Wednesday, December 6, 2017


http://www.rivira.lk/epaper/daily/thu/2017/12/07/files/assets/basic-html/index.html#20

ගල්ගමුව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ජීවත්වූ අන්ධ දළ පූට්ටු හස්තියා ඝාතනය කර ඇත් දළ පැහැරගැනීමේ අහස පොළොව නුහුලන වනජීවී අපරාධය පිළිබඳව තතු ජනමාධ්‍ය මගින් හෙළිදරව්වීමත් සමග වනජීවී ලෝලීන් තුල පමණක් නොව පොදු මහජනතාව තුල පවා ඒ ගැන යම්කිසි කම්පනයක් ඇතිව තිබේ. නමුත් මින්පෙර සිදුවූ ලෙසම එම කම්පනය කෙටි කලකින් මැකී යාමට ඇති ඉඩකඩ වැඩි බව කණගාටුවෙන් නමුත් පැවසිය යුතුය. ඒ කෙසේ වෙතත් ඇතිව ඇති උනන්දුව තුල ඇත් දළ ඇතුළු සත්ව කොටස් හා වනජීවී ජාවාරමට තිත තැබිය හැකි ආකාරය පිළිබඳව තවදුරටත් සොයා බැලීම මැනවයි සිතමි. ලෝකයේ වනජීවී සම්පත්වලින් පොහොසත් රටවල් අතර මුල් පෙළෙහි පසුවන, එමෙන්ම වනජීවී අපරාධ අතින්ද අඩුවක් නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපටද වනජීවී හා සත්ව කොටස් ජාවාරම මැඩලීමට කැපී පෙනෙන කාර්ය භාරයක් සිදුකිරීමට හැකියාව පවතී. නමුත් මෙරට පාලක කාරකාදීන් තමන් වෙත පැවරී ඇති එම වගකීම මේ දක්වාම හරිහැටි වටහාගෙන ඒ අනුව ක්‍රියාකරන්නේද යන්න ගැටලු සහගතය. ගල්ගමුවේ දළ පූට්ටුවා වැනි අසරණ වනසතුන් මරණ මංචකයේ සැතපෙමින් අපගෙන් විමසන්නේ එම ගැටළුවය.

ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධ පිටු දැකීම සඳහා නෛතික ප්‍රතිපාදන සපයන ප්‍රධානතම පනත වන්නේ 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනතය. එම පනත උල්ලංඝනය කරමින් මෙරට වනජීවීන්ට එරෙහිව සිදු කරන සියලු වැරැදි එකී පනත අනුව වනජීවී අපරාධ ගණයට වැටේ. එසේම අප රට අන්තරායට ලක්වූ වනජීවී විශේෂ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ප්‍රඥප්තියටද අත්සන් තබා ඇති බැවින් එමඟින්ද අප විශේෂයෙන් වනජීවීන් හා එම කොටස් වෙළඳාම සම්බන්ධ වනජීවී අපරාධ මැඬලීමට වගකීමෙන් බැඳේ. නමුත් නීති අණපනත් කොතෙකුත් පැවතියද ඒවා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන්ගේ ඇති ගැටලු සහගත තත්ත්වයන් මෙන්ම රටේ සිටින ඇතැම් ධනවතුන් හා බලවතුන්ගේ ඔළුගෙඩි වල පිරී ඇති අමනෝඥ දුර් මත තවදුරටත් නොනැසී පැවතීම නිසා වන සතුන්ට දිගින් දිගටම සිදුවී ඇත්තේ අකාලයේ තම ජීවිත අහිමිකර ගැනීමටය. එහි ආසන්නතම සිදුවීම ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණයෙන් වුවද එය අතැනින් ද කෙළවර වෙනු ඇතැයි සිතීම උගහටය. නමුත් එම අසරණයාගේ මළගම හෝ මිනිසුන්ගේ ඇස් ඇරවීමට හේතුවේනම් වටී.

වනජීවීන්ට එරෙහිව අපරාධ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා අධ්‍යයනය කිරීම පහසුය. එනම් වනජීවීන් ඝාතනය කිරීම, වනජීවීන්ට ශාරීරික පීඩා ඇති කිරීම, වනජීවීන් ස්වාභාවික පරිසරවලින් අල්ලා විකිණීම, වනජීවී කොටස් වෙළඳාම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම හා අන්තර්ජාතික වනජීවී වෙළඳාමේ අතරමැදියකු ලෙස ක්‍රියා කිරීම ආදී වශයෙනි.

ශ්‍රී ලංකාවේ දිනපතා විශාල වශයෙන් විවිධ හේතූන් නිසා වනජීවීන් ඝාතනය කිරීම් සිදු වේ. මස් හා සත්ත්ව කොටස් ලබා ගැනීම පිණිස සිදු කෙරෙන ඝාතනයන්ට අමතරව වගා ආරක්ෂා කර ගැනීම සඳහාද මෙසේ වනජීවීන් ඝාතනය කිරීම සිදු වේ. තම වාසස්ථාන ආක්‍රමණය කරමින් එල්ල කරන පීඩනය හේතුවෙන් ඊට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිරෝධය දක්වන අලි ඇතුන් මිනිසුන්ගේ වෙඩි පහරට ලක්ව විදුලි සැර වැදීමට සලස්වනු ලැබ වස ආහාරයට දෙනු ලැබ ආදී විවිධ ක්‍රම මඟින් ඝාතනය කිරීම සිදුවේ. අලි ඇතුන් මෙන්ම සෙසු බොහෝ වනජීවීන්ගේ ඉරණමද මීට සමාන වන අතර එය වෙනමම සංවාදයට බඳුන්කිරීම වඩාත් යෝග්‍යය.

වනජීවීන් හා උන්ගේ කොටස් විකිණීමද ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද සිදුවන බරපතළ වනජීවී අපරාධයකි. අවි ආයුධ හා විෂ මත්ද්‍රව්‍ය වෙළඳාමට පසු ලොව විශාලතම ධනෝපායන මාර්ගය බවට පත්ව ඇත්තේ වනජීවී හා වනජීවී කොටස් වෙළඳාම යි. ගල්ගමුවේ ඇත්රජු ද එකී වනජීවී කොටස් වෙළඳාමේ එක් ගොදුරක් බව නොකිවමනාය. ඊට අමතරව අප රටේ මෑත කාලීනව විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අලි පැටවුන් ජාවාරමද මෙවැනි වනජීවී ජාවාරමකි. ඒ ඔස්සේ ජනනය වන රුපියල් කෝටි ගණන් කළු සල්ලි මඟින් වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළම නිලධාරීන් පවා මිලදී ගැනීමට අපරාධකරුවන්ට හැකියාව ලැබී තිබූ ආකාරය පසුගිය සමයේ කරළියට පැමිණියේය.

තවද මෙරටට ආවේණික උරගයන්, උභයජීවීන් හා මිරිදිය මසුන් ආදී සතුන්ද නීති විරෝධී ලෙස ස්වාභාවික පරිසරයෙන් අල්ලා අපනයනය කිරීම සිදු වේ. ලොව බොහෝ සුරතල් සතුන් වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ සත්ත්ව විශේෂ විකිණීම සිදුවන බවට සාක්ෂි ඇත. ඇත්දළ, රයිනෝ අං, ව්‍යාඝ්‍ර සතුන්ගේ ශරීර කොටස් හා සත්ත්ව සම් ආදී සත්ත්ව කොටස්වලටද ලොව පුරා විශාල ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාවේද ඇත්දළ, ගජමුතු, කොටි සම්, කොටි දත් ආදී සත්ත්ව කොටස්වලට වෙළෙඳපොළක් පවතින්නේ මනසින් උසස් යැයි කියාගන්නා අප ජීවත්වන මිනිස් සමාජය තුලද තවදුරටත් ගල් යුගයේ ජීවත්වූවන් ජීවත්වන බැවිණි.

රට තුල සිදුවන වනජීවී ජාවාරම් මැඩලීමට යත්න දැරීමට අමතරව අන්තර්ජාතික වනජීවී කොටස් ජාවාරම සිදුවන මාර්ගයේ මධ්‍යගතව පිහිටීම නිසා ශ්‍රී ලංකාවට එම ජාවාරම් මැඬලීමේදී පැවරී ඇති වගකීමද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශයකි. මීට වසර කිහිපයකට පෙර අප්‍රිකානු රටක සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි රාජ්‍ය වෙත ප්‍රති අපනයනය කිරීමට සූදානම් කර තිබූ අප්‍රිකානු ඇත්දළ 356 ක් අත්අඩංගුවට ගැනීමට මෙරට රේගුවට හැකිවීම මීට කදිම නිදසුනකි. එවැනි වනජීවී අපරාධ මැඬලීම සඳහා කාර්යක්ෂමව හා සක්‍රීයව මැදිහත්වීම වෙනුවට එවකට හිටපු පාලකයන් විසින් සිදු කළේ එම ඇත්දළ ශ්‍රී දළදා මාලිගයට හා වෙනත් බෞද්ධ විහාරස්ථානවලට බෙදා දීමට සැලසුම් කිරීමය. අපේ රටේ පාලකයන්ගේ හැසිරීම එසේ වුවද ඇත්දළ වෙළඳාමෙන් තම රටේ ආර්ථික ශක්තිය පවා ඉහළ නංවා ගතහැකිව තිබියදී කෙන්යාවේ හිටපු ජනාධිපති ඩැනියෙල් අරාජ මොයි මහතා විසින් 1989 වසරේදී මෙම ලේ තැවරුණු ඇත්දළ ජාවාරම පිටුදැකීම සඳහා තම රටේ වනජීවී බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු ඩොලර් මිලියන ගණනක් වටිනා ඇත්දළ ප්‍රසිද්ධියේ ගිනිතබා විනාශ කළ ආකාරය මුළුමහත් ලෝකයටම පාඩමක් විය. ශ්‍රී ලංකාවේ අපද පසුකාලීනව එම මග යමින් රේගු අත්අඩංගුවට පත් ඇත්දළ විනාශකිරීමට කටයුතු කලද අපේ රට තුල ඇතුන් ඝාතනයකර ලබා ගත් ඇත්දළ අත්අඩංගුවට පත්වූ පසු සිදුවන ක්‍රියාදාමය එවැනි පරමාදර්ශී එකක් නොවන බව අප අවධාරණය කල යුතුය.

“පන්සලකට ඇත් දළයක් පිරිනැමීමට නොහැකිනම් තමන්ගේ වනජීවී ඇමැතිකමින් කුමන පලයක් දැයි” විමසීමට තරම් අමනෝඥ වනජීවී ඇමතිවරුන් සිටි මේ රටේ වනාන්තර වල මෙසේ හෝ දළ ඇතුන් ආරක්ෂාවී දිවි ගෙවීම එක් අතකට සතුටට කරුණකි. ඒ මන්ද යත් ඇතුන් මරා දළ පැහැරගන්නා  වනජීවී අපරාධකරුවන් මැඩලීමට අප කොතෙකුත් කටයුතුකර තිබුණද ඒ ඇත්දළ පසුපස ඇති මිත්‍යා මත දුරලීමට අප කටයුතුකර නොමැති බැවනි. අපි රේගු අත්අඩංගුවට ගැනුණු අප්‍රිකානු ඇත්දළ කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන විනාශකර දැමුවේ ඒවාට ආර්ථිකමය වටිනාකමක් එකතු කිරීමට අකමැතිවීම හේතුවෙනි. එමගින් තව දුරටත් ඇත්දළ වලට ඇති ඉල්ලුම නොනැසී පවතින බැවිණි. නමුත් අපේ රටේ ඇතුන් මරා ලබාගත් ඇත්දළ වනජීවී අත්අඩංගුවට පත්වූ විට අප ඒ ඇත්දළ පිළිබඳව පෙර මෙන් නොසිතීම කණගාටුවට කරුණකි. අප අප්‍රිකානු ඇත්දළ විනාශකළ අයුරින්ම අපේ ඇත්දළ ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේපකර විනාශකළ යුතු නොවේද? නමුත් ඒ වෙනුවට බොහෝ විට සිදුවූයේ එම ඇත්දළ නැවතත් මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා අනුව විහාරාරාම වලට පිරිනමනු ලැබ පුරුදු මිත්‍යාවම ජනගත වීමය. අප ඉහත සඳහන් කල පුරාජේරුවද හිටපු වනජීවී ඇමතිවරයෙකු සිදුකලේ තම ගම් ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇත්දළ යුගලක් පිරිනැමීම සඳහා පැවති උත්සවයකදීය.

අපේ රටේ හස්තීන් ඇත්දළ ලබාගැනීම පිණිස ඝාතනය වන්නේ පොදු මහජනතාවගේ අවශ්‍යතාවය පිණිස නොවන බව දෙවරක් පැවසිය යුතු නැත. අපේ රටේ අපේ රටේ හස්තීන් ඇත්දළ ලබාගැනීම පිණිස ඝාතනය වන්නේ ඇත්දළ තම සන්තකයේ තබාගැනීමේ මේනියාවෙන් පෙළෙන ඇතැම් මුග්ධ ධනවතුන් හා බලවතුන්ගේ අවශ්‍යතාවය පිණිසය. ඔවුන් ඇතුන් මරවා ඇත්දළ ළඟ තබාගන්නවා මදිවට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද අඩපන කරවයි.

එබැවින් මෙවැනි වනජීවී අපරාධ මැඬලීම සඳහා 2009 අංක 22 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනතේ ප්‍රතිපාදන නොබියව ක්‍රියාත්මක කරවීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ද සවිමත් කල යුතුය. එසේම ඇත්දළ හෝ වෙනත් වනජීවී කොටස් සම්බන්ධයෙන් ඇතැම් අනුවණයන් තුල මුල් බැසගෙන ඇති මිත්‍යාව දුරලීමද වැදගත්ය. අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බඳු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැවසෙන බෞද්ධ වෙහෙර විහාර තුළින්ද ලේ තැවරුණු මිනීමරු ඇත්දළ ප්‍රතිෂේපවිය යුතුය. ඒ සඳහා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය හෝ හේතුවේවායි අප ඉත සිතින් පතමු.

ඡායාරූප ජයතිලක බණ්ඩාර සහ සම්පත් ඒකනායක


සුපුන් ළහිරු ප්‍රකාශ්

No comments:

Post a Comment