Friday, October 1, 2021

 ---------- Forwarded message ---------

From: Supun Lahiru Prakash <prakashtgsl@gmail.com>
Date: Fri, Sep 24, 2021 at 1:14 PM
Subject: වන අලි ජීවිත බිලිගන්නා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට නැවතත් අලින් බිලි නොදෙන ලෙස සිදුකරන ඉල්ලීමයි
To: <dissanayaka_w@parliament.lk>


ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය

අංක 50/1, පරණකන්ද

වත්තල

 

2021. 09. 24

 

ගරු විමලවීර දිසානායක මහතා

වනජීවී රැකවරණයඅලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

 

ගරු අමාත්‍යතුමනි,

 

වන අලි ජීවිත බිලිගන්නා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට නැවතත් අලින් බිලි නොදෙන ලෙස සිදුකරන ඉල්ලීමයි



අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන
කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වන වන අලියෙකු ප්‍රදේශයේ ජන ජීවිතයට හානි සිදුකරන බව පවසමින් අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය හෙවත් එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට කටයුතු කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. මේ හේතුවෙන් එම අලියාගේ සහ අලි ඇල්ලීමට සහභාගීවන නිලධාරීන්ගේ ජීවිත අනතුරේ වැටීමේ අවධානමක් ඇති අතර හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුර තුල තවත් අලියෙකු සිතා මතාම ඝාතනය වීම සිදුවන බැවින් එම තත්වය වැලැක්වීම සඳහා කඩිනමින් ඔබගේ අවධානය යොමුකරන ලෙස අප ඉල්ලා සිටිමු.

 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින අලි ඇල්ලීම සම්බන්ද හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම මෙසේ වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින්නේ එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රියාමාර්ගයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීම හේතුවෙනි. එවැනි පසුබිමක් තුල අලි ඇල්ලීම සම්බන්දයෙන් පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් සහිත කණ්ඩායමක් යොදාගනිමින් මෙසේ අලියා ඇල්ලීමට කටයුතු කිරීම එම සත්වයාට මෙන්ම වනජීවී නිලධාරීන්ගේ ජීවිත වලටද බරපතල අවධානමකි. තවද දිගින් දිගටම අසාර්ථකත්වය සනාථවී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට එම අලියා ගාල් කිරීම මගින් එම අලියාද අකාලයේ මරණයට පත්වීම නොවැලැක්විය හැකිය.

 

හොරොව්පතාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හස්ති වධකාගාරය අලි - මිනිස් ගැටුමට පිළියමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද වන අලි සංරක්ෂණයට සහ අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට එමගින් කිසිඳු ප්‍රයෝජනයක් නැති බව ආණ්ඩුවේ විගණකාධිපතිවාරයා පවා පෙන්වාදී ඇති බව අප අවධාරණය කරමු. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් සිදුකරමින් සිටින්නේ අලි - මිනිස් ගැටුමට දායකවන බවට චෝදනා ලබන අලින් අල්ලා මෙම සිර කඳවුරට ගාල් කර අකාලයේ මිය යාමට සැලැස්වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේද අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

 

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර තිබේ. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

 

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් නොකිවමනාය. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිණි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 

තවද වනජීවී සංරක්ෂණ රාජකාරියේ යෙදී සිටියදී මියගිය වනජීවී නිලධාරීන් අතරින් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු නිලධාරීන්ට අමතරව වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් ඝාතනයවී ඇත්තේ වන අලි සම්බන්ද රාජකාරි අතරතුරදී බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නවාද යන්න අප නොදනිමු. එවැනි තත්වයක් තුල පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් වන අලි ඇල්ලීමේ රාජකාරි වල යෙදවීම සිතා මතාම එම නිලධාරීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් වන අතර එවැනි ආධුනික නිලධාරීන් විසින් අල්ලන අලියාටද එමගින් ජීවිත අවධානමක් ඇතිවේ.

 

එබැවින් ජෛව විවිධත්ව සංරක්‍ෂණය හා පර්යේෂණ කවය ලෙස අපි ඔබ තුමන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ මෙම අවධානම් තත්වය ඉවත්කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසත්අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවැනි මිත්‍යා විසඳුම් යෝජනා කිරීමෙන් වැළකී තිරසාර අලි-මිනිස් ගැටුම් අවමකිරීමේ ප්‍රවේශයකට යොමුවන ලෙසත්ය.

 

 

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු - ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය

 

පිටපත්: සියලුම මාධ්‍ය ආයතන වෙත                                    දැ.පි.  

Sunday, July 11, 2021

මිනිසුන්ටද උපකාර රැසක් ඉටුකරන වවුලන් පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්න!


පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ වාර්තා වු වවුලන් හා කොරෝනා සම්බන්ද නවතම පර්යේෂණ ප්‍රතිපලයක් නිසා අප රට තුල වෙසෙන ජනතාව තුලද වවුලන් පිළිබඳව අනිසි බියක් ඇතිවීනට ඉඩ තිබේ. එබැවින් එම සොයාගැනීම සම්බන්ධව පැහැදිළි කිරීමක් කිරීම සහ මිනිසුන් තුල ඇතිවය හැකි අනියත බිය දුරලීම සඳහා කඩිනමින් මැදිහත්වීම අත්‍යාවශ්‍යය ය.

කොරෝනා යනු එකිනෙකට වෙනස් වෛරස් විශාල ගණනකින් සමන්විත වෛරස් පවුලකි. එම පවුලේ ඇති වෛරස් වර්ග ප්‍රධාන ලෙස කාණ්ඩ 4 කට වර්ග කරනු ලබයි. ඒවා නම් ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා වේ. නමුත් මෙම වෛරස් වර්ග හා මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නම් කල ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් හා ඉන්දියාවෙන් හමුවූ Covid-19 වෛරසයේ ප්‍රභේද අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැත. එම පර්යේෂණ වාර්තාවෙන් සොයාගෙන ඇත්තේ කොරෝනා වෛරස් පවුලේ ඇල්ෆා හා බීටා යන ප්‍රධාන කාණ්ඩ දෙකට අයත් වෛරස් වර්ග වේ. තවද බොහෝ වෙබ් අඩවි හා පුවත්පත් තුලින් වාර්තා කරණු ලැබුවේ ලංකාවේ වවුලන්ටත් කොරෝනා වැළදී ඇති බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දැක්වීමක් වන අතර එමගින් වර්තමානයේ මුළු ලොවම වෙලාගෙන ඇති Covid-19 (විද්‍යාත්මක නම SARS-CoV-2) වෛරසය වවුලන්ටද වැළදී ඇති බව සාමාන්‍ය ජනතාවට වැටහී යයි.

ශ්‍රී ලංකාව තුල එකිනෙකට වෙනස් වවුල් විශේෂ 31 ජීවත් වේ. නමුත් ඉන් විශේෂ දෙකක් තුලින් පමණක් මෙම වෛරස් වර්ග සොයාගෙන ඇති අතර මෙම පර්යේෂකයන් පරීක්ෂා කරන ලද වවුලන් ගෙන් 8% තුලින් පමණක් වෛරසය හමුවී ඇත. තවද එම පර්යේෂණය මඟින් තහවුරු කර ඇත්තේ හඳුනාගෙන ඇති වෛරස් වර්ග වවුල් විශේෂ දෙකකින් පමණක් හමුවෙන බවත් ඒවා එම වවුල් විශේෂයන්ට පමණක් ආවේණික හා වෙනත් වවුලන් තුල හමු නොවන වර්ග දෙකක් බවයි. මෙම පර්යේෂණය සිදුකල ස්ථානයේ වවුල් විශේෂ පහක් එකට ජීවත් වෙන නමුත් අනෙක් වවුල් විශේෂ තුලින් එවැනි කිසිදු වෛරසයක් හමුවී හෝ සොයාගත් වෛරස අනෙකුත් වවුලන් තුල හමුවී නොමැති බවද තහවුරු කර ඇත. මෙම ලියුම්කරු මෙන්ම ලංකාව තුල වසර ගණනාවක සිට වවුලන් පිළිබඳ පර්යේෂණ සිදුකල පර්යේෂකයන් වවුල් ඇසුරේ පර්යේෂණ සිදුකර ඇති අතර මේ දක්වා එවැනි කිසිඳු රෝගාබාධයකට ගොදුරු වී නොමැත.

මෙවැනිම අවාසනාවන්ත සිදුවීමක් මීට පෙර ඉන්දියාවෙන්ද වාර්තාවූ අතර එහිදී ද එරට සිටි පර්යේෂකයන් පිරිසක් විසින් තම පර්යේෂණ ප්‍රතිඵල පොදු ජනතාවට ගැලපෙන හා තේරුම්ගත හැකි ලෙස මාධ්‍ය වෙත නිකුත් නොකිරීම නිසා වවුලන් විශාල ප්‍රමාණයකට නිරපරාදේ තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප රට තුල ජීවත්වන ජනතාව එවැනි අදූරදර්ශී අමනෝඥ තීරණ ගෙන අහිංසක සතුන්ට හිංසා නොකරන බව අප තරයේ විශ්වාස කරමු.

වවුලන් යනු බොහෝ දෙනා ආකර්ෂණය නොවන සත්ව කාණ්ඩයක් වීමට මිනිසා තුල එම සතුන් පිළිබඳව ඇති මිත්‍යා මත බොහෝ දුරට හේතු වී ඇත. වවුලන් යනු පරිසරයට අත්‍යවශ්‍ය සත්ව කාණ්ඩයක් වන අතර ඔවුන් විසින් සිදුකරණ පාරිසරික සේවාවන් මිලකළ නොහැකිය. අප බොහෝ දෙනා දැනුවත් වී ඇත්තේ වවුලන් යනු පළතුරු කන සත්ව කාණ්ඩයක් ලෙසය. නමුත් වවුලන්ගෙන් වැඩි ප්‍රමාණයක් කෘමීන්ව හා වෙනත් විවිධ සතුන් ආහාරයට ගෙන ජීවත් වේ. පළතුරු හා මල් පැණි මත යැපෙන වවුලන් විසින් අපට ඉතා වැදගත් පළතුරු ශාක විශාල ප්‍රමාණයක පරාගනය සිදුකරණ අතර ශාක විශාල ප්‍රමාණයක බීජ ව්‍යාප්තිය ද ඉතා සාර්ථකව ඉටුකරනු ලබයි. කෘමීන් ආහාරයට ගන්නා වවුලන් විසින් එක් රැයක් තුල ඉතා විශාල කෘමීන් ප්‍රමාණයක් ආහාරයට ගෙන අප අවට පරිසරයේ සිටින කෘමීන් ගහනය පාලනය කරනු ලබයි. එහිදී කෘෂිකාර්මික වගාවන් තුල සිටින කෘමි පලිබෝධ මර්ධනය හා ගෘහාශ්‍රිතව සිටින මිනිසාට හානිකර මදුරුවන්, මැස්සන් හා වෙනත් විවිධ කෘමී වර්ග ආහාරයට ගෙන අපව ආරක්‍ෂා කර දෙනු ලබයි. එබැවින් මෙම විද්‍යාත්මක සත්‍ය වටහාගෙන එම සතුන් විසින් මෙම මුළුමහත් පරිසරයටම සාදනු ලබන සෙත සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ පොදු ජනතාව කටයුතු කිරීම සහ වවුලන් සංරක්ෂණය වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය බව අප අවධාරණය කරමු!

තාරක කුසුමින්ද

වවුල් පර්යේෂක සහ ආචාර්ය උපාධි අපේක්ෂක - ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලය

ලේකම් (පර්යේෂන) - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) දස දෙනා අතරට සුපුන් ළහිරු ප්‍රකාශ් 



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් 2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) දස දෙනාගෙන් අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් තෝරා පත්කර ඇත. තවද එම දස දෙනා අතරින් ආසියානු රටකින් එසේ තේරී පත්වූ එකම ජයග්‍රාහකයා වන්නේද ඔහු ය.  

එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) මගින් දේශගුණික විපර්යාස පිළිබඳ මාර්ග ගත (online) ඉගෙනීමේ වේදිකාවක් ‘UN CC: e-Learn නමින් සකස් කර ඇත. 2020 වසරේදී UN CC: e-Learn පාඨමාලා සම්පූර්ණකරන ලද සහතිකපත් ලාභීන් සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා විය. එය ලොව පුරා දේශගුණික සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ ඔවුන්ගේ මෙහෙවරේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ. එම ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන් UN CC: Learn 100k Challenge නමින් වැඩසටහනක් සකස් කළේය. දේශගුණික ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දායකවූ ආකාරය සහ ඊට UN CC: e-Learn පාඨමාලා ඉවහල්වූ ආකාරය දැක්වෙන තමන්ගේ ජීවන අත්දැකීම එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සමග බෙදාහදා ගන්නා ලෙස ඔවුන් තම සහතිකපත්‍ර ලාභී ආදි ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ලොව පුරා රටවල් 87 කින් දේශගුණ ක්‍රියාකාරීන් සිය ගණනක් තම කථා ඉදිරිපත්කර තිබුණි. ඒ අතරින් හොඳම කථා 10 තෝරා ඔවුන් 2020 දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions) ලෙස අභිෂේක කිරීමට එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් ද එම ඇය අතරට තෝරා පත්කර ඇත.

එහි අනෙකුත් ජයග්‍රහයකයින් වන්නේ

Andrea Monroy-Licht - කොලොම්බියාව

Moussé Sane - සෙනගාලය

Aikaterina Lengou - ග්‍රීසිය

Maurici Tadeu Ferreira Santos - බ්‍රසීලය

Asha Alexander - එක්සත් අරාබි එමීර් රාජ්‍ය

Hassan Mowlid Yasin - සෝමාලියාව

Karel Liseth Miranda Mendoza - පැනමාව

Jean Baptiste Katako Kayambi - කොංගෝව

Camile Clarke - ජැමෙයිකාව

 

සුපුන් 2017 වසරේදී ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී බාහිර උපාධිය ලබා ගත් අතර 2019 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිරිනමන වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ගත්තේය. තවද 2010 වසරේදී කෘෂිකර්මය පිළිබඳ උසස් ජාතික තාක්ෂණවේදී ඩිප්ලෝමාව ඔහු හිමිකරගෙන ඇත. 2005 වසරේ සිට ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු සහ නිදහස් පරිසර මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටින ඔහුගේ පරිසර වාර්තා සහ ක්‍රියාකාරකම් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික වශයෙන් පිළිගැනීමට ලක්විය. ඔහු 2013 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන අතර 2012 වසරේ සිට මේ දක්වා මුතුරාජවෙල හා මීගමු කලපු සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහුගේ පර්යේෂණ ප්‍රමුඛතා වන්නේ වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණයසොබාදහම පදනම් කරගත් සංචාරක කර්මාන්තය සහ දුම්කොළ නිවරණයයි. පරිසර සහ දේශගුණික ක්‍රියාකාරකම් හැරුණු විටඅක්‍රීය දුම්පානයෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවලමක් ලෙස දිවයිනේ ‘දුම්කොළ නිවාරණ ගම්මාන’ පිහිටුවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පියවර දහයේ ක්‍රියාවලිය හඳුන්වාදීමට ඔහු මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත. ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ පාරිසරික සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම් හා දුම්කොළ නිවාරණය පිළිබඳ ඔහු ඉදිරිපත්කර ඇති පර්යේෂණ පත්‍රිකා ප්‍රකට විද්‍යා සඟරා වල පළවී ඇත. ඔහුගේ නවතම විද්‍යාත්මක පරේෂණ මැදිහත්වීම වන්නේ ශ්‍රී ලංකාවේ වන අලි නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම සහ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

පාරිසරික ක්‍රියාකාරිකයෙකු හා මාධ්‍යවේදියෙකු වශයෙන් සුපුන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ වනාන්තර විනාශයවනජීවී ජාවාරමපරිසර දුෂණය වැනි පොදු දේශීය පාරිසරික ගැටළු කෙරෙහි ය. කෙසේ වෙතත්2013 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වීමට ඔහුට අවස්ථාව ලැබුණි. එය මෙම ගෝලීය අර්බුධය පිළිබඳ ඔහුගේ උද්යෝගය වැඩි කිරීමට සමත් විය. ඉන්පසුවඔහු එක්සත් ජාතීන්ගේ UN CC: e-Learn වැඩසටහන හරහා දේශගුණික විපර්යාස පිළිබඳ මූලික මාර්ග ගත පාඨමාලාව හැදෑරූ අතර එය දේශගුණික විපර්යාස පිළිබඳ ඔහුගේ චින්තනයේ සුවිශාල වෙනසක් ඇති කිරීමට හේතු විය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව තුල දැනුවත්භාවය වර්ධනය සඳහා මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් පැවරී ඇති බව සුපුන් දැඩිව විශ්වාස කරයි. දේශගුණික විපර්යාස පිළිබඳව ජනතාව දැනුවත් කිරීමරටක් ලෙස අප දේශගුණ විපර්යාස පාලනය සඳහා ලෝකයට පොරොන්දුවී ඇති දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව  (Nationally Determined Contributions - NDC) අභියෝගයට ලක්වන ආකාරයේ රජයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ හෙළිදරව් කිරීම සහ දේශගුණික විපර්යාස මුළු මහත් ලෝකයම මුහුණ දෙමින් සිටින වඩාත් තීරණාත්මකම වර්තමාන සහ අනාගත අභියෝගය බව සාමාන්‍ය ජනතාට ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් හැකි සෑම දෙයක්ම කළ යුතුව ඇත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතී. දේශගුණික විපර්යාස අවම කිරීමඅනුවර්තනය වීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ජනතාව මේ පිළිබඳව දැන සිටින්නේ නම්දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලින් තමන් බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ තීරණ ඉල්ලා අරගල කරණු නොඅනුමානය.

දේශීය පාරිසරික ගැටළු සහ දේශගුණික විපර්යාසය ආශ්‍රිත තොරතුරු වාර්තා කරන අතර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා භාෂාව බාධාවක් බව සුපුන් තේරුම් ගත්තේය. දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල භාෂාවෙන් සන්නිවේදනය කරන පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් ය. දේශගුණික දැනුම බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර සිංහල භාෂාවෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. එම නිසාඔහු 2016 දී ඉරුදින පුවත්පත සඳහා ‘දේශගුණ කථාව’ නමින් තීරු ලිපියක් ලිවීම ආරම්භ කළේය. පසුව එය බ්ලොග් අඩවියක් බවට පරිවර්තනය කල අතර දැනට වාර 5000 කට වඩා එය පරිශීලනය කර තිබේ (http://climatetalksrilanka.blogspot.com/). සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වන රැස පුවත්පත සඳහා ඔහු ලියූ ‘අභයභූමියේ සිට ලියමි’ තීරු ලිපියේදී ද දේශගුණික විපර්යාසය සම්බන්ධ කරුණු වලට ප්‍රමුඛස්ථානයක් ලැබුණි.

දේශගුණික විපර්යාස පිළිබඳව විවිධ කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් වලටද විවිධ අවස්ථාවල ඔහු දායකවී ඇති ළමා, තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් ඒවාට සහභාගීවී වී ඇත. ඔහුගේ ලේඛන සහ දේශන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පියවර ගැනීමට අන් අය තුළ යම්කිසි පෙළඹවීමක් ඇති කරන්නට හේතුවන්නට ඇත. ඔහුගේ වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධියේ පර්යේෂණ නිබන්ධනයද දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ අතර ඒ සඳහා ගුරු හරුකම් ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියයි. එහිදී ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසය පිළිබඳ සාක්ෂියක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව සුපුන් අධ්‍යනය කළේය. දේශගුණික විපර්යාස කෙරෙහි ඔහුගේ නොනිමි අවධානය යොමු කළ එක් ප්‍රධාන බලවේගයක් වූයේ UN CC: e-Learn වේදිකාව යි. පෙරටත් වඩා වැඩි දියුණු කරන ලද විවිධ පාඨමාලා රැසක් නොමිලේ හැදෑරීමට දැන් UN CC: e-Learn වැඩසටහන හරහා හැකියාව ලැබී තිබේ. එබැවින් එමගින් දේශගුණ විපර්යාසය පිළිබඳ තම දැනුම අවබෝධය වැඩිදියුණු කරගන්නා ලෙස සුපුන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා ඔහුට සහය දුන් අයද විශේෂයෙන් සිහිපත්කල කිරීමට සුපුන් අමතක නොකරයි. දේශගුණ විපර්යාස පිළිබඳව මුලින්ම ඔහුගේ උනන්දුව ඇති කලේ ප්‍රකට දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන රංග රල්ලාවල මහතාය. ඔහුට ඉරුදින පුවත්පතේ දේශගුණ විපර්යාසය පිළිබඳ තීරු ලිපිය ලිවීමට ඉඩ සලසා දුන්නේ හිතවත් තරුණ මාධ්‍යවේදී ශාලික විමලසේන ය. එසේ ඔහු ලියූ ලිපි සියල්ලම පාහේ ස්වකැමැත්තෙන් පරීක්ෂාකර බලා ගුරුහරුකම් ලබා දීමට තම අතිශය කාර්යබහුල දින චර්යාවෙන් වෙලාවක් වෙන්කර දෙමින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම පිළිබඳ ජාතික විශේෂඥ කමිටුවේ සභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා දැක්වූ සුවිශේෂී දායකත්වයටද සුපුන් තම හිස නමා ආචාර කරයි. තවද ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකරයන් රැස පුවත්පතට ‘අභයභූමියේ සිට ලියමි’ තීරුව ලියන්නට ඔහු උනන්දු කළේය. ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරී හේමන්ත විතානගේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ‘ශ්‍රී ලංකාව සඳහා සිවිල් සමාජ දේශගුණික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා පත්කළ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් පත්කිරීම පිළිබඳව සුපුන් සිහිපත් කරන්නේ ස්තූති පූර්වකව ය. එසේම ප්‍රිය බිරිඳ චේතිකා පෙරේරා සහ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සහ නෑදෑ හිත මිතුරන් ඔහුට ලබාදෙන සහයෝගයද නිබඳවම සිහිපත් කරයි.

තරගය පිළිබඳ විස්තර: https://www.uncclearn.org/2020-un-cclearn-champion-climate-stories/ 

සුපුන් ළහිරු ප්‍රකාශ් (ජයග්‍රාහක): https://www.uncclearn.org/stories/communicating-on-climate-change-in-local-language-in-sri-lanka/ 

 ---------- Forwarded message ---------

From: Supun Lahiru Prakash <prakashtgsl@gmail.com>
Date: Wed, Jun 16, 2021 at 2:02 PM
Subject: නැව් අනතුරෙන් මියගියබවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!
To: <ps@presidentsoffice.lk>
Cc: <sec@mahaweli.gov.lk>


අතිගරු ජනාධිපතිතුමා

ජනාධිපති කාර්යාලය

ගාලු මුවදොර

කොළඹ 01

 

නැව් අනතුරෙන් මියගිය බවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!



එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන සමුද්‍ර ජීවීන් පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් සිදුකරන පරීක්ෂණ සාධණීය මට්ටමින් සිදු වනවාදැයි සැක මතුවී තිබේ. මේ දින වල බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන ඩොල්පින් සතුන් සහ කැස්බෑවන් වැනි සමුද්‍ර ජීවීන් පිළිබඳව එම ප්‍රදේශ භාර වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීම සිදුකළත් එහි අවසාන ප්‍රතිපලය මෙම සාගර ජීවීන්ගේ මරණ වලට සාධාරණයක් ඉටුකරනු ඇතැයි විශ්වාස කිරීමට අපහසු තත්වයක් ඇතිවී තිබේ.

දිවයිනේ බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන සමුද්‍ර ජීවීන් පිළිබඳව ආනවිලුන්දාවා, මුතුරාජවෙලබෙල්ලන්විල - අත්තිඩිය සහ හික්කඩුව වනජීවී කාර්යාල වල නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශ වලට අයත් මහේස්ත්‍රාත් අධිකරණ වලට කරුණු දැක්වීම සිදුකරයි. එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම වනජීවී පශුවෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු අතර වැඩිදුර වාර්තා කැඳවීම සඳහා ගරු අධිකරණ මගින් අදාළ සිරුරු හෝ සාම්පල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට හෝ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරණු ලබයි. නමුත් ඒ ආකාරයෙන් අවශ්‍ය වාර්තා සැපයීම සඳහා බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට කිසිඳු රසායනාගාර පහසුකමක් නොමැති අතර පශුවෛද්‍යවරුන්ට පියවි ඇසින් පමණක් බලා එම සතුන් මරණයට පත්වීමට හේතුව විද්‍යාත්මකව ප්‍රකාශ කිරීමට විශේෂඥතාවයක් නොමැති බව පැහැදිළිය. තවද රජයේ රස පරීක්ෂකවරයාටද එවැනි හැකියාවක් ඇතිද යන්න සැක සහිත වන්නේ මින් පෙර 2019 වසරේ හබරන - හිරිවඩුන්න ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය අලින්ගේ මරණ සම්බන්ධයෙන්ද එවැනි විශේෂඥ සාක්ෂි සැපයීමට අදාළ දෙපාර්තමේන්තුවට නොහැකිවූ බැවිණි.

මෙවැනි පසුබිමක් තුල අදාළ සමුද්‍රජීවීන් මරණයට පත්වූ හේතුව පිළිබඳව නිවැරදි විද්‍යාත්මක අනාවරණයක් සිදුකර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම තුලඑම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයේ ගොනුකර ඇති නඩුද අපතේ යාමට වැඩි ඉඩක් පවතී. එමගින් තවදුරටත් අදාළ නැව් සමාගම් ඇතුළු මෙම විනාශයට වගකිවයුතු ආයතන වලට පහසුවෙන්ම නීතියෙන් ගැලවී යාමටද හැකිවන බව අමුතුවෙන් කිවයුතු නැත.

එබැවින් මෙම මරණවලට නිවැරදි හේතුව සොයාගැනීමටඅදාළ සත්ත්ව කොටස් වල ජෛව රසායනික අන්තර්ගතයන් පිළිබඳව පරීක්ෂණ සිදුකළ හැකිඒ සඳහා විශේෂඥභාවයක් සහිත දේශීය හෝ විදේශීය ආයතනයක් වෙත අදාළ සාම්පල යොමුකර වාර්තා කැඳවීමට බලධාරීන් කටයුතු කලයුතු ය. මෙම විනාශය ප්‍රතිපූරණය කරගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාගැනීමට සහ අනාගතයේදී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවීම වැලක්වීමට එය පිටිවහලක් වනු ඇති බව අප දැඩිව විශ්වාස කරමු. එබැවින් ඒ සඳහා පරිසර අමාත්‍යාංශයවනජීවී විෂය භාර රේඛීය අමාත්‍යංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත ලංකා ආණ්ඩුවම කඩිනමින් ක්‍රියාකලයුතු බව අප අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සහ ඉන් ඔබ්බට ...



ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය ය. ඊට අදාළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත්වී තිබේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව දකුණු සහ ඌව පළාත් වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනයේ මොණරාගල දිස්ත්‍රික්කය දකුණු පළාතට අයත් ලෙස සඳහන් කර ඇත) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටි හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විත ය.

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම මගින් මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය අලි ඇතුන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරුණේ මීට දශකයකට පමණ පෙර ය (ආසියානු අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙය යෝජනා කලේ ඊටද පෙර සිටය). නමුත් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදීම් හේතුවෙන් එය මෙතෙක් කලක් ප්‍රමාදවූ බව නොරහසකි. එහි ප්‍රතිපලය වූයේ එදා මෙදා තුර තවත් අලි- මිනිස් ජීවිත රැසක් අකාලයේ රටට අහිමි වීම සහ ප්‍රදේශයේ ජන ජීවිතය කබලෙන් ලිපට වැටීමය. මේ මොහොතේද ආණ්ඩුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කරන්නේ එහි සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය වටහාගෙනද නොඑසේ නම් වල්සපුගල ගොවි සංවිධාන නායකයින් තවමත් ගෙන යන (මේ සටහන ලියන විට) අනවරත අරගලය හේතුවෙන් ආණ්ඩුවට එල්ලවූ බලපෑම නිසාද යන්න ගැටළු සහගත ය. මීට නොබෝ දිනකට පෙර රජයේ ප්‍රභල ඇමතිවරයෙකු එම අරගලයට නායකත්වය දුන් ගොවි නායකයින්ට එල්ලකළ ඉතා තුච්ච සහ පහත් චෝදනාව එම කුකුසට එක් සාධාරණ හේතුවකි. කෙසේ නමුත් වන අලි කළමනාකරණ රක්ෂිත වල සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුව සහ අලි- මිනිස් ගැටුමෙන් බැට කන-නොකන පොදු ජනතාව තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බව සිතමි.

අලි- මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක පමණ පුරා පැතිරුණු විශාල සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය. 2009 වසරේදී ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා වීමත් සමග එය මෙරට ඉහළම ජාතික ප්‍රමුඛතාවය බවට පත්විය. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19 ක් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි මිනිස් ගැටුම ව්‍යාප්තව පවතී. එමගින් ලොව අලි- මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව ලියුම්කරු ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් ඉකුත් වසරේ විද්‍යාත්මක අධ්‍යනයක් මගින් පෙන්වා දුනිමු. පසුගිය දශක හයක පමණ කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරුවේ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ තුලට ගාල්කර විදුලි වැට ඉදිකිරීමේ දිගින් දිගටම අසාර්ථක ක්‍රමවේදය මගිනි.

නමුත් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන 6000 කට ආසන්න අලි ඇතුන් ජීවත්වන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණ ව්‍යාප්තව ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ වලින් පිටතය. එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර මෙම මහා අරගලයට විසඳුම් සෙවීමට නොහැකි බවත් අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම බවත් පර්යේෂකයින් පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. “වන අලි කළමනාකරණ රක්ෂිත” යෝජනා වන්නේ ඒ සඳහා ය. එහි ආරම්භක පියවරක් වශයෙන් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වූ අලි ඇතුන් 400 ක පමණ ප්‍රමාණයක වාසභූමි “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසිණි. ඒ ද මෙම අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරණ ලද අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමක ය. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලසීමාවත් තුල එකී “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” බෝඩ් ලෑලි වලට පමණක් සීමාවූ අතර එම හස්ති වාසභූමි දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයින් විසින් ආක්‍රමණය කෙරිණි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැනීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්නවූ ආකාරය අපද අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවන තැනට තත්ත්වය දරුණු අතට හැරිණ.

මූලික වශයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියේ ගැටළු තිබේ. එහි සහ හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දැක්වෙන අලි කලමනාකරණ රක්ෂිතයේ වපසරිය අතර පැහැදිළි වෙනස්කම් ඇති බව මෙහි දැක්වෙන සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහේ. තවද දැනට ප්‍රකාශයට පත්කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය තුලද මෙතෙක් සිදුකෙරුණු නීති විරෝධී මානව ක්‍රියාකාරකම් අවසන් කිරීමද ආණ්ඩුවට අභියෝගයක් බව නොකිවමනාය. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව අවිවාදිතය.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රක්ෂිත වලින් එහා ගිය විකල්පයන් දැකීමට දේශපාලකයින්, නිලධාරීන් සහ ජනතාව යොමු වීමයි. රජය අවංකවම කැපවුණ හොත් රක්ෂිත වලින් බැහැරව ජීවත්වන අලි ඇතුන් ඔවුන්ගේ වාසභූමි තුලම සංරක්ෂණය කිරීම මගින් අලි සම්පතට සහ අලි- මිනිස් ගැටුම් සංසිඳුවීමට ලැබෙන දායකත්වය ප්‍රායෝගිකව දැකගැනීමට ඉඩ ලැමේ. හම්බන්තොටින් එහා දිවයිනේ එවැනි අලි ඇතුන් ජීවත්වන අනෙකුත් ප්‍රදේශ වලද මෙම න්‍යාය ක්‍රියාත්මක කර අලි- මිනිස් ජීවිත වලට අස්වැසිල්ලක් ලබාදීමට හැකියාව ලැබේ.

වන අලි පලවාහැරීම් අඛණ්ඩව සිදුකිරීම සහ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට උත්සාහ කිරීම අලි- මිනිස් ගැටුම් උත්සන්න වීමට හේතුවන අතර එමඟින් විශාල ආර්ථික අලාභයක් සිදු වේ. මීට අමතරව, ඉසිළුම් ධාරිතාව ඉක්මවා යාම නිසා අලි රංචු අහිමි වීම රක්ෂිත ප්‍රදේශවල අලි ගහණයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. අලි රංචු ජාතික උද්‍යානවලට පලවාහැර ඒවා තුලට සීමා කිරීම අලි - මිනිස් ගැටුම් කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ ගැටුම් ඇතිකරන පිරිමි සතුන් බහුතරයක් පලවාහැරීම් මගින් ඉවත් කිරීමට නොහැකි බැවිණි.

නමුත් එහි ප්‍රතිපලයක් ලෙස අලි රංචු අහිමි වීම වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. වර්තමානයේ, ශ්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් නැරඹීම සඳහා ලොව ඇති හොඳම සංචාරක ගමනාන්තයයි. කෙසේ වෙතත්, මේ වන විට එම කරුණ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති අතර නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කර නැත. වන අලි කළමනාකරණ රක්ෂිත තුල පවා වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් රටට සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි අතර එය ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකයටද අස්වැසිල්ලකි.

වන අලි කළමනාකරණ රක්ෂිත සියලු රෝග නිවාරණය සඳහා විශ්මකර්මයෙකු නොවේ. නමුත් එය නිසි පරිදි අවංක චේතනාවෙන් යොදා ගැනීම මගින් වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන පුළුල් ජාතික වැඩපිළිවෙලක විශාල පරාසයක් ආවරණය වේ. එබැවින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව කිවමනා ය.

බුද්ධ චීවරයට මුවාවී වයඹ පළාතේ අලි නිජබිම් හායනය නැවත්ත ...



වයඹ පළාතේ ගල්ගමුව, අතරගල්ල, නාකොලගනේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුවමහනාන්නේරියතෝරවමයිලෑවතෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නිදගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික ආයතන වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයකද මේ දිනවල ඩෝසර් යන්ත්‍ර යොදා වනාන්තර විනාශ කරමින් තිබේ. මෙම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ.

විශේෂයෙන් දැනට වන විනාශයට ලක්වෙමින් පවතින නාකොලගනේ රජමහා විහාරයට අයත් පාළුකඩවල වැවට ඉහළින් ඇති වනාන්තර ප්‍රදේශය ගල්ගමුව ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන්ගේ ඉතා වැදගත් වාසභූමියක් වන අතර තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු මෙවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදීමටත්, දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමටත් කටයුතු කිරීම අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ක්‍රියාවකි. එමගින් සිදුවන්නේ දැනට වයඹ වනජීවී කලාපයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සාර්ථකත්වය අහිමිවීම සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිලිගනිමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් තව දුරටත් උත්සන්න වීම පමණි.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් තබ්බෝව සහ කහල්ල- පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත. ඒ අනුව යමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව සිටින අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා ඓතිහාසික පියවරක් ලෙස මෙරට ප්‍රථම වන අලි කළමනාකරණ ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි. වයඹ වනජීවී කලාපයේ වනජීවී රක්ෂිත වලින් පිටත ජීවත්වන අලි ඇතුන්ගේ වාසභූමිද ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයකි.

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

 වන අලින් විල්පත්තුවට පලවාහැර වයඹ අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය නොහැකිය !


අලි මිනිස් ගැටුම වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ. ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවා හැරීමට පසුගිය සෙනසුරාදා දින යෝජනා විය. නමුත් ඒ ආකාරයෙන් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් සම්පුර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම අලි - මිනිස් ගැටුමට කිසිඳු ආකාරයක විසඳුමක් නොවන බව පසුගිය දශක හයකට වැඩි ඉතිහාසය සාක්ෂි දරයි. ඒ වෙනුවට මෙවැනි අලි පලවාහැරීම් මගින් සිදුවන්නේ අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය නැවත ආපස්සට හැරවීම හා අලි - මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාම මගින් එම දෙපාර්ශවයේම ජීවිත අනතුරේ වැටීම පමණක් බව අප අවධාරණය කරමු. නමුත් බලධාරීන් නැවතත් මේ සිදුකරන්නට උත්සාහ කරමින් සිටින්නේ අලින් හා මිනිසුන් රෑ වැටුණු වලේ මහා දවලෙත් ඇදදැමීමට වීම ඛේදණීයය.

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරන ලද ප්‍රධාන සිද්ධාන්තය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. කෙසේ වෙතත් වර්තමානයේ වයඹ වනජීවී කලාපයේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ ජීවත් වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව බව ජාතික වන අලි සංගණනය මගින්ද තහවුරුවී ඇත. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් දැනට කුල්ලක තරම් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් අල්ලක් තරම් ප්‍රදේශයකට ගාල් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකර තිබේ. එවැනි පසුබිමක් තුල අලි - මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යොදාගැනීම ඉතා අවිද්‍යාත්මක ක්‍රියාවක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.

වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් 225 ක්‌ පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි. එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමි වලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පලවාහැර මෙම ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහ අසාර්ථක වුනේ අද ඊයේ සිට නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින්ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි - මිනිස් ගැටුමට දායකවන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිතවූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කිරීම සුලභව දක්නට ලැබේ.

තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම්  සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි - මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම් වලට වැදීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවමකිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග ඉකුත් වසරේ ජූලි මසදී අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී. මෙරට අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගෙන් සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට විද්වතුන් මෙන්ම වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, ගොවිජන සේවා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අලි මිනිස් ගැටුමෙන් දැඩි ලෙස බැටකන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් වරුන්ගෙන් සමන්විත විය. අදාළ කමිටුව මගින් සකස්කළ ක්‍රියාකාරී සැළැස්ම ඉකුත් වසරේ දෙසැම්බර් මස අගදී ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. එබැවින් දැන් ඔහු සිදුකළ යුත්තේ තව දුරටත් අඳුරේ අතපත ගාමින් කල් මැරීම නොව. අදාළ ක්‍රියාකාරී සැළැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුලම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීමය.