Sunday, July 11, 2021

 ---------- Forwarded message ---------

From: Supun Lahiru Prakash <prakashtgsl@gmail.com>
Date: Wed, Jun 16, 2021 at 2:02 PM
Subject: නැව් අනතුරෙන් මියගියබවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!
To: <ps@presidentsoffice.lk>
Cc: <sec@mahaweli.gov.lk>


අතිගරු ජනාධිපතිතුමා

ජනාධිපති කාර්යාලය

ගාලු මුවදොර

කොළඹ 01

 

නැව් අනතුරෙන් මියගිය බවට සැක කරන සාගර ජීවීන්ගේ පරීක්ෂණ අවිධිමත්!



එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන සමුද්‍ර ජීවීන් පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් සිදුකරන පරීක්ෂණ සාධණීය මට්ටමින් සිදු වනවාදැයි සැක මතුවී තිබේ. මේ දින වල බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන ඩොල්පින් සතුන් සහ කැස්බෑවන් වැනි සමුද්‍ර ජීවීන් පිළිබඳව එම ප්‍රදේශ භාර වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීම සිදුකළත් එහි අවසාන ප්‍රතිපලය මෙම සාගර ජීවීන්ගේ මරණ වලට සාධාරණයක් ඉටුකරනු ඇතැයි විශ්වාස කිරීමට අපහසු තත්වයක් ඇතිවී තිබේ.

දිවයිනේ බස්නාහිරදකුණු සහ වයඹ පළාතේ වෙරළ තීරයන්ට ගොඩ ගසන සමුද්‍ර ජීවීන් පිළිබඳව ආනවිලුන්දාවා, මුතුරාජවෙලබෙල්ලන්විල - අත්තිඩිය සහ හික්කඩුව වනජීවී කාර්යාල වල නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශ වලට අයත් මහේස්ත්‍රාත් අධිකරණ වලට කරුණු දැක්වීම සිදුකරයි. එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම වනජීවී පශුවෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු අතර වැඩිදුර වාර්තා කැඳවීම සඳහා ගරු අධිකරණ මගින් අදාළ සිරුරු හෝ සාම්පල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට හෝ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරණු ලබයි. නමුත් ඒ ආකාරයෙන් අවශ්‍ය වාර්තා සැපයීම සඳහා බොරලැස්ගමුව පශුවෛද්‍ය ඒකකයට කිසිඳු රසායනාගාර පහසුකමක් නොමැති අතර පශුවෛද්‍යවරුන්ට පියවි ඇසින් පමණක් බලා එම සතුන් මරණයට පත්වීමට හේතුව විද්‍යාත්මකව ප්‍රකාශ කිරීමට විශේෂඥතාවයක් නොමැති බව පැහැදිළිය. තවද රජයේ රස පරීක්ෂකවරයාටද එවැනි හැකියාවක් ඇතිද යන්න සැක සහිත වන්නේ මින් පෙර 2019 වසරේ හබරන - හිරිවඩුන්න ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය අලින්ගේ මරණ සම්බන්ධයෙන්ද එවැනි විශේෂඥ සාක්ෂි සැපයීමට අදාළ දෙපාර්තමේන්තුවට නොහැකිවූ බැවිණි.

මෙවැනි පසුබිමක් තුල අදාළ සමුද්‍රජීවීන් මරණයට පත්වූ හේතුව පිළිබඳව නිවැරදි විද්‍යාත්මක අනාවරණයක් සිදුකර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම තුලඑම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයේ ගොනුකර ඇති නඩුද අපතේ යාමට වැඩි ඉඩක් පවතී. එමගින් තවදුරටත් අදාළ නැව් සමාගම් ඇතුළු මෙම විනාශයට වගකිවයුතු ආයතන වලට පහසුවෙන්ම නීතියෙන් ගැලවී යාමටද හැකිවන බව අමුතුවෙන් කිවයුතු නැත.

එබැවින් මෙම මරණවලට නිවැරදි හේතුව සොයාගැනීමටඅදාළ සත්ත්ව කොටස් වල ජෛව රසායනික අන්තර්ගතයන් පිළිබඳව පරීක්ෂණ සිදුකළ හැකිඒ සඳහා විශේෂඥභාවයක් සහිත දේශීය හෝ විදේශීය ආයතනයක් වෙත අදාළ සාම්පල යොමුකර වාර්තා කැඳවීමට බලධාරීන් කටයුතු කලයුතු ය. මෙම විනාශය ප්‍රතිපූරණය කරගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාගැනීමට සහ අනාගතයේදී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවීම වැලක්වීමට එය පිටිවහලක් වනු ඇති බව අප දැඩිව විශ්වාස කරමු. එබැවින් ඒ සඳහා පරිසර අමාත්‍යාංශයවනජීවී විෂය භාර රේඛීය අමාත්‍යංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත ලංකා ආණ්ඩුවම කඩිනමින් ක්‍රියාකලයුතු බව අප අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

No comments:

Post a Comment