Saturday, May 19, 2018

අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි !
(Endangered Species Day: 18 May)

අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය අදට යෙදී තිබේ. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද නොයෙකුත් අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීමේ දොරකඩට පැමිණ ඇති අහිංසක අසරණ වනජීවී විශේෂ ප්‍රමාණය දස දහස් ගණනකි. වාසභූමි අහිමිවීම හෝ ඛණ්ඩනය වීම, වනජීවී ජාවාරම, දේශගුණ විපර්යාසය වැනි මානව බලපෑමෙන් ඇතිවූ නොයෙකුත් සෘජු හා වක්‍ර හේතු නිසා මෙසේ වනජීවීන් වඳවීමේ තර්ජනයට මුහුණපා සිටිති.
මේ පොළෝ තලය මත මිනිස් ප්‍රාණියා බිහිවීමට පෙර සිට ජීවත්වූ සුවහසක් වනජීවී විශේෂ මිහිපිටින් අතුගා දමමින් මිනිසා නම් සොබාදහමේ නොහික්මුණු පුත්‍රයා පෘථිවි තලය මත බලවත්වූ දා සිට තවමත් එකී කාලකන්ණිකම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඇත්දළ, අලි හම් ඈ කොටස් ලබාගැනීම සඳහා ලේ විල් මැද ඝාතනය කරන අලි ඇතුන්ගේ සිට කුඩා කෘමි සතුන් දක්වා සෑම තරාතිරමකම වනජීවීන් මේ මොහොතේද මිනිසාගේ කෑදරකමේ ගොදුරක් බවට පත්වෙමින් සිටී.
මෙම තත්වය වැලැක්වීම සඳහා සොබාදහමේ සැබෑ දූ පුතුන් අතලොස්සක් නොයෙක් වීරිය කෙරුවද තවමත් බොහෝ තැන් වල සැහැසිකම් සිදුවෙමින් පවතී. ජෛවවිවිධත්වය අතින් ලොව ඉහළින්ම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපටද අපගෙන් සුමුගෙන යාමට සැරසෙන අසරණ වන සත්ව විශේෂ රැකගැනීම සඳහා වගකීමක් හා යුතුකමක් ඇත. විල්පත්තුව, දුම්බර වැනි සුවිශේෂී වනජීවී වාසභූමි තක්කඩි දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය යොදා උලාකමින් සිටින මොහොතක මෙවර “අන්තරායට ලක්වූ වනජීවී විශේෂ පිළිබඳ අන්තර්ජාතික දිනය !” අපේ රටටද ඉතා තීරණාත්මක බව අප සිතමු.
පරිසරය රකින බවට ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් ආණ්ඩුව වැටත් නියරත් ගොයම් කන්නා සේ රටේ ස්වභාවික සම්පත් උලා කද්දී ඒ අමාරුව කියන්නට කෙනෙක් නැති සෙයක් හැගේ. නමුත් මේ පොළොවේ ජීවත්වන සියළුම ජීවී විශේෂ වලට තම ජීවිත පවත්වාගෙන යාම සඳහා සමාන අයිතිවාසිකමක් ඇති බව අප අවධාරණය කරමු. එසේම ඒ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනීසිටීමට අප කිසිවිටෙකත් පසුබට නොවන බව බලධාරීන්ට අවධාරණය කරමු !!!

මීට ශ්‍රී ලංකා ජෛවවිවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය