Monday, January 21, 2019

සැලකිලිමත් වන්න !

ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට හා ජන ජීවිතයට එල්ලවී ඇති බලපෑම කරලියට පැමිණියේ මීට වසර කිහිපයකට පෙර සිටය.
ඒ සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු පහත දිගු මගින් කියවීමට හැකියාව පවතී,
http://cea.nsf.ac.lk/…/ha…/1/2098/S-2013-July-31-Rivira.pdf…
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බලධාරීන් මුනිවත රැකීම හේතුවෙන් තමන්ගේ හා තම දරු මුනුබුරන්හේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පාරට බැස අරගල කරන්නට එම ජනතාවට සිදුවිය http://www.mawbima.lk/print20170621MB20171230.php?id=10468.
එහි ප්‍රතිපලයක් වශයෙන් එම සමාගම ප්‍රදේශයෙන් ඉවත්කරගැනීමට සමාගම් බලධාරීන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාර්ශව රැසක් ඉදිරියේ පොරොන්දු වන්නේ මෙම වසරේ පෙබරවාරි මස 21 වැනිදාය https://www.lankaviews.com/bogahagoda-factory-admits-pollu…/.
නමුත් මේ දක්වා එම පොරොන්දුව ඉෂ්ඨ කිරීමට සමාගම් බලධාරීන් කටයුතුකර නොමැති අතර ඒ වෙනුවට මෙම අරගලය පසුපස සිටින සමාජ ක්‍රියාකාරීන් හා පරිසරවේදීන් දඩයම් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ https://www.lankaviews.com/bogahagoda-villagers-under-rep…/….
එබැවින් මේ අවාසනාවන්ත තත්වය පාලනය කිරීම සඳහා පරිසරයට හිතැති අප සැම අත්වැල් බැඳගතයුතු කාලය එළැඹ තිබේ. ඒ සඳහා මේ උත්සව සමය හා ඔබගේ දරුවාගේ අළුත් පාසැල් වාරය සඳහා ඔබ මිලදී ගන්නා පාවහන් යුගල, ගමකට සොඳුරු පරිසරයක් අහිමිකරන, දරුවන්ට පාසැලක් අහිමිකරන සමාගමක නිෂ්පාදනයක් නොවීමට වගබලා ගන්නා ලෙස අප ඔබට කාරුණිකව ආරාධනාකර සිටිමු.
උක්ත සමාගම දේශීය සමාගමක් වන බැවින් එය ආරක්ෂාකර ගැනීමට කැපවිය යුතුබවටත්, ඊට එරෙහිව අරගල කරන අප විදේශීය බළල් අත් හෝ ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන බවටත් කෙනෙකුට තර්ක කල හැකිය. නමුත් රටේ පරිසරය හා ජන ජීවිතය ආරක්ෂාකිරීමට දේශීය සමාගමකට වැඩි වගකීමක් පැවරී ඇති බව අපගේ වැටහීමයි. ඔවුන් එම වගකීම පැහැරහරින්නේ නම් ඒ වෙනුවෙන් අරගල කිරීමට අප කිසි විටෙකත් පසුබට නොවෙමු.
මේ Facebook ව්‍යාපාරය මගින්ද බලාපොරොත්තු වන්නේ බෝගහගොඩ කර්මාන්තශාලාව මගින් සිදුවන පරිසර විනාශය නවත්වාගැනීමට සමාගමට යම්කිසි බලපෑමක් කිරීම හා එමගින් එම ගමේ ජනතාවට යහපත් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය තහවුරුකර දීමට යම්කිසි සහයක් ලබා දීමයි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය මේ සඳහා තම දායකත්වය ලබා දෙන්නේ පරිසරය රැකගැනීමට ඇති සැබෑ උවමනාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් සිදුකර ඇති වසර ගණනාවක මැදිහත්වීම් වල තවත් එක් දිගුවක් වශයෙන් බවත් කාරුණිකව දන්වනු කැමැත්තෙමූ.
ශ්‍රී ලංකාවේ සත්ත්ව සුබ සාධන පනත’ 
යාවත්කාලීන විය යුත්තේ ඇයි ?

සත්ත්ව ආරක්ෂණය හා සුබ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපට ඇත්තේ වෙනත් කිසිදු ජාතියකට නොමැති තරම් සාඩම්බර අතීතයකි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී මෙරට රජ කළ දේවානම්පියතිස්ස රජු සකලවිධ සත්ත්ව වර්ගයාට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය පිළිගත්තේය. ඒ මිහින්තලාව අභයභූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි.
පසුකාලීනව වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙරට නීති රීති පද්ධතිය විකාශනය වුවද සත්ත්ව හිංසනය වැලැක්වීම සහ සුබසාධනය සම්බන්ධයෙන් දක්නට ලැබුණේ අඩු උනන්දුවකි. 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත මෙරට සතුනට රැකවරණය ලබා දීම සඳහා දැනට ඇති එකම නීතිමය ආවරණය වීම ඊට කදිම නිදසුනයි. නමුත් විවිධ හේතූන් නිසා මෙය යාවත්කාලීන කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් පැන නැඟී  තිබුණ ද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නො කිරීම කණගාටුවට කරුණකි.
ලොව සියලුම සත්ත්වයින්ට ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් ඇත. එය මිනිසුන්ට මෙන්ම සෙසු සත්ත්වයින්ට ද පොදු ය. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කොතෙකුත් නීතිමය ප්‍රතිපාදන තිබුණ ද සත්ත්ව අයිතින් වෙනුවෙන් එවැනි නීතිමය ආරක්ෂාවන් ඇත්තේ ඉතා අවම වශයෙනි. වර්තමානයේ ගෘහාශ්‍රිත මෙන්ම වන සතුන් ඉතා කෘර හා අමානුෂික හිංසනයන්ට හා ඝාතනයන්ට ගොදුරුවන්නේ එම නිසාය . 2016 වසරේදී කුස ඇලි මුහුදු උකුස්සෙකු පණපිටින් හමගසා මරා දැමීමේ සිදුවීමක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තාවූ අතර 2018 වසරේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගම් වැදුණු කොටියෙකු ඉතා අමානුෂික ලෙස පොලු වලින් පහරදී මරා දැමු ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. පසුගිය දා මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේදී සුනඛයෙකු ගිනිතබා මරා දැමීම හා බලංගොඩ, මස්තැන්න ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණයකර මරා දැමීම මෙවැනි සත්ත්ව හිංසනයන් සම්බන්ධ ආසන්නතම සිදුවීම් ද්විත්වයයි.
මෙම අසරණ  සතුන්  සිය දුක් කඳුළු මතින් නිහඬ අරගලයක යෙදෙන්නේ සත්ත්ව හිංසනය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන මෙරට තුළ  ශක්තිමත් කරන ලෙස තව තවත් සිහි කැඳවමිනි. නමුත් අවාසනාවට සත්ත්ව සුබසාධන පණත හමස් පෙට්ටියේ දමාගෙන බලධාරිහු  තවමත් මුණිවත රකිති.
අප ඉහත සඳහන් කළ පරිදි මෙරට සතුන්ගේ ආරක්ෂණය හා සුබසාධනය සම්බන්ධයෙන් දැනට මෙරට තුළ ක්‍රියාත්මකවන නීතිය වන්නේ 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනතයි. බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කරන සමයේ නීතිගතකරන ලද එම ආඥාපනත කරළියට පැමිණ වසර සියයකට අධික කාලයක් ගතවී ඇත. ඉන්පසු ගෙවුණු අතීතය තුළ ලෝකයේ සෙසු රටවල් බොහොමයක් සත්ත්ව හිංසනයන් වැලැක්වීම සඳහා ශක්තිමත් නීති අනපනත් නිර්මාණය කර ඇත. ලොව පුරා ඕනෑ තරම් එවැනි උදාහරණ තිබියදී වර්තමානයට ගැලපෙන ලෙස සත්ත්ව අයිතිවාසිකම් නීතිගතකර ආරක්ෂාකිරීමට රටක් ලෙස අප අපොහොසත්වීම කණගාටුවට කරුණකි.
2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් අප රට සතුව ඇතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.  සැබැවින්ම ඉන් පෙනෙන්නට ඇත්තේ බලධාරින් ඊට දක්වන උනන්දුවේ තරමය. වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධ නීති රීති යම්කිසි ප්‍රමාණයකින් යාවත්කාලීන  කරන අතරේ පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය පිළිබඳව රජයට පසුගාමී අදහසක් තිබීම විමතියට කරුණකි.
මේ පිළිබඳව අප කළ විමසීමේදී සත්ත්ව සුබසාධන හවුලේ කැඳවුම්කාරිණි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවසුවේ ‘පසුගිය කාලය පුරාම සත්ත්ව හිංසන සිද්ධි රැසක් වර්තා වුණා. අප දිගින් දිගටම සත්ත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු යැයි අරගලයක නිරත වන්නෙ ඒ නිසයි. අදටත් ක්‍රියාත්මක වන්නේ  1907 හඳුන්වා  දුන් නීතියක්. අද රටට ගැලපෙන විධියට මේ නීති අලුත්වන්නට අවශ්‍යයි. අප රජයෙන් ඉල්ලා  සිටින්නේ  සත්ත්ව සුබ සාධන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර මෙරට තුළ සිදුවන සත්ත්ව හිංසනයන් වැලැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙසයි’.
1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මගින් යම්කිසි සත්ත්ව හිංසනයක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයෙකුගෙන් අයකර ගතහැකි උපරිම දඩ මුදල රුපියල් සියයක් පමණි. එවැනි වරදකරුවෙකු සය මසක උපරිමයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමකට යටත්කළ හැකිව තිබුණද එම දණ්ඩනය පැනවෙන්නේද ඉතා අල්ප වශයෙන් බව විජේනායක මහත්මිය පවසන්නීය. මේ අනුව සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශක්තිමත් පනතක් නීතිගත කිරීම කාලීන අවශ්‍යතාවයකි.
මෙම නව පනත සම්මත කිරීම මගින් ආකාර කිහිපයකින් අසරණ සතුන්ට නීතිමය ආරක්ෂාවක් සැලසේ. සත්ත්වයින් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය අර්ථකථනය වඩාත් පුළුල් කිරීම මගින් සත්ත්ව හිංසනයට එරෙහිව වැඩි ආවරණයක් ලැබීම මෙම නව පනතේ ඇති විශේෂත්වයකි. එසේම සත්ත්ව හිංසනයන් හා සතුන්ට නොසලකා හැරීම් සම්බන්ධයෙන් වැරදකරුවන්ට ලබා දිය හැකි දඬුවම් ඉහළ නැංවීමට ද මෙ මඟින් අවස්ථාව ලැබේ. තව ද සතෙකු තම භාරයේ තබාගන්නා පුද්ගලයාට එම සත්ත්වයා රැකබලා ගැනීමට නෛතික වගකීමක් පැවරීමද මෙහි ඇති නව සංකල්පයකි. එමෙන්ම සත්ත්ව ආරක්ෂණය සහ හිංසනය පිළිබඳ විශේෂයෙන් ක්‍රියාත්මක වන අධිකාරියක් හරහා නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යූහය ද මෙම පනත හරහා ගොඩ නැඟීමට ප්‍රතිපාදන සලසා ඇත. මේ සියලු කරුණු  සමග වඩාත් ඵලදායී හා කාර්යක්ෂම නීති රාමුවකින් මෙරට සියලු සත්වයින්ට ආරක්ෂාව ලැබීමට හා සුබසාධනය තහවුරුකරගැනීමට මෙම පනත අවස්ථාව උදාකරදී ඇත. මේ නිසා සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බල කිරීම අවිහිංසාව අගයන උතුම් මානව ගුණාංගයන්ගෙන් පිරි හදවත් ඇති සැමගේ යුතුකම හා වගකීම වන්නේය.