Wednesday, January 19, 2022

අලි-මිනිස්  ජීවිත වනසන අලි අගල් ප්‍රෝඩාව පිටු දකිමු!


ශ්‍රී ලංකාව අලි-මිනිස්  ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවට පමණි. අප මේ ගෙවා දමන සෑම දිනයකම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියෙකු අකාලයේ මරණයට පත්වේ. තවද ගතවන සෑම සතියකම මිනිස් ජීවිත දෙකකට වඩා අලි-මිනිස්  ගැටුම් හේතුවෙන් රටට අහිමිවේ. මෙම වනජීවී-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ විශාල පාරිසරික, සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබුණද එය අවමකිරීම සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අප මෙතෙක් සමත්ව නැත. ඒ වෙනුවට සිදුවන්නේ යල් පැනගිය අසාර්ථක අලි-මිනිස්  ගැටුම් කළමනාකරණ ක්‍රමවේද වෙනුවෙන් මහජන මුදල් කෝටි - ප්‍රකෝටි ගණනින් මකර කටට යැවීමය. වන අලින් සහ අසරණ ග්‍රාමීය ජනතාව තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමය. ඒ සඳහා බලධාරීන් යොදාගනිමින් සිටින අලුත්ම ප්‍රෝඩාව අගල් කැපීම බව අප අවධාරණය කරමු.

වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස්  ගැටුම් කළමනාකරණය නම් පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථය අයත් වෙන්නේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටය. එහි අමාත්‍යවරයා වන්නේ විමලවීර දිසානායක මහත්තයාය. ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාය. නමුත් ඔවුන්ගේ දැනුම් තේරුම් පරාසය අනුව ඔවුන්ගේ බුද්ධියට ගෝචරවී ඇත්තේ ඔය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයෙන් ‘අලිවැට හා අගල්’ පමණක් බව කීමෙහි වරදක් නැත. ඊට අමතරව ඒ පුහුදුන් මොළ ගෙඩි වලට අලුත් යමක් කල්පනාවී නම් ඒ ‘බැම්ම ගැහිල්ල’ ය. අලි-මිනිස්  ගැටුම අවමකිරීම අන්තර් ආයතන සහයෝගයෙන් සිදුකළයුතු සාමූහික ක්‍රියාවක් බව අබැටක් තරම් වත් මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. නමුත් ඒ බව නොවැටහෙන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විශ්වාසය තබන්නේ භෞතික බාධක කෙරෙහිම පමණි. ඔවුන් තමන්ගේ පටු දැනුම් පරාසයෙන් සිතා මේ වනවිට වන අලින් ජීවත්වෙන ජාතික උද්‍යාන වටා අගල් හැරීමට බිංකුන්ඩන්ට වඩා උනන්දුවකින් කටයුතු කරමින් සිටිති. එය ඉකුත් දෙසැම්බර් පළමුවැනිදා විල්පත්තු ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමෙන් ආරම්භ කෙරුණේ උත්සවාකාරයෙණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද අලි-මිනිස්  ගැටුම් කළමනාකරණය යනු පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයක් යන්න තඹ සතයකට මායිම් නොකර ‘ගොනා සේ’ දේශපාලන අධිකාරියේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් සිටී. මේ වන විට ලාහුගල ජාතික උද්‍යානයේ බටහිර මායිමේ සහ උඩවලවේ ජාතික උද්‍යානයේ දකුණු මායිමේද අගල් කැණීම් සිදුවෙමින් පවතී. තවද ලුණුගම්වෙහෙර, වස්ගොමුව සහ මාදුරුඔය ජාතික උද්‍යාන වල  මායිම් අගල් කැණීම සඳහා තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මින් පෙරද අවස්ථා ගණනාවකදී අගල් ඉදිකර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට දැරූ ප්‍රයත්නයන් සාර්ථකවී නැති බව හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා අවධාරණය කරයි. ඔහු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් පත්කළ අලි-මිනිස්  ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයෙකි.

“පැල්වත්ත සීනි සමාගමට අයත් වගා ඉඩම් වලට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ සිට අලි ඇතුන් ඇතුළුවීම වැලැක්වීම සඳහා සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව කත්නොරුව ප්‍රදේශයේ අලි-මිනිස්  ගැටුම් අවමකිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි වැට සමඟ ඒකාබද්ධව අගල් අත්හදා බැලූ නමුත් එය අකාර්යක්ෂම බව පැහැදිළි වුණා. පුත්තලම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් හිමියන් අගල් අත්හදා බලා ඇතත් එයද සාර්ථක වී නැහැආචාර්ය පිලපිටිය සාක්ෂි සහිතව පෙන්වා දෙයි.

අම්පාර ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක අලින් කසළ අනුභව කරන බවට විදෙස් මාධ්‍යක් මගින් ප්‍රචාරය වීමත් සමග රේඛීය විෂයභාර රාජ්‍ය අමාත්‍යාංශය එම ප්‍රදේශය වටා අගල් ඉදිකිරීමට නියෝග කළ බව ඔහු පවසයි. මෙම අගල් පිහිටුවා දින කිහිපයක් ඇතුළත අලි ඇතුන් නැවත කුණු කෑමට පැමිණ ඇත. එබැවින්, අලි -මිනිස් ගැටුම් අවම කිරීමට අගල් අසමත්වී ඇති බව අපට පිළිගැනීමට සිදුවන බව ආචාර්ය පිලපිටිය අවධාරණය කරයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ අලි-මිනිස්  ගැටුම අවම කිරීමට මුවාවෙමින්, වනජීවී රක්ෂිත වලින් ස්වභාවික සම්පත් කොල්ලකෑමට අගල් යෝජනා කරන්නේද යන සැකය මතුවන බවය. දැනට ලැබී ඇති තොරතුරු අනුව ජාතික උද්‍යාන මායිම්වල සිට සැතපුමක ස්වාරක්ෂක කලාපය තුළ අගල් කැණීමට අවසර ලබාදී ඇත්තේ තමන්ගේ වියදමින් අගල් කපා ඒවායේ පස් පෞද්ගලික පාර්ශ්වවලට ලබාගැනීමට හැකිවන පරිදිය. මෙම පෞද්ගලික පාර්ශ්ව තෝරා ගැනීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් නොමැති බව ද පෙන්වා දෙන ආචාර්ය පිලපිටිය මහතා ඒ අනුව මෙම කුප්‍රකට ප්‍රයත්නයේ ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න තමන්ට සිතාගත හැකි බවද පැවසීය.

වර්තමාන ආණ්ඩුවට වැලි - ගල් - පස් කැණීම්කරුවන් සමග ඇත්තේ අවියෝජනීය බැඳීමක් බැවින් එම උනන්දුව සැබැවින්ම විමතියට කරුණක් නෙවන බව ලියුම්කරුටද සිතේ.

“මට ඇති ලොකුම කනස්සල්ල තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජෛව විවිධත්ව සංරක්ෂණය භාර අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව වනජීවී රක්ෂිත වල ස්වාරක්ෂක කලාපවලින් ස්වභාවික සම්පතක් (මෙම අවස්ථාවෙහි පස) නිස්සාරණය කිරීම නීත්‍යානුකූල කිරීම. අලි-මිනිස්  ගැටුම් අවම කිරීම සඳහා බාධකයක් ලෙස අගල් අකාර්යක්ෂම බව ශ්‍රී ලංකාවේ පෙර අත්දැකීම් පෙන්නුම් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව මගින් සකස්කළ ක්‍රියාකාරී සැලැස්ම මෙම අදහස් ශක්තිමත් කරන බැවින්, මට නිගමනය කරන්න වෙන්නේ මෙය ජාතික උද්‍යාන වලින් පස් ජාවාරම් කිරීම සඳහාම අමාත්‍යාංශය මූලිකත්වයගෙන නිර්මාණය වූ දූෂිත පෙරමුණක් බවයි.” ආචාර්ය පිලපිටිය මහතා වැඩි දුරටත් පැවසීය.

මෙරට සිටින අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ “අලි ඇතුන්ට බාධකයක් ලෙස අගල් කැපීම සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ විශාල ශරීර බර හේතුවෙන් පාද වලට එල්ලවන බලපෑම නිසා අලි ඇතුන් බාධක හරහා පැනීම සිදු නොකරන බව උපකල්පනය කරමින්. එමනිසා අගලකට මුහුණ දෙන විට, අලි ඇතුන් එය හරහා දිගු පියවර තබා ඇදී ගමන් කිරීමට උත්සාහ කරනවා. දිගු පියවර තබා එය හරහා ගමන් කිරීමට නොහැකි තරම් පළල් අගල් ඇති විට ඔවුන් එක් පසෙකින් ඒ තුලට බැස අනෙක් පසින් ඉවුරට ගොඩවී යාමට උත්සාහ කරනවා. ඒ නිසා අලි බාධක ලෙස අගල් තැනීමේ මූලධර්මය තමයි, අලියෙකුට දිගු පියවර තබා එගොඩට යෑමට නොහැකි තරම් පළල හා අලියෙකුට ඇතුළුවීමට නොහැකි තරම් පටු වීම. නමුත් අලි ඇතුන් විවිධ ප්‍රමාණයෙන් වන අතර සියල්ලන්ටම ගැලපෙන පළලක් සොයාගැනීම දුෂ්කරයි” යනුවෙනි.

පාංශු තත්ත්වයන්හි විචලනය, පාෂාණමය උපස්ථරයක් තිබීම වැනි කරුණු නිසා දිගු දුරක් අගල ඉදිකිරීම දුෂ්කර ය. අගල් මගින් මතුපිට ජලය බැස යෑමට ද බාධා ඇති විය හැකි අතර එමගින් වාරි ජලය සැපයීම සම්බන්ධ ගැටළු ඇති විය හැකිය. මීට අමතරව මහා මාර්ග, ජල මාර්ග ආදිය හරහා අගල් තැනීමට නොහැක. අගල් පද්ධතියේ ඉතිරිව ඇති එවැනි ඕනෑම අවසරයක් හරහා අලි ඇතුන් ගමන් කරනු ඇත. තවද අගල් මගින් වෙනත් සතුන් ගමන් කිරීමට ද බාධා ඇති කරන බැවින් එමගින් අලි ඇතුන් පාලනයට වඩා පුළුල් බලපෑමක් ඇති කරන බව ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේද මතයයි.

අගල් වල ඇති විශාලම ගැටළුව නම් වැසි සමයේ ජලය පිරී තිබීම සහ එමගින් ඉවුරු බිඳී යාමයි. අලි ඇතුන් ද අගල් දෙපසට බර තබා සක්‍රීයව ඉවුරු බිඳ දමනු ලබයි. අලි ඇතුන්ට ලිස්සා යාමෙන් ඉතා තීව්‍ර බෑවුමකින් පවා පහළට ගමන් කළහැකි අතර එවන් බෑවුම් දණ ගසමින් ඉහළට නැගීමද කළ හැකිය. කොන්ක්‍රීට් ඇතිරීම මගින් අගල් දෙපස ඉවුරු ස්ථාවර කර ඉවුරු බිඳීම වලක්වා ගත හැකිය. කෙසේ වෙතත්, එවැනි ස්ථායීකරණයක් ඉතා මිල අධික විය හැකි අතර කිලෝමීටරයකට රුපියල් මිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. ඉවුරු ස්ථාවර කිරීම සඳහා විවිධ ක්‍රම හෝ ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් අගල් වඩාත් ලාභදායී කිරීම කල හැකි දැයි සොයා බැලිය හැකිය. එබැවින් අගල් විශේෂීකරණයන් අත්හදා බලා නියමු පරිමාණයෙන් පරීක්ෂා කර ඵලදායී යැයි පෙනේ නම් අලි-මිනිස්  ගැටුම් අවමකිරීම සඳහා යොදාගතයුතු බව ආචාර්ය ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

නමුත් කණගාටුවට කරුණ නම් බලධාරීන් මේ අවිචාරවත් අගල් ඉදිකිරීම සිදුකරන්නේ එවන් කිසිඳු අත්හදාබැලීමක්, නියමු ව්‍යාපෘතියක් සිදු නොකර වීමය.

අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ නියෝග මත 2020 ජූලි 22 දින ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මසකස් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කෙරිණි. අප ඉහත සඳහන් කළ පරිදිම අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කමිටුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසක් ඇතුලත් විය. ඔවුන් විසින් සකස් කෙරුණු සැලැස්ම 2020 දෙසැම්බර් 17 දින ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇත. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් එමගින් යෝජනාකර ඇති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් දැනට වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් එම සැලැස්ම හමස් පෙට්ටියේ සඟවා ඇත. 1959 වසරේදී වනජීවී ආරක්ෂණ කමිටුවපත් කිරීමෙන් පසු විද්වත් කමිටුවක් පත්කර ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් ලෙස අප එකල හැඳින්වීමු. මෙරට අලි-මිනිස් ගැටුම අවමකරගැනීමට ජනාධිපතිවරයාට ඇති සැබෑ අවශ්‍යතාවය එමගින් පිළිබිඹු විය. නමුත් ඉන් පහළ සිටින සියලු දේශපාලන අධිකාරීන්ට සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු වලට එකී සැබෑ අවශ්‍යතාවය නොමැති බව පැහැදිළිය. අලි-මිනිස්  ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම වෙනුවට ඔවුන් මූලිකත්වය දී ඇත්තේ එය ‘තිරසාර ගැහිල්ල’ ක් බවට පත්කර ගැනීමටද යන්න විමසිය යුතුය. අලි-මිනිස් ගැටුම අවමකරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත සහ දේපොළ රැසක් රටට අහිමිකරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ මොහොතේද ජාතික උද්‍යාන වල පස් ටිකකත් වැඩය දීමට දත කෑමෙන් ඒ බව මොනවට පැහැදිළි වේ.

එබැවින් අලි-මිනිස් ජීවිත වනසමින් මඩි තරකරගන්නා සුදු කරපටි ජාවාරම්කාරයින් පෙන්වන මංමුලාවල නොගොස්, මෙරට අලි-මිනිස් ගැටුමෙන් බැටකන සුවහසක් ජනතාවගේද අසරණ අලි ඇතුන්ගේද ජීවිත වලට සහනයක් සැලසීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ඇතිකර ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මහා පොළොවේ යතාර්ථයක් බවට පත්කර ගැනීම රට හමුවේ ඇති අභියෝගය බව ලියා තබනු කැමැත්තෙමි.

Elephant home range destruction in North western wildlife region ...

About 40 acres of forest lands belonging to Devagiripura Rajamaha Viharaya is being damaged for a commercial agriculture venture in Devagiripura Grama Niladhari Division in Galgamuwa Divisional Secretariat division of Kurunegala District in the North Western Province. This forest acts as an elephant corridor to move elephants from Palukadawala to Tabbowa sanctuary along Galgamuwa - Tekkawattha forest. Other than destroying the forest a trench was constructed crossing the corridor.  

Before reporting this deforestation some forests belonging to two ancient temples in Galgamuwa have been damaged for the same kind of large scale agricultural ventures and there was no legal action taken. The forest lands belonging to Nakolagane Rajamaha Viharaya and Thorawamayilawa Rajamaha Viharaya have been destroyed. The forest lands in the catchment of the Palukadawala reservoir which belong to Nakolagane Rajamaha Viharaya was a leading elephant home range in the area and forest lands around Thorawamayilawa rajamaha viharaya act as corridor of the elephants to move from Thabbowa and Galgamuwa to Inginimitiya was also destroyed. As a result of the silence of relevant authorities, the latest victim was the recently damaged elephant corridor belonging to Devagiripura Rajamaha Viharaya.

Nearly 90% of free range elephants in the Northwestern wildlife administrative region live outside the protected areas and they use this kind of forest patches for their survival and as moving paths. Therefore, it is essential to protect such forests to mitigate HEC and elephant conservation in the area. Thabbowa and Kahalla- Pallekele sanctuaries and Welpattu national park are the only 3 protected areas in this region administered by the Department of Wildlife Conservation. A lot of attempts were made to drive these elephants into above-mentioned protected areas and fences up. But up to date it is impossible. These elephants use the forested lands belonging to both government and private entities for their survival. However, encroachments by individuals and lease for the large scale businessmen of these forest lands is accelerated during reason time.

The “National Human- elephant Conflict mitigation action plan” also emphasizes the importance of protecting elephant- home range outside the protected areas for long term conservation of elephants and mitigation of HEC. However, the action plan was pigeonholed for more than a year and encroachments are going on without any hesitation. Furthermore all these deforestation are against the law of the country and violate the provisions given by the North Western Province Environmental Statute No. 12 of 1990, the National Environmental Act No. 47 of 1980, and the Antiquities Ordinance No. 09 of 1940.  

If the necessary steps are not taken to protect these forests where elephants have lived for a long time they wouldn’t have any alternative other than invasion of the villages and HEC will be escalated. Without solving the problem sustainably the government plans to drive the elephants to Wilpattu National Park as discussed in the “Gama Samaga Pilisandara” in Karuwalagaswewa. If the government tries to drive the elephants in this area to the Wilpattu National Park it will again escalate the problem and affect the conservation of elephants once again.

All previous attempts to drive elephants live out of the protected areas to wildlife protected areas were completely failed. It was repeatedly practiced in the North Western wildlife administrative region, too. A number of attempts were made to drive the elephants to Thabbowa and Kahalla- Pallekele sanctuaries and Wilpattu National Park over the post decades. But still the majority of elephants in the area are living outside the protected areas. The Department of Wildlife Conservation had taken a policy decision, to discontinue large scale elephants after considering issues raised after driving more than 300 elephants from Walawa left bank area to Lunugamwehera National Park in 2006.

Researchers and also the DWC know that only the elephant herds consist of females and calves which are not problem causing. They have been chased away for long distances and many elephant calves die on the way due to lack of water and exhaustion. The herds restricted to the protected areas and fenced up also face a lot of difficulties after the drives and starve to death as the final result of the elephant drives. The elephant population living already inside the protected areas also get affected as they have to compete with new comers for food. Therefore, it is adversely affected in elephant conservation in Sri Lanka. The problem-causing adult males are difficult to drive away and they escape when the drives take place. Just after the drive they return to the same locations and continue the damages to lives and properties. Furthermore, the young males in the herds repeatedly face such drives, get adapted to human pressures such as fire, loud noises, elephant crackers, and even gunshots and become more aggressive towards the human; therefore the human elephant conflict will be escalated.

We really appreciate efforts made by HE in preparation of the “National Human- elephant Conflict mitigation action plan” which was prepared by a multi stakeholders committee consist with field experts, university lecturers, relevant department heads including wildlife, forest, agrarian services, and irrigation, as well as district level administrative officers in the areas where the HEC is worst. Now there is no need to be blind and the only thing that the government has to do is implement the action plan as it is.


Supun Lahiru Prakash

Convener - Biodiversity Conservation and Research Circle


වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!


වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා භයානක ලෙස උත්සන්න වීමේ අවධානමක් පැනනැගී තිබේ.

වයඹ පළාතේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩමක පිහිටි අක්කර 40ක පමණ වනාන්තර ප්‍රදේශයක් මේ ආකාරයෙන් මහා පරිමාණ පේර වගා ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා මේ වන විට වනසා දමමින් තිබේ. ඒ සඳහා විශාල අගලක්ද ඉදිකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර එමගින් පාලුකඩවල ජලාශය ආශ්‍රිත වනාන්තර කලාපයේ සිට ගල්ගමුව තේක්ක වත්ත හරහා තබ්බෝව අභයභූමියට අලින් සංක්‍රමණය වන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් ඉදිරියේදී මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා බරපතල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකිය.

වයඹ වනජීවී කලාපයට අයත් වන අලි වාසභූමි වලින් වැඩිම ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර මෙසේ වනසා දමමින් සිටින්නේ එවැනි වන අලි වාසභූමි සහ අලිමංකඩය. නමුත් මේ දක්වා ඒ පිළිබඳව බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් මෙම ප්‍රදේශයේ හස්ති වාසභූමි වනසා දමමින් සිදුකෙරෙන මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති විශාල ගැටළුවක් බවට පත්ව තිබේ.

මින් පෙරද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාමසේවා වසමේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුව, මහනාන්නේරිය, තෝරවමයිලෑව, තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නින්දගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික සමාගම් වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කලෝය. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයක්ද ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීම සිදු විය. එම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ. තවද තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු එවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදෙමින් විහාරාධිකාරීන් තම මඩි තරකර ගැනීමේ දිගුවක් ලෙස දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර ඉඩම් විනාශය හැඳින්විය හැකිය.

මෙවැනි හේතු නිසා දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමට සැලසුම් සකස් කිරීම හැර එම අලි මිනිස් ගැටුමේ රෝග නිධානය හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැත. ඉතා ශක්තිමත් ආරක්ෂක උපක්‍රම යොදා ගනිමින් මේ ආකාරයෙන් ප්‍රදේශයේ වන අලි වාසභූමි තුල ක්‍රියාත්මක වගා ව්‍යාපෘති නිසා වන අලින්ට ජීවත්වීමට සහ ඔබමොබ ගමන් කිරීමට අවශ්‍ය වාසභූමි සහ අලි මංකඩ අහිමි වීමෙන් ප්‍රදේශයේ අලි - මිනිස් ගැටුම ඔඩු දිවීම නොවැලක්විය හැකිය. ගම්මාන වලට ඒ ආකාරයෙන් ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වීමෙන් අලි ඇතුන් ගම්මාන සහ ගොවිබිම් හරහා ගමන් කිරීමට පෙළඹීම සහ ආහාර සපයාගැනීම සඳහා වගාබිම් සහ ගෙවතු ආක්‍රමණය කිරීම ස්වභාවිකය.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට අණුවක් පමණම දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ආකාරයෙන් තබ්බෝව සහ කහල්ල – පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස වයඹ වනජීවී කලාපය සැලකේ. එම තත්ත්වය වැලැක්වීම සඳහා ග්‍රාමීය විදුලිවැට සහ කාලීන කුඹුරු විදුලි වැට වැනි ප්‍රජාමූල ක්‍රමවේද ඔස්සේ මහත් පරිශ්‍රමයක් දැරීමට මෙම ප්‍රදේශයේ අසරණ දුප්පත් ගොවි ජනතාවට සිදු විය. එමගින් මේ වනවිට වයඹ වනජීවී කලාපයේ අලි - මිනිස් ගැටුම් කළමනාකරණය යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙනද ඇත. නමුත් එම සාර්ථකත්වයද අහිමි කරමින් සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිල්ලට දෙමින් ව්‍යාපාරිකයින් අතලොස්සක් සහ බෞද්ධ ස්වාමීන්වහන්සේ මේ ආකාරයෙන් හැසිරීම ජුගුප්සාජනකය.

එසේම මේ ආකාරයෙන් මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති ප්‍රදේශයේ ව්‍යාප්ත වීමෙන් ජනතාව පීඩාවට පත්වන්නේ අලි - මිනිස් ගැටුමෙන් පමණක් නොවේ. වාණිජ්‍ය වගාවන් සඳහා ප්‍රදේශයේ භූගත ජලය මහා පරිමාණයෙන් ලබාගැනීම හේතුවෙන් ජනතාවට ජල හිඟයට මුහුණදීමට සිදුවීමද තවත් ගැටළුවකි. ඊට කදිම නිදසුනක් ලෙස නාකොලගනේ ප්‍රාථමික විද්‍යාලය අසල තිබුණු නල ලිඳට මේ වන විට අත්වී ඇති ඉරණම දැක්විය හැක. එම ප්‍රදේශයේ අඹ වගා ව්‍යාපෘති සඳහා මහා පරිමාණයෙන් ජලය ලබාගැනීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම පාහේ සැපයූ එම නල ලිඳ මේ වන විට සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවී තිබේ.

 

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මීට අමතරව මෙම පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය.

තවද කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පලාත තුළ ක්‍රියාත්මක වන විශේෂ පාරිසරික නීතියක් වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

පාරිසරික අණ පනත්වලට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය