Friday, November 28, 2014

අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා අයාලේ යන යාල...

“යාල ජාතික උද්‍යානය” යන නම ඇසූ පමණින් අමන්දානන්දයට පත් වන වනජීවී ලෝලීන් අතර දේශීය මෙන්ම විදේශීය ජනතාව ද අතොරක්‌ නැත. වන ජීවී හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥ පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති වනජීවී රක්‌ෂිත අතරින් යාල ජාතික උද්‍යානයට එතරම් ආරක්‌ෂණයක්‌ ලැබී ඇත්තේ එහි ඇති අද්වීතීය ජෛවවිවිධත්වය හා එකිනෙකට වෙනස්‌ පරිසර පද්ධතීන් ගණනාවකින් සමන්විත වීමයි. එමඟින් මෙරට වනජීවී සංරක්‌ෂණයට හා සංචාරක කර්මාන්තයට ලබා ගත හැකි දායකත්වය ද ඉමහත් ය. එහෙත් අද වන විට යාල ජාතික උද්‍යානය තුළ සිදු කෙරෙමින් පවත්නා අක්‍රමවත් හා අදූරදර්ශී සංචාරක ක්‍රියාකාරකම් නිසා යාල ජාතික උද්‍යානයට උදා වී ඇත්තේ ඉතා දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක්‌ බව නො කියා ම බැරි ය.
පසුගිය කාලයේ දොaෂදර්ශනයට ලක්‌ වූ යාල ජාතික උද්‍යානය තුළ පෞද්ගලික සංචාරක සමාගම් විසින් ඉදි කරන ලද කඳවුරු බිම් ජනපති නියෝගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණ ද සෆාරි ජීප් රථකරුවන් ගේ ක්‍රියාවන් ගෙන් ජාතික උද්‍යානයට එල්ල වී ඇති බලපෑම ඉවත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වී නැත. මෙනිසා යාල ජාතික උද්‍යානය ආයාලේ යන බවක්‌ දක්‌නට ලැබේ.
දීර්ඝ කාලීනව ලබාගත හැකි පාරිසරික හා ආර්ථික ප්‍රයෝජන පසෙක දමා බාගෙන කෑමට ඇති වළ ඉහගෙන කෑමට මෙකී විනාශකාරී පිරිස්‌වල යොමු වීම වහා නවතා නො දැමුව හොත් තවත් වැඩි කලක්‌ මෙහි ජෛවවිද්‍යාත්මක වටිනාකම් රඳවාගත නො හැකි වනු ඇත. සීමාවක්‌ නොමැති ව නොයෙක්‌ ආකාරයේ රථ වාහන උද්‍යානය තුළට ඇතුළු කිරීමත්, ඒවා අසීමාන්තික වේගයෙන් උද්‍යානය තුළ ගමන් කිරීමත්, නියමිත වේලාව ඉක්‌මවා උද්‍යානය තුළ රඳවා තැබීමත් නිසා වනෝද්‍යානයේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වී ඇති බව අපට පසුගිය දිනක යාල ජාතික උද්‍යානයේ සිදු කළ සංචාරයක දී පෙනී ගියේ ය.
වර්ෂ එක්‌ දහස්‌ නව සියයේ දී පමණ, වන සංරක්‌ෂක ගේ නිර්දේශය මත රජය විසින් කැළෑ ආඥ පනතේ දෙවැනි ඡේදය යටතේ මැණික්‌ ග`ග හා කුඹුක්‌කන් ඔය අතර පිහිටි වර්ග සැතපුම් එක සිය හැටක ප්‍රමාණයක්‌ යාල රක්‌ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සිට එදා මෙදා තුර මෙහි පැවැත්ම සම්බන්ධයෙන් සෘජු මැදිහත් වීම සිදු කළේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් බව නොරහසකි. එහෙත් අද වන විට සංරක්‌ෂණය පසෙක දමා උද්‍යානයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පමණක්‌ සලකා කටයුතු කිරීමට වනජීවී දොපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ ම පරිපාලන ධුරාවලිය කටයුතු කරමින් සිටීම යාල ජාතික උද්‍යානයට කණකොකා හැ`ඩීමට ප්‍රධාන ලෙස ම බලපා ඇති බව පෙනෙන්නට තිබේ.
කිරින්ද හන්දියෙන් පලටුපාන පිවිසුම වෙත දිවෙන මාර්ගය දැඩි ලෙස අබලන් ව පැවතීම නිසා අද වන විට යාල කලාප අංක 01 කොටසට ඇතුළු වීම සඳහා බහුතරයක්‌ භාවිත කරන්නේ බැඹව බීට්‌ටු කාර්යාලය අසල පිහිටා ඇති දොරටුව ය. එනම් සෆාරි ජීප්රථකරුවෝ යෝධකණ්‌ඩියෙන් සිතුල් පව්ව හරහා පැමිණ බැඹව බීට්‌ටු කාර්යාලය අසලින් ජාතික උද්‍යානයට ඇතුළු වී යාල ප්‍රධාන දොරටුව වන පලටුපාන වෙත පැමිණෙති. ජීප් රථකරුවන් අතින් මුලින් ම නීතිය උල්ලංඝනය වන්නේ එතැන දී ය. එනම් බලපත්‍රයක්‌ රහිත ව ජාතික උද්‍යානයට ඇතුළු වීම ය. එසේ ම බැඹව දොරටුවෙන් උදැසන 6.00 දක්‌වා රථ වාහන උද්‍යානය තුළට ඇතුළු වීමට ඉඩ ලබා නො දීම මගින් නීතීය අකුරට ම ක්‍රියාත්මක කරවන්නට උත්සාහ දරන නිලධාරීන්ට ද මෙහි දී ඉහළින් ලැබෙන්නේ රැවුම් ගෙරවුම් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අපට දැනගැනීමට ලැබිණි. ජාතික උද්‍යානයක්‌ තුළ සංචාරක රථ ගමන් කළ යුත්තේ පෙ.ව. 6.00ත් ප.ව. 6.00ත් අතර කාලය තුළ දී ය. එහෙත් අද වන විට යාල ජාතික උද්‍යානය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මක නො වේ. පලටුපාන දොරටුවෙන් පිටතට පැමිණෙන ජීප් රථ බැඹව දොරටුවෙන් පිටතට යැමට තවත් විනාඩි 30ක කාලයක්‌ ලබා දීමට පාලන අධිකාරිය නිර්ලෝභී වීම තුළ ජීප් රථකරුවෝ එම මුළු වේලාව ම වන සතුන් අපහසුතාවට පත් කරමින් උද්‍යානය තුළ රැඳී සිsටිති. එබැවින් වන ජීවී දෙපාර්තමේන්තුව කළ යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියත් සම`ග සාකච්ඡා කර පලටුපාන කිරින්ද හන්දිය මාර්ගය යළි පිළිසකර කිරීම ය. නැතිනම් බැඹව මාර්ගයේ ගමන් කරන ජීප් රථකරුවන් සඳහා උද්‍යානයේ අවසන් සීමාව වන බැඹව දොරටුව තුළින් ප.ව. 6.00ට පෙර එම ස්‌ථානය පසු කිරීමට නිතී දැඩි කිරීම ය. මේ ප්‍රදේශය තුළ රාත්‍රි 6.30 යනු දැඩි අන්ධකාරයෙන් යුතු පරිසරයකි. එහි දී ප්‍රධාන විදුලි ලාම්පු පවා දල්වාගෙන උද්‍යානය තුළ සැරිසැරීමට, වනජීවියේ මන්දොaත්සාහී බවෙන්, සෆාරි ජීප්කරුවන්ට ඉඩ සැලසේ.
සෆාරි ජීප් රථකරුවන් ම`ගින් යාල ජාතික උද්‍යානයට සිදු වී ඇති අවාසනාවන්ත බලපෑම දැක ගැනීමට අපට ද වැඩි දුරක්‌ යැමට අවශ්‍ය නො වී ය. පලටුපාන මූලස්‌ථානයෙන් ප්‍රවේශ පත්‍රයක්‌ මිල දී ගෙන උද්‍යානයට ඇතුළු වන අපට දුහුවිලි නංවමින් වේගයෙන් ඇදී යන ජිප් රථ දැක ගැනීමට හැකි විය. පලටුපානට ඇතු`ඵ වන ප්‍රධාන මාර්ගයේ කඩතොළු ස්‌වභාවය ජය ගැනීම සඳහා තමන් වේගයෙන් රිය පදවන බව සෆාරි ජීප් රථකරුවෝ අප සම`ග පැවසූ හ. උද්‍යානය තුළ මාර්ග සංවර්ධනය වනජීවියේ වගකීමකි. කෙසේ හෝ අවසානයේ වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අහිංසක වන සතුන්ට ය. ඒ බව මොනවට පසක්‌ වූයේ අපගේ ගමනේ ඉතා කෙටි දුරක්‌ ඇතුළත රිය අනතුරුවලට ලක්‌ ව මරණයට පත් වූ ලේනුන් තිදෙනකු ගේ සිරුරු මාර්ගයේ දී අපට දැක ගැනීමට ලැබීමෙනි. තව ද කටුස්‌සන් කිහිප දෙනකු ද මේ අතර වූ හ. මින් පෙර ද කොටි පැටවකු – වල් බළලකු හා මුවකු රිය අනතුරුවලින් මරණයට පත් ව ඇති බවට සාක්‌ෂි වනජීවිය සතු බව අපි සිතමු. මෙවැනි අපරීක්‌ෂාකාරී රිය පැදවීම්වලට විරුද්ධව තිස්‌සමහාරාම මහේස්‌ත්‍රාත්වරයා ඉදිරියේ වනජීවීය මගින් පවරන ලද නඩු කිහිපයක්‌ ද වෙයි. එහෙත් ඒ කිසිවකින් වනජීවීන්ට යහපතක්‌ සිදු වී නැත. එසේ ම දැඩි නියං තත්ත්වයත් සම`ග හාත්පස පරිසරය ඉතා විඩාබර එකකි. එවැනි පසුබිමක වේගවත් රථවාහනවලින් නැෙ`ගන දුම් හා දූවිලිවලිsන් පරිසරයට සිදු වන බලපෑමද ඉතා බරපතළ ය. නිය`ගයෙන් බැටකමින් ඉතා වෙහෙස වී රැකගෙන සිටින පිපාසිත වන සතුන් ගේ දිවි පෙවෙත වැනසෙන්නේ හෝ සදාකාලික ආබාධිත වන්නේ හෝ ඒ අයුරිනි.
තව ද උද්‍යානය තුළ දිවි ගෙවන අහිංසක වන සතුන් ගේ නිදහස්‌ ජීවන රටාවට බාධා වන පරිදි වන සතුන් ගේ මංකඩ අවහිර වන පරිදි රථ වාහන නවතාගෙන සිටීම මගින් අලි ඇතුන් වැනි සතුන් කලබලයට පත් වන අවස්‌ථා ද විරල නැත. අතැම් විට අලි රංචුවකට පාර මාරුවීමට ඉඩ නො තබා ජීප් රථ ගණනාවක්‌ එකපෙළට මාර්ගය අහුරාගෙන සිටී. දිවියන් බළලුන් වැනි සතුන් ගේ ද ජීවීතවල සාමකාමී බව බිඳ දමමින් ඇතැමුන් ශබ්ද නැ`ගීම, රථයෙන් පිටතට පැමිණ සතුන් නැරඹීම හා ජායාරූප ගැනීම අද යාල ජාතික උද්‍යානයෙහි විරල නැත. ජාතික උද්‍යානයක සංචාරය කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයකු ලබා දීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව බැඳී සිටින නමුත් අද බොහෝ ජාතික උද්‍යානවල මේ පහසුකම දක්‌නට නැත. විශේෂයෙන් යාල ජාතික උද්‍යානය සෆාරි ජීප් රථකරුවන් ගේ පරිපාලනයට නතු වී ඇත්තේ එබැවිනි. සේවයේ නියුතු අතළොස්‌සක්‌ පමණක්‌ මාර්ගෝපදේශකයෝ ද මත්පැන් වීදුරුවකට හෝ තමන් ගේ අතමිට මෙලවෙන සන්තෝසමට හෝ යට වී සංචාරකයන්ට හා රියෑදුරන්ට රිසි සේ ජාතික උද්‍යානය කෙළෙසීමට ඉඩ හැර බලා සිටිති. සිදු විය යුත්තේ ප්‍රමාණවත් තරම් ම`ග පෙන්වන්නන් බඳවාගෙන ඔවුන්ට නිසි පුහුණුවක්‌ ලබා දී සෆාරි ජීප් රථ කිහිපයක්‌ හෝ එක්‌ ම`ග පෙන්වන්නකු ගේ භාරයට පත් කර උද්‍යානයට ඇතුළු කිරීම ය.
උද්‍යානය තුළ සංචාරකයන් විසින් සිදු කෙරෙන විවිධ වැරැදි ඇත. ඒ දැකත් වනජීවී නිලධාරීන් කරබාගෙන සිටින්නේ පරිපාලන ව්‍යුහය ඒ තරමට ම කඩා වැටීම හේතුවෙන් දැයි කීමට අපි නො දනිමු. ජාතික උද්‍යාන තුළට මත්පැන් ගෙන ඒම නිතී විරෝධී වුව ද මහ දවාලේ මැණික්‌ ගෙ`ග් වැලි තලාවක තබාගෙන මධුවිත තොලගාන සංචාරක නඩ අද යාල උද්‍යානයේ විරල නැත්තේ ද එබැවින් විය යුතු ය. ඔවුන් අත්හැර දමා යන හිස්‌ ප්ලාස්‌ටික්‌ කෝප්ප, බෝතල්, පොලිතීන් අද වන විට මැණික්‌ ග`ග ඉවුරේ හෝ පටනංගල වෙරළේ සුලබ ය.
එසේ ම උද්‍යානය තුළ නීතීමය වශයෙන් තම රථයෙන් බැසීමට සංචාරකයන්ට අවසර ලැබී ඇති මැණික්‌ ග`ග ඉවුරේ හා පටනංගල වෙරළේ ඇති වැසිකිළි එක දෙක වත් නිසි පරිදි නඩත්තු කිරීමට වන ජීවිය අපොහොසත් වීම නිසා ඇති වී ඇති අපහසුතාව ද සුළු පටු නැත. එහි ඇති වැසිකිළි කීපයට (මෙය ද සංචාරකයන්ට කිසිසේත් ම ප්‍රමාණවත් නැත.) අවශ්‍ය ජල පහසුව ලබා දී නඩත්තු කිරීමට වත් බලධාරීන් අපොහොසත් වීම කණගාටුදායක ය. එම`ගින් වන ජීවීන්ට එල්ල වන බලපෑම ද මඳ නො වේ. දිනපතා ලක්‌ෂ ගණනින් මුදල් උපයන්නට මේ ජාතික උද්‍යානය යොදා ගන්නා බලධාරීන්, පෙරළා එහි අභිවෘද්ධියට හෝ වනජීවී සංරක්‌ෂණයට සිදු කර ඇති මෙහෙය කුමක්‌ ද යන්න පැනයකි.
යාල ජාතික උද්‍යානයේ පෞද්ගලික සංචාරක පහසුකම් සපයන සමාගම් හතරක්‌ ම`ගින් පවත්වාගෙන ගිය සුඛෝපභෝගී කඳවුරු බිම් හා ඈඳුණු ප්‍රශ්නය ද පසුගිය සමයේ යාල ජාතික උද්‍යානයේ පැවැත්මට ඉතා තීරණාත්මක ලෙස බලපා තිබිණි. ඒවා තුළ වන ජීවී සංරක්‌ෂණ අණ පනත් හෑල්ලුවට ලක්‌ වෙමින් නොයෙකුත් අගතිගාමී ක්‍රියාකාරකම් වන ජීවී නිලධාරීන් ඉදිරිපිට දී ම සිදු වූ බව නොරහසකි. කෙසේ වෙතත් අද වන විට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගේ සෘජු මැදිහත් වීම මත එකී කඳවුරු බිම් ජාතික උද්‍යානයෙන් පිටතට රැගෙන යැමට අදාළ සංචාරක පහසුකම් සපයන සමාගම්වලට සිදු වී ඇත.
මහජන මුදලෙන් යෑපෙන නිලධාරි ම`ඩුල්ලක්‌ සහිත වන ජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ඊට අදාළ රේ‚ය අමාත්‍යාංශයක්‌ ද පවතින විනාශයන් කෙරෙහි මුනිවත රැකීම හෝ මන්දොaත්සාහී වීම තුළ මෙරට අති මහත් ජෛවවිවිධත්වයක්‌ හෙට දවස ගැන කතා කරන්නට දෙයක්‌ ඉතිරි වන්නේ නැත.
පසුගිය අතීතයක්‌ පුරා ම යාල ජාතික උද්‍යානය එම ප්‍රදේශයට උග්‍ර නියං සමය බල පවත්නා සැප්තැම්බර් මාසයේ වසා දැමීම සම්ප්‍රදාය වූ බව පරිසරයට ලැදි බොහෝ දෙනකු නො දන්නවා නො වේ. උද්‍යානයේ වන ජීවී සංරක්‌ෂණ කටුයතු විධිමත් කිරීම හා පිපාසිත වන සතුන්ට සංචාරකයන් ගෙන් සිදු වන බලපෑම අවම කිරීම එහි අරමුණ විය. එහෙත් මුදල් පසුපස ම හඹා ගිය වන ජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසර කිපයේ දී ම එම සම්ප්‍රදාය බි`ද දැමීමට ද කිසිදු විලියකින් තොර ව ඉදිරිපත් විය.
ප්‍රමාද වී හෝ අද අද වත් සොබාදහමේ මේ අමිල නිමැවුම් ආරක්‌ෂා කර ගැනීමට වන ජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් ඔවුන් සිදු කළ යුත්තේ යාල ජාතික උද්‍යානයේ වන ජීවී පරිපාලනය වඩාත් ශක්‌තිමත් ලෙස ස්‌ථාපනය කිරීම මිස සංචාරක කොම්පැනිකරුවන් ගේ හෝ සෆාරි ජීප් රථකරුවන් ගේ අල්ලේ නැටීම නො වේ.
සටහන හා ඡායාරූප
සුපුන් ළහිරු ප්‍රකාශ්

No comments:

Post a Comment