Sunday, February 17, 2019


ශ්‍රී ලංකාවේ ප්‍රථම වන අලි සිතියමෙන් උගතයුතු පාඩම් මොනවාද ?

සුපුන් ළහිරු ප්‍රකාශ්



ශ්‍රී ලංකාවේ අපට අලි ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවයකි. අපගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හර පද්ධතීන් සමග අලි ඇතුන් ඉතා තදින් බද්ධව සිටී. ලෝකයේ ආසියානු අලි ජීවත්වන රටවල් 13 අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ දිවිගෙවන ආසියානු අලින් Elephas maximus maximus යන නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වී තිබීමය. එසේම ආසියානු අලින් දිවිගෙවන රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුතුව එම සතුන් දිවිගෙවන්නේද ශ්‍රී ලංකාවේය. නමුත් මෙම වටිනා වනජීවී සම්පත ආරක්ෂාකරගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් කරගැනීමටත් ඔවුන්ගෙන් එල්ලවන අහිතකර බලපෑම් අවමකරගනිමින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීමටටත් රටක් ලෙස අප අපොහොසත්ව ඇතිබව පසුගිය දශය හයකයකට වැඩි අතීතය දෙස හැරී බැලීමෙන් පෙනේ. එසේ තිබියදී තවදුරටත් අපට අපේ අලි සම්පත සම්බන්ධයෙන් අත්තනෝමතිකව හා අධූරදර්ශීව කටයුතු කිරීමට නොහැකි බව විද්‍යාත්මකව සනාථකෙරෙන පර්යේෂණ පත්‍රිකාවක් පසුගියදා එළිදක්වුනි.

දිවයින පුරා අලි ඇතුන්ගේ ව්‍යාප්තිය පිළිබඳව වසර හතරක් තිස්සේ සිදුකැරුණු දීර්ඝ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම දත්ත පදනම් කරගත් සිතියමක් ඔස්සේ මෙරට අලි ඇතුන් සම්බන්ධ ආන්ධෝලානාත්මක කරුණු රැසක් ඉදිරිපත් කිරීමට මෙරට සිටින දෙස් විදෙස් පතල වනජීවී විද්‍යාඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් කටයුතුකර ඇත. එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා ජර්නලයක් වන Oryx ජර්නලයේ අලුත්ම කලාපයේ First country-wide survey of the Endangered Asian elephant: towards better conservation and management in Sri Lanka යන හිසින් පළවී තිබේ.
ශ්‍රී ලංකාවේ මුළු භූමියම වර්ග කිලෝමීටර් 25 බැගින් ආසන්න වශයෙන් කොටු 2750 කට බෙදා වෙන් කර (කොටුවක විශාලත්වය තීරණය කර ඇත්තේ ශ්‍රී ලාංකාවේ වන අලි භාවිතා කරණු ලබන කුඩාම වාසභූමියේ (Home range) වපසරිය අනුවයි) මෙම පර්යේෂණය සඳහා දත්ත එක්රැස්කර ඇති අතර අදාළ කොටුවක් තුල ජීවත්වන පුද්ගලයින් තිදෙනෙකු බැගින් සමීක්ෂණයට භාජනයකර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් අදාල ප්‍රදේශයේ අලි ඇතුන්ගේ හැසිරීම පිළිබද දත්ත 2011 සිට 2015 දක්වා වසර හතරක කාලසීමාවක් තුල ලබාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබේ. මිනිස්සුන් ජීවත් නොවෙන ප්‍රදේශ සම්බන්ධ දත්ත ඊට යාබද කොටු වල දත්ත මගින් ගණනය කර තිබේ. තවද 2004 - 2018 කාලසීමාව තුල අලි ඇතුන්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි යොදා ලබාගත් දත්ත ද මේ සඳහා භාවිතාකර ඇත. පර්යේෂකයින් පවසන්නේ ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් කිසිවක මීට පෙර මෙවැනි අධ්‍යනයක් සිදුකර නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සඳහා බාධාවක් වී ඇති එම සතුන්ගේ ව්‍යාප්තිය, ගහන ඝනත්ව හා සංචරන රටා වැනි තොරතුරු ඌනතාවය මගහැරීම සඳහා  ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිස සිදුකර ඇති උක්ත පර්යේෂණය මනා පිටිවහලක් ලබාදෙන අතර එමගින් අප රටක් වශයෙන් උගතයුතු පාඩම් බොහෝ ඇති බව අවධාරණය කලයුතුයි.
අධ්‍යනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක (60%) වන අලි ඇතුන් ජීවත්වන අතර එම ප්‍රමාණය මීට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. එසේම එම ප්‍රතිශතය ආසියානු අලින් දිවිගෙවන අනෙක් රට වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගැනීමද මෙරට අලි ඇතුන් සම්බන්ධ තීරණාත්මක කරුණකි. තවද මෙම වන අලි ගහනයෙන් සියයට හැත්තෑවක්ම (70%) රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීමද බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණක්. ශ්‍රී ලංකාවේ වනජීවී බලධාරීන් පසුගිය වසර හැටක පමණ කාලසීමාව තුල මෙරට අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා වන අලින් වනජීවී රක්ශිත ප්‍රදේශ වලට ගාල්කිරීමට නොදැරූ උත්සාහයක් නැති තරම්ය. නමුත් එසේ තිබියදී තවදුරටත් මෙරට වන අලි ඇතුන්ගෙන් 70% රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීම එම අමනෝඥ උත්සාහයේ අසාර්ථකබව මොනවට පැහැදිළි කරයි. එසේ අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට නම් ඔවුන් වර්තමානයේ ජීවත්වන වාසභූමි වලින් සියයට තිහකට (30%) එම සතුන් සීම කලයුතු අතර එය කිසිඳු ආකාරයක ප්‍රායෝගික විසඳුමක් නොවන බව මෙම පර්යේෂණය මගින් හෝ බලධාරීන් තේරුම් ගන්නේ නම් මැනවි. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පසුගිය වසර 55ක කාලසීමාව තුල වන අලින්ට උන්ගේ වාසභූමි වලින් සියයට දහසයක් (16%) අහිමිවී ඇති බවයි. ඒ වෙනුවට ඔවුන් මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් සියයට එකයි දෂම හයක ප්‍රමාණයක් (1.6%) තුල නව වාසභූමි ඇතිකරගෙන තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශ බොහොමයක් අතිශයෙන් කැබලිකරණයවූ හා මානව බලපෑමට නත්වූ ප්‍රදේශ බව පර්යේෂකයින් පෙන්වා දේ. ඒ තුල සමස්ථ ආසියානු අලි ගහනයෙන් සියයට දහයක් (10%) ජීවත්වනබව මෙරට දේශපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, හා රාජ්‍ය නිලධාරීන් තරයේ සිහිතබගතයුතුබව අප අවධාරණය කරමු. ඔවුන්ට තවදුරටත් මෙරට අලි ඇතුන් හා එම සතුන් දිවිගෙවන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන අසරණ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන්ගේ හිතුමතේ පිස්සු කෙළින්නට නොහැකි බව මෙම පර්යේෂණ ප්‍රතිපල මගින් පැහැදිළිවේ.    
ඒ අනුව ශ්‍රී  ලංකාවේ අලි මිනිස් ගැටුම පාලනය හා වන අලි සංරක්ෂණ සඳහා දැනට ඇති වඩාත් හිතකර විසඳුම වෙන්නේ අලි - මිනිස් සහජීවන ආකෘතියක්, නොඑසේනම් වන අලි සහ මිනිසුන් සහයෝගයෙන් තම භූමිය පරිහරණය කිරීමේ ක්‍රමවේදයකට යාම බව ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ අදහසයි. ඒ සඳහා මෙතෙක් රක්ශිත ප්‍රදේශ වටා ඉදිකෙරුණු විදුලි වැට ගම්මාන ආරක්ෂාකිරීම සඳහා ගම්මාන වටා ඉදිකිරීමත් වගාබිම් ආරක්ෂාකිරීම සඳහා තාවකාලික විදුලිවැට ඉදිකිරීමත් වඩා ප්‍රායෝගික බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට හා දැනට වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින අපේ අලි සම්පත සංරක්ෂණය කිරීමට මෙම පර්යේෂණ ප්‍රතිපල හා විද්වත් අදහස් ඉවහල්කරගැනීම සියළු පාලක කාරකාදීන්ගේ යුතුකම හා වගකීම බව අවසන් වශයෙන් ලියාතබනු කැමැත්තෙමු.