Thursday, March 31, 2022

අලි අගල් ප්‍රෝඩාවට තිත, 

ඉදිරි පියවර කුමක් විය යුතුද?

අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන තම මඩි තරකර ගන්නා ශ්‍රී ලංකාවේ තුප්පහි පාලකයන් නිසා අලින්ට මිනිසුන්වත්, මිනිසුන්ට අලින්වත් පෙන්නන්නට බැරි ගානය. මේ නිරන්තර අරගලය හේතුවෙන් වසරක් පාසා ලොව වැඩිම වන අලි ජීවිත ගණන සහ දෙවැනි වැඩිම මිනිස් ජීවිත ගණන අහිමි වන රට බවට මෙරට පත්වී ඇත. නමුත් ඒ හේතුව නිසාවත් අලි-මිනිස් ගැටුම ධනෝපායන මාර්ගයක් කරගැනීම බලධාරීන් සහ නිලධාරීන් අත්හැර නැති බවට ආසන්නතම සාක්ෂිය වූයේ අලි අගල් ප්‍රෝඩාව ය. නමුත් ඊට හෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පරිසර සංරක්ෂනවේදීන් පිරිසකගේ මැදිහත්වීමෙන් අලි අගල් ප්‍රෝඩාවට තිත තැබීමට මේ වනවිට හැකියාව ලැබී තිබීම සතුටට කරුණකි. නමුත් අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා සුදුසු ඉදිරි පියවරක් තෝරාගැනීම සම්බන්ධයෙන් තවමත් බලධාරීන් සිටින්නේ අඳුරේ අතපත ගාමින් වීම දෛවයේ සරදමකි.  

අලි-මිනිස් ගැටුම නම් සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුව විසඳීම අලි අගල් වැනි භෞතික බාධක ඉදිකිරීමෙන් එහා ගිය සංකීර්ණ, සමෝධානිත සහ බහුපාර්ශවීය කටයුත්තක් විය යුතු බව අප පෙන්වා දුන්නේ මෙම වසර මුලදීය. එවකට අලි ඇතුන් ජාතික උද්‍යාන වලට ගාල් කෙරෙන පරිදි අලි අගල් හෑරීමට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ලහි ලහියේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණේ අලි-මිනිස් ගැටුම විසඳීමේ සැබෑ ඕනෑකම නිසා නොව පස් ජාවාරම් කරගැනීමට බව අප එහිදී අවධාරණය කළෙමු.

මෙම ප්‍රෝඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ සහ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක FR/66/2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කෙරිණි. අප මේ පිළිබඳව සිදුකළ විමසීමකදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතා සඳහන් කළේ ඉකුත් සඳුදා (28) දින එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අගල් කැපීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අදාළ සියලුම අංශ දැනුවත් කරන බව නීතිපති වරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශවූ බවය.

මෙරට අලි-මිනිස් ගැටුම සාධනීය මට්ටමකින් අඩුකරගැනීමට ඇති කාලය කා දමමින්, වන අලි සංරක්ෂණයට බරපතල බලපෑම් ඇති කරමින් සහ මෙරට ඉතා වැදගත් ජාතික උද්‍යාන ගණනාවක් පස් ජාවාරම්කරුවන්ට නතු කරමින් සිදු කෙරුණු මෙම අලි අගල් ප්‍රෝඩාවට පමාවී හෝ තිත තැබීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් අසාර්ථක බව දැන දැනම වනජීවී සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය මෙවැනි විනාශයක ඇද දැමූ බලධාරීන් සහ නිලධාරීන් කිසිඳු කිසිඳු දණ්ඩනයකට යටත් නොවීම කණගාටුවට කරුණකි. තවද අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා යෝජිත සාධනීය සැළසුම් හැමස්පෙට්ටියේ සඟවාගෙන ඔවුන් නැවත නැවතත් මහජන මුදල් කාබාසිනියා කිරීමට කැස කවයි නම් එය කුමන අභාග්‍යයක්ද?

දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා බලධාරීන් ඊළඟට ගණු ලබන පියවර කුමක්ද යන්න විමසා බලන විට එම අභාග්‍යයේ පෙර නිමිති ඉතා සරලව පිළිබිඹු වේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් දැනට හඳුනාගෙන ඇති හා ඉදිරියේදී හඳුනාගනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව පමණක් ඉදිරි පියවර ගන්නා බවය. ස්තිරසාර විසඳුමක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ගයන් අනුගමනය කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන බවය. එහි “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” යන වාක්‍යාංශය ලියුම්කරු නැවතත් සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම් පැහැදිලිකර දීමටය.

ඉකුත් වසරේදී පමණක් මෙරට මරණයට පත්වූ අලි ඇතුන් සංඛ්‍යාව 375කි. වන අලි පහරදීම හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 142කි. මෙම සංඛ්‍යා සරල ගණිතයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ එක් දිනකට මෙරට එක් අලියෙකුට වඩා අපට අහිමිවන බව නොවේද? සෑම සතියකම අඩුම තරමේ අසරණ මිනිස් ජීවිත දෙකක් වත් වන අලි ප්‍රහාර හේතුවෙන් රටට අහිමිවන බව නොවේද? නමුත් මෙසේ අලි ඇතුන් සහ අසරණ මිනිසුන් සිය ගණනක් මරණයට පත්වූ වසර මුළුල්ලේම බලධාරීන් “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” සඟවාගෙන සිටි බව ඔබ දන්නවාද?

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝග මත 2020 ජූලි 22 දින පත්කෙරුණු  ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු උක්ත ක්‍රියාකාරී සැලැස්ම එම වසරේම දෙසැම්බර් 17 දින ඔහු වෙත ඉදිරිපත් කරන ලදී. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් සමන්විතවූ මෙම කමිටුව මගින් සකස් කෙරුණු  සැලැස්ම ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත.

ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු ප්‍රධාන කමිටුව මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” වසරකට අධික කාලයක් හැමස්පෙට්ටියේ සිරකරගෙන සිටින රේඛීය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් සෝමරත්න විදානපතිරණත් “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” ගැන කතා කිරීමේ ව්‍යංගාර්ථය කුමක්ද? මෙය ඔහු නොදැනුවත්ව සිදුකළ ප්‍රකාශයක්ද? පිළිතුර “නැත” යන්නය. එමගිනුත් යළි යළිත් ප්‍රකට වන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම්මය.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ඔඩු දිවීමට අක්‍රමවත් භූමි පරිභෝජන රටාව සහ අවිචාරවත් සංවර්ධන කටයුතු හේතුවූ බව සැබෑය. ඒ සඳහා ආණ්ඩු සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සෘජුව වගකිවයුතු ය. තවද මෙම නිරන්තර ගැටුම තමන්ගේ මඩි තරකරගනීමේ උපායක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ටද චෝදනා එල්ලවේ. දශක ගණනාවක් තිස්සේ අසාර්ථක ක්‍රමෝපායන් යළි යළිත් යොදාගෙන අලි-මිනිස් ගැටුම් අවමකිරීම වෙනුවට උත්සන්න කිරීමට දායකවූ පිරිස අතර ඔවුන්ද පෙරමුණේ වෙති. රටේ විධායක ජනාධිපතිගේ නියෝගයෙන් සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් පවා ක්‍රියාත්මක නොවන තැනට වැඩ සලස්වා ඔවුන් අගල් වැනි ප්‍රෝඩාකාරී ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම ඊට කදිම නිදසුනකි. එවැනි නිලධාරීවාදයක් ක්‍රියාත්මකවන රටක අලි ඇතුන්ද මනු සතුන්ද මොවුන්ට මුදල් උපයන මාර්ග විනා වටිනා ජීවිත නොවේ.

අපේ රටේ දුප්පත් අහිංසක ගැමි ජනතාව මෙන්ම අලි ඇතුන්ද කබලෙන් ලිපට ඇද දමන අලි-මිනිස් ගැටුම පිටු දැකීමට නම් කළයුත්තේ  “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ග” සොයමින් තවත් කල් මැරීම නොවේ. ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර "ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්ම" වහා වහා ක්‍රියාත්මක කිරීමය. අලි අගල් ප්‍රෝඩාවට තිත තැබීමට මෙහෙයැවුනු අරගලයම ඒ සඳහා දිශානත කරන මෙන් අප සියලු පරිසර සංවිධාන හා සංරක්ෂණවේදීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු!

Thursday, March 24, 2022

නැදුන්ගමුවේ අත්‍යාවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණයක්

© https://www.aljazeera.com

සුපුන් ළහිරු ප්‍රකාශ්

නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට දළ ඇතාගේ අභාවය සිදුවී මේ වන විට දෙසතියක් ඉක්ම ගොස් තිබේ. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ සත්ත්වයා ලෙස මෙම හිස්තියා හැඳින්වීමේ වරදක් නැත. අසල් වැසි ඉන්දියාවේ උපත ලබා අවුරුදු පහක පමණ කුඩා ඇත් පැටවෙකු ලෙස මෙරටට පැමිණ වසර හැට නමයක් ජීවත්වී මරණයට පත්වූ නැදුන්ගමුවේ හස්තියාගේ අභාවය පිළිබඳව ශෝක නොවුණු කෙනෙක් නැති තරම්ය. ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ප්‍රධාන ආගමික විශ්වාස දෙක වන බෞද්ධ සහ හින්දු ඇදහීම් වල ප්‍රමුඛ සංස්කෘතික සංකේතයක් ලෙස අලියා හෝ ඇතා යොදා ගැනේ. එවැනි පසුබිමක මෙසේ විශාල ජනප්‍රසාදයක් ලබා සිටි ඇතෙකු මරණයට පත්වීම ජාතියක් ශෝකයට පත්කරන්නට සමත්වීම විමතියට කරුණක් නොවේ. නමුත් ඒ ආදරය, ගෞරවය සහ භක්තිය මේ මොහොතේද ගැටළු රැසකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ හීලෑ අලි ගහණයේ යහපත වෙනුවෙන් යොමුකරවා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. එබැවින් මේ නැදුන්ගමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය ඒ අත්‍යාවශ්‍යතාවය මුදුන් පමුණුවා ගනු පිණිසය.

ශ්‍රී ලංකාවේ අපට ගෘහාශ්‍රිතකරණය කෙරුණු අලින් සමග ඇත්තේ ඉතා දිගු ඓතිහාසික සම්බන්ධයකි. අම්පාර, ලාහුගල මගුල් මහා විහාරයේ දක්නට ලැබෙන අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයට අයත් සඳකඩපහණේ දක්නට ලැබෙන ඇතා පිට ඇත්ගොව්වා සිටින ආකාරය නිරූපිත කැටයම ඊට හොඳම සාක්ෂියකි. එකල විවිධ කටයුතු සඳහා අලි ඇතුන්ගේ ශ්‍රමය යොදාගත් නමුත් කාලීනව එම තත්ත්වය වෙනස්වී ඔවුන් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ප්‍රකට බෞද්ධාගමික ස්ථාන කිහිපයක වාර්ෂික පෙරහැරට සීමා විය.

තාක්ෂණික දියුණුවත් සමග අලි ඇතුන් යොදවා සිදුකළ කටයුතු නවීන බර වාහන සහ යන්ත්‍ර සූත්‍ර මගින් සිදු විය. ගෘහාශ්‍රිත අලි ගහණය නඩත්තු කිරීම සඳහා පුළුල් වශයෙන් යොදා ගැනුණු අලි ගාල් මගින් වන අලින් ඇල්ලීමට විශාල ජනතා විරෝධයක් එල්ල වීම නිසා එය තහනම් කෙරිණි. ලෝකයේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවාදය වේගයෙන් පුළුල් වීමත් සමග ගෝලීය සන්දර්භය තුල රටක් ලෙස අපටද එයින් මිදී සිටීමට නොහැකි විය. මේ හේතු නිසා අලි ඇතුන්ගෙන් මෙහෙවර සිදුකරවා ගැනීම අභාවයට ගියත් සංස්කෘතික සංකේතයක් ලෙස අලි ඇතුන් යොදා ගැනීමට එමගින් බාධාවක් වූ බවක් පෙනෙන්නට නැත. මහනුවර යුගයේ ආරම්භවූ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා මේ දක්වාම අලි ඇතුන් යොදා ගැනීම ඊට කදිම නිදසුනකි. පසුකාලීනව කැළණි, බෙල්ලන්විල, හුණුපිටිය-ගංගාරාම, කතරගම වැනි මෙරට ප්‍රමුඛ සහ අනන්‍ය සංස්කෘතික උත්සව කිහිපයක අලි ඇතුන් භාවිතා විය.

අලි ඇතුන් ගෘහාශ්‍රිතව රඳවා තබා ගැනීම හා ඔවුන්ට වේද හෙදකම් කිරීම ඈඳුනු පාරම්පරික දැනුම් සම්භාරයක් අප සත්වූ බව නොකිවමනාය. එසේම පාරම්පරික අලි හිමියන් තමන් සතුව සිටි සතුන් පෝෂණය කරමින් සාධනීය මට්ටමින් රැකබලා ගත් බවටද හබයක් නැත. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය බොහෝ දුරට වෙනස්වී ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත අලි ගහණය ගැටළු රැසකට මුහුණදී ඇති බව අප අවධාරණය කළයුතුය.

වාණිජ්‍ය අරමුණු පෙරට ඒම

ශ්‍රී ලංකාවේ වනවාසී හෝ ගෘහාශ්‍රිත යන ඕනෑම අලියෙකු-ඇතෙකු සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නේ 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතය. එය වන සතුන් සහ වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස සහ වෙනත් ආකාරයට අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා වන පනතක් බව පැහැදිලිව සඳහන් කර ඇත. නමුත් මේ වන විට මෙරට ගෘහාශ්‍රිත අලි ඇතුන්ගේ භාවිතය සංස්කෘතික කටයුතු වල විට වාණිජ්‍ය කටයුතු දක්වා සීග්‍රයෙන් විතැන් වෙමින් පවතී. අප ඉහත සඳහන් කළ පරිදි මෙරට ප්‍රමුඛ සහ අනන්‍ය සංස්කෘතික උත්සව කිහිපයකට පමණක් යොදා ගැනුණු අලි ඇතුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල කුඩා කුඩා පෙරහැරවල්, දේශපාලන සහ විවාහ මංගල කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීම සිදුවන්නේ ඒ ඔස්සේය. ක්‍රමයෙන් පරිහානියට යමින් තිබූ අලි ඇතුන්ගෙන් බරවැඩ කරවා ගැනීම සහ සංචාරකයන් අලින්ගේ පිටමත රැගෙන යාම වැනි ක්‍රියා වක්‍රාකාරව නීතිගත කිරීම සඳහා ගැසට් පඩංගු නිකුත් වන්නේ ඒ අනුවය. 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය මගින් 2021 අංක 1 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය හා ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග කඩිමුඩියේ ප්‍රකාශයට පත්වන්නේ ඒ සඳහාය. තවද තමන්ගේ හීනමානය සම්පූර්ණ කරගැනීම සඳහා හීලෑ අලි ඇතුන් සොයන නවක පොහොසතුන් කුලකයද මෙරට ගෘහාශ්‍රිත අලි ඇතුන්ගේ භාවිතය සංස්කෘතික කටයුතු වල විට වාණිජ්‍ය කටයුතු දක්වා සීග්‍රයෙන් විතැන් වීමට ප්‍රභල හේතුවක් විය.

මේ ආකාරයෙන් සංස්කෘතිය අභිබවා වාණිජ්‍ය පරමාර්ථ මුලට පැමිණීම නිසා අලි ඇතුන්ගේ පෝෂණය, සෞඛ්‍ය සහ ශුභසාධනය කබලෙන් ලිපට වැටෙන බව අප අවධාරණය කරගත යුතුය. පාරම්පරික අලි හිමිකරුවන් වෙනුවට වර්තමානයේ අලි මුදලාලිලා පිරිසක් බිහිවී ඇති අතර ඔවුන්ට ලාභය විනා සතුන්ගේ පෝෂණය, සෞඛ්‍ය සහ ශුභසාධනය හෝ සත්ත්ව අයිතිවාසිකම් අදාළ වන්නේ නැත. නොබෝදා මරණයට පත්වූ නැදුන්ගමුවේ හස්තියා බෝධිසත්වයෙකු ලෙස හැඳින්වූ පිරිස අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද සිටීම පිළිබඳව ලියුම්කරුට ඇතිවුණේ විමතියකි. නමුත් අප ඉහත කී ආකාරයේ අලි මුදලාලිලා මෙවැනි බෝසත් සතුන්ගෙන් වැඩ ගන්නේ මරව-මරවා බවට ඉතිහාසය ඕනෑ තරම් සාක්ෂි සපයයි.

පෝෂණය, සෞඛ්‍ය සහ ශුභසාධනය නොසළකා හෑරීම

ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 2002 වසරේ දී නීති විරෝධී ව සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත් පැටවා 2007 වසරේ දී රත්නපුර දෑල ඔයේ ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මිය ගියේ ගෘහාශ්‍රිත අලි ඇතුන් නිසි පරිදි රැක බලා නොගන්නා බව ලොවටම හඬගා කියමිනි. පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරයට ලබාදුන් ‘ජය ශ‍්‍රී’ හෙවත් ‘දිවුලා’ නමින් හැඳින්වූ අලියා 2010 සැප්තැම්බර් මස 9 වන දා මිය ගියේ අධික ලෙස වැඩ ගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම විහාරස්ථානයටම ලබාදුන් ‘ලංකා’ නම් අලියාත් 2012 අප්‍රේල් මස 13 වන දින මිය ගියේ අධික ලෙස වැඩ ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස හා හෙණ්ඩු පහරවලට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බව පරිසර ක්‍රියාකාරීන් අවධාරණය කරති. පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේවි’ නැමැති අසරණ හස්තියාත් 2014 ඔක්තෝබර් 17 දින අකාලයේ මරණයට පත් වන්නේ මෙවැනි අමානුෂික හිංසනයක ප්‍රතිපලයක් වශයෙනි. එසේම විවිධ පුද්ගලයින් සහ විහාරස්ථාන භාරයේ සිටි කෙරමිණියේ ඇතා, වෑවලදෙණියේ ඇතා සහ කපිල අලියා මෙන්ම දළදා මාලිගාවේ සිටි ඒකදන්ත නම් හස්තියා අකාලයේ මරණයට පත්වීම පිටුපසද මෙවැනි ශෝකාන්ත සැඟවී තිබේ. තවද 2015 වසරේ සිට දීර්ඝ කාලයක් තිස්සේ එකම ස්ථානයක දම්වැලකින් ගැට ගසා තැබීමෙන් පාදයේ ඇති වූ තුවාල නිසා පීඩා විඳි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ‘කළණ’ හස්තියා පිළිබඳවත් 2018 වසර අග භාගයේ සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම තම ජීවිතයේ සැන්දෑ සමය ගතකරමින් සිටි ‘ටිකිරි’ නම් ඇතින්න 2019 වසරේ මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ ගමන් කරවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇති විය.

2021 අංක 1 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය හා ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග අනුව වයස අවුරුදු හැට ඉක්මවූ අලියෙකු වැඩ සහ වෙනත් ක්‍රියාකාරකමක නොයෙදවිය යුතු බව සඳහන් වේ. නමුත් පසුගියදා මරණයට පත්වූ හැට නම වියැති නැදුන්ගමුවේ රාජා 2021 අවසන් මහා රන්දෝලි පෙරහැරේද ගමන් කළ බව කිවයුතුය. 2006 වසරේ සිට 2021 වසර වන තෙක් වූ වසර 15න් වසර 11ක් ම දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීමට නැඳුන්ගමුවේ දායක විය. නමුත් විශ්‍රාම ගතයුතු වයසේ සතෙකු ඒ ආකාරයෙන් තව දුරටත් යම්කිසි කටයුත්තකට යොදා ගැනීම පිළිබඳව නැදුන්ගමුවේ හස්තියාගේ මරණය පිළිබඳව කඳුළු සැලූ බොහෝ දෙනෙකු විවාද කළේ නැත. ඊට හේතුව පශුවෛද්‍යවරයෙකු හෝ ලියාපදිංචි පාරම්පරික හස්ති වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත එසේ කිරීමට ඉහත නියෝග වලින් ඉඩ සලසාදීමද?

වන අලි ජාවාරමට ඉඩ සැළසීම

අලි මුදලාලිලා තමන් සතු සීමිත ගෘහාශ්‍රිත අලි ඇතුන්ගෙන් වැඩි ධනයක් උපයාගැනීම සඳහා දක්වන උනන්දුව එම ගහණය අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් දක්වන්නේ නැත. අලි පැටවුන් බිහිකරවා ගැනීමට ඔවුන් කිසිඳු උනන්දුවක් නොදක්වන්නේ එබැවිණි. 1992 වන විට මෙරට සිටි 347ක පමණ හීලෑ අලි ගහණය මේ වන විට සියයක් පමණ දක්වා පිරිහී ඇත්තේ එහි ප්‍රතිපලයක් ලෙසය. තමන් සතු අලි ඇතුන්ගේ ශ්‍රමය සූරාගෙන කා ඔවුන් මැරෙන්නට හරින අලි මුදලාලිලා එම හිඩැස පුරවන්නේ මෙරට වනාන්තර වල ජීවත්වෙන කුඩා අලි දරු පැටවුන්ගෙනි. මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීම ඇතුළු ඉතා කෘර සහ අමානුෂික ක්‍රම මගින් ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල ඉකුත් 2020 වසර අගදී ලියුම්කරුගේ ප්‍රධානත්වයෙන් යුත් දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් එළි දැක්වීය (https://doi.org/10.3897/natureconservation.42.57283). නමුත් මේ දක්වා එම ජාවාරම්කරුවන්ට කිසිඳු දඬුවමක් ලබාදීමට බලධාරීන් අපොහොසත්වී ඇති අතර ඉකුත් වසර අගදීද උඩවලව ජාතික උද්‍යානයෙන් මෙවැනි අලි ජාවාරමක් අනාවරණය විය.

එසේම අලි-මිනිස් ගැටුම් වලට දායක වන බවට චෝදනා ලබන අලි ඇතුන්ද අල්ලා දැඩි වධහිංසා පමුණුවා හීලෑ කිරීමට දරන ලද පසුගිය සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. මෙවැනි පසුබිමක තේජස, අභිමානය, දළ යුගලේ සුන්දරත්වය ගැන කොපමණ ගුණ වැයුනද නැදුන්ගමුවේ හස්තියාගෙන් පවා ඊළඟ පරම්පරාවක් නිර්මාණය කිරීමට එම සත්වයාගේ අජීවී නිදර්ශකය සකස් කිරීමට දක්වන උනන්දුව නොදැක්වූ බව කිඹුල් කඳුළු හෙළන ඊනියා සංස්කෘතික සංරක්ෂකයින් මතක තබාගත යුතුය.      

ශුභවාදී වෙනසක් වෙනුවෙන්

ගෘහාශ්‍රිත අලි ඇතුන්ගේ පෝෂණය, සෞඛ්‍ය සහ ශුභසාධනය තහවුරුකරමින් එම සතුන් මෙරට ප්‍රමුඛ සහ අනන්‍ය සංස්කෘතික උත්සවවලට පමණක් යොදාගැනීම සම්බන්ධයෙන් ලියුම්කරුට ගැටළුවක් නැත. නමුත් ඒ සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිපත්තිමය යොමුවක් සඳහා නැදුන්ගමුවේගේ මරණයෙන් හෝ ලබාගත හැකිව තිබූ ප්‍රවේශය ඊනියා බෞද්ධයන්ගේ ව්‍යාජ හස්ති ප්‍රේමයෙන් යටපත්වූ බව අවධාරණය කළ යුතුය. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 වසරේදී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගුවේ. මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් පෝෂණය, සෞඛ්‍ය සහ ශුභසාධනය ආරක්ෂා කරගනිමින් මෙරට ගෘහාශ්‍රිත අලි ගහණය තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාමටද නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමටද හැකිවනු ඇත. නමුත් අවාසනාවට නැදුන්ගමුවේගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ඒ කිසිවක් අඩංගු වූයේ නැති බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය.

Thursday, March 17, 2022

මිනිසුන්ගේ නොපනත්කම් නිසා ජාතික උද්‍යාන තුලදීම දුක් විඳින අපේ වන සතුන් 



ගහකොළ, සතා සිව්පාවුන් සහ විවිධ පරිසර පද්ධති වලින් පොහොසත් ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය ලොව බොහෝ රටවල ජෛවවිවිධත්වයට නොදෙවෙනිය. නමුත් එම වටිනාකම් ආරක්ෂාකර ගනිමින් තිරසාර ලෙස රටේ සංවර්ධනයට යොදාගැනීම අතින් අප තවමත් ඉතා පසුගාමීය. මෙරට සංචාරක කර්මාන්තය සඳහා ජාතික උද්‍යාන සහ ඒවායේ දිවිගෙවන වනජීවීන් යොදා ගැනීම එම පසුගාමීත්වය ඉතා සරලව පැහැදිළි කිරීමට සමත්ය. පසුගිය දිනවල යාල ජාතික උද්‍යානයේ ඇතුන් කිහිපදෙනෙකු සෆාරි ජීප්රථ වලට පහරදීමට පෙළඹීම ඈඳුණු සිදුවීම් පෙළද එම පසුගාමීත්වයේ දිගුවකි.

1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ශ්‍රී ලංකාවේ වනජීවීන් සංරක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික වාසභූමි ආරක්ෂා කරගැනීමට ඒවා වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරයි. ජාතික උද්‍යාන යනු එවැනි වනජීවී රක්ෂිත වර්ගයකි. ශ්‍රී ලංකාව පුරා මේ වන විට එවැනි ජාතික උද්‍යාන 28ක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ ජාතික උද්‍යාන වනජීවීන්ගේ වාසභූමි සංරක්ෂණයට යොදාගන්නා අතරතුර සංචාරකයින්ට සතුන් නැරඹීම සඳහාද අවස්ථාව සැලසීමයි. යාල, විල්පත්තු, උඩවලව, මින්නේරිය සහ හෝටන්තැන්න වැනි මෙරට පිහිටි ජාතික උද්‍යාන දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ප්‍රකට සංචාරක ගමනාන්තයන්ය. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය මගින් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ලැබේ. රටක් ලෙස අප කළයුත්තේ නිසි කළමනාකරණයකින් යුතුව අපේ රටේ ජාතික උද්‍යාන සංචාරක කර්මාන්තය සඳහා භාවිතා කරමින් සංචාරක කර්මාන්තය තිරසාර ආකාරයෙන් සංවර්ධනය කිරීමය. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ එය නොවේ. යාල ජාතික උද්‍යානයේදී පසුගිය දිනවල සිදුවූ කණගාටුදායක සිදුවීම් ඊට කදිම නිදසුනකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අලි ඇතුන් පිළිබඳ පර්යේෂකයෙකු වන සුමිත් පිලපිටිය මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“අපි අපේ ජාතික උද්‍යානවල ජීවත්වෙන වනජීවීන්ගේ හැසිරීම් රටා තේරුම් අරගෙන ඔවුන්ගේ සංරක්ෂණයට ප්‍රමුඛතාවය ලබා දෙමින් සංචාරක කටයුතු පවත්වාගත යුතුයි. එසේ නොකළොත් එය වනජීවී සංරක්ෂණයට වගේම සංචාරක කර්මාන්තයටත් අහිතකර විදිහට බලපානවා. යාල ජාතික උද්‍යානයේදී පසුගිය දිනවල සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනා සෆාරි ජීප් රථ වලට පහර දුන්නා. ගැමුණු නම් ඇතා සම්බන්ධවත් එවැනි සිදුවීමක් වාර්තා වුනත් එය පහරදීමක් ලෙස හඳුන්වන්න බැහැ. මේ සිදුවීම් වලට හේතුව අපි ඒ සතුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව නොදැන හෝ තැකීමක් නොකර ඔවුන් සමග ගණුදෙනු කිරීමට යාම.”

“යාල ජාතික උද්‍යානය තුල පිහිටි සිතුල්පව්ව විහාරස්ථානය මගින් සහ ඊට යනඑන බැතිමතුන් විසින් අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආහාර ලබාදීම සිදුකරනවා. ඔවුන් එම ආහාර ගැනීමට හුරු වෙනවා. වන සතුන්ට ආහාර ලබාදීමට පෙළඹෙන බැතිමතුන් එසේ ලබා දෙන්නේ තමන් සතු ආහාර වලින් කොටසක් පමණයි. තමන් වෙත ලැබෙන එම ආහාර කොටසට රහ වැටෙන සතුන් ඔවුන්ට නොදී සංචාරකයන් විසින් ඉතිරිකර ගන්නා ආහාර බලහත්කාරයෙන් ලබාගැනීමට තමන්ගේ ඉව මෙහෙයවනවා. අලි ඇතුන් ශක්තිමත් සහ බුද්ධිමත් සත්ව විශේෂයක් නිසා ඔවුන්ට පහසුවෙන් මෙසේ සංචාරකයින්ගේ ආහාර පැහැරගැනීමට හැකියි. එම සතුන් එම තත්වයට ඇද දමා ඇත්තේ මිනිසුන් වන අප විසින් මයි.”

“ඒ වගේම මද කිපෙන කාලයට අලි ඇතුන් ප්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම සාමාන්‍ය තත්වයක්. අපි එවිට සිදුකළ යුත්තේ එම සතුන් මගහැර යාමයි. නමුත් සමහර සෆාරි ජීප්රථ රියදුරන් මෙම තත්වය නොසලකා එම සතුන් අසලටම ගමන් කරනවා. එමගින් තම සේවාලාභීන්ට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදීමට හැකි වෙතැයි ඔවුන් සිතනවා වන්න පුළුවන්. නමුත් එය වැරදි වැටහීමක්. එවැනි අවස්ථාවක යම්කිසි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුනොත් එය සමස්ථ සංචාරක කර්මාන්තයටම බලපානවා. ඒ වගේම සමහර අවිනීත වනජීවී ඡායාරූපශිල්පීන් මෙවැනි අවධානම් තත්වයන් නොසළකා ඡායාරූප ලබාගැනීමට ඇතුන් අසළටම ගමන් කරනවා. එවිට එම සතුන්ගේ පහරදීම් වලට ලක්වීමේ වරද එම සතුන් මත පැටවීම මනසින් උසස් යැයි කියාගන්නා අපිට කොහෙත්ම සදාචාරාත්මක නැහැ.”

“විශේෂයෙන් ජනවාරි, පෙබරවාරි මාස වල සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනාම මද කිපෙනවා. එවිට ඔවුන් අතර සහකාරියන් සොයාගැනීම සඳහා තරගයක් ඇතිවෙනවා. එවිට වඩා ප්‍රමුඛ සත්වයාට වැඩි ඉඩක් ලැබෙන නිසා සාපේක්ෂව දුර්වල සත්ත්වයාට පසුබසින්නට සිදුවෙනවා. සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනාගෙන් සැන්ඩෝ වඩාත් ප්‍රමුඛ නිසා නන්දිමිත්‍රට පසු බැසීමට සිදුවෙනවා. නන්දිමිත්‍රට තමන් තුල ඇතිවෙන ආවේගය සැන්ඩෝ හරහා පිටකිරීමට නොහැකි නිසා වෙනත් ක්‍රමයකින් එම ආවේගය පිටකර ගැනීමට පෙළඹෙනවා. එය විද්‍යාත්මකව හඳුන්වන්නේ Redirected aggression යනුවෙන්. එවැනි අවස්ථාවල අප එම සතුන් මගහැර යාමයි කළයුතු.”

මේ ආකාරයෙන් නන්දිමිත්‍රගේ පහරදීමකට ලක්වූ සෆාරි ජීප් රථයක සිටි යුක්රේනියානු සංචාරකයෙක් තම අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි.

“අද මගේ ජීවිතයේ අවසාන දිනය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබූ ලංකාවේ ගෙවන අවසාන දිනයයි. අපි සෆාරියක් යාමට යුක්රේන ජාතිකයන් දෙදෙනෙක්, චෙක් ජාතිකයන් දෙදෙනෙක් සහ ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් එක්වීමු. සෆාරිය අවසානයේදී, අපට පාරේ දී දළ යුගල සහිත දැවැන්ත අලියෙකු හමු විය. මුලදී සෑම දෙයක්ම හානිකර නොවන ආකාරයට සිදුවිය. අලියා ආචාරශීලීව අපිව උගේ භූමියෙන් එලවා ආපහු හැරුණි. නමුත් රියදුරු එතැනින් පිටව නොගොස් නැවත අලියා හමුවට ගියේ මන්දැයි දන්නේ දෙවියන් පමණි. මේ වතාවේ අලියා කෝපයට පත් වී වේගයෙන් අපගේ ජීප් රථය වෙත දිව එන්නට පටන් ගත් අතර, අපට ආපස්සට හැරවීමට කිසිඳු ඉඩක් නොලැබුණු බැවින් පසුපසට පමණක් ගමන් කළ අපගේ ජීප් රථය අලියා හඹා ආවේය. එසේ වේගයෙන් අප පසුපස දිව ආ හස්තියා වහාම ජීප් රථය ඇත් දළවලින් සිදුරු කර එය පෙරලීමට උත්සාහ ගත්තේය. අනික් පැත්තේ ලොකු පඳුරක් තිබීම අපගේ වාසනාවට හේතු විය. එම පඳුර නොවන්නට අපව කුඩු පට්ටම් කරමින් ජීප් රථය පෙරළෙන්නට ඉඩ තිබුණි. නැත්නම් අලියාට ජීප් රථය වටා හැම පැත්තෙන්ම ගමන් කරමින් පහර දීමට ඉඩ තිබුණි. ජීප් රථය අලියා විසින් සිදුරු කරතිබූ ආකාරය පසුව හොඳින් පරීක්ෂාකර බැලූ විට ඒ සියල්ල කෙතරම් දැඩි දැයි මට වැටහුණි. වෙනත් නිර්භීත සංචාරකයින් අසල සිටිමින් අලියා පලවා හැරීමට උදව් කර, ඉක්මනින් අපව පිටතට ගෙන යාම කොතරම් හොඳද. වාසනාවකට සෑම කෙනෙකුම ජීවතුන් අතර, සෞඛ්‍ය සම්පන්නව, මගේ කකුල් මත පමණක් කුඩා තැළීම් සහ සීරීම් ලකුණු පමණයි ඉතිරි වුණේ.”

අප විසින් වනජීවීන්ගේ හැසිරීම් රටා සහ පරිසර විද්‍යාව වටහා නොගෙන හෝ දැන දැන සිදුකරන නොපනත්කම් හේතුවෙන් වන සතුන්ගේ හිරිහැර වලට මිනිසුන්ටද මුහුණදීමට සිදුවන බවට ඉහත සිදුවීම කදිම උදාහරණයකි. නමුත් අවාසනාවට බොහෝ අවස්ථාවල ඒවායේ චූදිතයන් වන්නේ වන සතුන්මය. එවැනි අවස්ථාවල මෙවැනි අමනෝඥ හැසිරීම් වලට දායකවන පුද්ගලයින්ට දැඩිව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුය. නමුත් ඒ වෙනුවට සිදුවන්නේ තමන්ගේ වාසභූමිය තුල නිදහසේ සැරිසැරීමට එම සතුන්ට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අලිවෙඩි ගසා එම සතුන් පලවා හෑරීම වැනි ක්‍රියා නම් එය කිසිසේත්ම යුක්ති යුක්ත නැත. එසේම තිරසාර වන්නේද නැත.

මේ පිළිබඳව අප කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වාලීම සඳහා ජංගම මුර සංචාරක රථ දෙකක් යොදා ඇති බවය. එය අගය කළයුතුය. නමුත් වසරේ එක් කාලසීමාවකදී පමණක් යාල ජාතික උද්‍යානයට පැමිණෙන සැන්ඩෝ සහ නන්දිමිත්‍ර මේ වන විට එයින් ඉවත්ව ගොස් තිබීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මෙම සිදුවීම කාලයේ වැලි තලාවේ සැඟව යාමට ඉඩ ඇත. නැවතත් බලධාරීන් අවධිවන්නේ එළැඹෙන වසරේ මෙවැනි සිදුවීමක් වාර්තා වුවහොත්ය. නමුත් මෙම ගැටළුව තිරසාර ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට නම් සතුන්ට ආහාර ලබාදීම වැළක්වීම, ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව තැකීමක් නොකර උද්‍යානයේ ගමන කරන පුද්ගලයින් දණ්ඩනය කිරීම සිදුකළ යුතුමය.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 52ආ වගන්තිය අනුව අල්ලා ගැනීමේ කාර්යය සඳහා හෝ වෙනත් යම් කාර්යයක් සඳහා යම් සතකු තමාගේ දේපලක් බවට පත්කර ගැනීමට පෙළඹවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ කාර්යය සඳහා කිසිම තැනැත්තකු විසින් යම් ආහාරයක්, සුවඳ වර්ගයක්, වර්ණයක් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිත නොකළ යුතුය. වන සතුන්ට ආහාර ලබාදීමට කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන එයින් වැළක්වීම සඳහා එවැනි නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. එසේ තිබියදී ආහාර ලබාදීම හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු නන්දිමිත්‍ර අනුකරණය කිරීමට ඉදිරියේදී බොහෝ දුරට ඉඩ ඇති පැරකුම් සහ අර්ජුන යන ඇතුන් දෙදෙනා පිළිබඳව බලධාරීන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර තිබේද යන්න ප්‍රශ්න සහගතය.

ලියුම්කරු ඇතුළු දෙස් විදෙස් පර්යේෂකයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ජාතික උද්‍යාන පහේදී විදේශීය සංචාරකයින් නොසතුටට පත්වීමට හේතු සෙවීම සඳහා 2019 වසරේදී සිදුකළ විද්‍යාත්මක අධ්‍යනයේදී (https://doi.org/10.1016/j.jort.2018.07.004) හෙළිවූයේ අධික රථවාහන තදබදය, සෆාරි ජීප්රථ රියදුරන්ගේ නොසැලකිල්ල, උද්‍යාන වල සංචාරක කළමනාකරණ ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක නොවීම සහ පරිසරය සහ වනජීවීන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවය. අද දවසේද යාල ජාතික උද්‍යානයේ සිදුවන ඉහත සඳහන් කළ සිදුවීම් තවදුරටත් අවධාරණය කරන්නේ එම ගැටළුය. එබැවින් මේ පිළිබඳව බලධාරීන් දැන්වත් අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගත  වනජීවී සංරක්ෂණය මෙන්ම සංචාරක කර්මාන්තය සංවර්ධය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව අවිවාදිතය. 

ආණ්ඩුවේ තිත්ත සීනි ව්‍යාපෘතියෙන් වැනසෙන ඌව වෙල්ලසේ උරුමය!


තමන්ගේ වරිගයේ අතීත මුතුන් මිත්තන් ඔබ මොබ ඇවිදගිය ඌව බිම්තැන්නේ මහා වන ප්‍රවාහයේ අනාගතය පිළිබඳව රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන්ට ඇත්තේ මහා අවිනිශ්චිතබවකි.

“ගල්ඔය ව්‍යාපාරය අපේ පරමිපරාව සී සීකඩ කලා

දැන් පිටරට කොම්පැණියක් අපිව පාරට ඇදලා දාන්න යනවා

අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ

අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ

ඔවුන්ගේ පරම්පරාව මහා පාරට ඇද දැමීමට මේ වනවිට ආණ්ඩුවේ නොමද සහාය ලබන විදේශීය සමාගමක් කැස කවමින් සිටින්නේ උක් වගා ව්‍යාපෘතියක් පාදක කරගනිමිනි. ඒ සඳහා ඩොලර් කුට්ටි වලට යටවූ දේශීය හවුල්කරා ඒජන්තවරයෙකු මෙන්ම මෙරට ජනතාවගේ බදු මුදලෙන් යැපෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියද තම සක්‍රීය දායකත්වය සැපයීම ජුගුප්සාජනකය.

අම්පාර, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක තුනට අයත් වනාන්තර, පුරාවිද්‍යා භූමි සහ ස්වදේශීය ජනතාවගේ පාරම්පරික වාසභූමි ඇතුළු ඉඩම් අක්කර 62500ක් උක් වගා ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට පැවරීමට මේ වනවිට සියලු සැළසුම් සකස්කර හමාරය. තවද ඊට අදාල උක් කර්මාන්තශාලාව ඉදි කිරීමට බිබිල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ඇකිරියන්කුඹුර හා දෙහිගම යන ග්‍රාම සේවා වසම් වල පවුල් 169ක් පමණ ජීවත්වූ පාරම්පරික වාසභූමි අක්කර 575ක් සමතලා කර ශුද්ධ-බුද්ද කිරීම මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතියි. පසුගිය දිනවල ඒ සඳහා ගොවි ජනතාවගේ පාරම්පරික වගා බිම් වනසා දමමින් ගොවීන් පළවා හැරීමට කටයුතු කෙරුණේ 1818, 1848 නිදහස් සටන් පරාජය කිරීම සඳහා සුදු අධිරාජ්‍යවාදීන් අපේ මුතුන් මිත්තන්ගේ ගේ-දොර, ඉඩ-කඩම්, හරකා-බාන විනාශකල ආකාරය නැවත ප්‍රතිනිර්මාණය කරමිනි. ව්‍යාපෘතියේ දේශීය හවුල්කාර අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, සහ ශ්‍රී ලංකා පොලීසියේ අවිගත් ආරක්ෂකයන් පිරිවරාගෙන පැමිණ විදේශීය කොම්පැණියක් වෙනුවෙන් තම ගම-බිම්, ඉඩ-කඩම් පැහැරගන්නා විට අසරණවූ ජනතාවට ඒ දුක කියන්නට කිසිවෙකු ඉතිරිවී සිටියේ නැත.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද මිරිහන-දෙහිගම ප්‍රදේශය මුල්කර ගනිමින් අවුරුදු 17ක් තිස්සේ ඇරඹීමට උත්සාහ දරන “බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය” මෙතෙක් අතරමග නැවතී ඇත්තේ ඒ කෙරෙහි එල්ලවී ඇති බලවත් මහජන විරෝධය නිසාවෙනි. 2006 වසරේ එංගලන්ත බුකර්ටෙට් සමාගමත්, පසුව මෙරට අයි.එම්.එස්. හෝල්ඩින් සමාගම සමග සම්බන්ධව තවත් විදේශීය සමාගමකුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කලත් එය අසාර්ථක විය. වර්ථමානයේ මෙම ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට එකග වී ඇත්තේ සිංගප්පූරුවේ සී/ස ගැසෙල්වෙන්චස් (Gazelle Ventures (Pvt)Ltd) නම් පෞද්ගලික සමාගමයි. ඊට පහසුකම් සපයන මෙරට හවුල්කාර සමාගම වන්නේ අයි.එම්.එස්. හෝල්ඩිං සමාගමයි.

යෝජිත සීනි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය හා සමාජ බලපෑම ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් යෝජිත භූමිය පුරාවිද්‍යාත්මකව වැදගත් බව සාක්ෂි සහිතවම පෙන්වා දී තිබීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය. මෙම තත්ත්වය වලක්වාගැනීම සඳහා ආණ්ඩුව සිදු කළේ 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2000.05.04 දිනැති අංක 1130/13 දරණ ගැසට් පත්‍රය මගින් හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 2010.09.02 දිනැති අංක 1130/41 දරණ ගැසට් පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදවාගෙන මහවැලි බල ප්‍රදේශයන් ලෙස නම් කිරීමය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තමන්ට කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගන්නේ එසේය.

නමුත් බෝඩ් ලෑල්ල වෙනස් කලද ආණ්ඩුවේ දෙපාර්තමේන්තු විසින්ම පෙන්වාදී ඇති ගැටළු නිරාකරණය වනවාද යන්න විමසිය යුතුව ඇත.

යෝජිත උක් වගා ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව අදහස් දක්වමින් ජේෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කළේ උක් වගා ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අක්කර 65000ක භූමිය ප්‍රධාන වශයෙන් මෙරටට අනන්‍ය ජෛව කලාප හතරින් එකක් වූ ඌව පතන්බිම් වලට අයත්වන බවය. මෙම කලාපය විශාල ජෛව විවිධත්වයක් සහිත වන අලි සුලභව ගැවසෙන සහ ඔවුන්ගේ සංචරණ මාර්ග රැසක් වැටි ඇති එමෙන්ම ඉතා ජලසංවේදී  කලාපයක් බවය. තවද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන්නේද නීති විරෝධි ආකාරයට බව හෙතෙම අවධාරණය කරයි. අදාල සමාගම නිවැරදි ආකාරයට පරිසර බලපෑම් තක්සේරැවක් සිදුකර නොමැති බවත්, ඉඩම් අත්පත්කර ගැනිම සිදුකරන්නේද බලහත්කාරය යොදවමින් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. මෙම කලාපයේ දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික හේන් වගාව සිදුවන බව පෙන්වාදුන් පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කළේ එසේ හේන් වගා කරන ගොවීන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් ඔවුන් මෙම භූමියෙන් ඉවත්කර විකල්ප ඉඩම් ලබාදීමට සිදුවුවහොත් අලුතින් කැලෑ එළිපෙහෙළි කිරීමට සිදුවන බවය. එය තවත් විනාශයක මූලාරම්භය විය හැකි බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ඇතිවිය හැකි පාරිසරික විනාශය අති විශාලය.

2010 – 2019 කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි-මිනිස් ගැටුම් සම්න්ධයෙන් සිදුකළ විද්‍යාත්මක අධ්‍යනයක් (https://www.asesg.org/PDFfiles/2020/51-16-Prakash.pdf) මගින්  ලියුම්කරු ඇතුළු පර්යේෂකයින් අනාවරණය කළේ ලොව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් වාර්ෂිකව ඝාතනය වන රට ශ්‍රී ලංකාව බවය. එසේම මෙම නිරන්තර අරගලයට ගොදුරුවන දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්තාවන්නේද ශ්‍රී ලංකාවෙනි. අධ්‍යනයට ලක්වූ කාලසීමාව තුල අලි-මිනිස් ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිම දේපොළ හානි සංඛ්‍යාවක් වාර්තාවූ දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කයි. අලි-මිනිස් මරණ සහ මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි වැඩිවශයෙන් වාර්තාවූ දිස්ත්‍රික්ක අතර තුන්වැනි ස්ථානය හිමිවන්නේද අම්පාර දිස්ත්‍රික්කයටමය. එබැවින් යෝජිත උක් වගා ව්‍යාපෘතිය මගින් අලි ඇතුන්ගේ වාසභූමි අහිමිවීම සහ සැරුම් මාවත් අවහිරවීම ඉදිරියේදී මෙම ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම උග්‍ර අතට හැරීමට ප්‍රභල හේතුවක් වන බව අවධාරණය කළ යුතුය.      

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත, ඌව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකගේ උපදෙස් අනුව දියතලාව ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර එම්. රංජිත් කුමාර මහතාගේ මූලිකත්වයෙන් ඇකිරියන්කුඹුර, දෙහිගම සීනි කර්මාන්තශාලාව ඉදිකිරිමට යෝජිත භූමියේ 2007 ඔක්තෝබර් මස 09, 10 හා 11 තෙදින තුල සිදුකෙරුණු පුරාවිද්‍යා ගවේෂණය මගින් හෙළිදරව්ව වුණු කරුණු විමතිය දනවන සුළුය. ඊට අදාල පර්යේෂණ වාර්ථාවට අනුව යෝජිත කර්මාන්තශාලා භූමියේ මැදගොඩ නම් ස්ථානයේ කටාරම් හා ගල් පඩිපෙළවල් සහිත ගල් ලෙන් රැසක්ද, අවශේෂ වු ඉපැරණි ගොඩනැගිලි නටඔුන් රැසක්ද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එම ගොඩනැගිලි අවශේෂයන්ට වයඹ දිශාවෙන් මීටර් 400ක් පමණ දුරින් පැරණි ස්ථුපයක කොටස් හා වාරි කර්මාන්තයක ලක්ෂණ හමුවන බවත් මෙම වාර්ථාව මගින් අනාවරණය විය. ඊට අමතරව වැවට ඊශාන දිසාවෙන් මිටර් 100ක් පමණ දුරින් පැරණි සොහොන් කොත් රැසක් හමුවන බවත් වෙනත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් නටඹුන් තැනින් තැන විසිර පවතින බවත් වැඩි දුරටත් හෙළිදරව් විය. ඒ අනුව යෝජිත සීනි කර්මාන්තශාලා භූමිය පුරා පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන රැසක් දක්නට ඇති බවත්, වඩාත් සියුම් ගවේෂණයකට ලක්කලහොත් තවත් වටිනා පුරාවිද්‍යාත්මක ස්මාරක හා ප්‍රාග් ඓතිහාසික මෙවලම් සොයාගැනීමට හැකිවනු ඇති බවත් වාර්ථාකර තිබුණි.

තවද නොබෝදා මෙම භූමියේ ගවේෂණයකට එක් වෙමින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ මෙතෙක් ගවේෂණයට  ලක්නොවු  පුරාවිද්‍යා භුමියක් මේ ආකාරයෙන් උක් කර්මාන්ත ශාලාවක් ඇරඹීමට යොදාගැනීමට දරන උත්සහය සියලු දෙනා එක්ව පරාජය කල යුතු බවය. තම ගවේෂණයේදී යෝජිත කර්මාන්තශාලා ඉදිකිරීම් භූමියේ පමණක් පුරාවිද්‍යාත්මක වටිනාකමි සහිත ස්ථාන 10ක් පමණ නිරික්ෂණය කළ බව හෙතෙම පැවසීය. ඉතා සමීපව පිහිටා තිබෙන එම ස්ථාන සලකා බලන විට මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත සමස්ථ කලාපයේම, ප්‍රාග් ඵෛතිහාසික ස්ථාන හැර මෙවැනි ස්ථාන දහස්ගනනක් තිබිය හැකි බව හෙතෙම අවධාරණය කළේය. ඒ නිසා ආණ්ඩුව මෙහි උක් වගා ව්‍යාපෘතියක් ආරම්භකර සිදුකිරීමට යන විනාශය පරාජයකල යුතු බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙම ගවේෂණ  චාරිකාවට සම්බන්ධවූ කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ මෙම ප්‍රදේශය මෙරට ගිණිකොණ දිග ආර්ය ජනාවාසවල ප්‍රධාන කලාපයක් බව මෙම සංචාරයේදී හමුවූ පුරාවිද්‍යා සාධක මගින්ද සනාථවන බවය.

අධිරාජ්‍යවාදීන්ගෙන් තම රට මුදවා ගැනීමට එදා ඌව වෙල්ලස්සේ මිනිසුන් ආරම්භ කල නිදහස් අරගලයට මේ වනවිට වසර 200ක් සම්පූර්ණවී අවසන්ය. විදේශිකයින් මේ වනවිට අපගේ භූමිය අතහැර ගොස් තිබුණද ඔවුන්ගේ අසාර්ථක සංවර්ධන මොඩලයන් කරපින්නාගෙන ඔවුන් ගිය පාරේම ගමන් කරන්නට තතනන කළු සුද්දන්ගෙන් මේ ලක් පොළොව රැකගන්න අදටත්  අරගලකරන්න අපට සිදුවීම කණගාටුවට කරුණකි. කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොමැතිව, බොහෝ උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගසාගත් මෙම ප්‍රදේශවල මිනිස්සුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලින් බල්ලන් බළල්ලුන් මෙන් එලවා දැමීමට කටයුතු කිරීම, ඔවුන් බොහොම ආයාසයෙන් වගාකරගත් බවභෝග ඩොසර් කිරීම කුමන අවාසනාවක පෙර නිමිතිද? එබැවින් අද දවසේ ඔවුන්ට අත්වී ඇති ඉරණම ආපස්සට හැරවීමට සියළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පාරිසර සංරක්ෂනවේදීන් එක් බලවේගයකට එකතු විය යුතු නොවේද?

තමනුත්  නොදන්නා ගෝලීය විපරීතයකින් බැටකන දැදුරු ඔය අසබඩ වැසියෝ ...

දැදුරු ඔය ශ්‍රී ලංකාවේ සයවැනි විශාලතම ජල පෝෂක ප්‍රදේශය හිමි ගංගාවයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 2,623කි. මධ්‍යම පළාතේ නැගෙනහිර මායිමෙන් ආරම්භ වන දැදුරුඔය මහනුවර, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පසුකර මහා ජල කඳක්ව වැඩී කිලෝමීටර් 115 ක දුරක් ගෙවා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සයුර සිප ගනියි. තම ගමන් මගේ හමුවන ගම් - නියංගම් වල ජනයාගේ දුක්ක දෝමනස්සයන් තමන්ට හැකි ආකාරයෙන් අකාමකා දැමීමට දැදුරු ඔය මගින් ඉටුවන මෙහෙය අපිරිමිතය. නමුත් ඉඳ හිට ඒ දැදුරු ඔයම තමන් එකතු කරගත් දුක් කඳ දෙගොඩ තලා යන්නට ඉඩ හරින්නේ පහළ ජලාධාර ප්‍රදේශයේ ජන ජීවිත කඳුළු සයුරේ ගිල්වමිනි. දැදුරු ඔය අසබඩ පහළ මිටියාවතේ අටලෝ දහමින් සැලි සැලී ජීවත්වෙන සිය දහස් ගණනක් මිනිසුන්ට ගංවතුර විමතියට කරුණක් නොව, තම ජීවිතයේම කොටසකි. නමුත් අභාග්‍ය නම් අතීතයේ ඉඳ හිට දෙගොඩ තලා ගිය දැදුරු ඔය ඒ ගම්මුන්ද නොදන්නා මොකද්දෝ විපරීතයක් හේතුවෙන් මේ වැට විට නිතර නිතර රුදුරු වෙමින් ජනයා පීඩාවට පත්කිරීමය.

සාමවිනිසුරු එස්.ඒ.එම්. කීර්තිරත්න (70) මහතා දැදුරු ඔය අසබට මහවිලත්තව, ලක්ෂ්මිවත්තේ පදිංචි වෙළඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මතකයේ හැටියට 1957 වසරේ ගැලූ මහා ගංවතුරේ සිට මේ දක්වා අතීතයේ ගංවතුර ගැලූ වාර ගණන එන්න එන්නම වැඩි වෙමින් පවතී. මේ වන විට වරක් ගංවතුර ගලා බැස ගිය පසු මිනිසුන් තම ගේදොර සෝදා පිරිසිඳු කරගෙන නැවත සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන විටම නැවතත් නොදැනුවත්වම පැමිණෙන ගංවතුරේ ගොදුරක් බවට පත්වීමට ඔවුනට සිදුවේ. එසේ අවස්ථා ගණනකදී ගංවතුර ගැලීම හේතුවෙන් ඔවුන්ට නැවත යතා තත්වයට පත්වීම සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තම ගොවිතැන් සහ අනෙකුත් ජීවනෝපාය පවත්වා ගැනීමට අපහසු වීමෙන් ඔවුන් දැඩි අසරණතාවයට පත්වේ.

කීර්තිරත්න මහතා වැඩි දුරටත් පවසන්නේ අතීතයේ තමන් අවට පරිසරය ගංවතුර ඇතිවීම පිළිබඳව තමන්ට අනාවැකි කීවද වෙනස්වන පරිසරය විසින් එම අනාවැකිද ගොළුකර ඇති බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු ඇරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කලද ප්‍රාදේශීය වශයෙන් සිදුවන ජලගැලීම් වල විෂමතා අනාවැකි වලට ග්‍රහණය කරගැනීම පහසු කටයුත්තක් නොවේ.

වෘත්තීයෙන් රියදුරෙකු වන ආර්.එම්. එරන්ද සංජීව (43) මහතා කරඹලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. “මම අවුරුදු 40ක් විතර මේ ගමේ පදිංචියි. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගංවතුර.  2012 ට කළින් අවුරුදු දෙක තුනකට සැරයක් තමයි මේ පැත්තට ගංවතුර ආවේ. ඒ ගංවතුර වටේට තියෙන පහත්බිම්, ඇළමාර්ග වලින් ගලාගෙන ගියාට අපට හානියක් වුණේ නැහැ. ඒ නිසා අපි හිටියේ අපේ ඉඩම් උසයි කියන මතයේ. නමුත් දැන් අවුරුද්ද ගානේ මෙහෙට දැදුරු ඔය ගලනවා. අපේ ඉඩමුත් යට වෙනවා. ගිය අවුරුද්දේ (2021) එකම මාසේ දෙපාරකට දැදුරු ඔය ගැලුවා. ඉස්සර දැදුරු ඔයෙන් පිට දැම්මහම වතුර මේ පැත්තට එන්න පැය පහළොවක් විස්සක් ගත වෙනවා. දැන් එහෙම නැතුව ක්ෂණිකව මේ පැත්ත යට වෙනවා. එතකොට අපිට ගෙවල්වල බඩුමුට්ටු අස්කරගෙන ආරක්ෂාව තියෙන තැනකට යන්න කල් මදි වෙනවා. ඒ වතුරෙන් කුඹුරු ගොවිතැන් වලට හානි වෙනවා. මෙහෙ විශේෂයෙන් පලා වර්ග වගා කරනවා. ඒ එන වතුරට මුගුණුවැන්න පාත්ති වල මුලේ ඉඳන්ම ගලෝගෙන යනවා.”

සරිබ් අබුල් හසන් සිත්ති රසීනා (53) දැදුරු ඔය ග්‍රාමයේ පදිංචි සමාජ සේවිකාවකි. දැදුරු ඔය මෝයට ඉතා ආසන්නව පිහිටි ඔවුන්ගේ ගම්මානයට වසරකට වරක් ගංවතුර ගැලීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඇයට අනුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පමණක් ඔවුන්ට වාර තුනකදී දැදුරු ඔය රුදුරු වීමෙන් පීඩාවට පත්වීමට සිදුවිය. ඇය වැඩි දුරටත් පවසන්නේ අතීතයේ ඔවුන් ගංවතුර ගලන කාලසීමාවන් පිළිබඳව අවබෝදයක් සහිතව පෙර සුදානමින් සිටි බවය. නමුත් මේ වන විට වර්ෂාපතන රටාවේ සිදුවී ඇති වෙනස්කම් හේතුවෙන් ගංවතුර ගලන ආකාරයේද වෙනස්කම් ඔවුන්ට අත්දකින්නට ලැබී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස අනපේක්ෂිත ගංවතුර ආපදාවන්ට ඔවුන්ට මුහුණදීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සිප්පිකලාන, ශ්‍රී වජිර ඥණාරාමයේ විහාරාධිපති කඹුරාදෙණියේ ඥණතිස්ස හිමියන්ද (56) අප සමග අදහස් දැක්වීය.

“මේ ප්‍රදේශයේ පරිසරයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් පවතිනවා, වර්ෂාව අපිළිවෙලයි. ගංවතුර තර්ජන වලට නිතර නිතර ලක් වෙනවා. දරාගත නොහැකි උෂ්ණත්වයක් පවතිනවා. ඒ නිසා හුස්ම ගන්නත් අපහසුයි. වනාන්තර විනාශය වගේම මේ ප්‍රදේශයේ පොල් ඉඩම් කට්ටි කර විකිණීමත් මීට හේතුවක්. මේ ප්‍රශ්නය මුළු ලංකාවටම බලපානවා. වනාන්තර විනාශකළ පුද්ගලයින්ට උල තියනවා කියලා බලයට පත්වුණු ආණ්ඩුවත් වනාන්තර විනාශ කරනවා. වන සංරක්ෂණ නිලධාරීන් නිහඬයි. බලවතුන් තමන්ගේ බලය යොදාගනිමින් වනාන්තර විනාශ කරනවා. දැන් සමහර මාධ්‍යවලත් වනාන්තර කපනවා පෙන්වන්නේ නැහැ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එස්. බී. වීරකෝන් මහතා ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් සංගෘහිත Integrated Water Resources analysis of the Deduru Oya Left Bank considering traditional and modern systems විද්‍යාත්මක පත්‍රිකාවට අනුව දැදුරු ඔය  නිම්නයේ වර්ෂාපතනය සැලකිය යුතු කාලීන හා අවකාශීය උච්චාවචනයක් පෙන්නුම් කරයි. වාර්ෂික වර්ෂාපතන පරාසය ඉහළ ජලාධාර ප්‍රදේශයේ මිලිමීටර් 2600 සිට පහළ ජලාධාර ප්‍රදේශයේ මිලිමීටර් 1100 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1600ක් පමණ වන අතර වියළි මාසයකදී මිලිමීටර් 50 සිට තෙත් මාසයකදී මිලිමීටර් 280 දක්වා පරාසයක පවතී. වාර්ෂික වර්ෂාපතනයෙන් 50% පමණ අන්තර් මෝසම් මාසවලදී (මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර් සහ නොවැම්බර්) ලැබෙන අතර, නිරිතදිග මෝසම් මාසවලදී (මැයි සිට සැප්තැම්බර් දක්වා) 35%ක් පමණද, ඉතිරි 15% ඊසානදිග මෝසම් මාසවලදී (දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) ලැබේ. දැදුරු ඔය මගින් වාර්ෂිකව මුහුදට මුදාහරින ජලය ප්‍රමාණය ඝන මීටර් මිලියන 1600ක් පමණ වේ.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයට අනුව දැදුරුඔය හරස්කර ඉදිකෙරුණු ජලාශය මගින් මේ වන විට ඉඟිනිමිටිය සහ මාගල්ල ජලාශ වලට අමතරව වාරියපොල, කොටවෙහෙර, කොබෙයිගනේ සහ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා වැව් 300කට පමණ දියවර සැපයේ. එමගින් හෙක්ටයාර් 30,000කට අධික ගොවිබිම් ප්‍රමාණයක් යල-මහ දෙකන්නයෙහිම වගා කිරීමට මග පෑදේ. මීට අමතරව දැදුරුඔය පානීය ජල ව්‍යාපෘතිය මගින් පවුල් 3000කට පානීය ජල ප්‍රතිලාභ හිමිවේ. එමගින් ගංවතුර පාලනයටද යම්කිසි කාර්යභාරයක් සිදුවේ. නමුත් දැදුරුඔය පහළ ජලාධාර ප්‍රදේශයේ පිහිටි ගම්මාන වල ජීවත්වන ජනතාවට පෙර නොවූවිරූ ආකාරයේ ගංවතුර තර්ජනවලට මුහුණදීමට සිදුවීම පාලනය කිරීම සඳහා එය කොතරම් පොහොසත්ද යන්න ගැටළු සහගතය.

එසේම ගම්මුන්ට අනුව අතීතයේ ඉඳ හිට ඔතාරේ දැමූ (ගංවතුර ගැලීමට මෙම ප්‍රදේශයේ භාවිතාවන ප්‍රාදේශීය ව්‍යවහාරයකි) දැදුරුඔය මේ වන විට වැඩි වාර ගණනක් එසේ සිදු කරන්නට, පෙර ගංවතුර අවදානමට මුහුණ නොදුන් ප්‍රදේශ වලට එම අවධානම ව්‍යාප්ත වන්නට, වර්ෂාපතන රටාව වෙනස්වී ගංවතුර ගැලීමේ ස්වරූපය වෙනස් වන්නට කුමක් හෝ විශාල විපරීතයක් බලපා ඇති බව නම් පැහැදිළිය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානය (World Meteorological Organization) ප්‍රකාශ කරන්නේ මෙවැනි පසුබිමකය. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා ලැව්ගිනි වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරයි. ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

එක් එක් දශකය තුල සිදුවූ විවිධ වර්ගයේ අපදා සංඛ්‍යාවන්

(යතුර: තද නිල් = ගංවතුර, ලා නිල් = තෙත් ස්කන්ධ ප්‍රවාහ, කොළ = කුණාටු, කහ = නියඟය, රතු = අධික උෂ්ණත්වය, තැඹිලි = ලැව්ගිනි මූලාශ්‍රය: ලෝක කාලගුණ සංවිධානය)

ගංවතුරනියංනාය යාම්කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටත් මේ වනවිට නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන බව නොරහසකි. දැදුරුඔය අසබඩ වැසියන්ටද මේ වන විට මුහුණදීමට සිදුවන අමිහිරි අත්දැකීම් වලට හේතුවී ඇති ඒ ගෝලීය විපරීතය අන් කිසිවක් නොව දේශගුණ විපර්යාසයමය. දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇති වන බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙයි. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. දැදුරුඔය දෑලේ එම ගෝලීය විපර්යාසය නිරූපණය වන්නේ ගංවතුර උවදුර උත්සන්නවීමක් ලෙසය. 

නමුත් අවාසනාවට කරුණ නම් තමන්ගේ ජන ජීවිතයට මෙතරම් බලපෑම් කරන දේශගුණ විපර්යාසය පිළිබඳව මෙරට වැසියෝ අඩු අවබෝධයක් ඇත්තන් වීමය. දැදුරුඔය අසබඩ හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන දහයක පදිංචිකරුවන් 146 දෙනෙකුගේ අහඹු නියැදියකින් ලබාගත් දත්ත අනුව  ඔවුන්ගෙන් සියයට හැත්තෑ හතයි දශම හතරක් (77.4%) දේශගුණ විපර්යාසය යන වචනය අසා තිබේ. නමුත් තමන්ට දේශගුණ විපර්යාසය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබේයැයි සිතා සිටියේ මුළු නියැදියෙන් සියයට පනස්හතරයි දශම අටක් (54.8%) පමණි. තවද දේශගුණ විපර්යාසය යන්න තමන්ගේ වචනයෙන් විස්තර කරන්නට හැකියාව තිබුණේ සමස්ත නියැදියෙන් සියයට දෙකකට (2%) පමණි.

දේශගුණ විපර්යාසය පිළිබඳ දැනුම සමීක්ෂණය (නියැදිය=146)

කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති ‘ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ මගින්ද අවධාරණය කරයි. දේශගුණික විපර්යාස අවම කිරීමඅනුහුරුවීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ඊට හේතුව සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන මෙරට සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීමය. දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරන පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් යදේශගුණික දැනුම බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර සිංහල භාෂාවෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා භාෂාව ප්‍රභල බාධාවකි. ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා ‘දේශගුණ විපර්යාසය’ යන වදන වෙනුවට ‘කාලගුණ විපර්යාසය’ යන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේනමුත් එකී ‘කාලගුණ විපර්යාසය’ යන වදනට කිසිඳු අරුතක් ඇත්තේ නැත.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රධාන ගංගා එකසිය තුනම මේ වනවිට දේශගුණ විපර්යාසයට නොයෙකුත් ආකාරයෙන් මුහුණදීලා තිබෙනවා. දැදුරුඔය නිම්නයේ මේ වන විට ගංවතුර ප්‍රශ්නය ඉහළ යාමටත් එක් හේතුවක් විදිහට දේශගුණ විපර්යාසය ඉතා පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. දැදුරුඔය වගේම දිවයිනේ විවිධ ස්ථාන වල ජනතාව විමසූ විට ඔවුන් පිළිගන්නවා දේශගුණයේ යම්කසි  වෙනස්වීමක් සිදුවී ඇති බව. වර්ෂාව ප්‍රමධවීම, වියළි කාලගුණ තත්වයන් වැඩි වීම, සර්පයන් සහ මදුරුවන් වැනි සතුන් පෙර වාර්තා නොවූ ප්‍රදේශ වල වාර්තාවීම ඔවුන් නිරීක්ෂණය කර ඇති එවැනි වෙනස්කම. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණ විපර්යාසයේ බලපෑම් කියන දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැහැ”

නමුත් එකී ජනතාව තුල දේශගුණ විපර්යාසය කෙරෙහි ඇති දැනුම සහ ආකල්ප ඉහළ නැංවීමට අප කටයුතු කළයුතුව ඇත. මේ වන විට අගනුවරට පමණක් සීමාවී ඇති දේශගුණ ක්‍රියාකාරීත්වය දැදුරුඔය අසබඩ මෙන්ම දිවයින පුරා පැතිරුණු එවැනි ගම් නියංගම් පුරා විහිදී යන්නේ එවිටය. දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් වලින් මිදීමට අවශ්‍ය හරිතාගාර වායු විමෝචන කප්පාදු ඉල්ලා ජනතාව අරගල කරනුයේ එවිටය. තමන්ගේ ජීවන රටාවන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය අනුහුරුවීම් ඉල්ලා හඬ නගනුයේ එවිටය. ජනතාව සෘජුව අත්විඳිමින් සිටින නමුත් ඇසට නොපෙනෙන මේ මහා විපත ඔවුන්ගේ ඇස් මානයෙන් සඟවා තැබීමට, ජනතාව දැනුමින් අන්ධ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එබැවිණි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවයක් ලෙස ලියුම්කරු සිතමි. ඒ කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය දකින්නටත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමටත් ජනතාව දක්වන උනන්දුව මේ මිහිතලයේ ජීවී ප්‍රජාවන්ගේ අනාගත යහපැවැත්ම තීරණය කරනු ඇති බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.

This reporting work was funded by the Earth Journalism Network’s Environmental Reporting in Sri Lanka Story Grants - 2021.