CONSERVATION

BCRC Sri Lanka wetland Celebration photos on Ramsar convention website

http://www.ramsar.org/wetland/sri-lanka









ලෝක පරිසර දිනයේදී, යලි යලිත් සිහිකැඳවිය යුතු වග නම් !

සෑම වසරකම ජුනි මස පස්වැනිදාට යෙදෙන තවත් ලෝක පරිසර දිනයක් උදාවී තිබේ. මෙම වසරේ සිට එම දිනය සැමරීම වෙනුවට පරිසර සතියක්ම ප්‍රකාශයට පත්කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර ඇත. දිවයිනේ කිසියම් ප්‍රදේශයක පරිසර හානිකර ක්‍රියාවක් සිදුවන්නේ නම් ඊට එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශකලේ පරිසර සතිය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා පොළොන්නරුව ප්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදීය. ඒ කෙසේ නමුත් තවමත් පරිසරයට ලැදි බොහෝ දෙනෙකු අපේක්ෂා කල පරිදි මෙරට පරිසර සංරක්ෂණය මහ පොළොවේ යථාර්ථයක් බවට පත්ව නොමැති අතර ඒ පිළිබඳව බොහොමයක් ජනතාව පවා කිසිඳු සංවේදීභාවයක් නොදැක්වීම කණගාටුවට කරුණකි. එවැනි පසුබිමක් තුල දිනයක් සතියක් තබා පරිසර මාසයක් සැමරීමෙන් පවා කිසිඳු වැදගත්කමක් නොමැති බව කණගාටුවෙන් නමුත් සඳහන් කල යුතුය.

වර්තමාන පාලනය යටතේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් යම්කිසි සාධනීය ක්‍රියාමාර්ග කිහිපයක් හෝ ගනු ඇතැයි මෛත්‍රී පාලන ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා බැලූ විට සිතුනද පරිසරය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් එවැනි සාධනීය මැදිහත්වීමක් වර්තමාන රජය විසින්ද සිදුකර නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දු අතර තම පාලන සමයේ මුල් දින සියය ඇතුලත පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන්නට පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරවීම අත්‍යාවශ්‍ය වේ.

1.      සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම
2.      අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීම
3.      පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
4.      දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම
5.      සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම
6.      සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම

වැනි පොරොන්දු ඒ අතර වූ බව අපට මතකය.

සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි. එසේම සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට හෙතෙම පොරොන්දුවී තිබේ. මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ “නීති විරෝධී වනජීවී වෙළඳාමට එරෙහිවෙමු” යන්නයි. ඒ සඳහා ද මෙම මැතවරණ පොරොන්දු ඉටුවීම අත්‍යාවශ්‍ය ය. මෙරට වනාන්තර හා වනජීවීන් සංරක්ෂණය කරගැනීමේ නීතිමය අඩිතාලම වන්නේ 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්‌ෂ ලතා ආරක්ෂක ආඥපනත ය. එම පනත මගින් මෙරට වනජීවීන් හා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂාකරදීම සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන සපයා ඇත. එබැවින් සත්ව හිංසනය වැළක්වීම සඳහා නව නීති පැනවීම හෝ පනතේ ඇති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීම පසෙක තබා එම පනත නොබියව හා සෘජුව ක්‍රියාත්මක කිරීමට කටයුතු සකස් කල යුතුය. මෙරට තුල මේ වන විට කරළිය පැමිණ ඇති ප්‍රධානතම නීතිවිරෝධී වනජීවී වෙළඳාමක් වන අලි පැටවුන් ජාවාරම පිටුදැකීම සඳහා ද එය ඉතා වැදගත් වේ.

අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීමද කාලීන අවශ්‍යතාවයකි. මෙරට වනජීවී රක්ෂිත ජාලය ආරක්ෂා කරගැනීම වැදගත් වන්නේ වන සතුන් සඳහා පමණක් නොවේ. එමගින් සංචාරක කර්මාන්තය ඔස්සේ රටට විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව පවතිනවා සේම රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉවහල්වන ජලවිදුලි උත්පාදනය සඳහා වැදගත්වන ජලාශ වල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වීම සිදුවේ. එසේම රටට බත සපයන කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීමටද මෙම ජල පෝෂක වැදගත් මෙහෙයක් ඉටු කරයි. එසේම මෙරට බොහොමයක් පුරාවිද්‍යා ස්ථාන වනජීවී රක්ෂිත තුල පිහිටා ඇති බැවින් ඒවාටද මෙමගින් නිරායාසයෙන්ම ආරක්ෂාවක් සැලසේ.

ගෘහාශ්‍රිත ගවයන්, ගංජා වගාවන්, නීති විරෝධී දැව හෙළීම්, ඛනිජ ද්‍රව්‍ය රැස්කිරීම්, දඩයම්, හෝ අනවසර ඉඩම් අල්ලා ගැනීම් ඈ නොයෙක් විනාශකාරී මිනිස් ක්‍රියාකාරකම් වලින් වනජීවී රක්ෂිත ආරක්ෂා කර ගැනීමට හා වනජීවීන්ට හිතකර සුපෝෂිත සාමකාමී වටපිටාව වනජීවී රක්ෂිත තුල නිර්මාණය කිරීම  අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා අවශ්‍ය ආකාරයෙන් වනජීවී පරිපාලනය ශක්තිමත් කර වනජීවී රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උනන්දුවීමට මෙවර පරිසර දිනයේදී වත් බලධාරීන් කල්පනා කල යුතුය.

එමෙන්ම දැනට රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ වලින් පරිබාහිරව පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමද බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමකි. එය ප්‍රධාන ආකාර දෙකක් යටතේ විග්‍රහ කල හැකිය. පළමුවැන්න අනාරක්ෂිත තත්වයේ පවතින පාරිසරික වශයෙන් වටිනා භූමි භාග ජාතික රක්ෂිත හෝ අභයභූමි වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ය. ඒ යටතේ උතුරු ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබූ නමුත් ඉකුත් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යථාර්තයක් බවට පත් නොවූ වනජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත්කිරීම ප්‍රමුඛ කාර්යක් විය යුතුය. එසේම දිවයින පුරා විසිරී ඇති තවත් එවැනි අනාරක්ෂිත සුවිශේෂී පරිසර පද්ධති හඳුනා ගැනීම සඳහා ප්‍රාරම්භක සමීක්ෂණ (preliminary survey) සිදුකිරීමද අත්‍යවශ්‍ය ය.
     
දෙවැන්න නම් වනජීවී රක්ෂිත වලින් බැහැරව විශේෂයෙන් අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන ඒවා නිසිපරිදි කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. එය මේ වන විට ප්‍රභල ගැටළුවක් බවට පත්ව ඇති අලි - මිනිස් ගැටුම කළමනාකරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි. දැනට වයඹ වනජීවී කලාපයේ දිවි ගෙවන වන අලි ඇතුන් ගෙන් 80% ක්ම දිවිගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වීම හා වනජීවී රක්ෂිත වලින් බැහැරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ඇතුන් 500ක් පමණ ජීවත්වීම කිසිවෙකුටත් රහසක් නොවේ. එම අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමේ මිත්‍යාවෙන් දැන්වත් අත්මිදී වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වන අලි ඇතුන් වෙනුවෙන් වන අලි කළමනාකරණ ප්‍රදේශ (Managed Elephant Range) ස්ථාපනය කර ඒවා නිසිපරිදි පවත්වාගෙන යාම කල යුතුය. දැනට එවැනි වන අලි කළමනාකරණ ප්‍රදේශයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති නමුත් එය අසාර්ථකවී ඇත. ඊට ප්‍රධාන ලෙසම හේතුවී ඇත්තේ වන අලි කළමනාකරණ ප්‍රදේශ පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යාම සම්බන්ධව නීතිමය රාමුවක් සකස්වී නොතිබීමය. එවැනි භූමි ආරක්ෂාකිරීම සඳහා නීතියේ ප්‍රතිපාදන නොවීමය.

දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීමද ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකි. එයද ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයකි. එය සිදුකිරීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් විල්පත්තු ජාතික උද්‍යානයට උතුරෙන් වනසා දැමුණු වනාන්තර ප්‍රදේශ ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් එය ආරම්භකළ හැකිය. පරිසර සංවිධාන, රාජ්‍ය නොවන ආයතන විශ්වවිද්‍යාල හා වෙනත් උනන්දුවක් දක්වන පිරිස් වලින් මේ සඳහා අමාත්‍යවරයාට සහය ලබා ගත හැකිය.

අවසාන වශයෙන් සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීමද අනාගතයේදී තවදුරටත් පරිසර විනාශයන් සිදුවීම වලක්වා ගැනීමට ඉවහල්වේ. තිරසාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් එම වගකීමද දැරීමට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට සිදුවේ. මෙහිදී අප අවධාරණය කරගත යුත්තේ එක් එක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුකෙරෙන පරිසර බලපෑම් ඇගයීම් ( Environmental Impact Assessment) ක්‍රියාවලිය මේ වන විට යල්පැන ගොස් ඇති බවයි. එමගින් අදාල ව්‍යාපෘතිය කෙසේහෝ අනුමතකරවා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුලත්කර  යථාර්තය සඟවමින් සකස්කරන පරිසර බලපෑම් ඇගයීම් වාර්තා මත පදනම්ව බලධාරීන් ව්‍යාපෘති අනුමතකිරීම සිදුකරන බව නොරහසකි. එබැවින් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය මගින් මෙරට පරිසර සංරක්ෂණයට අත්වන සෙතක් නැත. සිදුවිය යුත්තේ දිවයිනේ එක් එක් භූගෝලීය ප්‍රදේශ හෝ පරිපාලන ප්‍රදේශ සඳහා රජය මගින් සමෝධානිත උපායමාර්ගික පරිසර ඇගයීම් (Intigrated Strategic Environment Assessment) සිදුකර පරිසර සංවේදී කලාප හා සංවර්ධනය කළහැකි බිම් හඳුනාගෙන සංවේදී පරිසර පද්ධති ආරක්ෂාකිරීම හා ඉතිරි බිම් සැලසුමකට අනුව කලාපකරණය කර කෘෂිබිම්, නගර, ජනාවාස, හා කර්මාන්ත ඇතිකිරීම සඳහා භාවිතා කිරීම ය. නමුත් අපේ රටේ අමාත්‍යාංශ අතර විෂය පථයන් හා ආයතන බෙදීමේ විද්‍යාත්මක පදනමකින් නොමැති නිසා මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය යටතට පත්වීම මීට භාධාවක් විය හැකිය. එම ආයතනික ගැටළු මගහරවාගෙන රට තිරසාර සංවර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යාම ඇමතිවරයාගේ ප්‍රමුඛ වගකීමකි.

තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ  අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාධ වැඩි බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.  

සුපුන් ළහිරු ප්‍රකාශ්

No comments:

Post a Comment