයීම අතින් ද මාදුරුඔය අතිශය වැදගත්ය. අලි ඇතුන්ගේ සිට විවිධ වර්ගවල වනජීවීන් රැසකට ද තුරුලතා සමූහයකට ද නවාතැන් සපයනු වස් මාදුරුඔය ජාතික උද්‍යානය ඉටු කරන මෙහෙය අද්විතීයය. පසුගිය කාලයේ මෙරට සිදු කෙරුණු දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයට අනුව මෙරට වනාන්තරවාසී අලි ඇතුන්ගෙන් සියයට තිහක් (30%) නොඑසේ නම් 1751 ක් පමණ දිවි ගෙවන බව අනාවරණය වූ මහවැලි වනජීවී කලාපය තුළ පිහිටා ඇති ප‍්‍රමුඛතම වනජීවී රක්ෂිත අතරින් එකක් ලෙස ද මෙම රමණීය වන උයන සැලකිය හැකිය.

ඒ අනුව මෙම සුවිශාල වන අලි ගහනයේ පැවැත්මට තීරණාත්මක ආකාරයෙන් බලපෑම් කළ හැකි ජාතික වනෝද්‍යානය ද මාදුරුඔය බව කීමෙහි වරදක් නැත. නමුත් මෙම සොබාදහමේ අමිල දායාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාදුරුඔය උළා කන්නට ඉඩ හැර මර නින්දේ පසු වීම ඛේදවාචකයකි. සැබෑ ලෙසම මෙම වන උයන ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ වනජීවී නිලධාරීන්ට මෙම උද්‍යානය වෙත ආ පයින්ම යළිත් ස්ථාන මාරු වීම් ලබා දී කාර්යාලවලට කොටුකර තැබීමට වනජීවී ලොක්කන් කටයුතු කළ ආකාරයද අපට මතකය. ඊට හේතුව, මෙම වන උයන උළා කන දේශපාලන අම්බරුවන්ගේ අතකොළු බවට පත් වීමට එකී වනජීවී ලොක්කන්ට සිදු වීම ද විය හැකිය.

ඒ අතරතුර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට මරු පහරක් එල්ල වීමට තවත් හේතුවක් වී ඇත්තේ ඒ තුළ දිගින් දිගටම සිදු වන යුද හමුදා පුහුණුවීම් බව අවධාරණය කළ යුතුය. එනම් නිල නොලත් වනජීවී අපරාධකරුවන් සේම නිලලත් - ලැයිසන් දඩයක්කාරයින්ගේ ද තිප්පොළක් බවට මාදුරුඔය ජාතික උද්‍යානය පත් වී ඇති බව නොවේදැයි විමසිය යුතුව ඇත.

මාදුරුඔය ජාතික උද්‍යානය තුළ හමුදා පුහුණු කටයුතු පවත්වාගෙන යාම නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ වනජීවීන් ප‍්‍රමාණය දහස් ගණනක් විය හැකිය. ඒ අතර අලි ඇතුන් ද විශාල ප‍්‍රමාණයක් වන බව නොරහසකි. ඒ මන්ද යත් මාදුරුඔය ජාතික උද්‍යාන කෞතුකාගාරය තුළ පුරවා ඇති සියලූම හස්ති හිස් කබල් පාහේ උද්‍යානය තුළ දී හමුදා වෙඩි පහරට ලක්ව මරණයට පත් වූ වන අලින්ගේ වන බැවිනි. එහි ආසන්නතම සිදු වීම වාර්තාවන්නේ පසුගිය 17 වැනි දාය. මාදුරුඔය යුද හමුදා කඳවුරෙහි පිවිසුම අසල දී එහි මුර කුටියක රැඳී සිටි සෙබළෙකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් වන අලියකු බරපතළ තුවාල ලැබූ අතර අරලගංවිල - මහඔය ප‍්‍රධාන මාර්ග අසල වැටී සිටි එම සත්වයා ඉන් පසු මරණයට පත් විය.

මාර්ගයේ ගමන් කරමින් සිට තිබූ අලියා තමන් රැඳී සිටි මුරකුටිය වෙත පැමිණෙතැයි බියෙන් මෙසේ එම සත්වයාට වෙඩි තැබූ බව සෙබළා ප‍්‍රකාශ කර තිබුණි. නමුත් ඒ ආකාරයෙන් වන අලින් එම මාර්ගයේ ගමන් කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර - එසේ ගමන් කරන අලින් හමුවේ සෙබළාට තිබූ එකම විකල්පය වෙඩි තැබීම ද යන්න ද දෙවරක් විමසිය යුතු නැත.



පුරා වසර තිහක් පමණ මෙරට තුළ පැතිරී තිබුණු ත‍්‍රස්තවාදී උවදුර අවසන් කර දමා දැන් වසර කිහිපයක් ගෙවී ගොස් හමාරය. එහි අවසානය සනිටුහන් කරමින් නන්දිකඩාල් කලපුව අසල දී අවසන් වෙඩි මුර තබා මහත් උත්සවාකාරයෙන් යුද අවි නිහඬ කර වසර ගණනාවක් ගෙවී ගොස් තිබිය දී ද තවමත් කාලතුවක්කු මෝටාර් ආදී බර අවි සහ ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් නැ‍ඟෙන බිහිසුණු කඨෝර හඬ මාදුරුඔය වන උයනේ වන සතුන් බියට පත් කිරීම කණගාටුවට කරුණකි. එයින් නොනැවතී එම ගිනි අවි අලි ඇතුන්ගේ සිට ලොකු කුඩා වන සතුන් රැසක් ද තවමත් බිළිගනිමින් සිටීම දෛවයේ සරදමක් වැන්න.

වනජීවී අණ පනත් අනුව වනජීවී රක්ෂිතයක් තුළ සිදු නොකළ යුතු අධික වේගයෙන් රිය පැදවීම, ගිනි අවි භාවිතා කිරීම, වන ජීවීන් ඝාතනය කිරීම වැනි තවත් බොහෝ වන ජීවී අපරාධ තවමත් මෙම වන උයන තුළ සිදු වෙමින් පවතී. ඒවා සිදු කරන වන අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියය. මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ද එය එසේමය. මෙහි යාබදව වෙසෙන ආදිවාසී ජනතාව වෙත පවා තම බල පරාක‍්‍රමය පතුරුවමින් මෙම රාජකාරිය ඉටු කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටිති. එය ගැන අපට ගැටලූවක් නැත. නමුත් එසේ තම පාරම්පරික උරුමයන් සොයා මාදුරුඔය වන උයන වෙත පැමිණෙන ආදිවාසී ජනතාවට එරෙහිව පවා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන වනජීවී නිලධාරීන් ඇස් පනා පිටම උක්ත නිල ලත් දඩයම්කරුවන් විසින් සිදු කරන හිංසනයට වැට බැ`දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ඉකුත් ත‍්‍රස්තවාදී යුද සමය තුළ මෙවැනි විනාශයන් සිදු වුව ද ඉවත බලාගෙන සිටීමට බලධාරීන්ට සිදු වීම කෙසේ හෝ සාධාරණීකරණය කළ හැකි යැයි සිතුව ද වර්තමානයේ දී තවදුරටත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ මේ ආකාරයෙන් ජෛව උරුමයන් කාබාසිනියා කර දැමීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. තවද යටත් පිරිසෙයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති සීමාවන්වත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ක‍්‍රියාත්මක කිරීමට වනජීවියේ මෙන්ම යුද හමුදාවේ ද බලධාරීන් උත්සුක නොවීම සැබැවින්ම ඛේදවාචකයකි.



මාදුරුඔය වනෝද්‍යානය ආශ‍්‍රිතව වන ගත අභ්‍යාසයක් පැවැත් වීම මැයෙන් වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඞී. රත්නායක විසින් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ සේනා විධායකවරයා අමතන වජි/05/02/02/02 (1 වෙළුම) අංක හා 2011.11.09 දිනැති ලිපිය මඟින් පනවා ඇති එකී සීමාවන් පහත පරිදි වේ.

01. ජීවී හෝ අජීවී පතරොම් භාවිතා නොකිරීම.
02. සතුන් හා ඔවුන්ගේ වාසස්ථානවලට හානි නොකිරීම.
03. පැය 18.00 ත් පැය 06.00 ත් අතර කාලය තුළ පුහුණු කටයුතු සඳහා භාවිත කරන වාහන උද්‍යානයට ඇතුල් කිරීම හෝ පිට කිරීම සිදු නොකිරීම.
04. උද්‍යානය තුළ හමුදා වාහන ගමන් කිරීම සඳහා වේග සීමාවන් (20KMH) ලබා දීම.
05. නිල නිවාස හා කාර්යාල පරිශ‍්‍රය ආසන්නයේ පුහුණු කටයුතු වලින් වැළකීම.

අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අදාළ අභ්‍යාස පැවැත්වීම සඳහා අවසර දීමට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නෛතික ප‍්‍රතිපාදන නොමැති වුවත්, අවශ්‍යතාව සලකා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය නොවන පරිදි එම වන අභ්‍යාස පැවැත් වීමට අවසර ලබා දී ඇත. නමුත් ලිපි ගනුදෙනු එසේ වුව ද සැබෑ ලෙසම උද්‍යානය තුළ සිදු වන දෑ මීට වඩා බොහෝ දුක්ඛදායක හා අමිහිරි ඒවා බව අවධාරණය කරමු.

මෙහි පළමු කොන්දේසිය කෙසේ වෙතත් උද්‍යානය තුළ සිදු කෙරෙන පුහුණුවීම් නිසා අලි ඇතුන් ඇතුළු බොහෝ වන ජීවීන් ඝාතනයට ලක් වන බව වාර්තා වන අතර වාර්තා නොවන ප‍්‍රමාණය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව නොකිවමනාය. නිරන්තරයෙන් ඇසෙන පිපිරුම් හඬවල් නිසා උද්‍යානය තුළ වන ජීවීන්ගේ නිහඬ හා සාමකාමී ජීවන රටාවට එල්ල වන්නේ මරු පහරකි. ඒ අතර මෙහි පැවැත්වෙන ‘නොනැසී ජීවත් වීමේ පුහුණු පාඨමාලා’ (Survival training) වලට සහභාගී වන භටයන්ගේ පැවැත්ම සඳහාද ජීවිත කැප කරන වන ජීවීන් ප‍්‍රමාණය සුළු පටු නැත. තව ද වේග සීමා නොතකා උද්‍යානය තුළ ගමන් කරන හමුදා රථවලට ගැටී මරණයට පත්වන වන ජීවීන් ප‍්‍රමාණය ද අල්ප නොවේ.


මාදුරුඔය ජාතික උද්‍යානය වන ජීවීන්ට ආරක්ෂිත නවාතැන් පොළක් ලෙස පවත්වාගෙන යන අතරතුරදීම එම`ගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොළ සැපිරෙන ආකාරයේ සංචාර ආකර්ෂණයක් ලෙස ද පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව නොකිවමනාය. නමුත් ඊටද එරෙහි වී ඇත්තේ අද වන විට ජාතික උද්‍යානය තුළ සිදු වන ආරක්ෂක හමුදාවන්ගේ ක‍්‍රියාකාරකම් බව ද කිවමනාය. උද්‍යානයේ ප‍්‍රධාන කළමනාකරණ සැලැස්මට පවා අන්තර්ගත කර ඇති මාදුරුඔය ජලාශයේ ඳුපතක පිහිටා ඇති අසමසම වන ජීවී කඳවුරු භූමියක් වන දිග්ගල කඳවුරු බිම පවා හමුදාවේ ප‍්‍රධානීන්ගේ සුඛ විහරණය සඳහා අත්තනෝමතික ලෙස වෙන් කර ගෙන තිබේ.

තව ද උද්‍යානයේ වනාන්තරය තුළින් හදිසියේ හමුදා සෙබළුන් ඉවතට පැමිණීමෙන් බියට පත් වූ විදේශීය සංචාරකයන් යළිත් හැරී ගිය අවස්ථා ද එකක් දෙකක් නොවේ. නිතර දෙවේලේ ඇසෙන පිපිරීම් හඬ නිසා, වන සතුන් නිරන්තරයෙන් සැගවී සිටිති. වාහනයක් දුටු සැණින් වන සතුන් වහා වනාන්තරයේ අහු මුලූවල සැ`ගවීම ද මෙහි සංචාරක ආකර්ෂණයට බාධාවකි.

තව ද උද්‍යානයේ තැන තැන දමා ඇති සජීවී පතරොම්වල වෙඩි බෙහෙත් යොදාගෙන උද්‍යානය තුළ දඩයම් කිරීමට ගංජා වගාකරුවන්, ගව පට්ටිකරුවන් ආදී අනෙකුත් වන අපරාධකරුවන් ද කටයුතු කිරීම මෙම හමුදා පුහුණුවේම අනිටු ප‍්‍රතිඵලයකි. උද්‍යානය තුළ ඇති මෙම සජීවී උණ්ඩ ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ද පනවා ඇතත් තවමත් එය ක‍්‍රියාවට නැඟී නොමැති බව උද්‍යානය තුළ භෘණ වැව අසල ගොඩ ගසා ඇති ලක්ෂ ගණනක් සජීවී හා අජීවී පතරොම් දෙස් දෙයි. මෙයින් ඇහිදගනු ලැබූ සජීවී පතරොම් උණ්ඩ මතක සටහන් ලෙස හෝ වෙනත් විවිධ පරමාර්ථ වලින් ඇතැමුන් රැගෙන ගිය අවස්ථා සහ ඒවා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථා ද බොහෝය. එය රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයකි.


මේ සම්බන්ධයෙන් මහඔය පොලිසිය මඟින් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත්වරයාට පැමිණිලි කරන ලදුව එම සජීවී පතරොම් ඉවත් කරන ලෙස උක්ත නියෝගය ලබා දී දැන් සැලකිය යුතු කලක් ගත වී ඇත. මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල මඟින් උද්‍යානය තුළ විශේෂ බළකායේ හා යුද හමුදාවේ පුහුණු කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. කොටගස්වල ඉංජිනේරු බළකා පුහුණු කටයුතු ද නොකඩවාම සිදු වෙමින් පවතී. පසුගිය යුද වාතාවරණය 2009 වසරේ අවසන් වීමෙන් පසුව තොප්පිගල වැනි ප‍්‍රදේශයකට මෙම වනගත අභ්‍යාස විස්ථාපනය කිරීමට ඕනෑ තරම් අවකාශ තිබේ. එසේ තිබිය දී පාරිසරික වශයෙන් ඉතා වැදගත් මාදුරුඔය ජාතික උද්‍යානය මේ සඳහා තවදුරටත් යොදාගැනීම කිසිදු ලෙසකින්වත් සාධාරණීකරණය කළ යුතු නැත. එබැවින් මෙම සොබා උරුමය ආරක්ෂක හමුදාවේ කටයුතු සඳහා භාවිතයට ගෙන ස්වභාවික සම්පත් වැනසීයාමට ඉඩ හැරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ද යුතුකම හා වගකීම නොවන බව ලියා තැබිය යුතුය.

No comments:

Post a Comment