Sunday, July 11, 2021

‘අලි රැඳවුම් මධ්‍යස්ථාන’ මිත්‍යාව හොර මගඩියක් බව ආණ්ඩුවේ විගණනය මගින්ම ඔප්පු වෙයි!



ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාපත් වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත. එසේම ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණක් බවද පැහැදිලිය. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි. නමුත් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැත. ඒ වෙනුවට ඉතිහාසයේ නැවත නැවතත් අසාර්ථක ‘එළිමහන් අලි සිර කඳවුරක්’ ඉදිකරන මුවාවෙන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ද බලධාරීන් මේ වනවිට උලාකමින් සිටී. එවැනි පසුබිමක ආණ්ඩුවේ විගණකාධිපති විසින්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක බව පමණක් නොව එය හොර ගුහාවක් බවත් නැවත නැවතත් ඔප්පුකර පෙන්වීම සරදමක් වැනිය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව ඉදිරිපත්කර ඇත. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලුතින් අලි රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවාගෙන පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරීම අලි රැඳවුම් මධ්‍යස්ථානයක කාර්ය භාරයයි. මෙරට ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරි කරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2012 වසරේදී අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙම එළිමහන් හස්ති සිර කඳවුර ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකවූතැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යවමින් සිටියි. මෙකී ආන්ධෝලනාත්මක විගණන වාර්තාව කරළියට පැමිණෙන්නේ එසේ රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියදීය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් අප මින් පෙරද අවස්ථා ගණනාවකදී පෙන්වාදී ඇත්තෙමු. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

නමුත් බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර රෑ වැටුණු වලේ ස්වකැමැත්තෙන්ම මහා දාවලේද ඇදගෙන වැටෙමින් සිටී. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව මේ ඔස්සේ වංචනිකව ලැබුණු ප්‍රතිලාභ නිසාම විය හැකි බව විගණකාධිපති වාර්තාව මගින් ගම්‍යමාන වේ. 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදය තුල හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැත. අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යනයක් සිදු නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති අතර එමගින් අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුලත්කර, සතුන්ට සපයා, මුදල් ලබාගෙන ඇත. සපයන ලද ආහාරවල බර කිරීම සඳහා පුද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිතා කර ඇති අතර බර කිරීම අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නැත. බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවීම් සිදුකර ඇත. 2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව නමයක් බව වාර්තා වුවද 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලින් තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා ඇති බවත් ඒ අනුව රුපියල් 6,559,245 ක වැඩිපුර ආහාර සපයා ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. නමුත් මධ්‍යස්ථානයේ සිටි අලින්ගෙන් මිය ගොස් ඇති බවට වාර්තාකර ඇති අලින් දොළොස් දෙනාගෙන් පස් දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැතිවීම සහ මන්දපෝෂණය හේතුවෙන් වීම විමතිය දනවන සුළුය. ඒ අනුව මෙය හොර ගුහාවක්ව පවතින්නට ඇති බව යළිත් පැවසිය යුතු නැත.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනය ඉදිකරනු ලබන්නේ 2012 මාර්තු 17 දිනැති 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුවය. ඒ 2012 අයවැය යෝජනාවලියේ සඳහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන හතරින් එකක් වශයෙනි. හොරොව්පතාන ප්‍රථමයෙන් ඉදිකර එහි සාර්ථකත්වය ඇගයීමෙන් පසුව අනෙක්වා ඉදිකිරීමට තීරණය කර තිබුණි. නමුත් ක්‍රියාකාරකම් සිදුවන්නේ එකී එකඟතාවයන් සියල්ලට පටහැනිවය. ඒ රටේ අවශ්‍යතාවයට වඩා දේශපාලකයන්ගේ සහ වනජීවී ලොක්කන්ගේ කෑදරකම ලොකු නිසා විය යුතුය. මෙතෙක් කලක් අප පමණක් පැවසූ අඳුරු යථාර්ථය, මහජන මුදලින් යැපෙන ආණ්ඩුවේම ආයතනයක් මගින්ම සාක්ෂි සාධක සහිතව පෙන්වාදී තිබේ. දැන් එළඹ ඇත්තේ ගලේ පැහැරූ බළලුන් තම අසූචි දුගඳ සඟවා ගන්නා ආකාරය පිළිබඳව විමසිලිමත් විය යුතු කාලයයි.

No comments:

Post a Comment