Thursday, April 23, 2020

දඩයක්කරුවන්ගේ වර මන්දට බිලිවූ 
නල්ලතන්නියේ කොටි දෙන
(http://www.animalwelfare.lk වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදී)
Image may contain: tree, sky and outdoor
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත වනාන්තර නිවහන කරගනිමින් ජීවත්වන බිළාල පවුලේ විශාලතම සාමාජිකයා වන කොටියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම අසන්න ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්ති නොවේ. දඩයක්කරුවන් විසින් විවිධ ක්‍රම මගින් එම සතුන් ඝාතනය කිරීම් සහ සත්ව කොටස් ලබාගැනීම පිළිබඳ සිද්ධීන් ගණනාවක් ඒ අතර විය. එසේම වෙනත් සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් ඇටවූ මදු වලට හසුවීම නිසා ද අසරණභාවයට පත් කොටින් පිළිබඳව වාර්තාවූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් වනජීවී නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් දිවි බේරා ගත්තද තවත් පිරිසක් අතිශය වේදනාත්මක මරණයකට ගොදුරුවිය. මෙම ශෝකාන්තයේ ආසන්නතම බිල්ල පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ මස්කෙළිය ප්‍රදේශයෙනි.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ දඹේතැන්න කොටසේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියෙකු හසු වී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය. කොටියා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයා විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව පසුදා එනම් 18 දින කොටියා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත භාර පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු කාර්යමණ්ඩලය සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
වයස අවුරුදු 04 ක් පමණ වූ මෙම කොටියා ගැහැණු සත්වයෙකු වන අතර දිගින් අඩි 05 ක් පමණ විය. දඩයක්කරුවන් විසින් අටවා තිබූ කම්බි මදුවට කොටි ධේනුව හසුව තිබුණේ 17 වැනිදා අළුයම් කාලයේය. වතු කම්කරුවන් එම සත්වයාට බිය වී පහරදීමට උත්සාහ කිරීමේදී කොටියා අසල පිහිටි ගසක අඩි 20 ක් පමණ උස දෙබලකට නැග ඇත. කම්බි මද්ද සවිකර තිබූ දිග ලී කැබැල්ල සමග කොටි ධේනුව ගසට නැග ඇති අතර එම ලීය ගසේ දෙබලක සිරවීම නිසා නැවත ගසෙන් බැසීමට නොහැකිව පැය ගණනාවක් කොටියා ගස උඩ සිරවී සිට තිබූ අතර ඒ හේතුවෙන් සත්වයාගේ ඉණ ප්‍රදේශය කම්බියට කැපී දරුණු ලෙස තුවාල වී තිබුණි. නිර්වින්දන එන්නතක් ශරීරගත කිරීමෙන් පසු වනජීවී නිලධාරීන් දැඩි අවධානමක් ගෙන ගසට නැග රැහැන් ගලවා කොටියා ගසෙන් බිමට රැගෙන මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතුකළ නමුත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යාමේදී එම සත්වයා සදහටම දෙනෙත් පියා ගත්තේය.
විද්‍යාත්මකව Panthera pardus kotiya යන නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටි උප විශේෂය මෙරටට ආවේණික වන අතර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් රතු දත්ත ලේඛණයට ඇතුලත්කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට කොටින්ට ඇති බරපලතම තර්ජන සත්ව කොටස් ලබාගැනීම සඳහා දඩයම් කිරීම සහ මිනිස් – කොටි ගැටුම බවයි.
වාර්ෂිකව දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් මේ ආකාරයේ කොටි මරණ සැළකියයුතු ප්‍රමාණයක් වාර්තාවන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා විශාල විය හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි. විශේෂයෙන් මදු වලට හසුවූ කොටින් බේරා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කලද ඒ වන විටත් ඉණ ප්‍රදේශටය මද්ද දැඩි ලෙස තදවීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට දරුණු ලෙස හානි සිදුවීමෙන් එම සතුන් මරණයට පත්වූ අවස්ථා රැසක් වාර්තා වේ.
ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම මෙහි කතානායිකාව මෙන් වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත. උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වය තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.
ඡායාරූප අයිතිය https://www.facebook.com/DWCSrilanka/
සුපුන් ළහිරු ප්‍රකාශ්

No comments:

Post a Comment