Thursday, November 27, 2014




වන සත්ව අඩවි සහකාර පත්වීම්
අධ්‍යක්ෂ ජනරාල් ගේ හිතවතුන්ට...


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි සහකාර දෙවැනි ශ්‍රේණිය සඳහා පසුගියදා පත්වීම් ලබා දෙනුලැබූ නිරධාරීන් පිරිසකගේ පිරිසකගේ පත්වීම් අහෝසි කර එම පත්වීම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හිතවතුන් පිරිසකට ලබා දීමට කටයුතු කෙරෙමින් යන බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුවේ මෙතෙක් පුරප්පාඩුව පැවති වන සත්ව අඩවි සහකාර තනතුරු අසූහයක් සඳහා පසුගිය නොවැම්බර් තෙවනිදා වනජීවී ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දී තිබුණි. මේ සඳහා නිලධාරීන් එකසිය තුනක් සම්මුඛපරීක්ෂණය සඳහා කැඳවා තිබූ අතර එයින් අනූපස්දෙනෙකු ඒ සඳහා මුහුණදී තිබුණි. මෙම නිලධාරීන් ගේ ජෙෂ්ඨතාවය මෙන්ම පසුගිය ආසන්නතම පස් වසර තුල සිදුකරනුලැබූ වැටලීම්, විපතට පත් සතුන් බේරාගනීම්, වන සතුන් නැවත වනයට මුදා හැරීම්, වන අලි මෙහෙයුම් හා වන අලින්ට ප්‍රතිකාර කිරීම් පිළිබඳව මෙම සම්මුඛපරීක්ෂනයේදී විමසා බලන ලදී. ඒ අනුව වැඩිම ලකුණු ලබා ගත් නිලධාරීන් අසූහය දෙනෙකුට ඉකුත් තුන්වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දී තිබුණි.
නමුත් මෙහිදී අඩු ලකුණු ලබා ගත් වනජීවී අධ්‍යක්ෂවරයාගේ හිතවතුන් නමදෙනෙකුට උසස්වීම් නොලැබීම නිසා මෙම පත්වීම් අහෝසිකර නැවත ජෙෂ්ඨත්වය පමණක් සලකා ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර එම හිතවතුන්ට උසස්වීම් ලබා දීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටී. ඔහුගේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාකලාපය නිසා වනජීවී සංරක්ෂණය වෙනුවෙන් සැබෑ ලෙසම කැපවූ අවංක හා තරුණ නිලධාරීන් පසුබෑමට ලක්වීම ඉතා කණගාටු දායක තත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකිරීම විෂය භාර අමාත්‍යවරයාගේ යුතුකම හා වගකීම බව අවධාරණය කල යුතුය.

No comments:

Post a Comment