Sunday, October 30, 2022

කොටි - මිනිස් ගැටුමක් මවා සිදුකරන

කඳුකරයේ මහා බිළාල සංහාරය ...

ශ්‍රී ලංකාවේ කොටියන් පිළබඳව අපට මෑත කාලීනව අසන්න දකින්න ලැබෙන්නේ හිතකර පුවත් නොවේ. මෙසේ කොටින් පිළිබඳව වැඩිපුරම පුවත් මෑත කාලීනව අසන්න ලැබෙන්නේ මෙරට මධ්‍යම කඳුකරයෙනි. නමුත් ඉකුත් සතියේ එම භීතිකාව බස්නාහිර පළාතේ මායිමටද පැමිණියේ ගම්පහ, අත්තනගල්ලට නුදුරු ඇතාඋඩකන්ද ප්‍රදේශයෙන් වාර්තාවූ සැකකටයුතු සිදුවීමක් සමගය. ඒ බොහොමයක අවසානයේ සිදුව තිබුණේ කොටියා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම වුවද බොහෝ දෙනෙකු මේ සංසිද්ධීන් හැඳින්වුයේ කොටි - මිනිස් ගැටුම් ලෙසය. නමුත් මේ පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී මෙය සැබැවින්ම කොටි - මිනිස් ගැටුමක්ද නොඑසේනම් එම වදනට මුවාවී මෙරට මධ්‍යම කඳුකරයේ සිදුකරන මහා කොටි සංහාරයක්ද යන්න මොනවට පැහැදිළි වේ. 

ශ්‍රී ලංකාවේ බළල් පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු දැක දැකගත හැකිය. ඔවුන් නම් කොළ දිවියා Rusty-spotted Cat (Prionailurus rubiginous), හඳුන් දිවියා Fishing Cat (Prionailurus viverrinus), කැලෑ බලලා Jungle Cat (Felis chaus), සහ කොටියා Leopard (Panthera pardus kotiya). මෙයින් විශාලම සත්වයා වන්නේ කොටියාය. මෙම සත්ත්වයා දිවියා ලෙසද සමහරුන් ව්‍යවහාරය කරන නමුත් පෙර අපේ පැරැන්නන් අතීතයේ සිටම මෙම පුල්ලි සහිත සත්ත්වයා හඳුන්වා ඇත්තේ කොටියා ලෙස ය. ජනවහරේ එන කැලේ මාරු වුණා ට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ, ‘කොටි වලිගේ අල්ලා ගත්තා වාගේ’ වැනි කියමන් ඊට හොඳ උදාහරණය. කෙසේ නමුත් මේ වන විට අපේ රටේ අලි - මිනිස් ගැටුම සේම, වනජීවී - මිනිස් ගැටුමක් ලෙස කොටියන් සමග ගොඩනැගෙමින් පවතින අන්තර් සම්බන්දය හුවා දැක්වීමට ඇතැමුන් කටයුතු කළද එහි සැබෑ තතු අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වනජීවී සංරක්ෂණවේදී සහ පර්යේෂක රාජික ගමගේ මහතා ගෙන් අප විමසා බැලීමු.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ආහාර දාමයේ ඉහළින්ම සිටින විලෝපිකයා කොටියා වන අතර විලෝපික ගහනය හා ආහාර සුලබතාව අතර ඍජු සම්බන්ධතාවක් පවතී. සාමාන්‍යයෙන් කොටියෙකු පැටවුන් 2-4 අතර ප්‍රමාණයක් බිහි කරන අතර පරිසරයේ ඇති ආහාර සුලබතාව මත දිවි රැක ගන්නා සංඛ්‍යාව තීරණය වේ. කොටි දෙනෙකුගේ ගැබ් කාලය  දින 90 ත් 100 ත් පමණ වේ. පැටවුන් මව සමග මාස 18ක කාලයක් ගත කරයි. ශ්‍රී ලංකාවේ කොටි ගහනය පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට දැනට අප සතුව ප්‍රමාණවත් දත්ත නොමැත. ඕනෑම භෞතික පරිසර පද්ධතියක ජීවත්වීමට හැකි කොටි ගහනය පිළිබඳව නිගමනයකට ඒමට නම් ඒ සඳහා දීර්ඝ කාලීන පර්යේෂණයක් සිදු කිරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ කොටි ගහනය පසුගිය දශකයක පමණ සිට දැඩි ලෙස තර්ජනයට ලක්වීම හා මිනිසාට නිරාවරණය වීම සිදුවිය. මෙයට ප්‍රධාන වශයෙන්ම කොටි ගහනයේ වර්ධනයට වඩා මිනිසාගේ ආර්ථික දියුණුව හා චර්යාත්මක වෙනස්වීම් සෘජුවම බලපෑම් සිදු කළ බව පෙනී යයි. තවද එම සංසිද්ධියේ වැඩි පීඩනය කොටින් මත පැටවීම දැකගත හැකිය. මෙය කොටි - මිනිස් ගැටුමක් ලෙස හුවා දැක්වීම බොහෝවිට සිදු කරනුයේ කොටින් පිළිබඳ මෙන්ම කඳුකර ජන සමාජය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් පිරිසක් විසිනි. නමුත් මිනිසා අතින් කොටි මියයාම කොටි - මිනිස් ගැටුමක් යැයි සමාජ ගත වූවොත් එමගින් සිදුවන්නේ කඳුකරයේ කොටි සංරක්ෂණයට මහත්  හානියක් සිදුවීම පමණි.

වැවිලි කර්මාන්තය සඳහා උඩු යටිකුරු කළ මෙරට මධ්‍යම කඳුකර පරිසර පද්ධතියේ සිදුවන වෙනස්කම් මෙම ප්‍රශ්නයට මූලිකම හේතුවය. කඳුකර භූ දර්ශනයේ ස්වාභාවික වනාන්තර නොවන ඉතිරි ප්‍රදේශයන්හි දක්නට ඇති බොහෝ ශාක හා මනුෂ්‍ය ප්‍රජාව ද කඳුකරයට ආගන්තුකය. එහෙයින් උඩුයටිකුරු වූ පරිසර පද්ධතිය ස්වාභාවිකව තුලිත වීමට දරන උත්සාහයේදී යම් යම් ශාකයන්ගේ හා සත්ත්ව විශේෂයන්ගේ ගහණය ඉහළ පහළ යෑම සාමාන්‍ය සිද්ධියකි.

පරිසර පද්ධතියේ ශාක භක්ෂක සත්ත්ව ගහණය වන ඌරන්, ඉත්තෑවන්, ඕළු මුවන් වැනි සතුන්ගේ පාලනය සිදු කරනුයේ කොටින් විසිනි. කඳුකර තේ භූ දර්ශය තුළ ඌරන්, ඉත්තෑවන්, ඕළු මුවන්, හාවන්, ගෝනුන් වැනි වන සතුන් බොහෝ ප්‍රමාණයක් ජීවත් වුවද මදු වලට අසුවූ එවැනි සතුන් පිළිබඳ වාර්තා නොවේ. එයට ප්‍රධානම හේතුව එම සතුන් මැරීම බොහෝ කලක සිට සිදු කිරීමය.  කඳුකරයේ තිබූ ප්‍රධාන දඩයම් ක්‍රමය වූයේ බල්ලන් යොදාගෙන සතුන් වටකර හෙළි වලින් ඇණ ඔවුන් මරා ගැනීමය. දැනටත් මෙම දඩයම් ක්‍රමය කඳුකරය  පුරා දැකගත හැකි බව කීවොත් ඔබ විමතියට පත්වීමට පිළිවන. පසු කාලීනව කඳුකරයේ ත්‍රීරෝද රථ භාවිතයත් සමඟ එයින් ඉවත ලන කේබල් යොදා මදු ගැසීම දැන් බහුලව දැකගත හැකි දඩයම් ක්‍රමයකි. මුල් කාලයේදී මෙම  මදු වලට අහඹු ලෙස කොටින් අසු වූ අවස්ථා දැකගත හැකි විය. නමුත් අද වන විට මේ තත්ත්වය කොටියාම ඉලක්ක කරගෙන මදු ගැසීම දක්වා වර්ධනය වී ඇත. මෙම මදු වලට වන සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු වන අතර මදු වලට අසු වී මිය යන කොටින් ද බොහෝ ප්‍රමාණයක් වාර්තා වීමක් සිදු නොවේ. පරිසරවේදී රාජික ගමගේ මහතා අවධාරණය කරන්නේ බාහිර සමාජයට වාර්තා වන්නේ කඳුකරයේ මරණයට පත්වන කොටින්ගෙන් සියයට විස්සක් (20%) පමණක් බවයි. ඒ අනුව කොටි - මිනිස් ගැටුමක් මවා සිදුකරන කඳුකරයේ මහා බිළාල සංහාරයෙන් සියයට අසූවක්ම (80%) ඒ ගුප්ත පරිසරය විසින්ම සඟවාගෙන ඇත. පිටතට නිරාවරණය වන්නේ මදු වලට හසුවී සිටින නොමැරුණු හෝ කලහාකාරී කොටින් මරාගැනීමට නොහැකි වූ අවස්ථාවලදී හා ජාවාරමට සම්බන්ද නැති වෙනත් පුද්ගලයෙක් සිද්ධිය දුටු විට පමණි. බොහෝ අවස්ථාවල දඩයම් කරුවන් හා බල්ලන් ගෙන් බේරීම සඳහා මදු කඩාගෙන ගස්වල  නැගි කොටීන් අපට වාර්තා වේ.  මේ අනුව බලන විට අපගේ අවධානය යොමු වන්නේ කඳුකරේ දඩයම් වලින් අල්ප මාත්‍රයකට පමණි.

සැබැවින්ම මෙම වනජීවී අපරාධයේ නිර්මාතෘ වන්නේ මිනිසා ය. මිනිසා විසින් කඳුකර ප්‍රදේශයේ පරිසර පද්ධතියට සිදු කරන හානියේ ප්‍රතිඵලය මේ කොටින් නමැති දර්ශකය හරහා නිරූපණය වේ. නමුත් කඳුකර ප්‍රදේශයේ සිදු වන වෙනත් දඩයම් අපට වාර්තා වන්නේ නැත. මද්දකට කොටියෙක් අසුවී මියයන්නට ඇති සම්භාවිතාව සැලකීමේදී මියයන අනෙක් වන සතුන් ප්‍රමාණය පිළිබඳව හොඳ වැටහීමක් පරිසරය පිළිබඳ දන්නා ඕනෑම අයෙකුට නිමානය කරගැනීමට පුළුවන. කඳුකරයේ සිදුවන මෙම වනජීවී අපරාධ ජාලයේ එක් අතුරු ඵලයක් ලෙස මදු වලට හසු වී මිය යන කොටින්, කොටි - මිනිස් ගැටුමක් ලෙස හුවා දැක්වීම ප්‍රශ්නය වෙනතකට යොමු කිරීමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ කොටින් මිනිසාට පහරදී මරා දැමීම් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. එයට ප්‍රධානම හේතුව වන්නේ කොටින් තුළ මිනිසා පිළිබඳ ඇති බිය විය හැකිය. නමුත් කොටියෙකුගේ ශක්තිය හා වේගය සැලකීමේදී මිනිසා කොටියෙකු ට ඉතාම පහසු ගොදුරකි. නමුත් කොටිය තුල මිනිසා පිළිබඳ පරිණාමිකව ඇතිවී ඇති බිය හේතුවෙන් මිනිසුන් දුටු විට මඟ හැර යෑම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. මිනී කන කොටියෙකු බොහෝ විට බිහිවන්නේ මුලින් සිදුකරන අත්වැරැද්දක් හේතුවෙනි. මෙසේ වැරදීමකින් හෝ අහඹු ලෙස මිනිසෙකුට පහර දෙන කොටියා මිනිසා යනු ඉතා පහසු ගොදුරක් බව හඳුනා ගනී. එම නිසා කොටින්ගෙන් ආරක්ෂා වීමට අප කළ යුතු පළමු දෙය නම් හැම විටම එම සත්වයා මගහැර සිටීමයි. එමගින් කොටියා මිනිසාට ළංවීමට තිබෙන අවස්ථා වැළකෙන අතර සතා තුළ ඇති බිය ද දිගටම පවත්වා ගැනීමට හැකියාව ලැබේ. නමුත් දිගින් දිගටම අපි එම සත්වයා මුණ ගැසීම, නැරඹීමට යෑම වැනි හේතු නිසා කොටියාට මිනිසා පිළිබඳ ඇති බය නැතිවී පහරදීම් දක්වා දුරදිග යාමට හැකියාව ඇත. විශේෂයෙන් කඳුකරයේ වනෝද්‍යානය ආශ්‍රිතව කොටියන් තුළ මිනිසාට ඇති බිය අඩුවිය හැකි ආකාරයක් පැහැදිලිව දැකගත හැක. මේ පිළිබඳව අප දැඩි දැඩි අවධානයක් යොමු කළ යුතුය.

කඳුකර ප්‍රදේශ  ජනාවාසකරණයට  ඇත්තේ වසර දෙසියකට අඩු ඉතිහාසයකි. මෙහි සිටින බොහෝ ජනයා තුළ කඳුකර පරිසරය පද්ධතිය පිළිබඳ ඇති දැනුම ඉතාම අල්පය. මෙය කඳුකරයේ බොහෝ පාරිසරික ප්‍රශ්න වලට මූලිකම හේතුවකි. නිසි පරිදි ඉලක්කගත කණ්ඩායම් හඳුනාගෙන සිදු කරන ප්‍රජා දැනුවත් කිරීම් කඳුකර පරිසර පද්ධතිය රැක ගැනීමට අත්‍යවශ්‍ය වේ. එසේම මෙම දැනුවත් කිරීම් වල අඛණ්ඩතාව පවත්වා ගත යුතුය. විශේෂයෙන් කඳුකරයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම තුළින් පරිසර ප්‍රශ්න සඳහා හොඳ විසඳුමක් ලබාගත හැකිය. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කිරීම හා වැටලීම් ප්‍රමාණය වැඩි කිරීමද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විශේෂයෙන් දෙමළ භාෂාව හුරු නිලධාරීන් කණ්ඩායමක අවශ්‍යතාව දැඩිව පවතී. මෙවැනි ක්‍රම මගින් කොටි - මිනිස් ගැටුමකට නොයා මෙරට කඳුකරයේ සැඟවීගත් මෙම අපූරු බිළාලයා ආරක්ෂා කරගැනීමටත්, ජන ජීවිත සුරක්ෂිත කිරීමටත් ඉතා පහසුවෙන් හැකියාව ලැබේ.

No comments:

Post a Comment